2022 අපේ‍්‍රල් වන විට කෙටිකාලීනව – විදේශ විනිමය අර්බූදය විසඳගන්න පුළුවන්

551

* ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර

දීර්ඝ කාලයක් මුදල් ලේකම්වරයා ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මේ රටේ සමස්ත ආර්ථික කළමනාකරණයේ පුළුල් භූමිකාවක් නියෝජනය කළ ප‍්‍රමුඛතම විද්වතෙකි. මේ නිසා විනිමය අර්බුදය සහ 2022 අයවැය ගැන ඔහු දක්වන අදහස් ද ඉතා වැදගත්ය. මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගෙන් ‘දිවයින’ ඇසූ ප‍්‍රශ්නවලට ඒ මහතා ලබා දුන් පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය – අපේ විදෙස් ණය පියවීමේ අභියෝගය ජය ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතිය යුතු බවටත් ඇතැම් අය යෝජනා ඉදිරිපත් කරනවා. එහෙත් රජය ඒ සඳහා සූදානමක් ඇති බවක් පේන්නේ නැහැ. ඔබ විශ්වාස කරන පරිදි අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයා මේ ප‍්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන් ද?

පිළිතුර – මේ තත්ත්වය තුළ අපේ විදේශ ආදායම් හදා ගන්න එක තමයි ප‍්‍රධාන කාරණය. ඒ මාර්ගවලින් අපි ශක්තිමත් වෙන්න ඕන. දැන් අපි මේ පාරට හැරෙනවා ද එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් මේ ප‍්‍රශ්නය විසඳනවා ද කියන එක ගැන මගේ පුද්ගලික අදහස එම අරමුදල අපේ ණය ගන්නේ නෑනේ. මෙතන තියෙන අර්බුදය තමයි විදේශ රටවලින් ගත්ත ණය ගෙවන එක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිත් අපේ ණය ගන්නේ නෑ. ඒගොල්ලත් අපට ණයක් දෙනවා.

එනම් මූල්‍ය අරමුදලට ගියොත් ඒ අයත් අපට යම් මූල්‍ය පහසුකමක් දෙනවා. ඒ දෙන්නේ වසර දෙකකට හරි තුනකට කියල මුදලක් දෙනවා. ඒක කොටස් වශයෙන් බෙදෙන්නේ. ඒ මුදල දීල ඒ අය අහනවා මේ ණය මුදල ඔබල අපිට ගෙවන්නේ කොහොම ද කියල. ඒකයි පළවෙනි ප‍්‍රශ්නය. හරි ද? එතකොට ඒ අය තව දේවල් කියනව. වැට් බද්ද වැඩි කරන්න ඕන, එහෙම නැත්නම් සුබසාධන වියදම් කපා හැරීම, මේ ප‍්‍රාග්ධන වියදම් අඩු කරන්න පුළුවන්, තෙල් මිල ලෝක මිල ගණන් අනුව තීරණය කරන්න ඕන යනාදී වශයෙන් කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පොලී අනුපාත වැඩියි කියයි.

2022 අපේ‍්‍රල් වන විට කෙටිකාලීනව - විදේශ විනිමය අර්බූදය විසඳගන්න පුළුවන්



ඒක ඒ අයගේ පැත්තෙන් හරි. ඒ අය දෙන මුදල කොයිතරම් විශ්වාසනීය ලෙස ආපසු අය කර ගැනීමට පුළුවන් ද බලනවා. ඒ ක‍්‍රියාවලිය තුළ රටක් පාලනය කරන විට තියෙන්න ඕන ආර්ථික කළමනාකරණයට නම්‍යතාවක්. මොකද සමහර දේවල් ජනයාට දරාගත හැකි වෙලාවක් තියෙනවා. රජයක් මැදිහත් විය ය දේවල් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා පිළිඅරගෙන තියෙනවා, මේ කොවිඞ් තත්ත්වය තුළ ලෝකයේ මූල්‍ය ප‍්‍රතිපත්තිවල සහ මූල්‍ය සම්පත්වල ප‍්‍රමාණවත් බවක් නැතිකම. දැන් මේ ළඟදිත් මූල්‍ය අරමුදල යෝජනාවක් කරලා තියෙනවා මේ කොවිඞ්වලින් පසුබෑමට ලක් වූ දියුණුවෙන සහ මැදි ආදායම් රටවලට ට‍්‍රස්ට් ෆන්ඞ් එකක් හදන්න. ඒ වගේ තත්ත්වයක් තුළ මේ මූල්‍ය අරමුදල මේ සියල්ලට විසඳුම් කාරකය ලෙස සිතනවාට වඩා මම මේ අයවැය තුළ දකින්නේ මුදල් ඇමැති ලෙස ඇමැතිතුමා ආත්ම විශ්වාසයක් ඇති කර ගන්නවා ‘නෑ එතනට යන තැනට අර්බුදයක් නැහැ’ කියලා. හැබැයි එතනට යෑම වැළැක්වෙන පරිවර්තනයක් රටේ සිද්ධ විය යුතුයි. මම ඒක තමයි වැඩියෙම අගය කරන්නේ. මොකද අපි ඒ කාලය තුළ අපනයනකරුවා පුළුවන් තරම් දිරි ගන්වා ගන්න ඕන. විදේශ විනිමය පේ‍්‍රෂණ දිරි ගන්වා ගන්න ඕන. ඒ අය මේ රටට සල්ලි ගේන්නේ නැත්නම් ඒවා හංගාගෙන ඉන්න බලපාන හේතුකාරක අඩු කරන්න ඕන. රේගුවෙන් අපනයනකරුවන්ට, ආනයනකරුවන්ට හිරිහැරයක් වෙනව නම්, එතන වංචාවක් කෙරෙනවා නම්, ඒ අය රස්තියාදු කරනවා නම් ඒවා වළක්වන්න ඕන. හැබැයි අන්න ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වඩා අභියෝගාත්මකයි. සමහර විට රේගුව ලෑස්ති නැහැ අපනයනකරුවට නිදහසේ අපනයනය කරන්න දෙන්න. එහෙම නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලෑස්ති නැහැ බදු ගෙවන කෙනාට පහසුකම් සලසන්නෙක් ලෙස කටයුතු කරන්න. ඒ දෙපාර්තමේන්තුව බදු ගෙවන්නාට හිරිහැර කරන අයෙක් වුවොත් බදු ගෙවන්න අනුකූල වෙන්නේ නැහැ. දැන් නීතිය ක‍්‍රියාත්මක කරන පොලිසියට, මෝටර් ට‍්‍රැෆික් දෙපාර්තමේන්තුවට ඊගාවට නිලධාරීන්ට පුරවැසියන් හැටියට අපේක්ෂිත පහසුකම් නොලැබෙන විට අපේ ක‍්‍රියාකාරකම් අඩු වෙනවා. එතකොට මුදල් ඇමැතිතුමාගේ මේ අයවැයේ පණිවිඩය තමයි පුද්ගලික අංශය මේ වැඩ කරයි. පුද්ගලික අංශය කියන්නේ ගෘහ ආර්ථිකය, ඊට පස්සේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ, අපනයනකරුවන්, ආනයන ආදේශ කරන්නන්, පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය කරන්නන්, ජල විදුලිය හදන අය වැනි අයට තියෙන බාධා පුළුවන් තරම් ඉවත් කරන්න එපැයි. මෙසේ විදේශ විනිමය ආදායම් මාර්ග වර්ධනය කර ගැනීම සහ ඊට ඇති බාධා වළක්වා ගත යුතුයි

දැන් බලන්න මාස එකහමාරක් වහිනවා. මේ වැස්සෙන් මම හැමදාම කියන කාරණය ගොවිතැනට, බොන්න ඕනෑවටත් වතුර ලැබෙනවා. ජලවිදුලි බලය හදා ගන්නත් පුළුවන්. ඒ සියල්ලටම අමතරව කොතරම් වතුර අපතේ යනවා ද? මේ ජලය සංරක්ෂණය කරලා හයිඞ්රෝ, මිනි හයිඞ්රො වැඩසටහන්, පුනර්ජනනීය බලශක්තිය පුළුවන් තරම් දිරි ගන්වන්න ඕන. ජනාධිපතිතුමා හැමවෙලේම කියන්නේ අපේ රටේ සාපේක්ෂ වාසිය තියෙන්නේ හිරු එළිය, හැමදාම වගේ තියෙන යහපත් කාලගුණික තත්ත්වයයි වාතයයි. එතකොට මේ භූමිය තුළ තියෙන ඒ ස්වාභාවික සම්පත් පරිහරණය කර ගැනීමට රාජ්‍ය නිලධාරීන් හැටියට විශාල කාර්යභාරයක් කරන්න ඕන.

ප‍්‍රශ්නය – ඔබ සඳහන් කරන පරිදි ඩොලර් ප‍්‍රශ්නයට විසඳුම් ලැබෙන දිගුකාලීන පරිවර්තන ලක්ෂණ මේ අයවැයේ අපට දක්නට තිබෙනවා. තෙල් ආර්ථිකයෙන් මිදිලා පුනර්ජනනීය බලශක්තීන් පැත්තට යන එක එහෙම. හැබැයි කෙටිකාලයේ දී අපිට වෙලාවට විදෙස් ණය වාරික ගෙවන්න ඕන.?

පිළිතුර – දැන් හොඳට බැලූවොත් කොයිම වෙලාවකවත් ණය වාරික ගෙවල නැහැ ණයක් ගන්නේ නැතුව. උදාහරණයක් හැටියට දැන් ඔය ස්වෛරී බැඳුම්කරවලින් ණය ගැනීම පටන් ගත්තේ 2010 ඉඳන් වගේ නේ. 2014 වන විට බිලියන 7ක් නැත්නම් 8 ක් අරන් තිබුණ. ඊට පසු 2019 වන විට මූල්‍ය අරමුදලෙනුත් ණය අරගෙන, හම්බන්තොට වරායත් විකුණලා ඒ සල්ලිත් අරගෙන. ඊට පසුව ස්වෛරී බැඳුම්කරත් නිකුත් කර, ස්වෛරී බැඳුම්කරවල ණය ප‍්‍රමාණය ඩොලර් බිලියන 15 වෙලා තිබුණ. හැබැයි ඒ හැම ණය මුදලක්ම ගෙවල තියෙන්නේ තවත් ණයක් නිකුත් කරලා. පරීක්ෂා කරලා බලන්න. ඒ ණය ගන්න විට තවත් අතිරේක ගාණකුත් ගන්නවා වියදම්වලට. හැබැයි පසුගිය වසර දෙක හොඳට බැලූවොත් අපි ඒ ණය ගෙවල තියෙන්නේ ණයක් නිකුත් කරලා නෙවෙයි. ඒ අර ඉතුරු කරගත්ත දේවල්වලින්. හැම අවුරුද්දකම තියෙනවා ස්වෛරී බැඳුම්කරවලට ඩොලර් මිලියන 1500 ක් විතර ගෙවන්න. එතකොට 2021 එහෙම අපි ගෙවල තියෙනවා ඩොලර් මිලියන 2000ක්. එනම් ඩොලර් බිලියන දෙකක්. මේ ජනාධිපතිතුමා එන විට ස්වෛරී බැඳුම්කරවලට ගෙවන්න තිබුණේ ඩොලර් බිලියන 15 යි. දැන් ඒක බිලියන 13 යි. එතකොට දැන් ජනවාරි මාසේ ගෙවන්න තියෙනවා අපට ඩොලර් මිලියන 500 ක්. ජුලි මාසේ තවත් ප‍්‍රමාණයක් තියෙනවා. මෙහෙම ගෙවාගෙන ගියාම විදේශ ණය ගෙවීමේ පීඩනය අඩු වෙන අතර ඒ කාලය තුළ අපි බලන්න ඕන ඇයි අපට බැරි අපනයනවලින් ඩොලර් මිලියන 200 ක් විතර වැඩි කරගන්න. ආනයන වියදම ටිකක් අඩු කරගන්න, විදේශ රැුකියාවලට යන අයට පුළුවන් තරම් පහසුකම් දීලා ඩොලර් ආදායම වැඩි කරගන්න.

ප‍්‍රශ්නය – අන්න ඒ ඔබතුමා කියන ඉලක්ක ටික සාර්ථක වීමන් දිගුකාලීන විසඳුමක් තියෙනවා. එහෙත් මම අසන්නේ කෙටිකාලීනව අපට විසඳුමක් තියෙනවා ද?

පිළිතුර – දැන් බලන්න කොවිඞ් එක ආවහම අපි රට වැහුව. අපිටත් අද්දැකීමක් නෑ. ලෝකෙටත් අද්දැකීමක් නෑ. එන්නතක් තිබුණෙත් නෑ. අපනයනය කඩා වැටුණා. ආනයනය කඩා වැටුණ. ජාතික ආර්ථිකය කෘෂිකාර්මික වශයෙන් තිබුණ දෙයක් හැරුණම වෙනත් දෙයක් නැහැ. ඊට පසුව 2021 මුල් කාර්තුවේ දෙවන රැුල්ලක් ආවා. ඒ සඳහා විවිධ ක‍්‍රියාමාර්ග අනුගමනය කළා. කොහොමහරි අපි අපනයනය පණ ගන්වා ගත්තා. දැන් බලන්න අවුරුද්දක් නෑනේ. ඇත්තටම කියනව නම් මාසෙට ඩොලර් මිලියන 300 ට වැටුණු අපනයනය බිලියනයටම ගත්තා. දැන් මේ අවුරුද්දට අපි අපනයනය ඉලක්ක කරගෙන තියෙන්නේ ඩොලර් මිලියන 11ල900 යි. දැන් මට ලැබුණු තොරතුරු අනුව නොවැම්බර් මාසේ දක්වා අපනයනය ඩොලර් මිලියන 11ල285 ක්. දෙසැම්බර මාසේ අපනයනත් එකතු වුණාම මම හිතනවා අපනයන අගය ඩොලර් මිලියන 12000 ඉක්මවනවා. දැන් මේ අපනයනය වැඩි කරගත්ත එක අපේ විදේශ විනිමය අර්බුදයට විසදුමක්. අපනයන වැඩි වෙනවිට ඒ හා සමාන ආර්ථික ක‍්‍රියාකාරකම් ප‍්‍රමාණයක් තියෙනවා.

විදේශ රැුකියා බොහොම ඉක්මනට මුදල් ලැබෙන මාර්ගයක්. කොවිඞ් වසංගතයක් එක්ක අපට සිදු වුණා පිටරටවල හිටපු අය ගේන්න. යන අය නවත්තන්න. ඒ නිසා මේ වසර මැද වෙන විට විදේශ විනිමය පේ‍්‍රෂණ ලැබීම අඩු වුණා. දැන් නොවැම්බර් වෙන විට ආපසු ලක්ෂයකට ආසන්න පිරිසක් යවනවා. මෙහෙට එන පිරිස අඩු වෙලා. මේ ක‍්‍රියාවලිය තුළ ඉදිරි මාස දෙක තුනේ දී මේ අඩු වීම අනිත් පැත්ත හැරෙනවා. එතකොට ඩොලර් මිලියන හත්අට දහසක විදේශ විනිමය ඉපයුම් අපට ලබා ගන්න පුළුවන්. ඒ අයට තියෙන සීමාවල්, බාධා ඉවත් වෙන්න ඕන. ඒ සඳහා වන ආයතන මහන්සි වෙන්න ඕන. හැම අඩුපාඩුවම නිවැරදි කරන්න ගියොත් අපට මේ අර්බුදය විසඳගන්න බෑ. ඒ විදේශ රැුකියාවලට යවන රැුකියා ඒජන්සිවලට උදව් කිරීම, පහසුකම් සපයන්නෙක් වීම මම දකිනවා මේ විදේශ විනිමය අර්බුදයට කෙටිකාලීන විසඳුමක්. මොක ද මම දන්නා තරමින් කිසිම ආයෝජකයෙක් කියල නැහැ ආයෝජන එන්නේ නැත්තේ ලංකාවේ අයිඑම්එෆ් එක නැති නිසා කියල. ආයෝජකයන්ට තියෙන ප‍්‍රශ්නේ ඉඩමක් ගන්න බෑ. අනුමැතියක් ගන්න බෑ. එහෙම නැත්නම් ඒක කල් යනවා. ඒවා කරන්න ගියාම එක එක්කෙනා මුදල් ඉල්ලනවා. මේ දේවල් නිසා තමයි ආයෝජනය ප‍්‍රමාද. දැන් වරායේ ආයෝජනයට ආයෝජකයෙක් ආවනේ. පුනර්ජනනීය බලශක්ති වසරකින් ඇති කරගන්න පුළුවන් තැන් තියෙනවා. මේක මේ වසර දහයක් යන වැඩක් නෙවෙයි. මුදල් ඇමැතිතුමා මේ අයවැයෙන් ඉදිරිපත් කරලා තියෙන පරිවර්තනය 2025 හෝ 2027 ට නෙවෙයි ඉදිරි වසර එකහමාර තුළ ඇති විය හැකි පරිවර්තනයක්. ඒ වගේම ජාත්‍යන්තර බැඳුම්කරවල ආයෝජනය කරපු

අයගෙන් කොටසක් ආපහු ආයෝජනය කරනවා. ඒ උඩ මගේ ඉලක්කය තියෙන්නේ 2022 දී මේ බැඳුම්කරවල දැනට තියෙන මිලියන 13ල000 ක ප‍්‍රමාණය මිලියන 11ල500 වෙන්න ඕන. මේවායේ රටට ඔරොත්තු දෙන ප‍්‍රමාණය ඩොලර් බිලියන 9ක් 10 ක්. මේ වසර දෙකේ පවත්වාගෙන ආපු ඉතාම වැදගත් වගකීමක් ඉටු කිරීම තමයි අපි ණය පැහැර හරින්නේ නැහැ කියන එක. මහ බැංකුවේ අධිපතිතුමත් ඒ වෙනුවෙන් විශාල පරිශ‍්‍රමයක් දරනවා. මුදල් ඇමැතිතුමා සිය මිත‍්‍ර රටවල් සමග කටයුතු කරනවා. දැන් තෙල් ණය පහසුකමක් අපේක්ෂා කරනවා ඉන්දියාවෙන්. වසංගතයෙන් ලෝකය ගොඩ නැගීමත් එක්ක තෙල් මිල ඉහළ ගියා ඩොලර් 85 දක්වා. හැබැයි නව ඔමික්‍රෝන් ප‍්‍රභේදය එක්ක නැවත ලෝක වෙළෙඳපොළ කඩා වැටුණා. දැන් ගනුදෙනු වෙන තෙල් මිල ඩොලර් 70 ගණනක්. ඩොලර් 15 ක් අඩුයි. මේ නිසා අපි තෙල් වියදම් කළමනාකරණය කරගත්තොත්, වර්ෂාවත් සමග ජලය හරියට කළමනාකරණය කරගත්තොත්, ආහාර නිෂ්පාදනය වැඩි කරගත්තොත් මම විශ්වාස කරන හැටියට නම් අපට 2022 මාර්තු, අපේ‍්‍රල් වන විට කෙටිකාලීන විදියට මේ විදේශ විනිමය ගැටලූව විසඳගන්න පුළුවන්. ඒක පීඩාකාරී වැඩක්. මොකද අපි ගාව සංචිත තියෙන්නේ අවම ප‍්‍රමාණයක්. එහෙත් කෙටිකාලීන වශයෙන් මහ බැංකුවලින් විනිමය පහසුකම් ලෑස්ති කරගන්න කටයුතු කරගෙන යනවා. ඒවා තමයි කෙටිකාලීන විසඳුම්.

සාකච්ඡා කළේ –  ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment