2022 ආර්ථික අභියෝග ජය ගත හැකිද?

134

2022 ණය ගෙවීමේ අභියෝගය

 කොරෝනා වසංගතය සමග අප දැන් ඉතා දුෂ්කර වසර දෙකක් (2020 සහ 2021) පසුකර ඇත්තෙමු. ආර්ථිකය තිබෙන වත්මන් වාතාවරණය අනුව මේ වසර (2022) එතරම් පහසු වසරක් නොවේ. මේ වසර ද ඉතා දුෂ්කර සහ අභියෝගාත්මක වසරකි. එයට ප‍්‍රධාන හේතුව කොවිඞ් වසංගත තත්ත්වය තවමත් අවසන් නොවී පැවතීම නොව අප මුහුණ දී සිටින උග‍්‍ර විදේශ විනිමය අර්බුදයයි. අපට ඩොලර් හිඟයක් තිබෙන අතර විශාල විදේශ ණය වගකීමක් පියවීමට තිබේ. එනම් මේ වසරේ අපට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර කල්පිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් ද ඇතුළුව ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9 ක පමණ විශාල ණය ප‍්‍රමාණයක් ගෙවීමට තිබේ. අපට තිබෙන අඩු විදේශ සංචිත තත්ත්වය සහ සීමිත විදේශ විනිමය ලැබීම් හමුවේ මෙය ඉතා අභියෝගාත්මකය. එහෙත් මේ අභියෝගය ජය ගැනීමට හැකි බවත් මේ ණය ප‍්‍රමාණය මේ වසරේ (2022) ගෙවීමට හැකි බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (12) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවේ දී සහතික විය.

 ආර්ථිකය පණ නංවා ගැනීම

 තවමත් කොවිඞ් වසංගතය අවසන්ව නැත. එහෙත් රජය දියත් කළ සාර්ථක එන්නත්කරණය සමග සැලකිය යුතු දුරකට දිනපතා වාර්තා වන ආසාදිතයන් ප‍්‍රමාණය සහ මරණ ප‍්‍රමාණය අඩු කර ගැනීමට අප සමත්ව ඇත. ඒ නිසා දැන් අවශ්‍ය කරන්නේ මහජනතාව සෞඛ්‍ය උපදෙස්වලට අනුව ආරක්ෂිතව දිගටම කටයුතු කිරීමයි. එසේ කටයුතු කරමින් නව සාමාන්‍ය තත්ත්වය යටතේ ආර්ථික කටයුතු හැකිතාක් වේගයෙන් පණ ගන්වා ගැනීමට කටයුතු කිරීමයි. මෙහිදී වසංගත තත්ත්වය නැවත හිස එසවීමට ඉඩ නොදීම ඉතාමත්ම ප‍්‍රමුඛ අවශ්‍යතාවකි. අපේ මේ වසරේ ආර්ථික අපේක්ෂා එයාකාරයෙන් ඉටු කර ගැනීමට නම් නැවත රට වසා දැමීමට සිදු නොවන පරිදි ආරක්ෂිතව කටයුතු කළ යුතු වේ. 2021 වසරේ අපේ‍්‍රල් මස පුරෝකථනය අනුව මේ වසරේ (2022) සියයට 5.2 ක ආර්ථික වර්ධනයක් ලබාගත හැකිවනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි. එසේම ඊයේ මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ප‍්‍රකාශ කළේ 2022 දී සියයට 5.5 ක පමණ ආර්ථික වර්ධනයක් ලබාගත හැකි වනු ඇති බවයි. ඒ සමගම අප විසින් සංචාරක කර්මාන්තය සහ අපනයන ආදායම වැනි විදෙස් මුදල් උපයන ආර්ථික කටයුතු තවත් වේගයෙන් වර්ධනය කරගතහොත් අප මුහුණ දෙන විනිමය අර්බුදයටත් සහනයක් වනු ඇත.

2022 ආර්ථික අභියෝග ජය ගත හැකිද?


වේගයෙන් ඉහළ යන උද්ධමනය

 බඩු මිල වේගයෙන් වැඩි වෙමින් උද්ධමනය ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් බවට පත්වී ඇත. කොළඹ  පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය දෙසැම්බර් මස උද්ධමනය සියයට 12.1 ක් විය. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ද උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේ දී සියයට 11.1 ක් දක්වා ඉහළ ගියේය. එය මහ බැංකුව අපේක්ෂා කළ පරිදි තවදුරටත් තනි ඉලක්කමක් නොවේ. විශේෂයෙන් ආහාර උද්ධමනය විශාල ලෙස වැඩි වී ඇත. පසුගිය දෙසැම්බර් මස වාර්තා වූ ආහාර උද්ධමනය සියයට 22.1 කි. මේ අනුව පැහැදිලි වන්නේ පොදුවේ උද්ධමන වේගයට වඩා දෙගුණයක් වේගයකින් ආහාර මිල ගණන් වැඩි වෙමින් ඇති බවයි. ආණ්ඩුවේ අදූරදර්ශී ප‍්‍රතිපත්ති නිසා ඇති වූ පොහොර ප‍්‍රශ්නය නිසා අපේ රටේ කෘෂි නිෂ්පාදනයට විශාල හානියක් සිදුව ඇත. දැනටමත් රටේ එළවළු හිඟයක් ඇත. මේ නිසා වනුයේ එළවළු මිල ගණන් තවත් වේගයෙන් වැඩි වී ආහාර මිල ගණන් තවත් වැඩි වීමයි. වී වගාවට ද මේ තත්ත්වය බලපෑමෙන් හෙට දවසේ දී හාල් කිලෝවක මිල කීයක් දක්වා වැඩි වේද කියා සිතා ගැනීමටත් අපහසුය. එක රැුයෙන් ගැසට් ගසා ආණ්ඩුවකට රටක් කාබනික කෘෂිකර්මයට පරිවර්තනය කළ නොහැකිය. මේ රජයේ ඇතැමුන්ට එය නොතේරුණාට එය තේරුම් ගැනීමට සාමාන්‍ය බුද්ධියක් පමණක් තිබීම සෑහෙන බව අපගේ වැටහීමයි. ආණ්ඩුවේ බොහෝ දෙනෙක් කඩිනමින් කාබනික කෘෂිකර්මයට ගමන් කිරීම අසාර්ථක බව තේරුම් ගෙන සිටියත් එය ප‍්‍රසිද්ධියේ කතා කිරීමෙන් වැළකී නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව අපට රහසක් නොවේ. මේ පොහොර ප‍්‍රශ්නය නිසා හෙට දවසේ දී වනු ඇත්තේ වැඩි මිලටවත් එළවළු ටිකක් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීමයි.

 ආණ්ඩුවට වැරදුණු තැන්

 මධ්‍යස්ථව බලන්නේ නම් මේ වන විට ආණ්ඩුවට වැරදුණු තැන් බොහොමයකි. පොහොර ප‍්‍රශ්නය මෙන්ම අනිත් වැරදුණු තැන් ගැන ද ආණ්ඩුවේ බොහෝ දෙනෙක්ට වැටහීමක් තිබේ. මේ නිසා කොරෝනා වසංගතයට කිසිම සම්බන්ධයක් නැති අනවශ්‍ය ප‍්‍රශ්න රැුසක් මේ ආණ්ඩුව විසින් බලෙන්ම නිර්මාණය කරගෙන ඇති බව රහසක් නොවේ. එනම් බොහෝ වැඩ ආණ්ඩුව විසින් අනාගෙන තිබේ. මේ නිසා කොරෝනා වසංගතයේ පීඩාවන්ට අමතරව ආණ්ඩුවේ මේ වැරදුණු තැන් නිසා මේ රටේ ජනයා තවත් බලවත් පීඩනයකට පත්ව ඇත. මේ දිනවල වඩාත්ම කතාබහට ලක්වෙන ගෑස් ප‍්‍රශ්නය සහ පොහොර ප‍්‍රශ්නය වූ කලී තනිකරම ආණ්ඩුව සහ බලධාරීන් විසින් හදාගෙන ඇති ප‍්‍රශ්නයන් බව කිව යුතුය. ගෑස් පෝලිම්වල සිටින ජනයාට මාධ්‍යවේදීන් විසින් මයික් එකක් දිගු කළ විට ඔවුන් පවසන්නේ ‘දැන් නම් හරි සැපයි’ කියාය. මේ දිනවල බහුතර ජනයා සිටින්නේ හුදෙක් අසතුටෙන් පමණක් නොව කෝපයෙනි. මෙය ආණ්ඩුවේ බොහෝ අය දනී. කොරේ පිටට මරේ කියන්නාක් මෙන් තියෙන දහසකුත් එකක් ප‍්‍රශ්න මදිවාට විදුලි කැපිල්ලකුත් පටන් ගෙන තිබේ. ගෑස් හිඟය තවමත් අවසන්ව නැත. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් නිසි පියවර ගැනීමක් ද දකින්නට නැත. ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට වෙනත් වැඩ පසෙක දමා උදේ පාන්දර සිට පැය ගණන් පෝලිම්වල දුක් විඳීමට ජනයාට සිදුව ඇත. විශාල ගෑස් මිල වැඩි වීමකට පසුව වූයේ එම වැඩි මුදලටවත් ගෑස් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වීමයි. ඒ මදිවාට කිරිපිටි පෝලිම් ද තිබේ. පෝලිමේ ගිහින් මිලදී ගැනීමට පවා කිරිපිටි වෙළෙඳපොළ තුළ නැත. මේ සඳහා රටේ පවතින ඩොලර් හිඟය ද බලපා තිබේ.

 රන් සංචිත විකිණීම

 මේ දිනවල මහ බැංකුවේ රන් සංචිත පිළිබඳව කතා බහට ලක් වෙමින් තිබේ. එයට හේතු වී ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේ දී මේ රන් සංචිතය අඩකටත් වඩා වැඩි ප‍්‍රමාණයකින් අඩු වීම නිසාය. එනම් නොවැම්බර් අග දී පැවති රන් සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 382.2 සිට දෙසැම්බර් අග වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 175.4 දක්වා අඩු වී තිබේ. ඩොලර් හිඟය හමුවේ මේ රත්තරන් සංචිතයෙන් කොටසක් එනම් අමෙරිකානු ඩොලර් මිලියන 206.8 ක් පමණ අලෙවි කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. අපගේ විදේශ ණය ගෙවීමට ඒ සඳහා ද්‍රවශීල සංචිත අවශ්‍ය වේ. අපේ ගෙදරක වූවත් හදිසි මුදල් ප‍්‍රශ්නයක් ඇති වුවහොත් ගෙදර තිබෙන රත්තරන් බඩුවක් හෝ උකස් කර මුදල් ලබා ගැනීම සුලබ සිදු වීමකි. මෙලෙසම රට ද පත්ව ඇත්තේ විශාල ආර්ථික අර්බුදයකට ය. විශේෂයෙන්ම විදේශ මුදල් ප‍්‍රශ්නයකට ය. මහ බැංකුවට කලට වෙලාවට විදේශ ණය වගකීම් පියවීමට තිබේ. එසේ නම් විදේශ මුදල් හිඟයක් ඇති විට අපේ සංචිතයේ පවතින රත්තරන් තොගයෙන් කොටසක් විකුණා මුදල් බවට පත් කර ගත හැකිය. ඒ නිසා මේ මොහොතේ විදේශ මුදල් හිඟ නම් අපේ විදේශ ණය වගකීම් කලට වේලාවට පියවීමට එය කළ යුතුව ඇති දෙයක් බව මේ ලියුම්කරුගේ ද අදහසයි. එහි වරදක් නැත. එහෙත් අපේ විදේශ සංචිත තත්ත්වය කඩිනමින් සහ තිරසාර ලෙස වැඩි කර ගැනීමේ ක‍්‍රියාමාර්ග වහාම අනුගමනය කළ යුතු වේ. මේ අනුව ජනවාරි 18 දිනට ගෙවීමට තිබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය මුදල ගෙවීම ප‍්‍රශ්නයක් නොවේ. එහෙත් එසේ ණය පැහැර හැරීමක් සිදු නොවන පරිදි තිබෙන සීමිත විදේශ මුදල් ප‍්‍රමාණය එකතු කරගෙන ණය පියවීමට යොදා ගැනීමේ දී රටේ වෙනත් විදේශ මුදල් ගෙවීම් කිරීම සඳහා ඩොලර් හිඟ වීමෙන් රටේ ජනයාට ප‍්‍රශ්න රැුසකට මුහුණ දීමට සිදු වනු ඇත. වරායේ කන්ටේනර් සිර වීම, බඩු හිඟයන් මෙන්ම බඩු මිල දී ගැනීම සඳහා පෝලිම් ඇති වීම ද එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉදිරියටත් සිදු වීමට ඉඩ තිබේ.

 මහ බැංකුවේ ප‍්‍රතිචාරය

 රන් සංචිත විකිණීම ගැන පළව තිබූ මාධ්‍ය වාර්තාවලට මහ බැංකුව ද පිළිතුරක් ලබා දී තිබුණි. නිල සංචිත තත්ත්වයෙහි සංයුතිය පිළිබඳ පැහැදිලි කරමින් මහ බැංකුව මෙසේ පවසා තිබුණි.

 ‘මහ බැංකුවක ජාත්‍යන්තර සංචිත කළමනාකරණය යනු ගතික සහ තාක්ෂණික ක‍්‍රියාවලියක් වන අතර, එය සාමාන්‍යයෙන් සැලසුම් කර ඇත්තේ රටක විදේශ වත්කම් අවශ්‍ය විටෙක උපයෝගි කරගත හැකි බව සහ නිශ්චිත පරාසයක අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පාලනය කළ හැකි බව සහතික කිරීම සඳහා ය. ඒ අනුව, ආයෝජන උපකරණවල වත්කම් සංයුතිය, ව්‍යවහාර මුදල් මිශ‍්‍රණය, ද්‍රවශීලතා අවශ්‍යතා, කල් පිරීමේ කාලසීමාව, ලාභදායිත්වය, ආරක්ෂාව යනාදිය සම්බන්ධයෙන් උචිත සංචිත කළමනාකරණ ප‍්‍රතිපත්ති අනුගමනය කිරීම රටින් රටට වෙනස් විය හැකි අතර, එය රටෙහි විශේෂිත තත්ත්වයන් සහ ආර්ථික ප‍්‍රමුඛතා මත රඳා පවතී.

 සංචිත කළඹේ ද්‍රවශීලතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව මත පදනම්ව 2021 අවසන් වන විට මහ බැංකුවේ රන් සංචිතය ඩොලර් මිලියන 175 දක්වා අඩු විය හැකි වුවත්, ඉදිරියේදී විදේශ සංචිත කළඹේ සංයුතියෙහි වෙනස් වීමක් අවශ්‍ය වන මට්ටමක් දක්වා වර්ධනය වන විට, එහි රත‍්‍රන් ලෙස පවතින ප‍්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මහ බැංකුව සලකා බලනු ඇත.’

 බදු ආදායම අහිමි කර ගැනීම

 අප දකින පරිදි ආණ්ඩුව සිදු කරගත් තවත් බලවත් අඩුපාඩුවක් නම් රාජ්‍ය බදු ආදායමට සිදු කරගත් හානියයි. එනම් 2020 සිට ක‍්‍රියාත්මක කළ බදු යෝජනා කිහිපයක් නිසා 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ දී රු. බිලියන 600 ක බදු ආදායමක් අහිමිව ඇතැයි පෙරේදා (11) අප පුවත්පතට දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම් එච්. ඒ. එල්. උදයසිරි මහතා ප‍්‍රකාශ කර තිබුණි. ඔහු සඳහන් කරන්නේ 2021 වසරේ ද මේ නිසා සැලකිය යුතු බදු ආදායමක් අහිමි වී ඇති බවත් එහෙත් 2021 වසරට අදාළ සම්පූර්ණ සංඛ්‍යාලේඛන තවමත් ඉදිරිපත්ව නැති බවයි. වත්මන් රජය බලයට පත් වූ පසු ජාතිය ගොඩ නැගීමේ බද්ද අහෝසි කිරීම, ආර්ථික සේවා ගාස්තුව අහෝසි කිරීම, වැට් බද්ද සියයට 15 සිට සියයට 8 දක්වා අඩු කිරීම, වැට් බදු අය වන උපරිම ආදායම් සීමාව වැඩි කිරීම සහ පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව රු. ලක්ෂ 5 සිට රු. මිලියන 3 දක්වා වැඩි කිරීම යන බදු වෙනස්කම් මේ රාජ්‍ය බදු ආදායම විශාල වශයෙන් අඩු වීමට හේතු වූ බව ද උදයසිරි මහතා පෙන්වා දෙයි. බදු සරල කිරීම වෙනම දෙයකි. එහෙත් මෙලෙස කිසිවෙක්ගේ ඉල්ලීමක් හෝ නැතුව රජයට අය වෙමින් පවතින බදු ආදායම අහිමි කර ගැනීම තවත් දෙයකි. මේ නිසා රජයට බදු ගෙවිය හැකිව තිබූ අයගෙන් පවා බදු අහිමි විය. මෙසේ බදු අහිමි කර ගැනීම සහ පොහොර ප‍්‍රශ්නය වැනි රජයට වැරදුණු තැන් ගැන රජය විසින් මහජනතාව වෙනුවෙන් නැවත සලකා බලා අඩුපාඩු නිවැරදි කරගත යුතුව තිබේ. එය මේ නව වසරේ (2022) ආර්ථික අපේක්ෂා ජය ගැනීමට ද ඉවහල් වනු ඇත. එසේම විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පරිපාලනය කිරීමේ කටයුතු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර භාණ්ඩාගාරයේ විශේෂ ඒකකයක් යටතට පත් කිරීමට ගෙන ඇති තීරණයට ද දේශීය ආදායම් සේවා සංගමය සිය බලවත් විරෝධය මුදල් ඇමැතිවරයාට ප‍්‍රකාශ කරමින් සාකච්ඡුාවක් ඉල්ලා ඇත. ජනතාවට සහන ලබා දීමට ද රජයට ආර්ථික ශක්තියක් අවශ්‍ය වේ. එහිදී ආර්ථික කටයුතු පණ ගන්වා ගැනීමත් සමග රජයේ බදු ආදායම් වර්ධනය කර ගැනීම ද අවශ්‍ය වේ. ඒ ගැන ද රජය අවධානය යොමු කර නව වසරේ (2022) වැරදුණු තැන් නිවැරදි කරගනිමින් නව ගමනක් යන්නේ නම් එය පීඩාවට පත්ව සිටින ජනයාට ද විශාල සහනයක් වනු ඇත.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment