- – මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය
2020 දී බදු අඩු කිරීමෙන් වූ වරද ජනතාව පිට දාන්න එපා – ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)
බදුපිට බදු ගැසීමෙන් ආර්ථිකය මුළුමනින්ම හැකිලෙනවා – විජිත හේරත් (ජාජබ)
ආණ්ඩුව පනවන සෑම බදු ක්‍රමයක්ම ආර්ථීකය යථාවත් වන අවස්ථාවේදීම නැවත සංශෝධනය කර ජනතාවට සහන ඇති කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි.
ප්‍රථමයෙන් නිවේදන ලිපි ලේඛන වාර්තා, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.
පසුව අංක 27-2 යටතේ පක්‍ෂ නායකයන් විසින් අසා තිබූ විශේෂ ප්‍රශ්න හා ඒවාට පිළිතුරු සැපයීම සිදුවිය.
අනතුරුව මුදල් අමාත්‍යාංශය යටතේ එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක දෙවැනි වර කියැවීමේ විවාදය ආරම්භ විය.
විවාදය ආරම්භ කරමින් කතාකළ මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය – බදු ලිපිගොනු ප්‍රමාණය 2019 සිට 2022 දක්වා කාලයේදී සියයට 73 කින් අඩුවුණා. වැට් බදු සීමාව වෙනස් කිරීම නිසා 17ත් ලක්‍ෂයේ සිට හය ලක්‍ෂය දක්වා බදු ලිපිගොනු ප්‍රමාණය අඩුවුණා. 2019 රජයේ වියදම 3522 යි. රාජ්‍ය ආදායම මෙන් සියයට 230 කින් වියදම වැඩියි. ආදායම වැඩිකළ යුතුයි. මෙය හදිසි කල් නොදැමිය යුතු කටයුත්තක්.
2021 ආදායම මිලියන 1,463,810 යි. රජයේ වියදම මිලියන 3,535,331 යි. මෙය රටකට ඔරොත්තු දෙන්නේ නෑ. 2022 මේ මාස 10 ට රජයේ ආදායම මිලියන 1,588,273 යි. වියදම 3,235,017 යි. මෙය වෙනස්කර ගත යුතුයි. සුබසාධනය රජයේ ප්‍රධාන කටයුත්තක්. රජයේ මුළු වියදමෙන් සියයට 19.1 ක් සුබ සාධනයට වෙන්කර තිබෙනවා.
රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීමට රුපියල් බිලියන 98 ක් මාසිකව වෙන්කළ යුතුයි. එය බරපතළ තත්ත්වයක්. මේවා නිරාකරණය කරගත යුතුයි.
සංස්ථාපිත ආදායම් බද්ද වැඩිකිරීම, පුද්ගල ආදායම් බද්ද සීමාව අඩු කිරීම, රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීමටත් රජය තීරණය කර තිබෙනවා. කැසිනෝ බද්දත් රුපියල් කෝටි 50 දක්වා වැඩි කළා.
බදු අයකිරීමෙන් රැකගන්න පිරිස වගේම පීඩාවට පත්වන පිරිසකුත් ඉන්නවා. මේ ගැටලුව අපි දරාගත යුතුයි. බදු ගහන්නේ ශුද්ධ ලාභයෙන් පමණයි. පනවන බදු ආර්ථිකය සාමාන්‍ය වූ පසුව නැවත සමාලෝචනය කිරීමට රජය සූදානම්.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ) – ඇමැතිවරු පත්කරන කතා කියනවා. රටට ආදර්ශයක් දිය යුතුයි ඉහළ පිරිස. පටි තදකර ගන්නවා කියලා රට වැටිලා තියෙන වෙලාවේ මේ විදියට ඇමැතිවරු පත්කරන්නේ. උග්‍ර ආර්ථික අර්බුද තියෙන රටවල ඇමැති මණ්ඩලවත් නෑ.
අද වෘත්තීයවේදීන් රැසක් රට හැර යනවා. වෛiවරු, මහ බැංකුවේ නිලධාරීන් ඇතුළු පිරිස යනවා. සියයට 36ක් බදු පැනවීම අසාධාරණයි. ඉන්දියාවේ වත් මෙහෙම නෑ. අපේ වෘත්තීයවේදීන්ට පිටරට ඕනෑ තරම් රැකියා තියෙනවා. මේ අය නීතිදාලා නවත්වන්න එපා. මේ අයට සාධාරණ අය කිරීම් කරන්න. දිරිගැන්වීම් කරන්න.
අපනයනයට සියයට 14 සිට බදු ගහනවා. අපනයනකරුවන් දිරි ගන්වන්න අපනයනය වැඩි කරගත යුතුයි. රට වටේ තියෙන තාප්ප කඩලා පාලම් බැඳලා අපේ නිෂ්පාදනවලට ලෝකය විවෘත කරන්න. බංග්ලාදේශය අපනයනකරුවන්ට විශාල බදු සහන දෙනවා. ඔවුන් අපේ රට අභිබවා යනවා. වියට්නාමයේ අපනයන බදු ඉතා අඩුයි. දිරිගැන්වීම් දෙනවා. අපි තරග කළ යුත්තේ ඒ අපනයනකරුවන් සමග. ඒත් අපි අපේම අයට ගහනවා. ආර්ථිකය සංවර්ධනය කරනවා නම් අපනයනය දිරි ගන්වන්න.
මේ බදු ප්‍රශ්නය ජනතාව පිටම දාන්න එපා. අපි 2020 දී කිව්වා බදු අඩු කරන්න එපා කියලා අයි.එම්.එෆ් යන්න කියලා. ඒවා මඟ ඇරලා දැන් බදුබර ජනතාව පිට දාන්න හදනවා. එහෙම කරන්න එපා.
ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන – අපේ රටේ මහින්ද රාජපක්‍ෂ යුගයට පෙර ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් බිලියන 20 යි. 2016 දී එය ඩොලර් බිලියන 56.5 ට වැඩි වුණා. නමුත් ආදායම අඩුවුණා. 2020 දී ඩොලර් බිලියන 80.3 ට ආර්ථිකයේ ප්‍රමාණය වැඩි වුවත් ආදායම තව අඩු වුණා. කවුද මේ ගැටලුවට විසඳුම් දුන්නේ නැත්තේ. මේ ආර්ථිකය වැඩිවන විට ආදායම වැඩි කරගන්නේ නැත්තේ ඇයි.
නිලධාරීන් හදන සංඛ්‍යා දත්ත ඇමැති කියනවා මිස ඇමැතිවරු නොවෙයි මේ ලේඛණ හදන්නේ.
එදා මම වෙළෙඳ ඇමැති වුවත් සීනි බද්ද ශත 25 ට අඩු කළා කියලා මම දන්නේ අභයාරාම පන්සලේදී. මම බදු අඩු කිරීමට බරපතළ ලෙස විරෝධය පළ කළා. නමුත් ජනාධිපතිතුමා නිලධාරීන් මේ බද්ද වෙනස් කරන්න දුන්නේ නෑ. එක්තරා නිලධාරීන් පිරිසක් තමන්ගේ ඔලුවේ තියෙන මතවාදය අනූව කටයුතු කරනවා. කැබිනට් පත්‍රිකා කීයක් ප්‍රතික්ෂේප වෙනවාද මේ නිලධාරීන්ගේ මතවාද නිසා.
එදා තුල්හිරිය ටයිල්, මහවැලි මෙරින්, ලංකා ලෝහ සංස්ථාව, බුහාරි හෝටලය, සම්භාණ්ඩ සංයුක්ත, මත්තේගොඩ ටෙක්ස්ටයිල්, සිලෝන් ඇග්‍රෝ, කැලණි ටයර්, වේයන්ගොඩ ටෙක්ස්ටයිල්, ඩිස්ටරලීන්, බෝගල ග්‍රැනයිට්, සිලෝන් ෂිපිං ලයින්, ලංකා සෙරමික්, සිලෝන් ඔක්සිජන්, හ`ිගුරාණ සීනි, සිලෝන් මර්චන්ට්, කන්තලේ සීනි, කොමර්ෂල් සර්විසස් ඇතුළු ආයතන රැසක් හිටපු ජනපති ප්‍රේමදාස යුගයේදී විකුණුවා. 94 දක්වා ආයතන 88 ක් විකුණා තියෙනවා.
විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 03 ට වැඩි කරගත්තේ නැතිනම් ගෝලීය වෙළඳපොළ තුළ වැටෙනවා. ඒ ගැන අපිට මොකද වුණේ කියලා හිතලා පියවර ගත යුතුයි. රට විනාශයෙන් බේරා ගැනීමට අවසන් මොහොතේ පියවර ගත යුතුයි.
පත් කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර (ශ්‍රිලපොපෙ) – රාජ්‍ය අංශය දුර්වල කර පෞද්ගලික අංශය දියුණු කරන්න දිගටම ආණ්ඩු පියවර ගත්තත් පෞද්ගලික අංශය ප්‍රසාරණය වුණේ නෑ. රාජ්‍ය අංශය පුළුල් වීමයි සිදු වුණේ. වැටුප් තලත් රාජ්‍ය අංශයේ වැඩිවුණා. රැකියා අවශ්‍ය ප්‍රමාණයට පුද්ගලික අංශයේ ලැබුණේ නෑ. රටේ ආර්ථිකය අභ්‍යන්තර ප්‍රශ්න නිසා රාජ්‍ය හා පෞද්ගලික අංශ පුළුල් කරන්න ගත් උත්සහයන් වැරදුනා.
බදු සංශෝධන පනත් මගින් වැඩ කරන ජනතාවගෙන් සියයට 09 කට අලුත් බදු ගෙවීමකට එකතු වෙනවා. මේ හැඟුම්බර වීමට හෝ ජනතාව නොමඟ යැවීමට අවස්ථාව නොවෙයි. ජනතාව දැනුවත් කළ යුතුයි.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ (සජබ) – ආර්ථිකය සංකෝචනය වන බව ආණ්ඩුවම කියනවා. එවැනි ආර්ථිකයකට බදු පැනවීමෙන් අපේක්‍ෂිත ආදායමත් ගන්න බැහැ.
ආදායම් බදු ගෙවපු අයගෙන් වසර තුනකට වඩා පැරණි කෝටි ගණන් වටින චෙක් අගරු වෙලා. ඒවා අය කරගත යුතුයි. මේවාට මැදිහත් වෙන්න. බදුදාලා හරියට එකතු කරගෙන නෑ. සමාජ ආරක්‍ෂණ බද්ද පිරිවැටුපෙන් ගන්නේ. එය ලාභාංශ මත තව සියයට 30 ක බද්දකුත් ගෙවිය යුතුයි. එහෙම වුණාම අපනයනකරුවා අනාථයි. විදුලි බිලත් ඒ සමගම වැඩි කළා. යළිත් වැඩි කරන්න යනවා. හිතලු මත බිල වැඩිකළාම ව්‍යාපාරිකයන්ට එය දරාගන්න බැහැ. අපි විදුලි බිල වැඩි කිරීමට තරයේ විරුද්ධයි.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ (ශ්‍රිලපොපෙ) – අද පරිසරය වගේම රටේ සිස්ටම් එකත් දූෂණය වෙලා.
ආදායම් බදු දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් ආරක්ෂා කරනවා නම් අපි අවධානයෙන් ඉන්නේ. එය සාපරාධී ක්‍රියාවක්. අහිංසක මිනිස්සු පීඩාවට පත්කර වැඩක් නෑ. මහා පරිමාණ බදු වංචාකරුවන්ට එරෙහිව ක්‍රියා කරන්න. නිලධාරීන් එවැනි දේ කරන්නේ නෑ.
බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩිලාන් පෙරේරා – අද හැම බිලක්ම ඉහළ ගිහින්. පාරිභෝගික භාණ්ඩ මිල ඉහළයි. මාසිකව පඩිගන්න බහුතර වෘත්තිකයෝ ඉතා අසරණයි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අසරණයි. මේ බදු ක්‍රමය වෙනස් කරන්න. බදු නොගෙවන අයගෙන් බදු අයකර ගන්න. මේ බදු ක්‍රමය ගෙනාවොත් සුළු හා මධ්‍ය කර්මාන්ත කරුවන් ව්‍යාපාර වසා දමාවි.
ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම (සජබ) – වක්‍ර බදු තුළින් රාජ්‍ය ආදායම වැඩි කරන්න යෑම තුළින් ජනතාව තවත් අසරණ වෙනවා. විදුලිබල මණ්ඩලයට ඉන්ධන ගන්න විටත් බදු ගහනවා. ජනතාවගේ බිලෙනුත් බදු ගන්නවා. කිසිම සාධාරණයක් නෑ. බදු හෝ මිල වැඩි කරන්න ජනතාව තුළ බයක් ඇති කරනවා.
මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ –
තවදුරටත් නිලධාරීන්ගේ වැරදි බේගල්වලට හසු වෙනවාද කියා සිතා බැලිය යුතුයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ වැරදි නිසයි මේ ප්‍රශ්නය ඇති වුණේ. රේගුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුවේ පරිපාලනය ඉතා දුර්වලයි. අපි අපේම වූ ස්ථිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවාද නැතිනම් නිලධාරීන් අටවන උගුල්වල තවදුරටත් වැටී රට ප්‍රපාතයට ගෙනයනවාද කියා තීරණය කළ යුතුයි. මෙතෙක් වූයේ නිලධාරීන් කියන දේ කරන්න ගිහින් අමාරුවේ වැටීමයි.
රුපියල් බිලියන 08 ක් වැයකර තොරතුරු ලබා ගැනීමට ආදායම් දෙපාර්තමේන්තුවේ ඇති කළ පද්ධතිය අදටත් අසාර්ථකයි. මේ ක්‍රියාවලිය පිටුපස කුමන්ත්‍රණයක් තියෙනවා. අවුරුදු 10 ක් යනතුරු මේ පද්ධතියෙන් වැඩක් ගන්න බැරි වෙලා. මොරටුව විශ්වවිද්‍යාලයට දුන්නා නම් විශාල සේවයක් කරගන්න තිබුණා. මේ කුමන්ත්‍රණය පිටුපස ප්‍රබල ව්‍යාපාරිකයෙක් ඉන්න බව වාර්තා වෙනවා.
ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ) – ගෝඨාභය රාජපක්‍ෂ එදා බද්ද අඩු කරලා ආදායම නැති කරගත්තා. දැන් ජනතාවට දරාගන්න බැරි වෙලාවේ බදු ගහලා ආදායම උපයා ගන්න හදනවා. මේ ආර්ථිකය විනාශ කරපු අය අද පොත් ලියමින් ඉන්නවා. ජනතාව මුලාවේ දානවා. මේ බදු නිසා අපේ කුඩා ව්‍යාපාරිකයා සහ ව්‍යවාසකයන් මාරාන්තිකව කඩා වැටෙනවා. බදුපිට බදු හඳුන්වා දෙනවා. ආර්ථිකය මුළුමනින්ම හකුලන්නයි මේ යන්නේ. වැරදි ආර්ථික ප්‍රතිපත්ති හා තීන්දු නිසා තව තවත් ජනතාව අර්බුදයට යනවා. ආර්ථිකය විනශයට යනවා. කල්බදු ප්‍රතිශතය එකට එකක් වැඩි වෙලා. සංචාරක කර්මාන්තය විනාශයි. ඔවුන් ගත් ණය හා පුද්ගල ණය ගෙවා ගන්න බැහැ.
පනත් කෙටුම්පත සම්මත විය.
පාර්ලිමේන්තුව ලබන 13 වැනිදා පෙරවරු 9.30 ට
යළි රැස්වීමට නියමිතය.
රනිල් ධර්මසේන සහ අකිත පෙරේරා