2023 අය වැය විවාදය – ඉහළ යන පොලී අනුපාත ස.තො.ස.ටත් ගැටලුවක් – වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දු

104

ආණ්ඩුව ආහාර සුරක්ෂිතතාව ගැන කතා කළත් වෙන්කර ඇත්තේ සොච්චම් මුදලක් – බුද්ධික පතිරණ (සජබ)
ආණ්ඩුවේ දේශපාලනඥයෙක් රබර් කිරි ගෙන්වීමෙන් දේශීය ගොවියා අසරණයි – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර
ලංකාවේ පුද්ගලයන් 65000 ක් ආහාර හිඟයෙන් පෙළෙනවා = පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය හරිනි අමරසූරිය (ජාජබ)
පොල් වගාව කෘමි උවදුරෙන් බේරාගන්න වහා පියවර ගන්න = ජී. රත්නසේකර (ශ්‍රීලපොපෙ)

ජනතාව පත්ව සිටි ආර්ථික හා මානසික පීඩාකාරීත්වයෙන් මිදීම සඳහා ජනාධිපතිගේ මඟ පෙන්වීම යටතේ භාවිත කළ උපාය මාර්ගවලින් තම අමාත්‍යංශයට අත්කර ගැනීමට හැකිවූ ප්‍රගතිය ගැන ජනතාව සතුටු වන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30 දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. ලිපිලේඛන, වාර්ෂික වාර්තා, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව අංක 27/2 යටතේ විශේෂ ප්‍රශ්න විමසීම, අමාත්‍යාංශ නිවේදන හා ඒවාට පිළිතුරු දීමෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ විය.

ඒ අනුව කර්මාන්ත අමාත්‍යාංශය, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සහ වැවිලි අමාත්‍යාංශය සහ ඊට අදාළ දෙපාර්තමේන්තුහි වැය ශීර්ෂයන් පිළිබඳ විවාදය ආරම්භ කරමින්,

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා (ස.ජ.බ) –

මේ අමාත්‍යාංශ තුනට වෙන්කරලා තිබෙන ප්‍රතිපාදන දෙස බැලුවහම මේ අංශවලට තිබෙන සැලකිල්ල තේරුම් ගන්න පුළුවන්. කර්මාන්ත අමාත්‍යංශය කියන්නේ කෙතරම් වැදගත් අමාත්‍යංශයක්ද? රුපියල් බිලියන 08 යි වෙන්කරලා තිබෙන්නේ. ආණ්ඩුව උදේ ඉඳන් රෑ වෙනකම් කතා කරන්නේ ආහාර සුරක්ෂිතතාව. නමුත් වෙන්කරලා තිබෙන්නේ බිලියන 06යි. මේ වගේ සොච්චම් මුදලක් වෙන් කරලා හැකියාව තිබෙන දක්ෂතාවය තිබෙන අයව ළිප් බොක්කට දාලා තිබෙනවා. පළමුවෙන්ම කළ යුත්තේ මේ අංශවලට අදාළව ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන. දැන් සිටින ජනාධිපතිත් කර්මාන්ත ඇමැතිවෙලා හිටියා. ඒත් ජාතික ප්‍රතිපත්තියක් හදාගන්න බැරිවුණා. එදා මම හදන්න හදනකොටම තමයි ජනාධිපතිවරණයෙන් අපට පරාදවෙලා යන්න වුණේ. මම මාස 03යි එහි හිටියේ. දැන් අවුරුදු 03ක් ගතවෙලාත් ඒ ප්‍රතිපත්තිය හදාගන්න බැරිවෙලා. දැන් බලන්න පාරිභෝගික අධිකාරියේ පනත සම්මත කර ගන්න බැරිවෙලා. අපි හැදුවා. මම දන්නෑ ඇයි තාම බැරිවුණේ පාර්ලිමේන්තුවට එවන්න. මේ ප්‍රතිපත්ති ටික මුලින්ම හදාගන්න ඕන. ඒ වගේම මොන ආණ්ඩුව ආවත් මේ ප්‍රතිපත්ති තමයි දිනවන්න ඕන. නායකයෝ නොවෙයි දිනවන්න ඕන.

(කෝකිලා ගුණවර්ධන මහත්මිය මුලාසනයට පැමිණේ)

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දු මහතා –

ලංකා සතොස ආයතනය භාණ්ඩාගාරයට බරක්ව තිබුණා. පාඩුව බිලියන විස්සක්. නමුත් මම පත්වූ පසු මේ වනවිට එම වැය බර අවසන් කර තිබෙනවා. සුපිරි වෙළෙදසැල්වල මිල ගණන් නිරන්තරයෙන් සොයා බලා තරගකාරී මිලක් සතොස ආයතනයේද ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් මේ වනවිට අඩු වී තිබෙනවා. ඉහළ යන පොලී අනුපාත හේතුවෙන් සතොස ආයතනයත් ගැටලුවකට මුහුණ දී තිබෙනවා. විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ලබාදීම සඳහා වාර්ෂිකව වෙන් කෙරෙන රුපියල් කෝටි එකසිය හැටක මුදල වැඩි කර ගැනීමට අපේක්ෂා කරනවා.

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී නාලක කෝට්ටෙගොඩ (ශ්‍රීලපොපෙ) – රටේ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ අභියෝග හමුවේ ඉදිරියට යෑමට අවශ්‍ය සැලැස්මක් කර්මාන්ත ඇමැතිවරයා ඉදිරිපත් කර තියෙනවා. ආයෝජකයන්ට අවශ්‍ය හිතකර පහසකම් ඇති කර තියෙවා. දඹුල්ලේ ආයෝජන කලාපයක් ඇති කර තිබෙනවා. මාතලේ ඇළහැර ප්‍රදේශයේ මැණික් කර්මාන්තකරුවන් මගින් අපනයනයට වැඩිම මැණික් ප්‍රමාණයක් ලබාදෙනවා.

පත් කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය (ජාජබ) – ජනතාවගේ ප්‍රශ්නවලට කිසිම විසඳුමක් නොලැබෙන අයවැයකට අපි විවාද කරගන්නේ. ආහාර සුරක්‍ෂිතතාව අද රටේ බරපතළ අර්බුදයක් ඇතිවෙලා. අයවැයෙන් වෙළෙඳ අමාත්‍යාංශයට ආහාර සුරක්‍ෂිතතාවට වෙන්ව ඇත්තේ සියයට බින්දුවයි දශම දෙකක් විතර. ආහාර කොමසාරිස් කාර්යභාරය හා මැදිහත්වීම ඉතා දුර්වලයි.

පෝෂ්‍යදායි ආහාර නොලැබීම නිසා මන්දපෝෂණ තත්ත්වය පෙර සිට ම වාර්තා වුණා. දැන් අවදානම වැඩිම වූ අවස්ථාවකට දැන් අපි එළැඹ තියෙනවා. ජනතාවගෙන් මිලියන 5.3ක් ආහාරවේල් ප්‍රමාණය අඩුකරලා. පුද්ගලයන් 65000ක ප්‍රමාණයක් ආහාර හිඟයෙන් පෙළෙනවා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සම්පත් අතුකෝරළ (ශ්‍රීලපොපෙ) – තේ හා කුරුඳු කර්මාන්තකරුවන් නොහිටින්න රටේ ආර්ථිකය මේ වනවිට බිමට සමතලා වෙලා. කොවිඩ් ඇතුළු විවිධ දරුණු අභියෝග තිබිය දී මේ කර්මාන්තකරුවන් ඩොලර් බිලියන හත අටක් රටට ගෙනැත් දුන්නා. ගාල්ලට පොහොර ගබඩාවක් අවශ්‍යයි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනී තලතා අතුකෝරල (සජබ) – අද තේ කර්මාන්තයේ ඇතිවූ කඩාවැටීමට රසායනික පොහොර තහනම් කරපු අය වගකිව යුතුයි.

ජීවන වියදම වැඩිවීම නිසා කම්කරුවන්ගේ වියදම් වැඩිවෙලා. මේ ගැන අවධානය යොමු කරන්න. වතුවලින් හිතන තරම් දලුු ගන්න බැහැ.

රුපියල් දහසක් ඉල්ලා එදා උද්ඝෝෂණ කළා. අද දාහකින් කරන්න පුළුවන් දෙයක් නෑ.

ප්‍රධාන ගංගාවල් වෙන්දේසි කරලා පවරන්න යනවා කියලා ආරංචියි. ඒත් මේ ව්‍යාපාරයේ ජීවත් වන අයට දැඩි බලපෑම් එල්න වෙනවා. වෙන්දේසි කිරීමේ දී ඔවුන් ගැනත් හිතන්න.

කර්මාන්ත ඇමැති වෛi රමේෂ් පතිරණ – ඩොලර් බිලියන 3.4ක් වැවිලි අපනයනයෙන් ලැබුණේ. තේ රබර් කුරුඳු ආදියෙන්. මේ වසරේ තවත් වැඩි වෙයි කියලා හිතුවත් ලෝක ආර්ථිකයේ පහළ යෑම නිසා ඉල්ලුම් අඩු වුණා.

පොහොර තහනම නිසා තේ වගාවට බලපෑම් ඇති වුණා. නිමිතේවලට උපරිම මිලක් ගිය වසරේ දී ලැබුණා. රුපියල් 400ක වාර්තාගත මිලක් තේ දලු කිලෝවකට ලැබුණා.

2023 දී තේ අංශයට හොඳ කාලයක් උදාවේවි. සන්නාම ප්‍රවර්ධනයට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඍජු තේ පැළ කිරීමේ ක්‍රමයක් සිදු කරනවා. ගොවීන්ට පොහොර දෙන්න බිලියන 3 ක් වෙන් කළා.

කර්මාන්ත අංශය ශක්තිමත් වුණේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ නිසයි. ඉදිරියේ දැඩි ප්‍රශ්න මතු නොවුණොත් ලබන වසරේ හොඳ කාලයක් ඇතිවේවි. රබර් මිල අඩු වුණේ රබර් ආනයනය නිසාම නොවෙයි. එය නියාමනය කරන්න ක්‍රමවේදයක් හැදුවා. රටට අනවශ්‍ය රබර් ආනයනය කිරීමට ඉඩ නෑ. ඉඩම් කැබලි කිරීමට ඉඩ දෙන්නේ නෑ.

පසුගිය ආණ්ඩු ලංකාවේ කර්මාන්ත ප්‍රවර්ධනයට ඉකුත් කාලය පුරාම වෙන්කර ඇත්තේ සුළු මුදල් ප්‍රමාණයක්. එය විශාල අභියෝගයක්. කර්මාන්ත පිළිබඳ සැලැස්මක් ක්‍රියාකරන සනීපාරක්‍ෂක කට්ටල එදා ආනයනය කළත් අද සියල්ල රටේ හදනවා. වාහන එකලස් කිරීමේ උපාංග හදනවා. වාහන 7000 ක් ගිය වසරේ එකස් කළා. ආර්ථිකය නිවැරදි වූ විට ආනයනයට එකවර විවෘත කොළොත් මේ කර්මාන්ත විනාශ වේවි. ඒ ගැන විශේෂයෙන් සිතා බැලිය යුතුයි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ

අද රටේ කුඩා තේ වතු හිමියන් මුහුණ පා ඇති ගැටලු විසඳන්න ක්‍ෂණිකව බැහැ. ඔවුන් ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍යයි. අදටත් තේ පොහොර ටික ලැබී නෑ, කුඩා තේ වතු හිමියන්ගේ ගැටලුවලට විසඳුම් දීමට පෙර පොහොර ටිකවත් ලබාදීමට මුලින්ම පියවර ගන්න.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි විමල් වීරවංශ –

නව පරපුරේ නවෝත්පාදන අදහස් හා චින්තනය හදන්න බැරිනම් අපට කවදාවත් ඉදිරියට යන්න බැහැ.

අපේ රටට හැකියාව ඇති තරුණ පරපුරක් ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය පරිසරය ඇති කිරීම අවශ්‍යයි. කර්මාන්ත ක්‍ෂේත්‍රයට පැවැති බැංකුවත් විනාශ වෙලා. අලුත් දරුවන්ට අභියෝග දෙන්න එවිට ඒවා ජයගත හැකියි.

තියෙන වත්කම් විකුණන් කාලා යන ගමන අසාර්ථකයි. එහෙම රටකට යන්න බැහැ. අර්බුදයකට ලක්වූ අවස්ථාවක වත් හිතලා ඉදිරියට යන්න බැරිනම් වැඩන් නෑ. අතීතයේ නොගත්තු තීරණ දැන්වත් ගන්න. අවංකව කැපවුණොත් තමයි අභියෝගයට ජය ගත හැක්කේ.

පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර (සජබ) – රබර් මිල එදා ආර්ථික අර්බුදය පටන් ගන්නා විට කිලෝව 300 ක්. අර්බුදයෙන් පස්සේ මිල වැඩි විය යුතු වුවත් අද අඩුවෙලා. ආණ්ඩුවේ දේශපානඥයකු රබර් කිරි විශාල ප්‍රමාණයක් ආනයනය කරලා මේවාට විදේශ විනිමය විශාල ලෙස වැය කරලා. මේ ධනපතියා තමාගේ සමාගමට රබර් කිරි ගෙනාවා. මේවා නවත්වන්න කටයුතු කරන්න. රජයේ වැරදි නිසා රබර් ගොවියා අද අසරණ වෙලා.

උක් ගොවියාට අද පාඩු තත්ත්වයක් ඇතිවෙලා. ඒත් සීනි මිල එතනෝල් මිල තුන් ගුණයකින් වැඩි වුණා. ඒ නිසා උක් ටොන් එකකට ගෙවන මිල වැඩි කරන්න.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජී. රත්නසේකර (ශ්‍රීලපොපෙ) – පොල් වගාව කෘමි උවදුරකට ගොදුරු වෙලා. වහාම ඊට කඩිනම් විසඳුම් ලබා දෙන්න. එසේ නොවුණොත් වැඩිකල් යන්න පෙර පොල් තියා තැඹිලි ගසක්වත් ඉතිරි වෙන්නේ නෑ.

පොල් ඉඩම් කට්ටි කිරීම නිසා පොල් වගාව විනාශ වෙනවා. තිබෙන පොල්ගස්වල ඵලදාව අඩුයි. අස්වැන්න වැඩි කර ගන්න පොහොර හා ජලය නිසි ලෙස ලැබෙන වැඩපිළිවෙළක් හදන්න.

පාර්ලිමේන්තුව අද (01 දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.
අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment