2023ට වැඩ අල්ලන්න ශ්‍රී ලංකාව අද වන්කඩේට අඩිය තියයි

232

අංක එකේ පිතිකරු සහ පන්දු යවන්නා මුහුණට මුහුණ සටනක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2023 වසරට පා තබමින් ඉන්දියාව සමග අද (03 වැනිදා ) සිට තරග තුනකින් යුත් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියට එක්වීමට නියමිතය.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7.00ට දෙරට අතර පළමු තරගය ආරම්භ වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම නායක දසුන් ශානක විසින්ද ඉන්දීය කණ්ඩායම හර්දික් පාන්ඩයා විසින්ද මෙහෙයවනු ලබති.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස වනිඳු හසරංග පත් කළ අතර ඒ අනුව වනිඳු පළමුවරට උප නායකයකු ලෙස අද තරග බිමට පිවිසෙයි.

ඉන්දීය කණ්ඩායමේ නායක සහ හිටපු නායක විරාත් කෝලි දෙදෙනා මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩා නොකරන අතර ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් හට නායකත්වය පිරිනමා තිබේ.

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ඉලක්ක කර ඊට සූදානම් වීම සඳහා දැන් සිටම තම කඳවුර ශක්තිමත් කිරීමට ඉන්දියාව සැරසෙන අයුරු මෙම තරගාවලිය සඳහා නම් කර ඇති සංචිතයෙන් දකින්නට ලැබේ.

2023ට වැඩ අල්ලන්න ශ්‍රී ලංකාව අද වන්කඩේට අඩිය තියයි

පිතිකරුවන්ට වඩාත් හිතකර ක්‍රීඩාංගණයක් වන වන්කඩේ ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරන නායකයා පළමු පන්දු යැවීමට තීරණය කරනු බොහොමයක් අවස්ථාවල දක්නට ලැබුණු අතර ඊට හේතු වන්නේ රාත්‍රියේදී අධික ලෙස පින්න හට ගැනීමයි.

ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල බලාපොරොත්තුව ලෙස සූර්යකුමාර් යාදව් සැලකෙන අතර නව උප නායක වනිඳු හසරංග ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලාපොරොත්තුව ලෙස විචාරකයෝ අනාවැකි පළ කර සිටිති.

2022 වසරේ වැඩිම කඩුලු ලාභීන් අතර තෙවන ස්ථානයේ පසුවන වනිඳු කඩුළු 34 ක් දවාගෙන ඇති අතර මේ වන විට පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හි අංක 1 ස්ථානයේ පසුවන ක්‍රීඩකයා වේ.

එසේම සූර්යකුමාර් යාදව් පන්දුවාර විස්සයි විස්ස තරග අංශයේ මේ වන විට අංක එකේ ස්ථානයේ පසුවන පිතිකරුවා වේ.

පසුගිය වසර තුළ පන්දුවාර විස්සයි විස්ස තරගවලදී වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 1164ක් වාර්තා කර ඇති යාදව් එහිදී ක්‍රීඩා කළ තරඟ 34 තුළදී විදෙස් රටවල දී ශතක දෙකක් ද වාර්තා කර ඇත. පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ රටවල් දෙකෙන්ම ඊළඟට සිටින පිතිකරුවා අංක 10 ස්ථානයේ පසුවන පැතුම් නිශ්ශංක වේ.

දෙරට අතර පන්දුවාර විස්සයි විස්ස තරඟ ඉතිහාසය තුළ ඉන්දියාව තරඟ 17ක් ජයග්‍රහණය කර ඇති අතර ශ්‍රී ලංකාව තරඟ පහක් ජය ගෙන තිබේ. එක් තරඟයක් විසඳුමකින් තොරව නිමා වී තිබේ.

මෙම තරඟාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට අවිශ්ක ප්‍රනාන්දු එක්කර තිබෙන අතර ඔහුට අද තරඟයේ දී අවස්ථාවක් හිමිවනු ඇතැයි බොහෝදුරට අනුමාන කළ හැක.

පසුගියදා ශ්‍රී ලංකාවේ දී නිමා වූ එල්පීඑල් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා මෙන්ම අවසන් මහා තරඟයේ වීරයා ද වූ අවිශ්ක ප්‍රනාන්දු ආබාධයක් හේතුවෙන් මාස ගණනාවක් කණ්ඩායමෙන් ඉවත්ව සිටියේ ය.

අද තරගය සඳහා ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක (නායක) පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර සහ ඩිල්ශාන් මධුසංඛ

ඉන්දීය කණ්ඩායම

හර්දික් පාන්ඩයා (නායක ) ඉෂන් කිශාන්,ශුබ්මන් ගිල්,සූර්යකුමාර් යාදව්, දීපක් හූඩා, සංජු සැම්සන්, වොෂින්ටන් සුන්ඩාර්, හර්ශාල් පටෙල්, යුශ්වේන්ද්‍ර චහාල්, ආර්ශ්දීප් සිං සහ උම්රන් මලික්
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment