2022 වසරට වෙනස් ජනාධිපති කෙනෙක්..!

809

නිදහස් ශ‍්‍රී ලංකාවේ 76 වන අයවැය ඉදිරිපත් කිරීම සඳහා රජයේ මුළු අවධානය යොමු කර තිබූ පසුගිය සතිය ජනාධිපති, අගමැති, මුදල් ඇමැති ඇතුළු කාර්යභාර නිලධාරීහු සියල්ලෝම කාර්යබහුලව සිටි දින කිහිපයක් විය.

ජනාධිපතිවරයා මූලික සාකච්ඡාවන් සියල්ලටම සහභාගි වූයේ සියලූ වගකීම් සිය සහෝදර මුදල් ඇමැතිවරයා වෙත පවරා දී තිබූ නිසා ඔහුට වෙනත් විශේෂ කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න හැකි විය. අයවැය සකසන අතර රජයට තිබූ ලොකුම ගැටලූව වූයේ මේ දිනවල රට මුහුණදෙන අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඉස්මතුවී ඇති ආපදාමය තත්ත්වයයි. අයවැය සකසන අතරේම කොවිඞ් අර්බුදයෙහි විසඳුම් සඳහා එන්නත්කරණය ඇතුළු සියලූ ප‍්‍රතිකර්ම යොදන අතරේම ගොවි අර්බුද, පොහොර ප‍්‍රශ්න, සෞඛ්‍ය වර්ජන ආදී රටේ සියලූ පොදු ගැටලූ විසඳමින් හදිසියේ ඇතිවුණු ආපදා තත්ත්වයන්ට ද ක්ෂණික විසඳුම් සෙවීම රජයට ලෙහෙසි අභියෝගයක් වූයේ නැත.

කිසිම දෙයකට උදව් නොකරන විපක්ෂයක් ඇති රටක රජයට ඒ සඳහා දේශපාලන නිදහසක්වත් නොවීම කැපී පෙනෙන කාරණාවක් විය.

මොන ගැටලූ තිබුණත් දිස්ත‍්‍රික්ක 14කට බලපා තිබූ ගංවතුරෙන් හා නායයෑම්වලින් විපතට පත් පවුල්වලට ක්ෂණික සහන ලබා දෙන්නට අවශ්‍ය සියලූ ප‍්‍රතිපාදන ලබා දෙන්නැයි ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයාට උපදෙස් දුන්නේය. අගමැතිවරයා ද එම කටයුතු සම්බන්ධයෙන් සෘජුවම මැදිහත් වී සොයා බැලීම නිසා මුදල් ඇමැතිවරයාට ද අයවැයේ රාජකාරී නිසි පරිදි පවත්වාගෙන යන්නට හොඳ නිදහසක් ලැබී තිබිණි.

  • සජිත් දිය කරන්න
    ඩයනා මුල්වෙලා…..

පසුගිය සතියේ පොදුවේ ගත්කළ විපක්ෂය ඇතුළාන්තයේ ගැටලූ රැසක්ද නිර්මාණය වී තිබුණි. විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ ගැටලූව සුුළුපටු නොවීය. සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස සමග සමගියෙන් වැඩ කළ නොහැකි යැයි කියා සජබයේම ඇතැම් මන්ත‍්‍රීවරු දැන් එළිපිට කතාකරන තත්ත්වයක් පසුගිය සතිය වනවිට නිර්මාණය වී තිබිණි.

මේ අතර සමගි ජන බලවේගයේ හේෂා විතානගේ, චමින්ද විජේසිරි, ඩයනා ගමගේ, අතුල පීරිස් එක්රැස්වී සමගි ජනබලවේගයේ මන්ත‍්‍රීවරු එජාපය වෙත රැගෙන යෑමේ මෙහෙයුමක් ක‍්‍රියාත්මක වන බවටද පසුගිය සතියේ දේශපාලන කරළියේ කතාවක් පැතිර ගියේය. එහෙත් ඒ කතාවේ සත්‍යතාවක් නැතැයි කී සමහරු කීවේ ඩයනා ගමගේට කිසිවිටකත් ගිලෙන නැව්වලට නැගීමට අවශ්‍යතාවක් නැති බවකි. ඇය දැනටමත් සිටින්නේ වත්මන් ආණ්ඩුවට සහයෝගය ලබාදෙන ස්ථාවරයක බව පෙන්වාදෙන ඔවුන් කීවේ ඩයනා සජබේ මන්ත‍්‍රීවරු ගෙන යන්නේ එජාපයට නොව ආණ්ඩුවට බවය.

ඒ කතා කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ කිසිවෙකුත් ඒ ගැන වචනයක් කතාකරන්නට ගියේ නැත. හේෂා හා චමින්ද මේ කතා පිළිබඳ නෑසූ කන්ව සිටීම විශේෂත්වයකි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පතුල බිඳගෙන නැගුණ බලවත් අර්බුදයක් ගැන ද සමාජය කරුණු කාරණා කතාබහකරන්නට පටන් ගත්තේ පසුගිය සති අන්තයේ සිරිකොත මන්දිරයේ පැවැති එජාපයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ සිදුවූ අලකලංචියක් නිසාය.

මේ අලකලංචියට පසුබිම් වූ කරුණු ලෙස කතාවක් ද තිබිණි.

පසුගිය දිනක එ.ජා.ප. නායක රනිල් වික‍්‍රමසිංහ යොවුන් පෙරමුණේ නොවන තරුණයෝ තුන් දෙනෙකුට පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකත්වය ලබාදීම යොවුන් පෙරමුණේ තවත් පිරිසකගේ නොමනාපයට හේතුවක් විය. පක්ෂය තරුණයන්ට භාරදෙනවා කියමින් නායකයා ෂෙහාර හේරත්, රාජපක්ෂ හා දිනුක් කොළඹගේට පත්වීම් ලබාදීම, නොරිස්සූ එජාපයේ බුලත්සිංහල සංවිධායක ප‍්‍රසාද් හෙට්ටිආරච්චි එජාපයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට ගියේය. සජිත් ඔහුට සජබෙ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සමාජිකත්වය පවා ලබා දුන්නේ ප‍්‍රසාද් දක්ෂයෙකුව සිටි නිසාලූ.

ප‍්‍රසාද් සජිත් ළඟට ගොස් තනතුරු ලබාගෙන නිකන් බලා සිටියේද නැත. ඔහු ඊළඟට කළේ එජාපය ඇතුළේ කලකිරී සිටින දක්ෂ තරුණ කොටස් හෙමිහෙමිහිට සජිත් ළඟට අරගෙන යෑමය.

මේ තත්ත්වය හම්බන්තොට චාමිකා නම් තරුණියක් පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනට සපථ කළේ කස්තුරි අනුරාධනායක නම් තරුණ නීතිඥයා හරහාය.

‘‘නායකතුමා කරන සමහර වැඩ නිසා පක්ෂයේ අය කලකිරිලා සජිත් ළඟට යනවා. ප‍්‍රසාද් තමයි මේ කොන්ත‍්‍රාත්තුව කරන්නේ. චාමිකා මේ විස්තර ඔක්කොම දන්නවා.’’ අනුරාධනායක රුවන්ට කීවේය.

මම නායකතුමාට මේ ආරංචිය කියන්නම් රුවන් කීවේය.

එහෙම කල් ඇරලා බැහැ. ඒ කට්ටිය වෙනම මේගැන සාකච්ඡා කරනවලූ. ඊට කලින් අපි මේ අයට හම්බ වෙන්න ඕන……’’ අනුරාධනායක කීවේය.

හරි…. හමුවක් ලෑස්ති කරන්න මම එයාල හමුවෙලා සාකච්ඡා කරන්නම්.

රුවන් මේ ආරංචිය රනිල්ට හෙළිකළත් ඔහු එය එතරම් කනකට ගත්තේ නැහැ. හරි ඔයා ඒක බැලන්ස් කරන්න. ….. කැරිඔන්…කැරිඔන් ඔහු රුවන්ට කීවේය.

ඒ අනුව කැස්බෑව සංවිධායක උපුල් මාලේවනට අයත් බත්තරමුල්ල නිවසේ එජාප යොවුන් පෙරමුණේ සාමාජිකයන්ගේ හමුවක් සංවිධානය කරන්නට චාමිකා, අනුරාධනායක, ඇතුළු පිරිසක් කටයුතු සංවිධානය කළහ.

  • රනිල්ට එරෙහිව
    කස්තුරි පෙරට…..

මේ අතර මෙම හමුව පිිළිබඳ ආරංචිය වෙනත් මාර්ගයකින් රනිල්ගේ කනට ගියේ එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණේ පිරිසක් පක්ෂය හැර යන්නට කුමන්ත‍්‍රණයක් කරමින් සිටින බවටය.

එජාප නායක රනිල් මේ කතාව විශ්වාස කළේ ඔහුට සමීපම ලේකම්වරයෙක් ලෙස සිටි අයෙක් එම කතාව කියූ නිසාය.

රනිල් රුවන්ට කතාකර එම හමුව නවත්වන්නට යැයි කීවේය.

ඒක ඇයි නවත්වන්නේ අපි ඒක ගැන ඔබතුමාට විස්තර කිව්වානේ… දැන් ඒක නවත්තන්න බැහැ. එතන කෑමත් ලෑස්ති කළා. දිවා ආහාරයටත් ඇණවුම් කරලා. රුවන් කීවේය.

ඒ රැස්වීම එහෙනම් සිරිකොතට ගේන්න. කෑම ටිකත් එතනටම ගේන්න. රනිල් අවසාන වශයෙන් විධානයක් නිකුත් කළේය. මේ නිසා එම රැස්වීමේ කටයුතු මුළුමනින්ම කඩාකප්පල් විය.

පසුගිය සති අන්තයේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වුණේ පක්ෂය ඇතුළේ එබඳු උණුසුම් අරගලයක් සිදුවෙමින් තිබූ අතරවාරයේය.

එජාපය වෙනුවෙන් නායකයා වෙනුවෙන් සත්භාවයෙන් ආරම්භ කළ කටයුත්තක් කුමන්ත‍්‍රණයක් ලෙස ලේබල් අලවා නායකයාගේ කනේ තැබීම ගැන අනුරාධනායක, චාමිකා පමණක් නොව රුවන් විජේවර්ධනද සිටියේ බලවත් කලකිරීමකය. ඔවුන් මේ ගැන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී කතාකරන්නට බලා සිටියේය.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අනුරාධනායක නැගී සිටිමින් මේ ගැන කතා කරන්නට පටන් ගත්තේය……

නායකතුමා කරන සමහර වැඩ නිසා පක්ෂයේ උන්නතිය වෙනුවෙන් දර දිය ඇදපු නායකයෝ කලකිරිලා සමහරු ඉවත්ව යනවා. පක්ෂය තව තවත් අර්බුදයට ලක්වෙනවා.

පක්ෂයට ශක්තියක් වුණු රවී, අර්ජුන නවීන්, වගේ නායකයෝ 7 දෙනෙක් අද නිෂ්ක‍්‍රිය වෙලා. අකිල විරාජ් පවා අද වැඩ කරන්න්නේ නැහැ. සමහර අය පැත්තකට වෙලා ඉන්නවා….’’

අකිල කලකිරෙන්නේ මොකටද? අකිල වැඩ කරනවා. නේද අකිල …..’’ රනිල් විමසීය.

‘‘නැහැ. අකිල වැඩකිරීම අතහැරලා. තව හුඟක් නායකයෝ කලකිරිලා. මේ වගේ අයගේ සහයෝගය නැතිව කොහොමද අපි පක්ෂය ගොඩනගන්නේ. පක්ෂයට දැන් අංශභාගේ හැදිලා නායකතුමාගේ වැඩ නිසා…’’

අනුරාධනායකගේ කතාවෙන් කෝපයට පත් රනිල් ඔහුට වාඩිවෙන්නට අණ කළේය. ඔහුගේ කතාව නතර කරන්නට උත්සාහ කළේය. එහෙත් අනුරාධනායක නිහඬ කරන්නට ඔහුට නොහැකි විය. මේ වෙලාවේ රනිල්ට සහයෝගය දෙන කිහිප දෙනෙක්ද අනුරාධට එරෙහිව කෑ කෝ ගසන්නට වූ කල රුවන් විජේවර්ධන ඔවුන් නිහඬ කරමින් නැගී සිටියේය.

‘‘නායකතුමා…. එයාට බණින්න එපා. අනුරාධනායකලා වැඩක් කළා නම් ඒක කළේ ඔබතුමාගේත් පක්ෂයේත් ආරක්ෂාවට. පක්ෂය රැකගන්න. ඔබතුමා මේ විදියට වැඩ කරන එක ගැන තරුණ පිරිස ඉන්නේ කලකිරීමෙන්. ඔවුන් පක්ෂය හැර යනවා. පක්ෂයත් පක්ෂයේ තරුණ සාමාජිකත්වයත් රැකගන්න බැරිනම් මම නියෝජ්‍ය නායකකමේ ඉන්න එකේ තේරුමක් නැහැ.’’ රුවන් කීවේය.

රුවන් රනිල්ට උපරිමයෙන් ගරු කරන නායකයෙකු වුවත් කුමන්ත‍්‍රණයකට හවුල් වූවා යැයි නඟන චෝදනාව මත රුවන්ද සිිටියේ නායකත්වය පිළිබඳ බලවත් කළකිරීමකය.

අනුරාධනායක නිහඬවුණේ නැත. ඔහුගෙනුත් රුවන්ගෙනුත් නැගෙන විරෝධය හා ප‍්‍රතිරෝදය දරාගත නොහැකිවූ රනිල් නැගිට
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඉවරයි. දැන් විසිරෙමු….’’ කියා නැගිට ශාලාවෙන් පිටතට ගොස් කෙළින්ම ගියේ තම කාමරයටය. කාමරයට ගිය නායකතුමා දොර වසාගෙන ටික වේලාවක් සිට ඇත.

ඒ අතර රනිල්ගේ ප‍්‍රධාන ආරක්ෂකයා මොහොතකට පසු අනුරාධනායක සොයා පැමිණ නායකතුමා ඔහුට කාමරයට එන්න කියනවා යැයි කීවේය.

කෙසේ වෙතත් අනුරාධනායක ඒ පණිවිඩය බාරගෙන තනිව නායකතුමා හමුවන්නට ගියේ නැත.

එජාපයේ අභ්‍යන්තර ආරවුල පිටතට ඉතා හොඳින් පෙන්නුම් කළ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම එතෙකින් හමාර විය.

  • අයවැය හොඳින් නිමවන්න
    බැසිල්ට ලැබුණ නිදහස
2022 වසරට වෙනස් ජනාධිපති කෙනෙක්..!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ තම විශේෂ අවධානය යොමු කළ කාරණා කිහිපයක්ම විය. ඒ අතරේ ඉතා වැදගත් කාරණාවක් වූයේ 2022 වසර සඳහා වන අයවැය යි.

තම සහෝදරයා වන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ජනාධිපතිවරයා නිරතුරුවම මේ ගැන සාකච්ඡා කරන්නට වූයේ වර්තමානයේ පවතින අර්බුද සියල්ලටම එකවර විසඳුමක් ලබාදෙන සුවිශේෂී අයවැයක් බවට මෙම අයවැය පත්කර ගැනීම සඳහාය.

මෙම සාකච්ඡාවලට හැකි හැම අවස්ථාවකදීම අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි වීම විශේෂත්වයක් විය.

දෙවනුව ජනාධිපතිවරයා සුපුරුදු පරිදි කොවිඞ් වසංගතයේ වර්තමාන තත්ත්වය ගැන නිරතුරුවම සොයා බැලීය. කොවිඞ් පැතිරීමේ අවදානම පහවී පසුගිය දිනවල තත්ත්වය තරමක් සතුටුදායක වුවත් රට විවෘත කිරීමෙන් පසුව එය ටිකෙන් ටික අයහපත් තත්ත්වය දක්වා වර්ධනය වනවා යැයි සෞඛ්‍ය අංශ මත පළකිරීම ගැන ජනාධිපතිවරයා සිටියේ තරමක කනස්සල්ලෙනි.

ඔහු ඒ ගැන නිරතුරුව ම උපදෙස් දුන්නේ එන්නත්කරණය තුළින් ජනතාව ආරක්ෂා කරගන්නට ප‍්‍රමුඛත්වය ලබාදිය යුතු බව පෙන්වා දෙමිනි. දෙවනුව නීති රෙගුලාසි දමා රට වසාදමා ජනතාව පීඩාවට පත්කර රට එක තැන නතර කරනවා වෙනුවට ජනතාවට කරුණු අවබෝධ කර දී ඔවුන් තුළින්ම ඔවුන්ගේ ආරක්ෂාව සලසා ගන්නා මට්ටමට ජනතාව පත්කිරීම ඉතා හොඳ විසඳුම බවය.

මේ අතර රටපුරා විපක්ෂයේ යම් යම් අරගලකාරී කණ්ඩායම්වල මැදිහත්වීමෙන් යම් යම් වෘත්තීය ක්‍ෂේත‍්‍ර අවුලමින් සිටි වෘත්තීය සමිති සටන් ගැන ද ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමු කළේය.

”ගුරු අරගලයක් දැන් රටේ ඇත්තටම නෑ… ඒ වුණාට යම් යම් දේශපාලන වුවමනාවන් මත ගුරු අරගල තවදුරටත් ඇදගෙන යන්න සමහරු උත්සාහ කරනවා” ජනාධිපතිවරයා මෙසේ කීවේ රජයේ ප‍්‍රධාන පෙළේ කැබිනට් අමාත්‍යවරයකු සමඟය.

”මේ සටන්වලට රජය දැන් ගැලපෙන උත්තර දීලා තියනවා. පාසල් පටන්ගෙන තියෙන නිසා ඔන්ලයින් ඉගැන්වීම් අල්ලගෙන වෘත්තීය සමිති මේ අරන් යන අරගලයේ කිසි තේරුමක් නෑ… හරි නම් ඒ සටන් පාඨ සියල්ල දැන් අවලංගුයි.” ඇමැතිවරයා කීවේය.

”අපි මේවා මර්දනය කරන්න, ඒ අරගලවලට දැඩි පිළිවෙත් අනුගමනය කරලා උත්තර දෙන්න උත්සාහ කළේ නෑ. හැබැයි මේ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යන්න බොරදියේ මාළු බාන දේශපාලනඥයෝ උත්සාහ කරනවා නම් අපිත් අත් දෙක බැඳගෙන නිහඬව බලා ඉන්න එක නිවටකමක්…” ජනාධිපතිවරයා මෙහි දී කීවේ මේ ඉවසීම හැමදාටම ඔරොත්තු දෙන්නේ නැති බවය. කොරෝනා අර්බුදය හොඳින් පාලනය වී ඇති බැවින් තමන් මගට බැස මහජනතාව සමග වැඩ කරන්නට පටන් ගන්නා බව කී ජනාධිපතිවරයා තවදුරටත් කීවේ මීට වඩා ”වෙනස් ගෝඨාභය කෙනෙක්” ලබන වසරේදී කාටත් දැක ගත හැකි වනු ඇති බවකි.

මේ අතර නිරිත දිග මෝසම් වැසි සක‍්‍රීය වීමත් සමඟම රට තුළ ඇති වූ ගංවතුර තත්ත්වය අවසානයේ නායයෑම් තත්ත්වයක් දක්වා වර්ධනය වූයේ ද පසුගිය සතිය මැද ය. පිට පළාත්වලට කොයි තරම් ගංවතුර තත්ත්වයන් යටතේ කරදර වුවත් මෙම වර්ෂාපතනය තුළ කොළඹ නගරයේ තත්ත්වය ඊට වඩා තව වෙනස් එකක් විය. වෙනදා තරම් ගංවතුරට යටවීමේ තත්ත්වයක් කොළඹ දිස්ත‍්‍රික්කයේ නොමැතිවීම ගැන බොහෝ දෙනා ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළහ.

”ඒකට අපි සැලසුම් සහගතව කලක ඉඳන් වැඩසටහනක් සකස් කළා. ව්‍යාපෘතියක් දියත් කළා. මට පේන විදිහට දැන් එහි ප‍්‍රතිඵල කොළඹ ප‍්‍රදේශයට ලැබෙනවා…”

පසුගිය සති අන්තයේ ජනාධිපතිවරයා මෙම ව්‍යාපෘතිය බලන්න කොළඹ තොටළඟ නාගලගම් වීදියට ගියේය.

ජනාධිපතිවරයා සමග මෙම ගමනට තවත් අමුත්තන් කීප දෙනෙකුම එක් වූහ. මෙම ව්‍යාපෘතිය ලෝක බැංකු ණය ආධාර මත ඉටුකළ ව්‍යාපෘතියක් බැවින් ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපතිවරයා මෙන්ම නිලධාරීන් හයදෙනෙකු ද පැමිණ සිටියහ. ඊට අමතරව රාජ්‍ය ඇමැතිවරුන් වන නාලක ගොඩහේවා සහ මොහාන් සිල්වා මෙම ගමනට සහභාගි වී සිටියහ.

සිකුරාදා උදේ 11ට පමණ මෙම ස්ථානයට ජනාධිපතිවරයා ළං වන විට ඔහු ඇතුළු පිරිස පිළිගන්නට ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ තුෂාරි මහත්මිය ඇතුළු පිරිස උත්සවයක් සංවිධානය කර තිබිණි.

”ජනාධිපතිවරයා එම ව්‍යාපෘතියේ සැලසුම් මදක් අධ්‍යයනය කරමින් ව්‍යාපෘති අධ්‍යක්ෂිකා අමතා මෙසේ කීවේය.

”මේක පටන් පටන් ගත්තේ 2012 දී මම ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම්වරයා වෙලා ඉන්නකොට. දැන් මෙතන මුලින් තිබිච්ච තත්ත්වයට නැහැනේ. හුඟක් වෙනස් කරලා ඕගොල්ලෝ…”

ලෝක බැංකුව හා ශ‍්‍රී ලංකා රජය එක්ව සහන ණය පදනමක් යටතේ ඩොලර් මිලියන 321ක් වියදම් කරමින් කොළඹ නගරය සංවර්ධනය කිරීමට ව්‍යාපෘති 55 ක් ආරම්භ කළේය. කොළඹ නගරය වැසි ජලයෙන් යට වීම වැළැක්වීම මෙම යෝජනා ක‍්‍රමය යටතේ වූ එක් ව්‍යාපෘතියක් පමණක් විය.

වැසි දිනවල කොළඹ ප‍්‍රදේශයේ එක්රොක් වන වතුර අති විශාල පොම්ප පහක් යොදා කැලණි ගඟට පොම්ප කිරීම මෙම ව්‍යාපෘතිය විය. ප‍්‍රධාන පොම්ප දෙක සවිකර තිබුණේ නාගලගම් වීදියේ ය. එම පොම්ප දෙක හා එහි ක‍්‍රියාකාරිත්වය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට හසු විය.

  • හොඳ වැඩ කරනකොට
    ප‍්‍රතිපලත් හොඳයිලූ

ආණ්ඩුවේ ප‍්‍රධාන දේශපාලනඥයෝ කරන ලද කතා කීපයක් ගැන පසුගිය දිනවල සමාජයේ ලොකු කතාබහක් ඇති විය. එකක් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ පස්වෙනි සම්මේලනය අළලා කරන ලද විශේෂ කතාවයි. මෙම කතාව ජනාතාව මෙන්ම සමහර දේශපාලනඥයන්, දේශපාලන නිරීක්ෂකයන් දුටුවේ මෙම ආණ්ඩුවේ පසුගිය වැඩ ගැන කළ සුවිශේෂී දේශපාලන පාපොච්චාරණයක් ලෙසය.

ඒ අතර පසුගිය සෙනසුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද එවන් කතාවක් හදිසියේම වීරකැටිය මණ්ඩාටුව ප‍්‍රදේශයේ පැවති විශේෂ උත්සවයකදී කරනු ලැබීය.

මහාමාර්ග අමාත්‍යංශය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණේ ජනාධිපතිවරයාගේ සෞභාග්‍යය දැක්ම වැඩපිළිවෙළ යටතේ කරන ලද යෝජනාවක් වූ මහාමාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මාර්ග 1500ක ඉදිකිරීම් අවසන් කර ජනතා අයිතියට පත් කිරීම නිමිත්තෙනි.

1500 වෙනි මාර්ගය වූ වීරකැටිය – කපුවත්ත මාර්ගය එදා උදේ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, චමල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ විසින් විවෘත කරනු ලැබීය. ජනාධිපතිවරයා හා අගමැති මහින්ද රාජපක්ෂ පැමිණ සිටියේ ඒ නිමිත්තෙන් පැවැත්වුණු විශේෂ උත්සවයට ය.

ජනාධිපතිවරයා මෙහිදී විශේෂ කතාවක් පවත්වන්නට කල්තියා සූදානම් ව සිටියේ නැත. එහෙත් අවස්ථානුකූලව රටේ පැවති වාතාවරණය අනුව ඔහු විශේෂ කතාවක් කරන්නට ක්ෂණිකව කල්පනා කළේය.

ඒ සඳහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග කරන ලද කෙටි සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා කතා කළේය.

තමන් බලයට පත් වූ පසුව මේ රට වෙනුවෙන් ඉටු කරන්නට ලොකු වැඩ කොටසක් හා වගකීම් සම්භාරයක් තිබූ බව ජනාධිපතිවරයා කීය. එය ”සෞභාග්‍යයේ දැක්ම” නමින් ජනතාව වෙත ඉදිරිපත් කර තිබුණත් අනපේක්ෂිතව මුහුණ දෙන්නට සිදු වූ කොවිඞ් ලෝක වසංගත තත්ත්වය හමුවේ එම වැඩපිළිවෙළ අභියෝගයට ලක් වූ බවද කීවේය. එහෙත් කොවිඞ් අභියෝගයත් ජය ගනිමින් ඉතා ඉක්මනින් සෞභාග්‍යයේ දැක්ම තුළ වූ ඇතැම් අත්‍යවශ්‍ය ව්‍යාපෘති ගණනාවක් මේ වන විට පටන් ගෙන නිමකර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

”අපි ඉලක්කගත ආදායමක් බලාපොරොත්තුවෙන් හිටපු සංචාරක ව්‍යාපාරය බිඳ වැටීමෙන් අපේක්ෂිත ආදායම නැතිවුණා විතරක් නොවෙයි, සෘජු හා වක‍්‍ර රැකියා මිලියන තුනක් රටට අහිමි වුණා. විදේශ රැකියා 150,000 ක් අහිමි වුණා. නිෂ්පාදන ආර්ථිකය අභියෝගයට ලක් වුණා. ඒ සියල්ලත් එක්ක අපට මේ රට ඉස්සරහට ගන්න සිදුවුණා. පැවැති දුෂ්කරතා අතරින් වුණත් අපි ඒ වැඩපිළිවෙළ ඉස්සරහට ක‍්‍රියාත්මක කරන එක නතර කළේ නැහැ.”

මාර්ග එක්දහස් පන්සීයක් වැඩ නිමවා මහජන අයිතියට පැවරීම ද ඔහු පෙන්වා දුන්නේ ලද විජයග‍්‍රහණයක් ලෙස ය. මුං, කව්පි, කහ වැනි මෙරට වැවිය හැකි බෝග 16ක් ගෙන්වීම නවත්වා මෙරට වගා කරවීම තුළින් ගොවියාට විශේෂ ආදායමක් මෙන්ම රටින් පිටට ඇදී යන මුදල් සම්භාරයක්, ලොකු ඉතුරුවක් කරගත හැකි වූ ආකාරය ජනාධිපතිවරයා විස්තර කළේය.

රසායනික පොහොර හා වසවිස වර්ග ලංකාවට ගෙන්වීම තහනම් කර කාබනික වගාව රට තුළ ස්ථාපිත කිරීම ද ජනාධිපතිවරයා ජයග‍්‍රහණයක් ලෙස හුවා දක්වමින් කතා කළේය.

මේ අයුරින් කතා කරමින් අවසානයේ ජනාධිපතිවරයා ජනතාවට කීවේ… ”මගේ ජයග‍්‍රහණයෙන් පස්සේ මේ රටේ තරුණයෝ වැඩ පටන් ගත්තේ මං ගැන ලොකු විශ්වාසයක් තියලා. පැරණි තාප්ප අලූත් කරමින් සිතුවම් ඇන්දා. පුරන් කුඹුරු වපුරන්න පටන් ගත්තා. මේ අයුරින් විප්ලවීය වෙනසකට පුළුල් සමාජ පරිවර්තනයකට සූදානම් වෙච්ච තරුණ පරපුරට මම නැවතත් ආරාධනා කරනවා, විශ්වාසයෙන් යුතුව නැවත වරක් මාත් එක්ක ඒ විප්ලවීය වෙනසට දායක වන්න එකතු වෙන්න කියලා.”

ජනාධිපතිවරයා එසේ කරන ලද කතාව දේශපාලන නිරීක්ෂකයින් සැලකුවේ ඔවුහු ඉදිරි වසර තුනේදී සහ ඉදිරි කාලය තුළදී ආරම්භ කරන්නට බලාපොරොත්තුවෙන් සිටින වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කරන ලද එක්තරා හෙළිදරව්වක් කියාය. මෙම කතාව ද බොහෝ දේශපාලන අංශවල විවිධ සාකච්ඡා සංවාදවලට මෙන්ම විවිධ විවේචන වලට ද මාතෘකා වූ ආකාරය පසුගිය සතියේ අපට දැකගත හැකි විය.

  • අවිද්‍යාව හා මිථ්‍යාව ගැන
    ඇමැති සීතා කී කතාවක්…

පසුගිය සතිය පාර්ලිමේන්තු සතියක් විය. ජනාධිපති ගෝඨාභය නිතරම සිටියේ පාර්ලිමේන්තුවේ සිදුවන දේ ගැන හොඳ අවබෝධයකින් හා අවධානයකින් යුතුව ය. ළඟ ළඟම එන අයවැයක් ගැන වාද විවාද සංවාද ඇති කරගත යුතුව තිබුණත් පාර්ලිමේන්තුව තුළ විපක්ෂයෙන් නිතර නිතරම මතු කළේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳ පරීක්ෂණ, යුගදනවි බලාගාරය පවරාදීම, ගුරු අරගල, රටේ බඩු මිල ඉහළ යෑම වැනි කරුණු ය.

ඒ අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය බදාදා උදේ අරලියගහ මන්දිරයට ගියේ තවත් විශේෂ උත්සවයකට සහභාගි වන්නටය.

එතන ජාතික විද්‍යා දින සමරුව වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිපුනතා සංවර්ධන හා නවෝත්පාදන අමාත්‍යාංශය විසින් එම උත්සවය සංවිධානය කර තිබිණ. විද්‍යා දිනය වෙනුවෙන් ලංකාව පුරා පාසල්වල නව නිපැයුම් බිහි කිරීම සඳහා ළමුන් පුරුදු පුහුණු කරවීමට නවොත්පාදන විද්‍යාගාර බිහි කිරීමේ ව්‍යාපෘතියක් ක‍්‍රියාවට නංවා තිබිණ. මේ සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස එක් පළාතකින් එක් විද්‍යාලය බැගින් තෝරාගෙන එම විද්‍යාලයේ විදුහල්පතිවරයාත් ශිෂ්‍යයෙකුත් මෙම උත්සවයට සහභාගි කරගෙන තිබූ අතර ඔවුන් වෙනුවෙන් මෙම නව විද්‍යාගාර ඉදි කිරීම සඳහා මුදල් ආධාර ලබා දීමේ ව්‍යාපෘතියක් ද සූදානම්ව තිබිණි. සීතා අරඹේපොල හා විජිත බේරුගොඩ රාජ්‍ය ඇමැතිවරුන් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර නාමල් රාජපක්ෂ ද එහි විශේෂ ආරාධිතයෙක් විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැමිණෙන විට එම සියලූම දෙනා එතනට පැමිණ සිටියහ.

සුහද කතාබහින් පසුව උත්සවයේ වැඩ කටයුතු ආරම්භ විය. උත්සවයේ අරමුණ හා වැඩපිළිවෙළ පැහැදිලි කරමින් සීතා අරඹේපොල ඇමැතිනිය කතා කළ අතර අනාගත පරපුර විද්‍යාත්මක නිෂ්පාදන සඳහා යොමුවිය යුතු බව පෙන්වා දෙමින් විශේෂ කතාවක් කළාය. ඇය කීවේ නව පරපුර විද්‍යාත්මකව කල්පනා කරමින් විද්‍යාත්මකව සිතා බලා විද්‍යාත්මකව වැඩ නොකළහොත් සමාජය තුළ අවිද්‍යාව රජයන්නට පටන්ගෙන අවසානයේ මිථ්‍යාවේ ගොදුරු බවට අනාගත පරපුර පත්වනු ඇති බව ය.

උත්සව සභාව අමතමින් කතා කරන්නට මෙහිදී ජනාධිපතිවරයාට විශේෂ කතාවක් ද සූදානම් කර තිබිණි. එහෙත් ජනාධිපතිවරයා එම කතාව පසෙක තබා තම සිතැඟි පරිදි කතා කරන්නට පටන් ගත්තේය.

විපක්ෂය හා දේශපාලනීකරණය වූ ඇතැම් ගුරු සංගම් අනාගත පරම්පරාව ප‍්‍රාණ ඇපයට තබාගෙන කරන ලද උද්ඝෝෂණ මාලාව තුළ පාසල් දරු පරපුරට මුහුණපාන්නට සිදු වූ ගැටලූ ගැන ඔහු හොඳ විවරණයක් කළේය.

”විපක්ෂය හිතන් ඉන්නේ විපක්ෂයේ කාර්යභාරය කරනවා කියලා කියන්නේ හැමදේටම විරුද්ධ වෙන එකට කියලයි.

අපි කොවිඞ් පාලනය කරලා පාසල් පටන් ගත්තම ඒගොල්ලෝ කියනවා නව සාමාන්‍යකරණය යටතේ පාසල් පටන් ගන්නලූ. ඒගොල්ලන්ට ඕන කල් අරින්න.

දැන් අවුරුදු දෙකක් දරුවන්ට පාසල් නැති වුණා. තවදුරටත් දරුවෝ ගෙදර තියලා විපක්ෂයට ඒගොල්ලොන්ගේ මත ඉදිරියට ගෙනයන වෘත්තීය සමිතිවලට උද්ඝෝෂණ කරන්න දෙන්න බෑ. අපි විද්‍යාත්මකව හිතල වැඩ කරන්න ඕන. එතකොට තමයි හරි දේට එකඟ වෙන්නත් වැරදි දේට විරුද්ධ වෙන්නත් අවශ්‍ය දර්ශනය අපට ලැබෙන්නේ.

හැමදේටම විරුද්ධ වෙන එක විපක්ෂයේ කාර්යභාරය නෙවෙයි. අපට කලින් අවුරුදු පහක් රට කරපු කට්ටිය, පහුගිය අවුරුදු දෙක ඇතුළත රට කරන හැටි අපට කියලා දෙන්න හදනවා. ඒගොල්ලො රටපාලනේ කරන එක හරියට කරපු නැති නිසයි ජනතාව රට අපට බාර දුන්නේ. විපක්ෂයට දැන් ඒක අමතකයි.

ජනතාව අපට රට භාර දුන්නෙ ඒගොල්ලන්ට කරන්න බැරි වුණ දේවල් කරන්න. ඒගොල්ලො නොකළ දේවල් කරන්න.

පහුගිය දිනවල අපට යම් යම් දේ කරන්න බැරි වුණා. පුළුවන් දේ කළා. අපට තව කල් තියනවා. ජනතාව බලාපොරොත්තු වුණ දේවල් අපි කරන්නෙ නැත්නම් ජනතාවට පුළුවන් අපිවත් ගෙදර යවන්න.

හැබැයි අපිව ගෙදර යවලා විපක්ෂයට බලය දීලා හරියන්නේ නෑ. ඒගොල්ලො ජනතාවට අවශ්‍ය දේ නොකළ නිසයි අපට දුන්නේ. අපිත් ඒ දේ නොකළොත් එදාට ඔබ කැමති වෙනත් පිරිසකට බලය දීලා බලන්න. ඒක කරන්නෙ කොහොමද කියල මම දන්නෙ නෑ. හැබැයි ඒකයි කළ යුත්තේ….”

ජනාධිපතිවරයා එසේ කරන ලද කතාව බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගන්නට සමත් වූහ. බොහෝ තැන්වල කතාබහට ලක්විය. ඇතැමුන්ගේ විවේචනවලට ද පාත‍්‍ර විය. ඒත් එය එතුමන් විසින් විටෙක ආවේගශීලීව හා විටක හැඟුම්බරව කරන ලද අවංක අදහස් ප‍්‍රකාශනයක් ම විය.

  • වෘත්තීය අරගල
    විසඳන්නේ මෙහෙමයි…
2022 වසරට වෙනස් ජනාධිපති කෙනෙක්..!

පසුගිය සතියේ ජනාධිපතිවරයා හමුවන්නට ආ කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනෙකු රටේ අනාගත තත්ත්වය ගැන කතාබහ කරමින් සතුටු සාමීචියේ යෙදී සිටියහ.

එහිදී දැන් පවතින ගුරු අරගල, ගොවි අරගල හා රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති අරගල ගැනද කතාබහක් ඇතිවිය.

ඇත්තටම මේ හුඟක් අරගල ඇතුලේ තියෙන්නේ සැබෑ වෘත්තීය ප‍්‍රශ්න නොවෙයි. දේශපාලන වුවමනාවන්. මේ රට අවුල් කරන්න උවමනා බලවේග කිහිපයක් මේගොල්ලන්ගේ වෘත්තීය අවශ්‍යතා ඇපයට අරන් අරගල මෙහෙයවනවා. රටේ ආර්ථික ශක්තිය යහපත් නම් ඕන අරගලයක් එක දවසින් ඉවරයි. හැබැයි ඇත්ත කතාව මේ අරගල විසඳිලා ඉවර වෙනවට වෘත්තීය සමිති කැමැතිත් නෑ. ඇමැතිවරයෙක් විග‍්‍රහ කළේය.

ඒ කියන්නේ ඉල්ලීම් ටික දීලා දැම්මා නම් අරගල ඉවරයි……’’

ඒක නොවෙයි දැන් අපි 2022 සඳහා ශක්තිමත් අයවැයක් ගේන්න මහන්සි වෙනවා. ඒ වුණත් ආයෙත් පාරක් කොවිඞ් රටේ පැතිරිලා. රට වහන්න වුණොත් නම් අයවැයෙන් ගෙනෙන යෝජනා වලින් පලක් වෙන්නේ නැහැ. අපිත් එක්ක දේශපාලනය කරන විරුද්ධ පක්ෂවලට අවශ්‍යම දේ තමයි රජය අපහසුතාවයට පත් කරලා බිඳ වට්ටන එක. ඒක කරන්න ලේසිම මග තමයි වෘත්තීය අරගලවලට මුවා වෙලා ජනතාව රොතුපිටින් පාරට බස්සවලා ආපසු සැරයක් රට පුරා ලෙඩ පතුරවලා රට අස්ථාවර කරන එක.

එතන සිටි ඉහළ පෙළේ පරිපාලන නිලධාරියෙක් තත්ත්වය විග‍්‍රහ කළේ එසේය.

හිඟන්නගේ තුවාලේ සනිප කරලා දාන එක හොඳම විසඳුම. ආයෙත් තුවාලෙ පෙන්න පෙන්න හිඟාකන්න බැරිම වෙන්න.’’ එතැන සිටි පරිනත ඇමැතිවරයෙක් කීවේය.

ඒ කියන්නේ ජනතාවගේ බදු මුදලින් ගුරුවරු ඔය ඉල්ලන වැඩි පඩි මුදල එක පාරට දිල දාන්න කියලද?…. ඒකට රුපියල් බිලියන 30 ක් විතර ඕන වෙනවා. සෙල්ලමක්ද ජනාධිපති කීවේය. හැබැයි තුවාලේ සනීපයි.

කොහොමටත් අගමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ලබන බදාදා අරලියගහ මැඳුරේදී ගුරුවරුන් එක්ක සාකච්ඡාවක් කරනවා. ඒකෙදි අගමැතිතුමා මේ හැම පැත්තක්ම බලලා ගන්න ඕන හොඳම තීන්දුව ගනීවි. ඒත් එක්කම අපිටත් මේ අරගල ඉස්සරහ කෙළින් හිටගෙන කරන්න සිද්ධ වෙනවා. 69 ලක්ෂයක බලාපොරොත්තු විරුද්ධ දේශපාලන පක්ෂවල කුමන්ත‍්‍රණවලින් යටපත් කරන්න දෙන්න බැහැ. කොහොම වුණත් ඉස්සරහට ඔයාලටත් මීට වඩා වෙනස් ජනාධිපති කෙනෙක් දැකබලා ගන්න පුළුවන් වේවි.

ඒ කිව්වෙ 2022 සර්…..

ඔව් ඉස්සරහට බලන්නකෝ…

මේ කාරණාව ගැන ආණ්ඩුව ඇතුලේ විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කරන්නට වූහ.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදි ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප‍්‍රශ්නයග ගැන විශේෂ සාකච්ඡාවක් පවත්වන්නට තීරණය කළේය. ඒ සඳහා සියලූ පිළිගත් ගුරු වෘත්තීය සමිතිවලටද ගුරු වැටුප් ප‍්‍රශ්නය විසඳන්නට පත් කළ කැබිනට් අනුකාරක සභාවේ සාමාජිකයන්ටද ආයතන නිලධාරීන්ටද විශේෂ ආරාධනාවක් කරනු ලැබීය.

බදාදා දහවල් මෙම කමිටු ශාලාවට මේ පිරිසට අමතරව ගුරු වැටුප් ප‍්‍රශ්නය ගැන උනන්දු මන්ත‍්‍රීවරු කිහිප දෙනෙකුද පැමිණ සිටියහ.

අගමැතිවරයාත් බැසිල් ඇමැතිවරයාත් ශාලාවට පැමිණි පසු කමිටුවේ වැඩ කටයුත නිල වශයෙන් ආරම්භ විය.

පළමුවෙන්ම දිනේෂ් ගුණවර්ධන මේ රටේ අධ්‍යාපන ඇමැතිවරයා හැටියට ගුරු වැටුප් ප‍්‍රශ්නයේ වර්තමාන මුහුණුවර ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනු ලැබීය.

දැන් මේ ප‍්‍රශ්නය විසඳන්න ශ‍්‍රී ලංකා පොදුජන ගුරු වෘත්තීය සමිතියේ හඳපාන්ගොඩ මැතිනියටත් හොඳ යෝජනාවක් තියනවා. අපි එතුමියට ඒ යෝජනාව ඉදිරිපත් කරන් ඉඩ දෙමු. ඉන්පසු වසන්තා හඳපාන්ගොඩ මැතිනිය කතා කරන්නට පටන් ගත්තේය.

ඕ මේ ප‍්‍රශ්නයේ මුල අග මැද, පැහැදිලි කරන අතරතුර ඉල්ලීම් අයගේ පත‍්‍රිකාවක් අගමැතිවරයා අසල නායකයන් වෙත බෙදා දෙන්නට පියවර ගත්තාය.

හඳපාන්ගොඩ මැතිනිය ප‍්‍රශ්නය විග‍්‍රහ කරමින් කතා කරද්දී අගමැතිවරයා ඒ දෙස බලා මෙසේ කීවේය.

අපි දැන් ඔක්කොම ඔය ප‍්‍රශ්නය අසනවානේ….කෙටියෙන් කතා කරමු. බැරිද ප‍්‍රධාන ප‍්‍රශ්නය ගැන කතා කරන්න.

හඳපාන්ගොඩ මැතිනිය ගුරු හිඟ වැටුප් ලබාදීම සම්බන්ධයෙන් රජය මීට පෙර කර තිබූ නිර්දේශ වෙනස් කරමින් හිඟ වැටුප් සියල්ල එකපාර ලබා දෙනමෙන් යෝජනාවක් ඉදිරිපත් කළාය.

ඕ ඒ ගැන තවදුරටත් කතා කරද්දී මුදල් ඇමැති බැසිල් කතා කළේය.

මේ ප‍්‍රශ්නය ගැන අපි හුඟක් කතා කළා. තවදුරටත් කතා කරන්න අවශ්‍ය නැහැ.

වතාවක් මේ ප‍්‍රශ්නය නිරාකරණය කර ගන්න ගුරු වෘත්තීය සමිති මගෙන් වෙලාවක් ඉල්ලලා සිටියා. මම ඒකට වෙලාවක් නොදුන්නේ මගේ තියෙන හිතුවක්කාරකමකටවත්, මුරණ්ඩුකමකටවත් නොමෙයි. ඒ වෙලාවේ මේ සම්බන්ධයෙන් අපිට කරන්න දෙයක් ඉතිරිවෙලා තිබුණේ නැති නිසයි. ඇත්තටම මේ ප‍්‍රශ්නය ඔය විදියට ජනතාවගේ බදු මුදලින් වැටුප් ගෙවලා විසඳන්න අමාරුයි. රජයට කොහෙන්ද මුදල්….ඒකට විසඳුමක් නැහැ.

දැනටමත් අපට මේ ප‍්‍රශ්නයට මුහුණ දෙන්න අමාරුයි. නමුත් අපේ මහා සංඝරත්නය, ආගමික නායකයෝ, ප‍්‍රභූන් මේ ප‍්‍රශ්නය විසඳලා දරුවන්ට පාසල් යෑමේ අයිතිය ලබාදෙන්න කියලා අපෙන් ඉල්ලීමක් කළා.

අපටත් බෑ මේ විදියට දරුවන්ව ගෙදර තියාගන්න ඉඩ දෙන්න. දරුවෝ කියන්නේ රටේ අනාගතය. අපි දරුවන් ගැන හිතලයි මූලික වශයෙන් අපේ වෘත්තිය සමිතය මේ කරපු යෝජනවාට කැමැති වෙන්න තීරණය කළේ.

මම මෙතෙන්ට ආවේ ඒ ගැන තීරණයක් අරගෙන. අපි මේ රටේ ප‍්‍රථම වතාවට තමයි අධ්‍යාපන වැය ශීර්ෂය සියයට 6 කට වඩා වැඩි කළේ. ඒක වැඩිකරනවා කියලා පොරොන්දු වුණ අය කවදාවත් ඒක කළේ නැහැ. අපි 7% ක් ඉක්මවලා ඒ වැය ශීර්ෂය වැඩි කළා. මෙවර හිඟ වැටුප් ගෙවන්න විතරක් රජය රුපියල් බිලියන 30 කට වඩා වැය කරනවා.

බැසිල් කළේ දීර්ඝ පැහැදිලි කිරීමකි. අගමැතිවරයාද, ඩලස්, දිනේෂ්, ලසන්ත, අමරවීර ඇතුළු ඇමැතිවරුද මේ ගැන අදහස් පැහැදිලි කරන්නට වූහ. ගුරු සටනේ කැපී පෙනෙන නියමුවන් වූ ස්ටාලින් හා මහින්ද ජයසිංහ වැඩි කතාබක් නැතිව බලා සිටියේ තමන්ගේ සටන මින්පසු මහපාරට ගන්නට නොහැකිවීම පිළිබඳ දුකකින්ද, සතුටකින්ද කියා පැහැදිලි වූයේ නැත.

ඒ හැරුණු විට ප‍්‍රශ්නය මෙතනින් හමාරවීම ගැන කාගෙ කාගේත් සිත්වල වූ සතුට නම් මුුහුණුවලින් පෙනෙන්නට වූහ.

සාකච්ඡාව අවසන්වී තීන්දු තීරණ ගෙන අගමැතිවරයාත් බැසිල් ඇමැතිවරයාත් කමිටු ශාලාවෙන් පිටව ගියේ වෘත්තීය සමිතිවල සියලූම දෙනාට නිසි පරිදි ආචාර කරමිනි.

ඉන්පසුව ඩලස්, ලසන්ත ඇතුළු ඇමැතිවරු පිටව ගියහ.

වෘත්තීය සමිති නියෝජිතයෝ සමක දිනේෂ් ඇමැතිවරයා තවදුරටත් කතා කරමින් සිටියේය.

මහින්ද අමරවීර යන්නට සැරසී එහෙනම් ස්ටාලින්… මහින්ද අපි යනවා. දැන්වත් අපි අපේ දරු පැටවුන්ට උගන්වමු. දැන් ඇතිනේ දරුවෝ වන්දිගෙව්වා. කියමින් යන්නට ගියේය.

හරි දැන් ප‍්‍රශ්නය ඉවරයි… දැන් ඉතින් වැඩ පටන් ගන්න දිනේෂ් සිනාමුසු මුහුණින් එසේ කීවත් ස්ටාලින්ගේ මුහුණේ හිනාවක් නොවීය.

ඉවර නෑ ඇමැතිතුමා… තව ප‍්‍රශ්න තියෙනවා.

ඔව්.. ඔව් ඔයගොල්ලන්ගේ ප‍්‍රශ්න තියෙන්නේ වෙන උවමනාවකටනේ… කව්දෝ වෙනත් වෘත්තීය සමිතියක කෙනෙක් කියනු ඇසිනි.

තව මොනවද ප‍්‍රශ්න වැටුප් ලැබුණනේ… සතුටින් ගෙදර යන්න. දිනේෂ් කීවේය.

කමිටුව අනුමත කරපු අනෙක් යෝජනා තියෙනවා. ඒවාත් අපේ ඉල්ලීම්. ඒවා ලබාදෙන්න ස්ටාලින් කීවේය. මහින්ද ජයසිංහ කිසිවක් කීවේ නැත.

  • රට යන අය බලන
    රාජකාරිය නාමල්ට

මේ දිනවල රටේ කවුරු කවුරුත් කතා බස් කරන්නේ පෝලිම් ගැනය. ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම් මෙන්න සිගරැට් පෝලිම් ගැන ද කතා කරද්දි රට යන පෝලිම් ගැන ද විවිධාකාරයේ කතා බස් ඇසිනි. ඉකුත් දිනවල අගමැති මහින්ද රාජපක්ෂගේ ද විශේෂ අවධානය ඒ පිළිබඳව යොමු වී තිබුණි.

”මේ ආණ්ඩුව බලයට පත් කරන්න තරුණ තරුණියෝ ලොකු වැඩ කොටසක් කළා. ජනාධිපතිතුමා රට බාර ගන්නකොටම කොල්ලො කෙල්ලො එකතුවෙලා තාප්පවල චිත‍්‍ර ඇන්දා. රට ලස්සන කළා. එහෙම කළේ ලොකු බලාපොරොත්තුවකින්. ඒ අයත් රට යන පෝලිමේ ඉන්නවද කියලා බලන්න ඕනෑ.” යනුවෙන් ඔහු පස්වන සංවත්සර උත්සවයේදී පවසා තිබුණි.

ඒ අනුව එම ව්‍යාපෘතියේද වැඩි බරක් ඇමැති නාමල් රාජපක්ෂට පැවරුණි. ශ‍්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය, ජාතික තරුණ සේවා සභාව හා පෞද්ගලික දානපතීන් ද අත්වැල් බැඳ ගනිමින් ඉදිකළ ‘‘අපේක්ෂාවේ යථාර්ථය’’ කොවිඞ් ප‍්‍රතිකාර නව වාට්ටුව ඉකුත් සතියේ විවෘත කෙරුණේ ඇමැති නාමල් රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙනි.

එදින අපේක්ෂා රෝහල කඩිගුලක් සේ දිස්වූ අතර, දහසකුත් එකක් රාජකාරි මැද එතැනට පැමිණි ඇමැතිවරයා අග‍්‍රාමාත්‍යවරයා විසින් තමන්ට පවරන ලද වගකීම් ද අමතක නොකළේය. උත්සවය නිමවා පිටතට පැමිණෙත්ම ඔහු ජාතික තරුණ සේවා සභාපති දමිත වික‍්‍රමසිංහට කතා කළේය.

”දමිත ඔයාට පොඩි වැඩක් තියෙනවා. මෙතෙක් බාර දීපු හැම වැඩක්ම හිතුවටත් වඩා හොඳට කළා වගේම මේකත් කරන්න බලන්න. මේ ආණ්ඩුව බලයට එද්දී තාප්පවල චිත‍්‍ර ඇඳපු තරුණයෝ ගැන කණ්ඩායම් හඳුනා ගන්න. වෙන් වෙන් වශයෙන් හැමෝම එක්ක කතා කරලා ඒ අය අපේ (Hope For Sri Lanka ) වැඩසටහනට එකතු කරගන්න බලන්න. ඒ අය ඇගයීමක් වශයෙන් තරුණ ව්‍යාපෘති සංවර්ධන යාන්ත‍්‍රණකුත් සකස් කරන්න බලන්න. අද හෙටම මේ වැඬේට අත ගසන්න.” යැයි ඇමැතිවරයා සභාපතිවරයාට උපදෙස් දුන්නේය.

ඒ අනුව සභාපතිවරයා ඇතුළු බලධාරීන් දැනටමත් ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින අතර නොබෝ දිනකින්ම ඒ ඒ ප‍්‍රදේශ වෙත ගොස් තරුණ පිරිස මුණ ගැසීම ඔවුන්ගේ අරමුණයි. එහි ප‍්‍රගතිය පිළිබඳ ඇමැතිවරයා දැනුම්වත් කිරීමට ද කටයුතු යොදා ඇති අතර, තරුණ ආකර්ෂණය ඉහළින්ම මේ සඳහා ලැබෙනු ඇතැයි ද කවුරුත් විශ්වාස කරති.

  • තුනෙන් දෙකේ ආණ්ඩුව
    විපක්ෂයටත් බයයිලූ

සමගි ජන බලවේග පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ විශේෂ කාරණා කිහිපයක් මුල් කරගෙන ය. එකක් ආණ්ඩුව ගෙන ඒමට නියමිත අයවැය පිළිබඳව සාකච්ඡා කිරීම ය. අනෙක සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන ”ශාපයට එරෙහි ජනතා විරෝධතාවය” පිළිබඳව සාකච්ඡා කිරීමටය.

මුලින්ම අයවැය පිළිබඳව සාකච්ඡාවට ගැනුණු අතර එහිදී එරාන් වික‍්‍රමරත්න කියා සිටියේ ආණ්ඩුව හිස් අයවැයක් ගෙන ඒමට සූදානමින් සිටින බවයි.

”අපේ මන්ත‍්‍රී කණ්ඩායම ඒ ඒ විෂයන්වලට කමිටු විදිහට වෙන් කරලා, ඒ ඒ ක්ෂේත‍්‍ර ගැන අවබෝධයක් තියෙන ප්‍රොෆෙෂනල්ස්ලා එක්ක සාකච්ඡා තියලා අයවැය විවාදයට මුහුණ දෙමු” සජිත් ඒ යෝජනාව ගෙනා අතර සියලූ දෙනාම ඊට එකඟ විය.

”ගිය වතාවේ අයවැයේදී අපි ආණ්ඩුවට හොඳටම ඇටෑක් කරා. අපි කියපු හැමදේටම පදනමක් තිබ්බා. මේ වතාවෙත් ඒවගේ තර්කානුකූලව අයවැයට මුහුණ දෙමු” එහෙම කීවේ මනුෂ ය.

ඉන් අනතුරුව සාකච්ඡාවට ගැනුණේ 16 වෙනිදා සිදුකරන්නට යන විරෝධතාවය පිළිබඳවය.

”අනිවාර්යෙන්ම ආණ්ඩුව මේ ගැන ගැස්සිලා ඉන්නේ. අපි මේ වෙලාවේ කල්පනා කරන්න ඕන ආණ්ඩුව මොන වගේ දේවල්වලට යයි ද කියලා.” සරත් ෆොන්සේකා කීවේය.

”මෙයට උසාවි නියෝගයක් ගන්නත් පුළුවන්” චම්පික කීවේය.

”ඔව් අනිවාර්යෙන්ම. ඉස්සරහට කොරෝනා වැඩි වුණා කියලා කැම්පේන් කරයි. මරණ ගණන වැඩි වුණා කියලා නිවුස්වලට කියයි. අලූත් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරයි. අනවශ්‍ය ඒකරාශිවීම් බෑ කියයි. උසාවි නියෝගත් ගනියි. ඒ හැම දේකින්ම බලාපොරොත්තු වෙන්නෙ වෙන මොකක් නොවේ තුනෙන් දෙකේ ආණ්ඩුව අපේ විපක්ෂයට මොනතරම් බයද කියන එක” සජිත් කීවේය.

සාකච්ඡා කර ගත් පරිදි විරෝධතාවයට සියලූ කටයුතු සංවිධානය වෙමින් තිබුණේ ඔය අතරය.

සජිත් කණ්ඩායම් රැස්වීමේදී ප‍්‍රකාශ කළ පරිදිම ආණ්ඩුව වහාම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති මාලාවක් රැගෙන ආවේය. කොහොම වෙතත් සමගි ජන බලවේගය මොන බාධක හමුවේ හෝ විරෝධතාවය පවත්වන්නට තීරණය කොට තිබේ.

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment