2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය

304

කණ්ඩායම් රඳවා ගත් හා ගිවිසුම්ගත වූ ක්‍රීඩක ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියරේ ක්‍රීඩක කෙටුම්පත්කරණය හෙවත් ක්‍රීඩකයන් තෝරා ගැනීම ඊයේ (05 වැනිදා) රාත්‍රියේදී පැවැත්වීමට නියමිතව තිබිණි. ඒ අනුව ඒ අවස්ථාවට පෙර මෙවර තරගාවලියේදී කණ්ඩායම් විසින් සිය කණ්ඩයමේ රඳවා ගත් හා සෘජුව ගිවිසුම්ගත වූ ක්‍රීඩක ලැයිස්තු ප්‍රකාශයට පත් කළේය.

පසුගිය තරග වාරයේ දී සිය සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන් 6 දෙනකු (විදෙස් ක්‍රීඩකයන් දෙදෙනකු හා දේශීය ක්‍රීඩකයන් සිව් දෙනකු) ක්‍රීඩක කෙටුම්පත් කිරීමට පෙර උපරිම වශයෙන් කණ්ඩායමේ රඳවා ගැනීමේ අවස්ථාව සියලු කණ්ඩායම් වෙත ලබා දී තිබූ අතර, කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයන් දෙදෙනකු හා දේශීය ක්‍රීඩකයන් දෙදෙනකු සමග සෘජුවම ගිවිසුම්ගත වීමේ අවස්ථාව ද පවතී. ඒ අනුව මෙවර කණ්ඩායම් හා ගිවිසුම්ගත වූ හා රඳවා ගත් ක්‍රීඩක ලැයිස්තුව මෙසේය.

ගෝල් ග්ලැඩියේටර්ස්

විදෙස් ක්‍රීඩකයන් තිදෙනකු ද ඇතුළත්ව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සෘජුව ගිවිසුම්ගත වූ හා සිය කණ්ඩායමේ රඳවා ගත් ක්‍රීඩකයන් සංඛ්‍යාව 9කි. ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, සර්ෆරාස් අහ්මඩ්, ඉමාඩ් වසීම්, ෆහීම් අශ්රෆ්, ලක්ෂාන් සඳකැන්, නුවන් තුෂාර හා පුලින තරංග එම ක්‍රීඩකයන් වේ.

කැන්ඩි වොරියර්ස්

මෙවර කැන්ඩි වොරියර්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමඟ සෘජුවම ගිවිසුම්ගත වීමට පියවර ගෙන තිබේ. වනිඳු පසුගිය තරග වාර දෙකේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කළේය. මීට අමතරව පසුගිය තරග වාරයේදී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කළ චාමික කරුණාරත්න ද මෙවර තරගාවලියේ දී කැන්ඩි වොරියර්ස් කණ්ඩායම සමග එක්වී තිබේ. පසුගිය තරගාවලියේදී වොරියර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් සිය සංචිතයේම රඳවාගෙන තිබේ.

මීට අමතරව බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක කාර්ලස් බ්‍රැත්වෙයිට් සහ ඔස්ටේ්‍රලියානු දඟ පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් ග්‍රීන් සමගද කැන්ඩි වොරියර්ස් කණ්ඩායම සෘජුවම ගිවිසුම්ගත වී තිබේ.

කළම්බු ස්ටාර්ස්

පසුගිය තරගාවලියට ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් සිය කණ්ඩායමේ රඳවා ගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම මෙවර පියවර ගෙන තිබේ. මීට අමතරව ජෙෆ්රි වැන්ඩර්සේ හා සීක්කුගේ ප්‍රසන්න ද සංචිතයේ රඳවා ගෙන ඇති අතර චරිත් අසලංක හා නිරෝෂන් දික්වැල්ල මෙන්ම දකුණු අප්‍රිකාවේ ඩ්වේයන් පිටෝරියස් යන ක්‍රීඩකයන් ක්‍රීඩක කෙටුම්පත්කරණයට පෙර සෘජුවම ගිවිසුම්ගත වී තිබේ.

චරිත් අසලංක පසුගිය තරගවාරයේ දී කැන්ඩි වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර, දික්වැල්ල දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සඳහා ක්‍රීඩා කළේය.

ජැෆ්නා කිංග්ස්

පසුගිය තරගාවලි දෙකේදීම ශූරතාවය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ක්‍රීඩකයන් 4 දෙනකු සංචිතයේ රඳවා ගැනීමටත්, දේශීය ක්‍රීඩකයන් දෙදෙනකු සමග සෘජුව ගිවිසුම්ගත වීමටත් මෙවර පියවර ගෙන තිබේ.

තිසර පෙරේරා, ප්‍රවීන් ජයවික්‍රම, මහීෂ් තීක්‍ෂණ, අෂාන් රන්දික, රහමනුල්ලා ගුර්බාස් සහ ෂොයිබ් මලික් සංචිතයේ රඳවාගෙන තිබේ.

පසුගිය තරග වාරයේ දී කලම්බු ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කළ ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ සමගින් ජැෆ්නා කිංග්ස් මෙවර ගිවිසුම්ගත වී තිබේ.

දඹුල්ල ජයන්ට්ස්

දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ක්‍රීඩකයන් සිව් දෙනකු කණ්ඩායමේ රඳවාගෙන ඇති අතර ක්‍රීඩකයන් දෙදෙනකු සමගින් සෘජුවම ගිවිසුම්ගත වී තිබේ. ඒ අනුව දසුන් ශානක, නුවන් ප්‍රදීප්, රමේෂ් මෙන්ඩිස් සහ තරිඳු රත්නායක කණ්ඩායමේ රඳවාගෙන තිබේ.

භානුක රාජපක්ෂ සහ බෙන් කටින් සමගින් දඹුල්ල මෙවර සෘජුවම ගිවිසුම්ගත වී තිබේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment