2022 – වසරේ සෞඛ්‍ය අභියෝග ජය ගනිමු – පෙරඹර

352

නීරෝගීකම මිනිසෙකුට ලබා ගත හැකි උතුම්ම සම්පත හා ලාභය බව අප කවුරුත් දන්නා කරුණකි. එම නීරෝගි බව ලබා ගැනීමේදී සෞඛ්‍ය සේවයේ නියුතු පිරිස් වෙත විශාල වගකීමක් පැටවී ඇත. එබැවින් ඔවුන්ගේ සේවය රටේ අනිකුත් සේවාවන් සලසන පිරිස් වලට වඩා සංවේදිතාව හා වගකීම් සහගත බවින් බැ?රුම් කමක් උසුලයි.

 මේ නිසාම රටේ ජනතාවගේ නිරෝගීකම පිළිබඳව සැලකිල්ලක් දක්වන ඕනෑම රජයක් සෞඛ්‍ය සේවාවේ ගැටලූ දෙස සංවේදීව අවධානය යොමු කරයි. ඉන් බලාපොරොත්තු වන්නේ සෞඛ්‍ය සේවාව සලසන පිරිස් තෘප්තිමත්ව තබා ගනිමින් කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් සමතාවයෙන් යුතුව රටේ ජනතාවට ලබා දීමත් එමඟින් ජනතාව රෝග වලින් තොරව පවත්වා ගනිමින් නිරෝගී ශ‍්‍රම බළකායක් රටේ සංවර්ධනය සඳහා යොදා ගැනීමත්ය. එසේ ක‍්‍රියා කිරීම නිසා ජනතාව සෞඛ්‍ය සේවාව සඳහා වන වියදම් නිසා දරිද්‍රතාවට පත්වීම හෝ ආර්ථික අපහසුතා වලට පත් වීම වළක්වා ගත හැකි වනු ඇත.

 මේ අනුව පෙනී යන්නේ රටක සෞඛ්‍ය සේවයේ  ගැටලූ නිරාකරණය කර ගැනීමට පාලකයන් දක්වන දක්ෂතාව රටක දේශපාලනික, සාමාජීය හා ආර්ථික ස්ථාවරභාවය සඳහා වැදගත් වන ආකාරයයි. මෙම සංකීර්ණ විද්‍යාව තේරුම්ගත නොහැකි දේශපාලනඥයන් හා පරිපාලකයින් සෞඛ්‍ය සේවාව, දේශපාලනිකව පාලනය, කිරීමට යෑමෙන් සමස්ත රටම 2022 වර්ෂයේදී අස්ථාවර වීමේ අවදානමකට මුහුණ දී සිටී.

 ශ‍්‍රී ලංකාවේ මේ වන විට වැඩිහිටි ජනගහනය වැඩි වන රටක් වන අතර එම වැඩිහිටි ජනගහනය වැඩිවීමත් සමඟම බෝ නොවන රෝග වැඩිවීමේ අවදානමකටද මුහුණ දී තිබේ. මෙම බෝ නොවන රෝග හඳුනාගැනීම, දිගුකාලීනව ප‍්‍රතිකාර ලබා ගැනීමට සිදුවීම් හා සංකූලතා ඇතිවීම නිසා එය නිශ්චිතව පාලනය කිරීමේ වැදගත්කමත් පැන නැගී ඇත. එහිදී, නිවැරදි ආහාර රටාවකට අනුගත වීම, ව්‍යායාම වලට යොමු වීම මගින් නිද්‍රාශීලී ජීවන රටාවෙන් මිදීම, දුම්කොළ හා මත්පැන් වලින් ඉවත් වීම තීරණාත්මක වැඩපිළිවෙළ කිහිපයකි. නිවැරදි ආහාර රටාවකට අනුගත වීමේදී වස විසෙන් තොර ආහාර ලබා ගැනීමත්, කිරිපිටි, පාන්පිටි වලින් හැකිතාක් දුරට ඉවත්වීමත්, සමතුලිත ආහාර වේලක් ලබා ගැනීමත් කළ යුතුම වන අතර ව්‍යායාමවලට නිරන්තරයෙන් යොමු වීමත් වයස්ගත වන ජනගහනයක් සිටින රටක බෝ නොවන රෝග අභියෝගය ජය ගැනීමට ඉතා වැදගත් වනු ඇත. දුම්වැටි සහ මත්පැන් වලින් තොර ජනතාවක් බිහිකර ගැනීම සඳහා රජය දැඩි තීරණ ගත යුතුව ඇත. හුදෙක් මේවායින් ලැබෙන බදු ප‍්‍රමාණ මත මිනිස් ජීවිතවල වටිනාකම අවතක්සේරු කිරීම වගකිව යුතු රජයක කාර්යභාරය නොවන බව පෙන්වා දිය යුතුය.

 මෙම බෝ නොවන රෝග වැඩිවීම නිසා ගෘහස්ථ ඒකකයක් තුළ සෞඛ්‍ය සඳහා දැරීමට සිදු වන වියදම් ඉහළ යෑම ජනතාව ආර්ථික අපහසුතා වලට පත් කිරීමට හා දරිද්‍රතාවට පත් කිරීමට හේතු වනු ඇත. එය ආර්ථික සංවර්ධනයක් ලබා ගැනීමට උත්සාහ කරන රටකට දැවැන්ත අභියෝගයකි. ඒ සඳහා දේශපාලනයෙන් තොර, විද්‍යාත්මක සෞඛ්‍ය තීන්දු ගැනීමත් අත්‍යවශ්‍යම සාධකයකි. මෙම වර්ෂයේදී අප බෝ නොවන රෝගවලට යොමු කළ අවධානයම බෝ වෙන රෝග සඳහාද යොමු කළ යුතු බව පැහැදිලි වෙමින් පවතී. එනම්, කොරෝනා වසංගතය නව ප‍්‍රභේද බිහි කරමින් වසංගතයට නව මුහුණුවරක් ලබා දෙමින් සිටී. එබැවින් මෙම නව ප‍්‍රවණතාවට මුහුණ දීමේදී නවීන විද්‍යාව යොදා ගනිමින් මෙම වසංගතයට මුහුණ දීම සඳහා ශ‍්‍රී ලාංකීය මොඩලයක් අප විසින් ක‍්‍රියාත්මක කළ යුතුව ඇත. ඒ සඳහා දූෂිත කේවට්ටයන් පිරිවරා ගත් දේශපාලන කයිවාරුකරුවන් වෙනුවට බුද්ධිමත් නායකත්වයක් හා පරිපාලනයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය බව පෙනී යයි. ඒ තුළින් ඉදිරි අභියෝග වන ඩෙංගු, මැලේරියාව වැනි තර්ජන සාර්ථකව පාලනය කළ හැකි වනු ඇත.

 ඒ අනුව ඉදිරි වර්ෂය බෝ නොවන රෝග හා බෝ වෙන රෝග යන කාණ්ඩ දෙකෙන්ම තර්ජන එල්ල වන වසරක් වනු ඇත. එය සාර්ථකව කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය මානව සම්පත සෞඛ්‍ය සේවාව තුළ ඇත. නමුත් එම කළමනාකරණය සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්තිමය තීරණය ගැනීම හා පවතින ප‍්‍රතිපත්ති වලට අනුගත වීම අත්‍යවශ්‍ය වනු ඇත.

 මෙම සියලූ අභියෝගවලට මුහුණ දීමේදී රටේ ආර්ථික සංවර්ධනය සඳහා සෞඛ්‍ය සේවාව යොදාගත හැකි බව අප තරයේ විශ්වාස කරන කාරණයකි. එක් අතකින් රටේ ජනතාවට වියදමකින් තොරව සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා අවශ්‍ය මානව හා භෞතික සම්පත් කළමනාකරණය කිරීමෙන් ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීමද, අනෙක් අතින් වෛද්‍යවරුන් වැඩි පිරිසක් බිහිකර ගනිමින් ඔවුන්ට විශේෂඥතා සඳහා නිපුණතාවක් ලබා දෙමින් පශ්චාත් උපාධි අවස්ථා වැඩිකර යුතුව ඇත. එම අතිරික්ත විශේෂඥ කාණ්ඩ කෙටිකාලීනව හෝ දිගුකාලීනව විදේශයන් හෝ පෞද්ගලික අංශයන්ට යොමු කිරීමෙන් රටට ආර්ථිකමය වාසි ලබා ගත හැක. එහිදී අනිකුත් සෞඛ්‍ය සේවා කාණ්ඩද මෙම ක‍්‍රියාවලියට අන්තර්ග‍්‍රහණය කර ගනිමින් විදෙස් රටවල් තුළ ශ‍්‍රී ලංකාව ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා ගත හැකි කේන්ද්‍රස්ථානයක් බවටත්, කුසලතා පූර්ණ සෞඛ්‍ය විශේෂඥයන් ලබා ගත හැකි මධ්‍යස්ථානයක් ලෙසටත් ප‍්‍රවර්ධනය කළ හැක. මෙම ක‍්‍රියාවලියට අනුගත වීමේදී වෛද්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතිය පවත්වා ගැනීම හා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය පවත්වා ගැනීම අතිශය තීරණාත්මක වනු ඇත. මේ ආකාරයට රටේ පවතින අභියෝග ජය ගැනීමටත් ශ‍්‍රී ලංකාව ලෝකය තුළ ඉහළින්ම ඔසවා තැබීමටත් අපට හැකියාව ඇත.

 නමුත් වර්තමාන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දේශපාලන නායකත්වය හා පරිපාලනත්වය හුදෙක් කටින් බතල කොළ ඉන්දනවා, මිස දැනට සෞඛ්‍යයේ උද්ගත වී තිබෙන වෛද්‍ය සභා රෙගුලාසි ගැසට් කිරීම, වෛද්‍ය පරිපාලනයේ තනතුරුවලට ස්ථිර පත් කිරීම් සිදු කිරීම, වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් රටපුරා සමතාවයෙන් ස්ථානගත කිරීම යන කාරණා වලට ස්ථිර විසඳුමක් දීමට අපොහොසත් වී ඇත.

 එබැවින් සෞඛ්‍ය වැනි රටක දේශපාලනික, සාමාජීය සහ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කළ හැකි ක්ෂේත‍්‍රයක් හුදු තම දේශපාලන සූදුවක් සඳහා යොදාගෙන තිබීම බැ?රුම් සහගත තත්ත්වයකි. එම නිසා රටත්, ජනතාවත් සුවපත් කරමින් 2022 වසරේ අභියෝග ජයගත යුතුව ඇත. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට නිවැරදි නායකත්වයක් ඕනෑකර තිබේ.

 2022 සෞඛ්‍ය අභියෝග  ජයගැනීමට එක්ව සටන් කරමු.

2022 - වසරේ සෞඛ්‍ය අභියෝග ජය ගනිමු  - පෙරඹර



 වෛද්‍ය නවීන් ද සොයිසා
 රජයේ වෛද්‍ය
 නිලධාරීන්ගේ සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment