2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය ටෙහානි, අනීකා සහ මිල්කාගේ පදක්කම් සිහිනය බොඳවෙයි

253

සමාරම්භක උත්සවයෙන් අනතුරුව ක‍්‍රියාත්මක කෙරුණු 32 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි පළමු දිනය වූ සෙනසුරාදා (24 දා) තරග බිමට පිවිසි ශ‍්‍රී ලංකාවේ ටෙහානී එගොඩවෙල (වායු රයිෆල්), නිලූක කරුණාරත්න (බැඞ්මින්ටන්) සහ අනීකා ගපූර් (පිහිණුම්) යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අපේක්ෂිත දක්ෂතා ප‍්‍රදර්ශනය කිරීමට නොහැකි විය.

කාන්තා මීටර් 10 වායු රයිෆල් තරගයට මුලින්ම ඉදිරිපත් වූ ටෙහානී එගොඩවෙලට එහි 49 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු වූයේ තවත් එක් තරගකාරියකට පමණක් ඉදිරියෙන් පසු වෙමිනි. තරග වට 06 කට ඉදිරිපත් වෙමින් තම වායු රයිෆලය ක‍්‍රියාත්මක කළ ටෙහානී එගොඩවෙලට එහිදී රැුස්කර ගැනීමට හැකි වූ ලකුණු ප‍්‍රමාණය 611.5 කි.

Olimpic2එහි රන් පදක්කම චීනය නියෝජනය කළ 21 හැවිරිදි ක්ඈන් යාංග් විසින් හිමිකර ගත්තා ය. මූලික වටයේදී 06 වන ස්ථානයෙන් සෑහීමට පත්වෙමින් අවසන් වටයට සුදුසුකම් ලැබූ ඇය එහිදී රන් පදක්කම ගෙල පැළඳ ගැනීම දක්වා තම දක්ෂතා ඉස්මතු කර ගැනීමට සමත්වීම කැපී පෙනුණි.

මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල යටතේ ප‍්‍රදානය කෙරුණු කුළුඳුල් රන් පදක්කම ද එය විය.

පිරිමි බැඞ්මින්ටන් කේවල අංශය යටතේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 10 වැනි ස්ථානයේ පසුවන චීන තායිපේ ක‍්‍රීඩක ටිෂූ වෙයි වෑංග් සමග සටන් වැදුණු නිලූක කරුණාරත්නට තරග වට 02 – 00 ක පරාජයක අමිහිර අත්විඳින්නට සිදු විය.

පළමු වටයේදී ලකුණු 21- 12 ක් ලෙස ද දෙවන වටයේදී ලකුණු 25 – 15 ක් ලෙස ද සෙන්ටී මීටර් 167 ක් උස 26 හැවිරිදි චීන තායිපේ ක‍්‍රීඩකයා හමුවේ පරාජය ලැබීමට නිලූක කරුණාරත්නට ඒ අනුව සිදුවිය.

තමන් සහභාගි වූ මීටර් 100 සමනළ ආර මූලික වටයේ තරගයේදී දෙවැන්නිය ලෙස තරගය අවසන් කළ ද එය අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට තරම් ප‍්‍රමාණවත් තරග නිමි කාලයක් නොවීම හේතුවෙන් පිහිනුම් ක‍්‍රීඩිකා අනීකා ගපූර් හටද තරගයෙන් ඉවත්වීමට සිදුවිය.

17 හැවිරිදි අනීකා ගෆූර් තම ඉසව්ව අවසන් කිරීම සඳහා ගත කළ කාලය මිනිත්තු 1.05.33 කි. එම දක්ෂතාවය සමස්ථ තරගයේ 39 වැන්නිය ලෙස ඇය ශ්‍රේණිගත කර තිබුණි.

මේ අතරවාරේ ඊයේ (25) දිනයේ ජිම්නාස්ටික් තරගයට ඉදිරිපත් වූ මිල්කා ගිහානි ද සිල්වා ක‍්‍රීඩිකාවට එහි දෙවන වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තරම් ප‍්‍රමාණවත් දක්ෂතා ප‍්‍රදර්ශනය කිරීමට නොහැකි විය. කාණ්ඩ පහක් යටතේ මෙම තරගය පැවැත්වුණු. එහිදී පළමු ක‍්‍රීඩිකාවන් 24 දෙනා අතරට පැමිණීමට අපොහොසත් වූ හෙයින් තරගයෙන් ඉවත්වීමට ඇයට සිදු වූයේ ඔලිම්පික් වැනි ක‍්‍රීඩා උලෙළකට තවත් අත්දැකීම් අත්‍යවශ්‍ය බව පසක් කරමිනි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

Olimpic1

ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ‍්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ‍්‍රමනියම්, එහි ලේකම් මැක්ස්වෙල් ද සිල්වා හා ශ‍්‍රී ලංකා කණ්ඩායම් ප‍්‍රධානී ගාමිණී ජයසිංහ යන මහත්වරුන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා එක්ව සිටි අවස්ථාවක් ඡුායාරූපයෙන් දැක්වේ.
 

advertistmentadvertistment
advertistmentadvertistment