2022 ට එන්නේ ‘පරිවර්තන අයවැයක්’

413

ලබන අයවැයට ඇත්තේ තවත් හරියටම සතියක කාලයකි. ලබන වර්ෂය (2022) සදහා වන රාජ්‍ය අයවැය ලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 12 වැනිදාය.

2022 ට එන්නේ 'පරිවර්තන අයවැයක්'

බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා වීමෙන් පසු ඉදිරිපත් කරන පළමු අයවැය ලේඛනය මෙයයි. මේ අයවැය ලේඛනය ඉදිරිපත් වන්නේ කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ ජනයා වඩාත්ම අමාරුවෙන් සිටින අන් කවරදාටත් වඩා ඉතාමත් අභියෝගාත්මක වාතාවරණයක බව කිව යුතුය. කොවිඞ් නිසා නිදහසෙන් පසු විශාලතම ආර්ථික අවපාතය වාර්තා වූයේ ද ගිය වසරේය. ඒ අනුව ගිය වසරේ (2020) සියයට 3.6 කින් ආර්ථිකය පසුබෑමට ලක් විය. කොවිඞ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණ ඇතිව දේශීය සහ ගෝලීය වශයෙන් පැනවූ සංචරණ සීමා සහ අනෙකුත් ක‍්‍රියාමාර්ග හේතුවෙන් ආර්ථිකයේ සෑම අංශයකම මුර්ත ආර්ථික කටයුතුවලට බාධා එල්ල වූ බව 2020 මහ බැංකු වාර්ෂික වාර්තාවේ සඳහන් විය. මේ සමග 2009 වසරෙන් පසු ප‍්‍රථම වරට සේවා වියුක්තිය සියයට 5 ඉක්මවා ගියේය. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2019 වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් 3852 සිට 2020 දී ඇමෙරිකානු ඩොලර් 3682 දක්වා පහළ ගියේය. එසේම සමස්ත ආර්ථිකයේ ප‍්‍රමාණය 2019 වසරේ පැවති ඇමෙරිකානු ඩොලර් බිලියන 84 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 80.7 දක්වා පහළ ගියේය. මේ සියල්ලම අපි දනිමු. දැන් මේ වසරේ (2021) දී සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. එහෙත් ඒ වර්ධනය ලැබෙන්නේ පසුගිය වර්ෂයේ අඩු වූ නිෂ්පාදනය පදනමට සාපේක්ෂව බව ද කිව යුතුය.

රජයේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්තිය හැදුවේ ලෝකය කොවිඞ් – 19 වසංගතයට මුහුණ දීමට පෙරය. කොවිඞ් නිසා අපේ ආර්ථික තත්ත්වයන් මෙන්ම ලෝක ආර්ථික තත්ත්වයන් ද උඩු යටිකුරු විය. ඒ නිසා රජයේ එම ප‍්‍රතිපත්තිය ඒ අයුරින්ම ක‍්‍රියාවට නැගීමේ ප‍්‍රායෝගික හැකියාවක් ද නොමැති බවත් නව තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ඉදිරි ආර්ථික උපායමාර්ග නව ප‍්‍රවේශයකින් සැලසුම් කළ යුතු බවත් කිව යුතු වේ. මේ අනුව රජයට දැන් සිදු වන්නේ කොවිඞ් වසංගතය නිසා මතුව ඇති ආර්ථික අභියෝග කළමනාකරණය කර ගනිමින්, එසේම මේ වසංගත තත්ත්වය උපරිම ලෙස පාලනය කර ගනිමින් ජනජීවිත යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා මහජනයා වෙත ප‍්‍රතිලාභ ළඟා කර දීමට හැකිවන ආකාරයේ අයවැයක් ඉදිරිපත් කිරීමට ය.

මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා වශයෙන් ඉදිරිපත් කළ මේ රජයේ පළමු අයවැය මේ වර්ෂය (2021) වෙනුවෙන් සකස් කළේ සෞභාග්‍යයේ දැක්මෙහි සඳහන් අරමුණු ජය ගැනීමේ ගමනට ශක්තිමත් පදනමක් ඇති කර ගැනීමටය. එහෙත් කොවිඞ් වසංගත තත්ත්වය මේ වසරේ යළි හිස එසවීමත් සමග රට වැසීමේ ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදු වීම නිසා ඒ අරමුණු ජය ගැනීමට බාධා ඇති විය. මේ ගැන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා 2021.07.28 දින නිකුත් කළ ජාතික අයවැය චක‍්‍රලේඛයේ ද සඳහන් වේ. එනම් 2021 මුල් කාර්තුවේ දී කොවිඞ් වසංගත තත්ත්වය නැවත හිස එසවීම නිසා අපේක්ෂිත ආදායම් ළඟා කර ගැනීමට බාධා ඇති වූ අතර ව්‍යසනය නිසා ඇති වූ අමතර වියදම් හේතුවෙන් සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජයේ වියදම් අනපේක්ෂිත පරිදි ඉහළ ගිය හෙයින් මෙම වසරේ අයවැය කළමනාකරණය අහියෝගාත්මක වී ඇති බවයි. මේ නිසා රටේ බහුතර ජනතාවක් කඩිනමින් එන්නත්කරණය කර මෙම තත්ත්වය හැකිතාක් ඉක්මනින් යථාවත් කරගෙන 2022 දී නව ප‍්‍රවේශයකින් කටයුතු කිරීම රජයේ අපේක්ෂාව බවයි. ලබන වර්ෂය (2022) සඳහා වන වාර්ෂික අයවැය සකස් කිරීමේ කටයුතු දැන් සිදු වෙමින් තිබේ. 2022-2024 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ 2022 වර්ෂය සඳහා වන වාර්ෂික අයවැය සකස් කිරීමේදී අනුගමනය කිරීමට අපේක්ෂිත ක‍්‍රියාමාර්ග මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද්දේ පසුගිය ජුලි මාසයේදීය. ඒ සඳහා 2021.07.26 වැනිදා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව පළ විය. මේ අනුව 2022 වසරේ දී ළඟා කර ගැනීමට අපේක්ෂිත සාර්ව ආර්ථික ඉලක්ක දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස මෙසේය.

 * රාජ්‍ය ආදායම – 13.0

 * රාජ්‍ය වියදම – 20.6

 * අයවැය පරතරය – 7.5

 * මධ්‍යම රජයේ ණය – 95.0

 * ආර්ථික වර්ධන වේගය – 6.0

මේ කියන අයවැය ඉලක්ක සපුරා ගැනීම සඳහා 2022 වර්ෂය තුළ ස්ථාවර විනිමය අනුපාතයක් පවත්වා ගැනීමටත්, උද්ධමනය සියයට 5 ක ස්ථාවර අගයක පවත්වාගෙන යාමටත්, සේවා වියුක්ති අනුපාතය සියයට 4 ට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීමටත් රජය අපේක්ෂා කරයි. අප දැනටමත් වසරකුත් මාස නවයක පමණ කාලයක් කොවිඞ් වසංගතයෙන් පීඩා විඳ තිබේ. දැනට කොවිඞ් වසංගත තත්ත්වය සැලකිය යුතු ලෙස පාලනය වී තිබුණත් එය නැවත හිස එසවීමට ඉඩ නොලැබෙන පරිදී දිගටම ආරක්ෂිත ක‍්‍රමවේද අප විසින් අනුගමනය කළ යුතුව තිබේ. එන්නත්කරණය කොවිඞ් ආසාදිතයින් වාර්තා වීම සහ කොවිඞ් මරණ අඩු වීමට හේතු වී තිබෙන බව සත්‍යයකි. එහෙත් එන්නත්කරණය කළ ද කොරෝනා වෛරසය බෝවෙන බැවින් එන්නත්කරණය එකම විසඳුම ද නොවේ. එසේම මේ එන්නත්වලට ප‍්‍රතිචාර නොදක්වන වෛරස ප‍්‍රභේදයක් ගැන ද මාධ්‍ය වාර්තා මගින් අසන්නට ලැබී ඇත. මේ යථාර්ථය හඳුනා ගනිමින් කොවිඞ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජය විසින් නිසි කලට නිසි පියවර ගත යුතු අතරම පුරවැසියා ද සෞඛ්‍ය උපදෙස් අකුරට පිළිපදිමින් ඉතා ආරක්ෂිතව දිගටම කටයුතු කළ යුතු වේ. එහෙත් සමාජයේ බොහෝ පිරිස් එසේ නැවතත් වගකීමෙන් ආරක්ෂිතව කටයුතු නොකරමින් හැසිරෙන බව ද පෙනේ. ඒ නිසා අප ඔවුන්ට කියන්නේ වසංගත තත්ත්වය හිස එසවුවහොත් රජයේ අයවැය ඉලක්ක සපුරා ගැනීම හෝ ආර්ථිකය පණ ගැන්වීම පමණක් නොව ඔබගේ සාමාන්‍ය ජනජීවිතය පවා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇති බවයි. සුළු පිරිසකගේ අනාරක්ෂිත හැසිරීම ඇතැම් විට මුළු මහත් ජනසමාජයම පවා අනාරක්ෂිත කිරීමට හේතු විය හැකිය. ඒ නිසා ඔබ එන්නත් ගත්ත ද වසංගතයේ අවදානම තරමක් මේ මොහොතේ අවම වී තිබුණ ද අප දිගටම සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් විශේෂයෙන් මුහුණු ආවරණ නිවැරදිව පැළඳ සිටිමින් සහ පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් දිගටම කටයුතු කළ යුතු බව සිහිපත් කරමු. අප මේ බව සටහන් කළේ මෙවර අයවැය සකස් කිරීමේදී අනුගමනය කිරීමට අපේක්ෂිත ක‍්‍රියාමාර්ග අතර කොවිඞ් – 19 ට එරෙහි ආරක්ෂිත ක‍්‍රමවේද ශක්තිමත් කරමින් මහජන සෞඛ්‍ය ආරක්ෂා කරන අතරම රට විවෘතව තබා ගැනීම ප‍්‍රධාන ඉලක්කයක් නිසාය. මේ නිසා 2022 අයවැයේ කවර ඉලක්ක තිබුණ ද ඒවා යථාර්ථයක් වනු ඇත්තේ ද මෙසේ රට විවෘතව තබා ගැනීමෙනි. ඒ සඳහා කොවිඞ් වෛරසය මර්දනය කර තබාගත යුතුමය.

මේ අතරම මෙවර අයවැයේ විශේෂ ප‍්‍රමුඛතාවක් ලබා දී ඇති කරුණු කිහිපයක් මෙසේය. ඩිජිටල් තාක්ෂණය රාජ්‍ය සේවාවන් සැපයීම සඳහා යොදා ගැනීම, කොවිඞ් – 19 බලපෑමට ලක් වූ ක්ෂේත‍්‍ර සඳහා අවශ්‍ය සහන සහ පහසුකම් සලසා දීම, ආනයන ආදේශන පුළුල් කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම, අපනයනාභිමුඛ ක්ෂේත‍්‍ර සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කිරීම, ආයෝජනයට හිතකර පරිසරයක් ඇති කිරීම මඟින් සෘජු විදේශ ආයෝජන දිරිමත් කිරීම, රාජ්‍ය ආදායම පුළුල් කිරීම සහ පුනර්ජනනීය බලශක්ති මූලාශ‍්‍ර කෙරෙහි යොමු වීම වැනි කරුණුවලට මෙසේ මෙවර අයවැයෙන් විශේෂ ප‍්‍රමුඛතාවක් හිමි වනු ඇත.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසන පරිදි මෙවර සැලකිය යුතු ලෙස වියදම් කළමනාකරණයක් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. ඒ රජය මුහුණ දී සිටින අභියෝගාත්මක රාජ්‍ය මූල්‍ය වාතාවරණය සැලකිල්ලට ගෙනය. කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් අනපේක්ෂිත ලෙස වියදම් වැඩි වීම සහ අපේක්ෂිත ආදායම් අහිමි වීම යන දෙකම සිදු වී ඇත. රජය එසේ දුෂ්කර මූල්‍ය තත්ත්වයකට මුහුණ දී සිටියදී අනිත් අතට මේ රටේ අතිමහත් බහුතර පොදු මහජනයා ද සිටින්නේ ඉමහත් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේය. ඔවුන්ගේ ද ආදායම් මාර්ග අහිමි වීම සහ අඩු වීම යන දෙකම සිදුව ඇත. එසේම ඇතැම් අයට තම ජීවනෝපායන් සහ රැුකියාවන් පවා අහිමිව ඇත. මේ නිසා රාජ්‍ය අයවැය සම්පාදනය කිරීමේ දී රජයේ මුදල් තත්ත්වය පමණක් නොව මේ වන විට මේ රටේ මහජනයා සිටින අමාරු තත්ත්වය ගැන ද සැලකිල්ලට ගත යුතු වේ. මේ ගැන සලකමින් වඩාත් ප‍්‍රමුඛ අවධානයක් යොමු කළ යුතු වන්නේ ජනජීවිත යථාවත් කිරීමටය. ආර්ථිකය පණ ගන්වා ගත යුතු වන්නේ මෙසේ වැටී සිටින ජනයා නැගිට්ටුවාගෙනය. එසේ නැතුව මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති සඳහා මේ මොහොතේ විශාල වියදම් දැරීම සුදුසු නොවනු ඇති බව අපගේ අදහසයි. මුලින්ම මහජනයා ජීවත් කරගත යුතුය. ඒ සමගම ආර්ථිකය පණ ගන්වා ගත යුතුය.

මේ අනුව රජයේ වියදම් ප‍්‍රමුඛතා හඳුනා ගනිමින් අත්‍යවශ්‍ය නොවන වියදම් කිසියම් දුරකට සීමා කෙරෙනු ඇත. මේවාට රජයේ වියදම් කියා අප කීවාට මේවා ආණ්ඩුවේ කාගේවත් මුදල් නොව මහජන බදු මුදල්ය. මහජනයා අමාරුවෙන් සිටිනවා නම් අප නම් මේ සම්බන්ධයෙන් කියන්නේ ප‍්‍රමුඛතාව අනුව අත්‍යවශ්‍ය නොවන වියදම් පමණක් නොව, අවශ්‍ය වුවත් හදිසි නොවන වියදම් ද කිසියම් කාලයකට හෝ ප‍්‍රමාද කිරීම මහජනයාගේ ජීවිත යථාවත් කිරීම සඳහා අවශ්‍ය වන බවයි. මේ පසුබිම තුළ දැනටමත් ක‍්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති හා කාර්යයන් හැර නව ඉදිකිරීම්, කාර්යාල

පුළුල් කිරීම්, ලීබඩු හා උපකරණ මිල දී ගැනීම්, අලූතින් බඳවාගැනීම්, අත්‍යවශ්‍ය උපයෝගි වාහන හැර නව වාහන මිල දී ගැනීම් වැනි කටයුතු ආර්ථිකය යථාවත් වන තුරු දැඩි ලෙස අධෛර්යමත් කිරීමට මුදල් අමාත්‍යංශය අපේක්ෂා කරයි. එසේම 2022 වර්ෂය තුළ සෑම රජයේ ආයතනයක්ම තම කාර්යයන් තුළින් ආදායම් ඉපයීමේ නව මාර්ග කෙරෙහි යොමු විය යුතු බවට නියම කර ඇත. මේවා අයවැයෙන් කී පමණින් ඉටු වන්නේ නැත. ඒ නිසා මේවා කෙතරම් දුරට ඉටු වේද යන්න සැකසහිත බැවින් මේ ගැන නිරන්තර පසුවිපරමක් තිබීම අවශ්‍ය වේ. මේ කරුණ පොදුවේ අනෙකුත් සියලූම අයවැය ඉලක්කවලට ද එකලෙසම අදාළ වේ.

මේක අලූත්ම අයවැයක්

2022 ට එන්නේ 'පරිවර්තන අයවැයක්'
ආචාර්ය පී. බී ජයසුන්දර
ජනාධිපති ලේකම්

මේ අයවැය හැදෙන්නේ ජනාධිපතිතුමාගේ පුළුල් දැක්ම සහ සෞභාග්‍යයේ දැක්ම ඔක්කොම එකට අරගෙනයි. මේක අලූත්ම අයවැයක්. මුදල් ඇමැතිතුමා සමග කතා කළ විදියට මේක සාමාන්‍ය, සම්ප‍්‍රදායික අයවැයක් වෙන්නේ නැහැ. එතුමා මේක පරිවර්තනීය අයවැයක් කරයි කියල මට අවබෝධයක් තියෙනවා.

ආසියානු කලාපයේ රටවල ආර්ථික ප‍්‍රබෝධයක් තියෙනවා. ඒ ආර්ථික ප‍්‍රබෝධය එන්නේ මේ අයවැය එනතෙක් තිබුණ ආර්ථික ක‍්‍රියාවලියෙන් නෙවෙයි. ඒක එන්නේ කාබනික ආර්ථිකයෙන්, පුනර්ජනනීය බලශක්ති ආර්ථිකයෙන්, තොරතුරු තාක්ෂණ ආර්ථිකයකින් සහ ඩිජිටල් ආණ්ඩුකරණයකින්. ඒ නිසා මම හිතනවා මුදල් ඇමැතිතුමා ඒ ප‍්‍රවේශය කරා ගමන් කරන වෙනස්ම වූ විසර්ජන පනතේ දෙවන කතාවක් සිදු කරයි කියලා. එය 2022 වසරට එන අයවැයම නෙවෙයි, ඊට වඩා බොහෝ ඉදිරියට යන අනාගත දැක්මක් ඇති බව තමයි මට තේරුණේ. මාත් බලන් ඉන්නවා නොවැම්බර් 12 වැනිදා අයවැය එනකම්.

 

ප‍්‍රමුඛතා නොවන වියදම් හැකිතාක් අඩුකර ගන්නවා

2022 ට එන්නේ 'පරිවර්තන අයවැයක්'
එස්. ආර්. ආටිගල
 මුදල් අමාත්‍යාංශ ලේකම්


අපි බදු ප‍්‍රතිපත්තියක් පැහැදිලිව කියලා තියෙනවා. ඒ රාමුව තුළ කටයුතු කරන බව ආයෝජකයින් ඇතුළු සියලූම දෙනාටම අපි කියල තියෙනවා. රටේ ආර්ථික කටයුතු වඩිදියුණු වනවිට, රට සාමාන්‍ය තත්ත්වයට පත්වන විට ඒ ආර්ථික කටයුතු ශක්තිමත් වීම තුළින්ම මේ රාජ්‍ය ආදායම අපට ජනිත කරගන්න පුළුවන් වෙනවා. තව විදිහකින් කියනව නම් වර්ධනයක් ඇතිකර ගත්තොත් අනිවාර්යයෙන්ම ආදායම වැඩිකර ගන්න පුළුවන් වෙනවා.

 වියදම ගතහොත් ප‍්‍රමුඛතා හඳුනාගනිමින් ඒවාට යොමුවීමෙන් අපට පුළුවන් තරම් ප‍්‍රමුඛතා පෙන්වා වියදම් හැතිකාක් දුරට අඩුකරගනිමින් තමයි අපි වියදම් කළමනාකරණය කිරීමට බලාපොරොත්තු වන්නේ. රජයේ ප‍්‍රතිපත්තියේ හැටියට තියන මූලික ව්‍යාපෘතිවලට එනම් සංවර්ධන කි‍්‍රයාවලියට මුදල් යොමු කිරීම් විසර්ජන පනතෙ දාල තියනවා. එනම් සැමට ජලය, මාර්ග පද්ධතීන්, වාරි සෞභාග්‍යා වගේ මූලික රජයේ තියෙන සංවර්ධන වැඩපිළිවෙල් ශක්තිමත් කර ගැනීමත් මේ වසරටත් වඩා ඉදිරියට ගිහින් ලබන වර්ෂයේ (2022) කිරීමට තමයි මේ අයවැය මූලිකවම යොමු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ තියෙන තත්ත්වයත් එක්ක අයවැය හිඟයත් යම්කිසි දැනෙන ප‍්‍රමාණයකට අඩුකර ගන්න. අපට දිගින් දිගටම ලොකු අයවැය හිඟයවල් පවත්වාගෙන යෑම රාජ්‍ය මුල්‍ය ඒකාග‍්‍රතාවට ගැටලූවක් වෙනව. රජයේ ප‍්‍රතිපත්තිය වන්නේ වර්ෂ 2025 වන විට අයවැය හිඟය සියයට 4.5 – 5 කට අඩුකරගන්න. ඒ මාර්ගයට යොමු වෙන්න උත්සාහ කරනවා. අයවැය හි`ගයත් යම්කිසි දැනෙන මට්ටමකින් අඩු කිරීම තුළින්. නමුත් සංවර්ධන ව්‍යාපෘති, රජයේ ව්‍යාපෘති රටේ මූලික අවශ්‍යතා කළමනාකරණය කරගනිමින්. ඒක තමයි අපි මෙවර අයවැයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment