2023 නව වසරේ පලාඵල

2395

මේෂ – විදේශ රැකියා

ලග්නාධිපති කුජ 2 වැන්නේ ද කේතු 7 වැන්න සහ රවි බුධ සංයෝගව 9 වැන්නේ ද ශුක්‍ර – ශනි 10 වැන්න සහ ගුරු 12 වැන්න ද රාහු සඳු සමග ලග්න ගත ගෝචර මෙම වසර ශුභාශුභ ඵල සහිතයි.

රැකි රක්ෂාවල යහපත් වෙනසකට හේතුයි. අහිමි වී ගිය රැකියාවන් සහ තනතුරු නැවත ලැබෙන අතර විදෙස් රැකියාවකට හේතුයි. තැන්පත් ධනය වර්ධනය වෙයි.

ගෘහ ජීවිතය ශුභඵල දෙයි. අඹු සැමි ආරාවුල් විසඳයි. යහපත් පවුල් ජීවිතයකට හේතුයි. පදිංචියේ වෙනසකට හේතුයි. එය ද යහපතට සිදුවෙයි. තමනට ස්ථිර පදිංචියක් සඳහා මාර්ග සැලසේ. අවිවාහක අයට මංගල සිනු නදවන වසරකි. විදෙස් ගත අයටත් විදෙස් ගතවීමට ඉන්නා අයටත් ශුභයි. ප්‍රීති උත්සව යෙදේ.

අනවශ්‍ය විහපැහැදම් ඇති වෙයි. ප්‍රේම සබඳතා ඇති වෙයි. යටපත්ව තිබූ සබඳතා වර්ධනය වෙයි. රහස් සබඳතාවලදී ප්‍රවේශම මැනවි. තම නමට කැලැල් ඇතිවීමට ඉඩ තිබේ. මනසට අවිවේකය ගෙන දෙයි. අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. උසස් අධ්‍යාපනයේ යෙදෙන්නට මාර්ග සැලසේ. නව නිර්මාණකරණයට හොඳයි. මෙම වසර ජනප්‍රසාදයට තුඩුදෙන කරුණු යෙදේ. දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඇසුරු කරන්නන් ද දහමට යොමු කරවයි.

කලක් පීඩා විඳි රෝගවලින් තරමක් නිදහස් වෙයි. ලේ දුෂිත රෝග, මධුමේහ රෝග වැනි දේට හේතුයි.

ශුභ වර්ණ – දම්, රතු, ජය අංක – 05, 07

තමන් කැමති අයුරින් පුද පූජාවල යෙදෙන අතර, බද්ධ කළ පලතුරු පොදු ස්ථානවල සිටුවා සත්කාර කිරීම, තල්තෙල් පහන් දැල්වීම. බෝධි සත්කාර පූජා පැවැත්වීම, කඳ කුමරු ප්‍රධානව දේව පූජා පවත්වා සෙත් ලබා ගැනීම ශුභයි.

වෘෂභ – යාන වාහන ලාභ

ලග්නාධිපති සිකුරු ශනි සමග 9 වැන්නේ ද ගුරු 4වැන්නේ ද රාහු සඳු සමග 12 වැන්නේ ද කුජ ලග්නගතවද ද කේතු 6 වැන්න සහ රවි බුධ 8 වැන්න ගෝචර මෙම වසර ශුභාශුභ ඵල මතු කරයි.

රැකියාවල වෙනසක් නොවේ. නමුත් රාජකාරි බාධා එල්ල වෙයි. ව්‍යාපාරික ස්ථාන දියුණු වෙයි. නමුත් සතුරු බලපෑම් එල්ල වෙයි. ධනය ලබන අතර වැයපස ඉහළ යයි. ණයතුරුස් වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශමෙන්.

ගෘහ ජීවිතය ශුභඵල දෙයි. නමුත් දෙදෙනා අතර සුළු දුරස්ථවීමකට හේතු ගෙන දෙයි. කතාවේදී ක්‍රියාවේදී ඉවසීමෙන් ක්‍රියා කළ යුතුය. රහස් සබඳතා වර්ධනය වෙයි. අවිවාහකයින්ට ශුභයි. ඉඩකඩම්, යාන වාහන ලාභ ගෙන දෙයි. තරමක් නීතිමය ගැටලු ඇතිවීමට ද ඉඩ ඇති බැවින් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය. ප්‍රීති සාද උත්සව වැනි දේවල් නිතර යෙදේ.

අධ්‍යාපනයේ යෙදන්නන්ට ශුභයි. නමුත් අලස ගති ඉස්මතු කරයි. සෞන්දර්ය ක්‍රියාවන්හි යෙදෙන්නන්ට ශුභයි. මහජන ප්‍රසාදයට පත් වෙයි. කලක් වද දුන් සතුරු බලපෑම් ඉවත්වෙයි. භූමි ලාභ, භූමි සම්පත් ගෙන දෙයි. කෘෂිකාර්මික කටයුතුවලින් ජය ගෙන දෙයි. ආගමික වතාවත් ද ගරු කරන වසරකි.

ස්නායු පද්ධතියේ රෝග, මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග, අම්ල පිත්ත රෝග, තරමක් මතු කරයි.

ශුභ වර්ණ – සුදු, කහ
ජය අංක – 02, 07

ශ්‍රමණ බමුණන් උදෙසා ගෞරව පූජා පැවැත්වීම, දානාදී කුසලකර්ම වල යෙදීම, මී තෙල් පහන් දල්වා බෝධි පූජාවල යෙදීම, පත්තිනි දෙවඟන, පාර්වතී දෙවඟන මුල්කර පූජා පැවැත්වීම ජයකි.

මිථුන – රැකියා ලාභ

ලග්නාධිපති බුධ රවි සමග 7 වැන්නේ ද සිකුරු ශනි සමග 8 වැන්නේ ද ගුරු 10 වැන්න සහ රාහු සඳු සමග 11 වැන්නේ ද කුජ 12 වැන්න සහ කේතු 5 වැන්න ගෝචර මෙම වසර ඔබට ද සමඵලයි.

රැකි රක්ෂාවල තරමක් උසස්වීම් ඇති කරයි. තවද භූමි ලාභ ද මතු කරයි. ව්‍යාපාරවල ද තරමක දියුණුවක් පෙනෙයි. වැයපස ද ඉහළ යන බැවින් අයවැය ද සම වේ.

ගෘහ ජීවිතය ශුභයි. අඹු සැමි සුහඳතා වර්ධනය වෙයි. තම වැදගත් ක්‍රියාවන්වලදී, ව්‍යාපාරවලදී හැකි පමණ ප්‍රවේශම මැනවි. දූරදර්ශි ඥානයෙන් ක්‍රියා කිරීමත් වැදගත්. රැවටිලිවලට හසුවීමෙන් අවාසි සිදුවෙයි. ආරංචි පමණින් කලබල වී ක්‍රියාකිරීම අවාසි ගෙන දෙයි. ආදර සබඳතාවලට ද පීඩා මතු කරයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි.

අධ්‍යාපනික ක්‍රියාවන් විශේෂයෙන් සෞන්දර්ය හා කලා නිර්මාණවලින් ජය ලබයි. තුරග තරග ජය ගෙන දෙයි. ඇසුරේදී ඉතා ප්‍රවේශම් වීම මැනවි. නොකළ වැරදිවලට හසුවීමට ඉඩ තිබේ. නව නිවාස ලාභ ලැබීම්වලට හේතුයි. පදිංචිය ශුභවාදීව වෙනස් වෙයි. ආගමික ක්‍රියාවන්හි යථා නුවණින් ක්‍රියා කරයි. මෙය ඔබගේ උත්තම ක්‍රියාවකි. බොහෝ කොට සිරස ගත රෝග ආතති වැනි දේ ඇති වෙයි. සන්ධි රෝග, වාතාධික රෝග ද මතු කරයි.

ශුභ වර්ණය – රන්වන්, කොළ
ජය අංක – 03, 06

පුලුන්නන් උදෙසා දානමානාදී පැවැත්වීම, ආගමික වතාවත් ගරු කිරීම, කොහොඹ තෙල්, පොල්තෙල් මිශ්‍ර පහන් දල්වා බෝධි පූජා පැවැත්වීම, බ්‍රහ්ම – විෂ්ණු පූජා පවත්වා ආශීර්වාද ලබා ගැනීම ශුභයි.

කටක – දේපළ ලාභ

ලග්නාධිපති සඳු රාහු සමග 10 වැන්නේ ද කුජ 11 වැන්නේ ද කේතු 4 වැන්න සහ රවි බුධ සංයෝගව 06 වැන්නේ ද ශනි සිකුරු 7 වැන්න සහ ගුරු 9 වැන්න ගෝචර මෙම වසර මධ්‍ය ඵල දරයි.

රැකි රක්ෂාවල උසස්වීම් හෝ රැකියා බලාපොරොත්තු වූවන්ගේ අදහස් ඉටු වෙයි. තම ව්‍යාපාරවලින් ස්වයං රැකියා යනාදියෙන් ජය ලබයි. තැන්පත් ධනය වර්ධනය වෙයි.

ගෘහ ජීවිතය ශුභයි. තම ඥාති වර්ගයා අතර ප්‍රසාදය දිනයි. නිශ්චල චංචල දේපළ ලාභ දෙයි. පැවති නීතිමය ගැටලුවලින් ජය ලබයි. තමන්ට අයිති ක්‍රියාකාරකම් උනන්දුවෙන් කරයි. ප්‍රසාදයට පත්වෙයි. උගතුන් වියතුන් ආදීන්ගේ සිත් ආකර්ශනය කර ගනී. අවිවාහක අයට මෙම වසර ශුභඵල දෙයි.

අධ්‍යාපනයේ යෙදන්නන්ට ශුභඵල ගෙන දෙයි. ධාරණ ශක්තිය වර්ධනය වෙයි. දුරදක්නා නුවණින් ක්‍රියාකර ජය ලබාග තත හැක. විදෙස් ගමන් බලාපොරොත්තු වූවන්ට ජය ගෙන දෙයි. විදෙස් ගත වූ අයගෙන් උපදෙස් උපකාර ද ලබයි. ලිපි ලේඛන ක්‍රියාවන්ගෙන් ජය ලබයි. ප්‍රීති උත්සව, සාද නිතර යෙදෙන සහභාගි වන වසරකි. දහමට ද ලැදිව ක්‍රියා කරයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වෙයි.

සෙම් රෝග, සෙම් කෝප දෝෂ මතු කරයි. පෙනහලු ආසාදන බෝවන රෝගාදියට ගොදුරු වෙයි. මුත්‍රා ආසාදන ගෙන දෙයි.

ශුභ වර්ණ – රෝස, සුදු ජය අංක – 04, 07

පූජකවරුන් උදෙසා ගරු බුහුමන් කිරීම, දානමානාදී පුණ්‍යකර්මවල යෙදීම, දුගී දුප්පතුන් උදෙසා උපකාර කිරීම, මීතෙල්, තලතෙල් මිශ්‍රව පහන් දල්වා බෝධි වන්දනා වැනි දේ සිදු කිරීම, පත්තිනි දෙවඟන, පාර්වතී දෙවඟන සිහිකර පුද පූජා පැවැත්වීම ශුභදායකයි.

සිංහ – විදෙස් ගමන් ලාභ

ලග්නාධිපති රවි බුධ සංයෝගව 5 වැන්නේ ද ශනි සිකුරු සංයෝගව 6 වැන්නේද ගුරු 8 වැන්නේ ද රාහු සඳු සංයෝගව 9 වැන්නේ ද කුජ 10 වැන්න සහ කේතු 3 වැන්න ගෝචර මෙම වසර ශුභඵල දෙයි.

රැකියා ලාභ ලබයි. තනතුරු ලාභ ගෙන දෙයි. ව්‍යාපාර දියුණුවට පත් වෙයි. භූමිය ආශ්‍රිත ක්‍රියාවන්ගෙන් ජය ලබයි. තැන්පත් ධනය වර්ධනය වෙයි.

ගෘහ ජීවිතය ශුභයි. ඇසුරින් දුරස්ථ වූ ඥාති මිත්‍රාදීන් සුහදතාව වර්ධනය කර ගනී. තම වටිනාකම ප්‍රදර්ශනය වන ක්‍රියා යෙදේ. ස්ථිර වාසස්ථාන, යාන වාහන ලාභ ගෙන දෙයි. විදෙස් ගමන් යෙදේ. විදෙස් ගත වූ තම ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ද ලබයි. නව ව්‍යාපාර හවුල් ව්‍යාපාර ඇරඹීමට හොඳයි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ජයයි. තරග විභාග ආදියෙන් ජය දෙයි. ප්‍රීති සාද, උත්සව නිතර යෙදේ. සුහදතාව වර්ධන ක්‍රියාවන්හි මුල්වෙයි. බලාපොරොත්තු නොවන අයුරින් ජය ගෙන දෙයි. නමුත් ආරංචි පමණින් වැරදි වැටහිම් මත සිත නොසන්සුන් කර ගනී. එබැවින් බුද්ධිමත් විය යුතුයි. දහමට ද ලැදිව ක්‍රියා කරයි. එවැනි දේවල් වලට මූලිකව කටයුතු කරයි.

සිරස ගත රෝග, නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරයි. සුළු ශල්‍ය කර්මවලට ද හේතු මතු කරයි. යටපත්ව තිබූ රෝග ද නැවත මතු කරයි.

ශුභ වර්ණ – තැඹිලි, ලා දම්
ජය අංක – 01, 06

පූජ්‍ය පක්ෂයට ගරු බුහුමන් දක්වා දානමානාදී ක්‍රියාවන්වල යෙදීම, පූජා ස්ථාන සංරක්ෂණ, අලුත්වැඩියාව, ඊශ්වර දෙවි පූජාව, ගණ දෙවි පුද පූජා පවත්වා සෙත් ලබා ගැනීම ශුභයි.

කන්‍යා – මංගල සීනු හැඬ වෙයි

ලග්නාධිපති රවි සමග සංයෝගව 4 වැන්නේ ද සිකුරු ශනි සංයෝගව 5 වැන්නේ ද ගුරු 7 වැන්න සහ රාහු සඳු සමග 8 වැන්නේ ද කුජ 9 වැන්නේ ද කේතු 2 වැන්න ගෝචර මෙම වසර තරමක් ශුභඵල දෙයි.

ගෘහ ජීවිතය ශුභඵල සහිතව යෙදේ. තම අරමුණු දියත්කිරීමේ ශක්තිය වර්ධනය වෙයි. සෞන්දර්ය ක්‍රියාවන්ගෙන් ජය ලබයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. විවාහය දක්වා ගමන් කරයි. ප්‍රීති උත්සව සාද නිතර යෙදේ. තම තත්ත්වය උසස් වන කරුණු යෙදේ.

අධ්‍යාපනයෙන් ජය දෙයි. තරග විභාගාදී දේවලින් ජය ළඟා කර දෙයි. නව නිර්මාණ ඇරඹීමට, ප්‍රදර්ශනයට ශුභයි. ලිපි ලේඛනවලින් ජය දෙයි. සතුරන් බිඳ වැටේ. ඉඩකඩම් යාන වාහන ලාභ මතු කරයි. පොදු සේවා, සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. ආගමික පුද පූජා ගරු කරයි. තම ඇසුරු කරන්නෝ ද එවැනි දේ සඳහා යොමු කරවයි. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ.

හමේ රෝග, කුෂ්ඨ රෝග, ලේ දූෂිත රෝග මතු කරයි. අර්ශස් රෝග ද ඇති වන අතර අම්ල පිත්ත රෝග මතු වේ.

ශුභ වර්ණ – කොළ, කහ
ජය අංක – 03, 06

දානාමානාදී පූජා කර්මවල යෙදීම, මහලු අයට ගිලනුන්ට දානමානාදිය දීම, අබතෙල් පහන් දල්වා බෝධි වන්දනාව සිදු කිරීම, මහා විෂ්ණු දෙවිදු ප්‍රධානව පූජා පවත්වා ආශීර්වාද ප්‍රාර්ථනාව ශුභයි.

තුළා – මහජන ප්‍රසාදය

ලග්නාධිපති සිකුරු ශනි සමග 4 වැන්නේද ගුරු 6 වැන්නේද රාහු සඳු සමග 7 වැන්නේ ද කුජ 8 වැන්නේ ද කේතු ලග්නගතව සහ රවි බුධ සමග
3 වැන්න ගෝචර මෙම වසර මධ්‍යස්ථයි. රැකී රක්ෂාවල සුළු වෙනස්කම්වලට හේතුයි. ව්‍යාපාරවල තරමක දියුණුවක් පෙනේ. අය තරමට වඩා වැයපස ඉහළ යයි. තරමක් ණය තුරුස්වීමට ඉඩ තිබේ.

ගෘහ ජීවිතය ශුභයි. ඉවසිමෙන් ක්‍රියා කළ යුතු වසරකි. සැක සංකා මත බාධා ඇති කර ගනී. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. ප්‍රීති සාද, උත්සව යෙදේ. ගමන් බිමන් බහුල ලබයි. අවිවාහක අයට ශුභයි. ගැලපෙන මෙන් නොගැලපෙන සබඳතාව තරමක් පීඩා ගෙන දෙයි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම් එල්ල වෙයි.

අධ්‍යාපනයට ශුභයි. උන්දුවේ තරමට ජය ලබයි. උනන්දුවෙන් ක්‍රියා කිරීමෙන් ජයග්‍රහණ ලබයි. නව නිපැයුම් ඇරඹීමට හොඳයි. මහජන ප්‍රසාදය ලබයි. යාන වාහන විකිණීමට මිලට ගැනීමට ශුභයි. භූමි ලාභ, සම්පත් ගෙන දෙයි. කෘෂිකාර්මික ක්‍රියාවන්ගෙන් ජය ලබයි. යටපත්ව තිබූ රෝග මතු කරයි. වාතාධික රෝග, සන්ධි ප්‍රදාහ රෝගාදිය මතු කරයි. ලේ දූෂිත රෝග ද මතු කරයි. සුළුවෙන් හෝ ශල්‍ය කර්මවල යෙදේ.

ශුභ වර්ණ – සුදු, රෝස
ජය අංක – 04, 07

දුගී මගී යාචකාදීන් උදෙසා අඩුපාඩු, දානමානාදිය සැකසීම, තලතෙල්, මීතෙල් මිශ්‍රව පහන් දල්වා බෝධි වන්දනා සිදු කිරීම, සුමන සමන් දෙවි ප්‍රධානව පුද පූජා පවත්වා සෙත් ප්‍රාර්ථනාව යහපති.

වෘශ්චික – ප්‍රේම සබඳතා ඇති වේ

ලග්නාධිපති කුජ 7 වැන්නේ ද කේතු 12 වැන්න සහ රවි බුධ සංයෝගව 2 වැන්නේ ද ශනි සිකුරු සංයෝගව 3 වැන්නේ ද ගුරු 5 වැන්නේද රාහු සඳු සමග 6 වැන්න ගෝචර මෙම වසර තරමක් ශුභයි.

රැකී රක්ෂාවල තරමක් හෝ උසස් වීමකට හේතුයි. ව්‍යාපාර ද දියුණු වෙයි. තැන්පත් ධනය වර්ධනය වෙයි. හදිසි ලාභ ද ලබයි.

ගෘහ ජිවිතය ශුභයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. තම ඥාතීන් අතර ප්‍රසාදය දිනයි. ප්‍රීති උත්සව, සාද සංවිධාන කිරීම්, ඊට අතහිත, සහභාගි වීම් වැනි දේවලට හේතුයි. විදෙස් ගමන්වලට හේතුයි. එබැවින් ඒ සඳහා උනන්දු වීම ද ශුභයි. අවිවාහක අයට ශුභයි.

අධ්‍යාපනික ක්‍රියාවන්වල යෙදෙන්නන්ට ශුභයි. තරමක් අලස ගති ඉස්මතු කරයි. සමාජ සත්කාරක ක්‍රියාවන්වලට ද මූලිකව ක්‍රියා කරයි. අන් සතු දේපළ උරුමයක හේතු මතු කරයි. ලිපි ලේඛන කලාවෙන් ජය ලබයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. කෘෂිකාර්මික කටයුතුවලින් ජය ගෙන දෙයි.

අමාශ ගත රෝග මූල අර්ශස් රෝග මතු කරයි. සුළුවෙන් හෝ ශල්‍යකර්මවලට හේතුයි. හදිසි රෝග, කැපුම් කෙටුම් ආදියට හේතුයි.

දාන ශීල භාවනාදී, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි යෙදීම, අසරණ වූවන්ට පිහිට වීම තලතෙල්, මීතෙල් මිශ්‍රව බෝධි වන්දනාව සිදු කර ආශීර්වාද ප්‍රාර්ථනාව ශුභයි. කන්ද කුමාර දෙවිඳුට පූජාදී ආශීර්වාද පැතීම ශුභයි.

ශුභ වර්ණ – රතු, දුඹුරු
ජය අංකය – 04, 08

ධනු – නව නිර්මාණ ඇරැඹේ

ලග්නාධිපති ගුරු 4 වැන්නේ ද රාහු සඳු සමග 5 වැන්නේ ද කුජ 6 වැන්නේ ද කේතු 11 වැන්නේ ද
රවි බුධ සමග ලග්නයේ ද ශනි සිකුරු සංයෝගව
2 වැන්නේ ගෝචර මෙම වසර ශුභයි.

රැකියාවේ උසස්වීම්, තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. ව්‍යාපාරවල ද දියුණුවක් පෙනේ. අමතර ධන වාසනා ද එල්ල වෙයි. තැන්පත් ධනය වර්ධනය වෙයි.

ගෘහ ජිවිතය ශුභයි. තනි තීරණ මත ක්‍රියා කිරීමෙන් අන්‍යොන්‍ය සබඳතා දුරස්ථ වෙයි. බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු වසරකි. උගතුන් වියතුන් සමග ඇසුරට පත් වෙයි. අවිවාහක අයට මංගල සීනු නාද වෙයි. රහස් සබඳතා ඇති වෙයි. විවේචනයට ලක්වීමට හේතුයි. එබැවින් ගන්නා තීරණ බුද්ධිමත් විය යුතුයි.

අධ්‍යාපනයට ශුභයි. කලණ මිතු ඇසුරින් ඉදිරියට යෑමේ ශක්තිය ඇති වේ. විදෙස් රැකියා බලාපොරොත්තු වූවන්ට ජය දෙයි. නව නිර්මාණ ඇරඹීමට ශුභයි. එතෙර මෙතෙර සැරිසරන ශක්තීන් ඇති වෙයි. ස්ථිර වාසස්ථාන ලාභ ලබයි. අන්සතු දේපළ උරුමයකට හේතුයි. දානමානාදී ක්‍රියා, ආගමික ක්‍රියා ආදියෙහි යෙදේ.

උදරාබාධ අක්මාවේ රෝග, බඩවැල් ආශ්‍රිත රෝග අර්ශස් වැනි දේ සහ සෙම් කෝප රෝග, ඌෂ්ණ රෝග මතු කරයි.

ශ්‍රමණ බමුණන් කෙරෙහි ගෞරවය දානාමනාදී පුණ්‍ය කර්මවල යෙදීම, පලතුරු පැළ පොදු ස්ථානයක සිටුවා සත්කාර කිරීම, අබ තෙල් පහන් දල්වා බෝධි පූජා පවත්වා ආශීර්වාද ප්‍රාර්ථනාව, ඊශ්වර දේවාශීර්වාද පතා පුද පූජා පැවැත්වීම ශුභයි.

ශුභ වර්ණ – කහ, රෝස, ජය අංක – 04, 07

මකර – තරග විභාග ජය

ලග්නාධිපති ශනි ලග්නයේද ගුරු 3 වැන්නේ ද රාහු සඳු සමග 4 වැන්නේ ද කුජ 5 වැන්න සහ කේතු 10 වැන්නේ ද රවි බුධ සමග 12 වැන්න ගෝචර මෙම වසර තරමක් ශුභයි. රැකීරක්‍ෂාවල උසස්වීමකට හේතුයි. රැකියා ලාබ ලබයි. ව්‍යාපාර පැහැදිලි දියුණුවකට පත්වෙයි. හදිසි ධන වාසනා එල්ල වෙයි.

ගෘහ ජීවිතය ශුභයි. අඹු සැමි සුහදතාව වර්ධනය කරයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවෙයි. ප්‍රීති උත්සව සාද නිතර යෙදෙන අතර ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. විවාහය දක්වා ගමන් කිරීමට හේතුයි. නවක සබඳතා මත තම දිවියට යහපතක් සිදුවෙයි. රහස් සබඳතා ඇතිවෙයි.

අධ්‍යාපනයේ යෙදන්නන්ට ශුභයි. තරග විභාග ජය ගනී. නව නිර්මාණ ඇරඹීමට ප්‍රදර්ශනයට ශුභයි. නව නිවාස ලාභ ද ලබයි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම් තම මනස පීඩාවට පත් කරයි. අපවාද ගෙන දෙයි. බුද්ධිමත් ලෙස කරන ක්‍රියාවන්හි නිරත විය යුතු ආගම දහමට ලැදිව ක්‍රියාකරයි. වාතාධික රෝග, සන්ධි රෝග, ඉදිමුම්, රෝගාදියට හේතුයි. ස්නායු පද්ධතියේ රෝග, මධුමේහ රෝග ඇති කරයි. වැඩිහිටි නිවාසවල අසරණ වූවන් වෙනුවෙන් සත්කාර දානමානාදිය ගිතෙල් පහන් දල්වා බෝධි පූජා පැවැත්වීම පූජක පක්‍ෂයට දානමානාදි පූජා පැවැත්වීම ශුභයි. මහා විෂ්ණු දෙවි ප්‍රධානව පුද පූජා පවත්වා සෙත් පැතීම.

ජය වර්ණය – දුඹුරු, නිල්,
ජය අංකය- 03 – 08

කුම්භ – දේපළ ලාභ

කුම්භ ලග්නාධිපති ශනි සිකුරු සංයෝගව 12 වැන්නේ ද ගුරු 2 වැන්නේ ද රාහු සඳු සමග 3 වැන්නේ ද කුජ 4 වැන්නේ ද කේතු 9 වැන්නේ සහ රවි බුධ 11 වැන්න ගෝචර මෙම වසර ශුභයි.

රැකියාවල චංචලභාවයක් මතු වුවද එය ශුභදායකව ක්‍රියාකරයි. තම ව්‍යාපාර දියුණුවට පත්වෙයි. හදිසි ධන වාසනා ලාභ ලබයි.

ගෘහ ජීවිතය ශුභයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. ප්‍රීති සාද උත්සව වැනි දේවල් නිතර යෙදේ. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. මහජන ප්‍රසාදයට පත්වන ක්‍රියාවන් යෙදේ. අවිවාහක අයට ශුභයි. චංචල නිශ්චල දේපළ ලාභ ද ලබයි.

අධ්‍යාපනයට ශූභයි. තරග විභාගාදි ක්‍රියාවන්ගෙන් ජය ලබයි. නව නිපැයුම් ඇරඹීමට නව තාක්‍ෂණික ක්‍රියාවන් ආදියෙහි නියැළීමට ශුභයි. සතුරු බලපෑම් ඉවත්වෙයි. ආගමට දහමට ලැදිව ක්‍රියා කරයි. තම ළඟම ඥාතීන් ද ඒ සඳහා යොමුකරවයි. භූමි ලාභ භූමි සම්පත් ගෙන දෙන කාලයකි. කෘෂිකාර්මික කටයුතුවලින් ජය ගෙනදෙයි. කලක් පීඩා මතුකළ රෝග දෝෂ සමනය වේ. සෙම් බහුල රෝග මතු කරයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝගවලට හේතුයි. පූජ්‍ය පක්‍ෂයේ අය වෙනුවෙන් ගරු සත්කාර දාන මානාදී පිංකම්වල යෙදීම, අබ තෙල් පහන් දල්වා බෝධි වන්දනා පිංකම් මහා විෂ්ණු බ්‍රශ්ම දේව පූජා පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනය ශුභයි.

ජය වර්ණය – නිල්, දම්,
ජය අංකය – 01 – 07

මීන – අධ්‍යාපනයට සුබයි

ලග්නාධිපති ගුරු ලග්නගතවද රාහු සඳු සමග 2 වැන්නේ ද කුජ 3 වැන්නේ සහ කේතු 8 වැන්නේ ද රවි බුධ 10 වැන්නේ ද ශනි සිකුරු 11 වැන්නේ ද ගෝචර මෙම වසර ශුභයි.

රැකියාවල උසස්වීම් ඇති කරයි. ස්වයං රැකියා ව්‍යාපාර දියුණුවට පත්වෙයි. නමුත් වැයපස ද ඉහළ යයි. තැන්පත් ධනය තරමක් හීන වෙයි.

ගෘහ ජීවිතය ශුභයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. නිවාස ඉඩකඩම් ලාභ ලබයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. මංගල සීනු නාදවෙයි. ප්‍රීති උත්සව සාද යෙදේ. බලාපොරොත්තු රහිත ලෙස දියුණු මාර්ග සැලසේ. රහස් සබඳතා මත තම නමට කැලැල් මතු කරයි.

අධ්‍යාපනයට ශුභයි. තුරග තරග ජය ගන්නා අතර විදෙස්ගත වීම්වලට හේතුයි. ඒ සඳහා ඇසුරු කරන්නන්ගෙන් උපදෙස් උපකාර ද ලබයි. සතුරන් දමනය වෙයි. භූමිය පිළිබඳ ක්‍රියාවලින් ජයග්‍රහණ ලබයි. අමතර ලාභ ලැබීම් වැනි දේවලට ද හේතුයි. සිරසගත රෝග, නේත්‍ර රෝග, මුඛ රෝග ආදිය මතුකරයි. සෙම් බහුල රෝග උෂ්ණ රෝග පෙනහලු ආසාදන මතුකරයි. දුගී මගී යාචකාදීන් උදෙසා දානමානාදිය දීම පොදු ස්ථානවල පලතුරු පැළ සිටුවා සත්කාර කිරීම තල තෙල්වලින් පහන් දල්වා බෝධි වන්දනා කිරීම ඊශ්වර ගෘහපති පූජා පවත්වා සෙත් ආශිර්වාදය ශුභයි.
ජය වර්ණය – කහ, දම්, ජය අංකය – 03 – 09

2023 නව වසරේ පලාඵල

යක්කල වීරවංශ පතිරණ
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සහ වෛද්‍යාචාර්ය
සංස්කරණය – ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment