2022 වසර පුරා හිතකර විදේශ සංචිත මට්ටමක්: මහ බැංකුව කියයි

417

අපේක්ෂිත විදේශ විනිමය ගලාඒම් සමඟ නිල විදේශ සංචිත තත්ත්වය 2022 වසර පුරා හිතකර මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකුව පවසයි.

නිල විදේශ සංචිත නැවත ගොඩ නැඟීම සඳහා ගත හැකි ක‍්‍රියාමාර්ග සඳහා මහ බැංකුව සහ රජය ක‍්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බව ද, අපේක්ෂිත විදේශ විනිමය ලැබීම් සහ රටේ නිල සංචිත තත්ත්වය ගැන ද කරුණු දක්වමින් මහ බැංකුව මෙසේ ද පවසයි.

දැනට ගනු ලබන ක‍්‍රියාමාර්ග තුළින් 2021 වසර අවසාන වන විට නිල සංචිත ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවට ශ‍්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි. කොවිඞ්-19 ආර්ථික බලපෑම් හේතුවෙන් ඇති වූ බාධක සහ විදේශීය අංශයේ අහිතකර වර්ධනයන් හේතුවෙන් පැන නැඟුණු අභියෝග මධ්‍යයේ වුවද, ශ‍්‍රී ලංකා ආර්ථිකය 2021 වසර පුරාවට බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කළේය. එසේම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීම් ඇතුළු විදේශීය ණය ආපසු ගෙවීමෙන් ශ‍්‍රී ලංකාව සිය ණය බැඳීම් සාර්ථකව ඉටු කළේය. පවතින විදේශීය ණය තිරසාර ලෙස කළමනාකරණය කර ගත හැකි වන පරිදි ණය නොවන ප‍්‍රවාහයන් දිරිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නිල සංචිත නැවත ගොඩ නැඟීම සඳහා ගත හැකි ක‍්‍රියාමාර්ග සඳහා වසර ආරම්භයේ සිට මහ බැංකුව සහ රජය ක‍්‍රියාකාරීව කටයුතු කරමින් සිටී. 2021 වසරේ ඔක්තෝබර් මාසයේ සිට මෙම ප‍්‍රයත්නයන් වේගවත් කරන ලද්දේ සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම ප‍්‍රකාශයට පත් කිරීමත් සමඟ වන අතර, එමඟින් කෙටි කාලීනව නිල සංචිත ගොඩ නැඟීම සඳහා අපේක්ෂිත ඉලක්ක දැක්වීය.

සය මාසික පෙර දැක්මෙහි ප‍්‍රකාශිත පරිදි, නුදුරේදී විදේශ විනිමය ලැබීම් ගණනාවක් අපේක්ෂා කෙරේ. මහ බැංකුවට ලැබෙන ප‍්‍රධාන විදේශ විනිමය ලැබීම් අතර මැද පෙරදිග සහ අනෙකුත් කලාපීය මහ බැංකු සමඟ එ.ජ. ඩොලර් බිලියන 2.0ක පමණ විදේශ විනිමය හුවමාරු පහසුකම් ඇතුළත් වේ. රජය ද්විපාර්ශ්වික මූල්‍යන පහසුකම් ලබාගැනීම්, ඒකාබද්ධ ණය පහසුකම් ලබාගැනීම් මෙන්ම බහුපාර්ශ්වික සංවිධාන තුළින් ණය ලබා ගැනීමේ ක‍්‍රියාවලියක ද යෙදී සිටී. මීට අමතරව, බලධාරීන් විසින් ඉහළ මට්ටමේ විදේශ සංචාරවලදී සාකච්ඡුා කරන ලද අපේක්ෂිත විදේශ විනිමය පහසුකම් ලැබීම් ද ඉදිරියේදී සාර්ථක වනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment