2023 ලෝක කුසලාන තරගාවලියට – ශ්‍රී ලංකාවට එක පයින් යන්න බැරිවන හැඩ

659

1996 ලෝක ක්‍රිකට් ශූරයන් වූ ද 2007 සහ 2011 වසරවල ලෝක ක්‍රිකට් අනුශූරයන් වූ ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එළඹෙන 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක එල්ලේ සුදුසුකම් ලැබීම මේ වන විට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.

එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් තෝරාගැනීම ප්‍රථම වරට සිදුකරනු ලබන 2023 අයිසීසී ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන ලද අඩු දක්ෂතා ඊට හේතුවී ඇත.

එම සුපර් ලීග් තරගාවලිය යටතේ ඉහළම දස්කම් දක්වන කණ්ඩායම් 8 සෘජුවම 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තෝරා ගැනේ.

එසේ නොමැති කණ්ඩායම් එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරා ගැනීමට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් සංවිධානය කර ඇති අතර එම තරගාවලිය සිම්බාබ්වේ හි දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම අයිසීසී සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට 10 වෙනි ස්ථානයේ පසුවන අතර ඔවුන්ට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 67 කි.

මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගාවලිය ද අයිසීසී සුපර් ලීග් තරගාවලිය යටතේ පැවැත්වෙන අතර පෙරේදා තරගයද වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමා වීම ශ්‍රී ලංකාවට තවත් පාඩුවක් විය.

2023 ලෝක කුසලාන තරගාවලියට - ශ්‍රී ලංකාවට එක පයින් යන්න බැරිවන හැඩ

ඇෆ්ගනිස්තානය සමග තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නම් එම තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීම ශ්‍රී ලංකාවට හිතකර තත්ත්වයක් විය.

එහෙත් පළමු තරගයෙන්ද ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අතර ශ්‍රී ලංකාවට ඉතිරිව ඇති අනෙක් තරගාවලිය වන්නේ නවසීලන්තයේදී නවසීලන්තයට එරෙහිව තරග තුනකින් යුත් තරගාවලියකි.

නවසීලන්තයේදී ඔවුන්ව 3-0ක් ලෙස පරාජය කිරීම ද ශ්‍රී ලංකාවට මහත් අභියෝගයක් වනු නොඅනුමානය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව හෙට ඇෆ්ගනිස්තාන තරගය ද ජයගෙන නවසීලන්තයට එරෙහි තරග තුනම ජය ගත්තද ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වන්නේ 107කි. (එක් තරග ජයග්‍රහණයකට ප්‍රසාද ලකුණු දහයක් හිමිවේ).

මේ වනවිටත් අයිසීසී සුපර් ලීග් තරගාවලියේ පෙරමුණ ගෙන සිටින කණ්ඩායම් 7 වන ඉන්දියාව, නවසීලන්තය, ඔස්ටේ්‍රලියාව, පකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය සෘජුවම 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ඇත.

ශ්‍රී ලංකාව මේ දක්වා සුපර් ලීග් තරගාවලිය යටතේ තරග 20කට සහභාගිවී ඉන් තරග හයක් ජයගෙන තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන්ව (විසඳුමක් නොමැති තරග සඳහා ප්‍රසාද ලකුණු 5) ලකුණු 67ක් හිමිකරගෙන ඇත.

එම දත්තයන් අනුව ලකුණු 70ක් ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන් විය යුතුව තිබුණද පන්දු යැවීමේදී පන්දු වාර 50 නිමා කිරීමට නියමිත වේලාවට වඩා වැඩි කාලයක් තරගවලදී ගත කිරීමේ හේතුව මත ශ්‍රී ලංකාවට දඩ ලකුණු තුනක් ලැබී ඇත. (ප්‍රසාද ලකුණු 70 ප්‍රසාද ලකුණු 67 ක් දක්වා අඩු වී තිබෙන්නේ එසේය.)

සුපර් ලීග් තරගාවලිය යටතේ මේ වන විට 8 වන ස්ථානයේ පසුවන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඔවුන්ට නියමිත තරග සංඛ්‍යාව වන තරග 24 ට මේ වන විට ක්‍රීඩා කර අවසන්ය. ඒ අනුව ඔවුන්ට ද බොහෝ දුරට සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීමට සිදුවේ.

කෙසේ වෙතත් දැනට එම සටහනේ 11 වන ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාවට තවත් තරග අටක් ඉතිරිව තිබේ. ඒ අනුව දකුණු අප්‍රිකාව බොහෝ දුරට සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ හොඳම කණ්ඩායම් 8 අතරට පැමිණීමට ඉඩ ඇති අතර සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ද ශ්‍රී ලංකාවට හිතකර නොවන සිම්බාබ්බේ වැනි රටක පැවැත්වීම ශ්‍රී ලංකාවේ අවදානම දෙගුණ කරන්නකි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment