2022 මොකද වුණේ!

184

අද 2022 වසරේ අවසාන දිනයයි. අදින් අවසන් වන මේ වසර ගැන දේශපාලන පක්‍ෂ නියෝජිතයන් කීපදෙනකු ‘දිවයිනට’ දැක්වූ අදහස් මේ සමග පළවෙයි.

අරගලය නිසා ඉලක්කවලට යන්න බැරි වුණා – සාගර කාරියවසම්

එරික් ගාමිණී ජිනප්‍රිය

2022 මොකද වුණේ!

අරගලයන් ඇතිවූ නිසා 2022 වසරේ දී අපේක්‍ෂා කළ ඉලක්කවලට ළඟාවීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා දිවයිනට ඊයේ (30දා) පැවසීය. 2022 වසර පිළිබඳව මෙන්ම එළැඹෙන වසර පිළිබඳව අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

අපි 2022 වසරේ දී රජයක් පිහිටුවල විශාල ගමනක් යෑමට අවශ්‍ය මූලික කටයුතු සූදානම් කළා. නමුත් කොවිඩ් වසංගතය නිසා ඇතිවූ ගෝලීය ආර්ථික ප්‍රශ්නත් යුක්රේන යුද්ධය නිසා ඇති වූ ආර්ථික ප්‍රශ්නත්, තවත් විවිධ බාහිර කාරණා හේතු කොටගෙනත් අපිට අපගේ ඉලක්ක කරා ළඟාවීමට නොහැකි වූවා. එසේ වුවත් අපේ ආණ්ඩුවට රටේ ආර්ථිකය වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් වූවා. නමුත් රටේ සමහර පිරිස්වලට ඉවසීමක් තිබුණේ නැහැ. එම තත්ත්වය තුළ විවිධ බලවේගවල මෙහෙයවීමෙන් අරගලයක් ඇතිවූ නිසා අපිට අපේක්‍ෂා කළ ඉලක්කවලට මෙම වසරේදී යන්න බැරි වූවා.

එහෙත් රටේ බුද්ධිමත් ජනතාව මේ වනවිට තේරුම් ගනිමින් සිටිනවා සැබෑ තත්ත්වය කුමක් ද කියන එක. ඒ වගේම මෙම ආර්ථික අර්බුදය ලංකාවට පමණක් බලපෑ තත්ත්වයක් නොවන බව මේ වනවිට රටේ ජනතාව අත් විඳිමින් සිටිනවා. ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවල පවා ආර්ථිකය කඩා වැටිලා ප්‍රශ්න ඇතිවෙමින් පවතින බව. එම නිසා මම විශ්වාස කරනවා 2023 වසරේදී ශක්තිමත්ව ඉදිරියට යන්න පුළුවන් වේවි කියලා. ඉදිරියේදී රටේ ජනතාව වෙනුවෙන් ජාතික ආර්ථිකයට මුල් තැනක් දීලා ශක්තිමත්ව ගමනක් යන්න අපි බලාපොරොත්තු වෙනවා.

ජනතාවගේ බලය ජනතාව හඳුනාගත් වසරක් – දුමින්ද නාගමුව

අනුරාධ හිරිපිටියගේ

2022 මොකද වුණේ!

මැතිවරණවලින් වසර පහකට වරක් තට්ටුමාරු ක්‍රමයට එකම කණ්ඩායමක් බලයට පත්වීම අභියෝගයට ලක් කරමින් ජනතාවගේ බලය ජනතාව විසින්ම හඳුනාගත් වසරක් ලෙස 2022 වසර හැඳින්විය හැකි යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ‘දිවයිනට’ ඊයේ (30 දා) පැවසීය.

ජන අරගලය හරහා ජනතාව එම බලය පෙන්වූයේ යැයිද පැවසූ නාගමුව මහතා මෙම වසර එම අර්ථයෙන් ගත් කල දේශපාලනික වශයෙන් ධනාත්මක වසරක් යැයි ද සඳහන් කළේය. ජනතාව මේ වසරේදී දේශපාලනික අධ්‍යාපනයෙන් සන්නද්ධ වුණේ යැයි ද ඔහු කීවේය.

එමෙන්ම තමන් වගකිව යුතු නැති ආර්ථික අර්බුදයකට ජනතාව ගොදුරු වූ වසරක් ලෙස ද මෙම වසර හැඳින්විය හැකි යැයිද හෙතෙම පැවසීය. එසේ වූයේ පාලකයන්ගේ වැරදි තීරණ නිසා යැයිද ඔහු කීවේය.

පාලකයන්ට කිසිම සැලැස්මක් තිබුණේ නෑ
ගොවියන්ට යන එන මං නැති කළ අවුරුද්දක් – නාමල් කරුණාරත්න

සුජීව තත්සර

2022 මොකද වුණේ!

කෘෂිකර්මාන්තය හරහා මෙරට නිෂ්පාදිත ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන වී ගොවියා සහ එළවළු ගොවියා ඇතුළු සමස්ත ගොවි ජනතාව ම විශාල පීඩනයකට ලක් කරමින් ඔවුන්ට යන එන මං නැති කළ පාලනයක් තිබූ වසරක් ලෙස 2022 වසර ඉතිහාසය ගතවනු ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා දිවයිනට ඊයේ (30දා) ප්‍රකාශ කළේය. 2021 වසරේ දී පෝර ලබා නොදී ගොවියා මස්තබාල්දු කර දැමූ ආණ්ඩුව 2022 වසරේ දී යල මහ කන්න ද්විත්වය ම සෝදා හැරෙන්නට ඉඩ හැර ගොවියා කාලකන්නි තත්ත්වයට ඇද දැමූ බවට ද ඒ මහතා චෝදනා කළේය. 2022 වසර පමණක් නොවෙයි ඊට පෙර සිටත් රටේ ජනතාවට කෘෂි කර්මාන්තයේ නියැළෙන්නට සිදු වූයේ පෝර නොමැතිවය. කළු කඩේ පෝර මිටිය රුපියල් 40,000ට 45,000ට ගියා. තෙල් බෙහෙත්, වල් නාශක කෘමිනාශක නැත්තට ම නැතිව ගියා. මේ සෑම දෙයක්ම ලබාගැනීමට විශාල පිරිවැයක් දැරිය යුතු වුණා. ආණ්ඩුව ඩීල් දැම්මා, ගේම් ගැහුවා. ගොවියාට ප්‍රෙෂර් මානසික ආතතිය වැඩි වුණා. ආණ්ඩුව ගොවියාව කරකවලා ලියැද්දට අත හැරියා. මානසිකත්වය දරා ගත නොහැකි ගොවීන් වස පානය කර මියැදුණා.

2022 දී මෙරටට සහල් මෙටි්‍රක් ටොන් ලක්‍ෂ 08 ක් පිටරටින් ගෙන්වමින් මේ ආණ්ඩුව ඉතිහාස ගත වුණා. අපි ගොවියා වෙනුවෙන් සටන් කළා. නඩු වැටුණා. ඉතිහාසයේ පළමුවරට මෙරට ජනාධිපතිවරයකු රටින් පන්නන අරගලය ආරම්භය සනිටුහන් කරන්න ගොවි ජනතාව මූලිකත්වය ගත්තා. ඒ සටන ගුරුවරු තරුණයෝ දෙමාපියෝ ඇතුළු සැවොම එක්ව රට ම අරගලයකින් පිරුණු සටන් බිමක් වුණා. නමුත් සටන් හෝ අරගලය තාම ඉවර නැහැ එය හෙට නව මුහුණුවරකින් ඉදිරියට එනවා ස්ථීර යැයිද නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

දේශපාලන ස්ථාවරය බිඳ වැටුණා පාලකයන් නිසා ආර්ථිකය වැටුණා
– තිස්ස අත්තනායක

අනුරාධ හිරිපිටියගේ

2022 මොකද වුණේ!

රටේ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය බිඳ වැටී ජන ජීවිත අවුල් වූ වසරක් ලෙස 2022 වසර හැඳින්විය හැකි යැයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ‘දිවයිනට’ ඊයේ (30 දා) පැවසීය.

ආර්ථිකය බිඳ වැටුණේ නිසි කළමනාකාරීත්වයක් නොතිබීම නිසා යැයිද පැවසූ ඒ මහතා එහි වගකීම පැවැති ආණ්ඩුව මෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාරගත යුතු යැයිද සඳහන් කළේය. කාබනික පොහොර ප්‍රශ්නය පවා මතු වූවේ නිසි කළමනාකරණයක් නැති නිසා යැයිද කීවේය.

ආර්ථික අර්බුදය, විදුලි අර්බුදය ඇතුළු තවත් නොයෙකුත් අර්බුද එන බවට කල් තියා දැන ගත්තත් ආණ්ඩුව ඒවා කළමනාකරණය කිරීමට කටයුතු නොකළේ යැයිද හෙතෙම චෝදනා කළේය. 2019 වසරේ සිට කොරෝනා පැවැතියත් ඉන් ඇතිවූ ආර්ථික පීඩනය දැනුණේ 2022 වසරේ යැයිද ඔහු කීවේය. කොරෝනා නිසා ලෝකයේ කිසිම රටක ආර්ථිකය බිඳ වැටුණේ නැතත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණේ පාලකයන්ගේ නොහැකියාව නිසා යැයිද අත්තනායක මහතා කීවේය.

ආර්ථිකය වැටෙන්න මූලික හේතුව පොහොර ප්‍රශ්නය
පසුබෑ රට ගොඩගන්න රනිල් අඩිතාලම දැම්මා – අකිල විරාජ් කාරියවසම්

චමින්ද සිල්වා

2022 මොකද වුණේ!

2022 වසර ආර්ථික වශයෙන් පසුබෑමට පොහොර ප්‍රශ්නය ප්‍රධාන සාධකයක් වූවා යැයි එක්සත් ජාතික පක්‍ෂ උප නායක හිටපු අධ්‍යාපන ඇමැති ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් මහතා ‘දිවයින’ට ඊයේ (30දා) පැවසීය.

පොහොර ප්‍රශ්නයත් සමග තෙල්, ගෑස් පෝලිම් සමග නොයකුත් ආර්ථික ප්‍රශ්න උග්‍රවීම නිසා ජනාධිපති, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය වෙනස්වී ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර යෑමට පවා සිදුවූ වසරක් ලෙස 2022 නම් කළ හැකි බවද ඒ මහතා කීය.

එවැනි තත්ත්වයකට පත්වූ රට යම් තරමකින් ස්ථාවර කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමෙන් පසු සිදුවූ බවත්, ජනාධිපතිවරයාට තවත් කාලයක් දෙනු ලැබුව හොත් රට ස්ථාවර කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කර රට ඉදිරියට ගෙනයා හැකි බවත් කාරියවසම් මහතා කීය.

එමෙන්ම ඇත්ත වශයෙන්ම රට ගොඩගැනීමට අවශ්‍ය නම් ජනාධිපතිවරයා සමග ජාති, පක්‍ෂ පාට බේදයකින් තොරව එක්ව කටයුතු කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව ආපදා අධිරාජ්‍යවාදයේ ගොදුරුක් වීමේ
අවදානමක් තිබෙනවා – වසන්ත බණ්ඩාර

ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට ශ්‍රීලංකාව පත්කරන්න කැස කවනවා
ඉන්දියානු රුපියල අපේ රටේ පාවිච්චි කරන්න පරිසරය හදන්න යනවා

එරික් ගාමිණි ජිනප්‍රිය

2022 මොකද වුණේ!

ලබන වසර තුළ දී ශ්‍රී ලංකාව දැනට දියත් වී තිබෙන ආපදා අධිරාජ්‍යවාදයේ ගොදුරක් බවට පත්වීමේ අනතුරක් තිබෙන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය. ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ ඒ මහතා මෙසේද පැවසීය.

අධිරාජ්‍යවාදීන් වෙනත් රටවල් ගොදුරු කර ගැනීම සඳහා එම රටවල ආපදා තත්ත්වයන් යොදා ගන්නවා. අපේ රටත් මේ වනවිට ආපදා තත්ත්වයකට පත්වී තිබෙනවා. අපි ඒ පිළිබඳව සඳහන් කරන්නේ මානසික බිඳ වැටීම සඳහා නොවෙයි අපි ඊට එරෙහිව ධෛර්යය සම්පන්නව මුහුණ දීම සඳහා වත්මන් රජය මෙම අර්බුදය ආපදා තත්ත්වය විසඳන්නේ කෙසේද කියලා කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වගේම අර්බුදයට හේතුවූ කාරණා මොනවද කියලා නශ්චිතව හඳුනා ගන්නෙත් නැහැ. ඒ කියන්නේ රජය රෝගය විනිශ්චය කරන්නෙත් නැහැ වගේම ප්‍රතිකාරය කියන්නෙත් නැහැ.

මේ වනවිට ණය ගෙවීම අත්හිටුවා ඇති නිසා තෙල් ගෑස් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන ඒම සඳහා ඩොලර් ඉතිරි වනවා. නමුත් ගෙවපු නැති සහ ගෙවන්නේ නැති ණය සියල්ල එකතු වෙනවා. මෙම තත්ත්වය තුළ ඉන්දියාව බලන් සිටිනවා අපි වැටුණාට පසුව ඔවුන්ගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ගේ වැඩපිළිවෙළේ තිබෙන එක් යෝජනාවක් තමයි අපේ ආර්ථිකය ඔවුන්ගේ ආර්ථිකය සමග එක්බද්ධ කිරීම. එහි පැතිකඩ තුනක් තිබෙනවා. එම පැතිකඩ තුනෙන් එකක් තමයි මුදල් ඒකකය එකාබද්ධ කිරීම. යුරෝපා සංගමය තුළ එම රටවල මුදල් ඒකකය වගේම යුරෝ මුදල් එකකයක් භාවිත කිරීමට පුළුවන්කම තිබෙනවා. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසුව අපේ රටේ ශ්‍රී ලංකා රුපියල වගේම ඉන්දියන් රුපියලත් භාවිත කිරීමට හැකි වෙනවා. එහිදී මූල්‍ය ඒකාබද්ධ කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේම එම වැඩ පිළිවෙළ යටතේ රේගු ඒකාබද්ධ කිරීමකුත් සිද්ධ කරනවා. ඒ යටතේ ඉන්දියාවේ එක් ප්‍රාන්තයක සිට තවත් ප්‍රාන්තයකට බඩු ගෙන යන ආකාරයට අපේ රට තුළටත් ඉන්දියන් බඩු ගෙන ඒමට හැකි වෙනවා. ඒ යටතේ ලංකාවේ කර්මාන්ත කඩා වැටිලා ඉන්දියන් කර්මාන්තවලට ලංකාව වෙළෙඳ, පොළක් බවට පත් වෙනවා. ඒ වගේම එම වැඩ පිළිවෙළ යටතේ බදු ක්‍රමයේ එකාබද්ධ කිරීමකුත් සිද්ධ කරනවා. එම ක්‍රමය නිසා ඉන්දියානු ව්‍යාපාරිකයන්ට එරටේ බදු ප්‍රතිපත්තීන් යටතේම අපේ රට තුළත් කටයුතු කිරීමට හැකි වෙනවා.

ඉන්දියාවේ සිටියා සර්දාර් පනික්කාර් කියලා රාජතාන්ත්‍රිකයෙක්. ඔහු 1932 දී පමණ න්‍යායක් ඉදිරිපත් කරලා තිබෙනවා. එම න්‍යායට අනුව ඉන්දියාව විසින් අවට තිබෙන රටවල් අර්ධ යටත් විජිත බවට පත්කර ගත යුතුව තිබෙනවා. ඉන්දියාව විසින් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසුව අපේ රට ඉන්දියාවේ අර්ථ යටත් විජිතයක් බවට පත්වෙනවා. ඒ වගේම අපේ රට ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවටත් පත්වෙනවා.

එහෙත් ඉන්දියාව එයින් නවතින්නේ නැහැ. මොකද ඔවුන් දන්නවා සිංහල බෞද්ධයා වැටුණත් නැවත නැඟිටන බව. 10 වැනි සියවසේදී රාජ රාජ චෝලට යටත්වෙලා සිටියා වසර 70 ක්. නමුත් වසර 70කට පසුව යළිත් නැගිට්ටා. එම නිසා සිංහල බෞද්ධයා යළිත් නැඟිටීම වැළැක්වීම සඳහා 29 වන ප්‍රාන්තය බෙදා වෙන් කළ යුතු වෙනවා.

එම නිසා ලබන වසර තුළ දී අපි ආපදා අධිරාජ්‍යයේ ගොදුරක් බවට පත්වී අපේ රට ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට පත්වීම වළක්වා ගත යුතුව තිබෙනවා. ඒ සඳහා වැඩපිළිවෙළක් අවශ්‍ය වනවා වගේම අපේ ජීවිතත් වෙනස් කර ගත යුතුව තිබෙනවා.

ගොවිතැනට ආ බාධා මැඬගෙන ලබන වසර
සශ්‍රීක කරනවා – ඇමැති මහින්ද අමරවීර

චමින්ද සිල්වා

2022 මොකද වුණේ!

2022 වසරේදී ගොවිතැනට නොයෙකුත් බාධක පැමිණියත් එම සියලුම බාධකවලට විසඳුම් ලබාදෙමින් 2023 වර්ෂය සශ්‍රීක වගාවක් රටේ සිදු කරන බව කෘෂිකර්ම හා වනජීවී ඇමැති මහින්ද අමරවීර මහා “දිවයින”ට ඊයේ (30දා) පැවසීය.

2022 වසරේදී ගොවිතැන අසාර්ථක වූයේ පොහොර ගැටලුව නිසා බවත් 2023 වසරට අවශ්‍ය පොහොර නියමිත කාලයට ගෙන්වා ගොවියාට ලබාදීම නිසා 2022 ඇතිවූ ගැටලු 2023 ඇති නොවන බවද ඇමැතිවරයා කීය.

2023 වසරේදී වී වගාව මුල්කර ගෙන පොහොර සැපයීම සිදුකළත් ඊටත් එහා ගොස් බඩ ඉරිඟු, මිරිස්, අර්තාපල් ඇතුළු අනෙකුත් බෝග වගාවන් සාර්ථක කර ගැනීමට අවශ්‍ය පොහොර ඇතුළු අවශ්‍ය දෑ නියමිත වේලාවට ගොවීන්ට ලබාදෙන බවද ඇමැතිවරයා කීය.

තමා කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස වැඩ භාරගැනීමෙන් පසු මහ කන්නයට වී වගාව පමණක් හෙක්ටයාර් හත්ලක්‍ෂ අසූදහසක් වගාකර ඇති බවත් එම ප්‍රමාණයෙන් රටේ සහල් අවශ්‍යතාව සපුරාගත හැකි බවත් කී අමරවීර මහතා 2023 වසරට සහල් ආනයනය කිරීම අනවශ්‍ය බවද කීය.

කුසලතාවක් නැති අය වගකීම් අරගෙන රට අඳුරු කළා – උදය ගම්මන්පිල

එරික් ගාමිණී ජිනප්‍රිය

2022 මොකද වුණේ!

වැරදි තීන්දු සහ කුසලතාවයෙන් තොර පිරිස්වලට බරපතළ වගකීම් භාරදීම නිසා 2022 සමස්ත ජාතියටම අඳුරු වසරක් වූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා දිවයින ට ඊයේ (30දා) පැවසීය. ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කළ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

2022 වසර සමස්ත ජාතියටම අඳුරු වසරක් වූවා. එම තත්ත්වයට හේතු වූයේ වැරදි තීන්දු ගැනීම සහ කුසලතාවයෙන් තොර පිරිස්වලට බරපතළ වගකීම් භාරදීම නිසා තමයි. මෙම ඝනඳුර පහවයන්න නම් මුළු රටම හරි මගට ගත හැකි ආර්ථික පුනර්ජීවන වැඩපිළිවෙළක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ යුතුයි. ඉන් පසුව සියලු දෙයම පසෙක තබා සමස්ත ජාතියම එම වැඩපිළිවෙළ සමග ගැට ගසා ගත යුතුයි.

එහෙත් අවාසනාවකට ආණ්ඩුව එවැනි වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමේ සූදානමක්වත් දකින්න නැහැ. නමුත් මේ වන විට අර්බුදය ඇති වෙලා වසරක් පමණ වෙනවා. මෙම තත්ත්වය නිසා 2022 වගේම 2023 ත් අඳුරු වසරක් වීමේ දැවැන්ත අවදානමක් තිබෙනවා.

වසර 74ක පාලකයන් රට ඇද දැමූ තැන හොඳට ම පෙනුණු අවුරුද්ද – විජිත හේරත්

කමල් බෝගොඩ

2022 මොකද වුණේ!

ලංකා ඉතිහාසයේ අඳුරුතම වසර ලෙස 2022 වසර ඉතිහාසයට එක්වී ඇති බවත් තවමත් ලක්වාසීන් ගත කරන්නේ එම අඳුරු යුගයේ දිගුවක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා “දිවයින”ට ඊයේ (30දා) කීවේය.

රටේ ආර්ථිකය මුළු මනින්ම කඩා වැටී ජනතාව හාමතේ මියගිය ඉකුත් වසර 74 ක ලංකාව පාලනය කළ පාලකයන් විසින් රට ඇද දමා තිබෙන ප්‍රවාහය හොඳින් පිළිබිඹු කළ වසරක් බවද පැවසූ මන්ත්‍රීවරයා එම දූෂිත දේශපාලනයට එරෙහිව නිර්භීත ජනතාව නැඟී සිටි වසර ලෙස ද ඉතිහාසයට එක්වන 2022 වර්ෂය කෙතරම් බලය තිබණත් ජනතාවගේ කැමැත්ත නොමැතිව පාලකයන්ට බලයේ රැඳී සිටිය නොහැකි බව ඔප්පු කළ ඓතිහාසික වර්ෂයක් ලෙස සැලකිය හැකි බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment