2024 ඔලිම්පික් පදක්කම්

501

ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටා ඇති ලෝක ප්‍රසිද්ධ අයිෆල් කුලුන 1889දී පැරීසියේ පැවති ලෝක ප්‍රදර්ශනයට ප්‍රවේශයක් ලෙස ඉන්ජිනේරු “ගුස්ටාවි අයිෆල්” විසින් ඉදිකරන ලද්දකි. වසර ගණනාවක් පුරා එය අලුත්වැඩියාවට ලක්වූ අතර මුල් යකඩ සමහරක් කපා දමා කාලයත් සමග සංරක්ෂණය කර ඇත. අයිෆල් ටවර් මෙහෙයුම් සමාගම වසර 100කට පසු ප්‍රථම වරට ඔලිම්පික් තරග සඳහා අයිෆල් කුලුනේ කෑලි 2024 ප්‍රංශ ඔලිම්පික් තරගයට භාවිතා කිරීමට ඉඩදෙන ලදී.

මෙවර ඔලිම්පික් පදක්කම් සැලසුම් කිරීමේ ගෞරවය හිමිවී ඇත්තේ ප්‍රංශයේ පැරීසියේ පිහිටා ඇති, 1780දී ආරම්භ කරන ලද සුඛෝපභෝගී ස්වර්ණාභරණ හා ඔරලෝසු නිෂ්පාදකයන් වන “චෞමෙ” Chaumet” සමාගමටය. ඔලිම්පික් පදක්කම් සැලසුම් කිරීමේ ගෞරවය ස්වර්ණාභරණ නිෂ්පාදකයකුට ලැබූ ප්‍රථම අවස්ථාවද මෙය විය.

ප්‍රථම ස්ථානයට ප්‍රධානය කරන රන් පදක්කම් සාදන්නේ ඇත්ත වශයෙන්ම රිදීයෙනි. එයට රන්වන් පැහැයක් ලබාදීම සඳහා පිරිසිදු රනින් ආලේප කරයි. රිදී 92.5කි. පදක්කමකට රන් ග්‍රෑම් 6ක් පමණ භාවිතා කරයි. රන් පදක්කමක වටිනාකම ඩොලර් 750 සිට 850 දක්වා වේ. එහෙත් පදක්කමක් දිනාගැනීම මිල කළ නොහැකි වටිනාකමකි. දෙවන ස්ථානය ලබාදෙන රිදී පදක්කම තනිකර රිදියෙන්ද තෙවන ස්ථානයට ලබාදෙන ලෝකඩ පදක්කම තඹ, ටින් සහ සින්ක් මිශ්‍ර ලෝහයකින් සාදා ඇත. පදක්කම් පළල මිලිමීටර් 85ක් සහ ඝනකම මිලිමීටර් 9.2කි.

2024 පැරිස් ඔලිම්පික් හා පැරා ඔලිම්පික්වලින් ජයග්‍රහණය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවර ඉතා සුවිශේෂී එකතු කිරීමක් ලැබෙන අතර එය කිසිවකුටවත් කවදාවත් නොලැබෙන දෙයකි. සුප්‍රසිද්ධ අයිෆල් කුලුනේ කුඩා ලෝහ කැබැල්ලක් එයට එකතුකර ඇත. “පුඩ්ල් යකඩ” කැබැල්ලක් වන එය පදක්කම්වල මැද ෂඩාස්‍රාකාරව පෙනී සිටී. මෙම හැඩය අයිෆල් කුලුනේ ජ්‍යාමිථක හැඩයකි. අයිෆල් කුලුනේ යකඩ කඳන් සවිකිරීමට යොදා ඇති රිවට් ඇණවල ස්වරූපය යොදා ඇති කුඩා ඇණ පහකින් පදක්කම මැද මෙම පුඩ්ල් යකඩ කැබැල්ල සවිකර ඇත. එහි PARIS 2024 සමග ඔලිම්පික් ලාංඡනය කොටා ඇත. පදක්කම්වලට අමතර දීප්තියක් ලබාගැනීම සඳහා ඒවා රැළි සහිත පෙණුමකින් නිර්මාණය කර ඇති අතර එම රැළ ෂඩාස්‍රයේ සිට පිටතට විහිදේ. මෙම පදක්කම්වලට ඓතිහාසික වටිනාකමක්ද ඇත.

පදක්කම පිටුපස ග්‍රීක මිථ්‍යා කතාවල සඳහන් ජයග්‍රහණයේ දේවතාවිය වන “නයික් Nike” ගේ රූපයත්, 1896දී ඔලිම්පික් උළෙලේ පුනර්ජීවනය දුන් ස්ථානය වන “පැනතේනයින්” ක්‍රීඩාංගණයේ රූපයත්, අයිෆල් කුලුනේ රූපයත්, ඇතීනා දේවාලයේ රූපයත් ඔබ්බවා සටහන් කර ඇත. පදක්කම් පැළඳීමට පදක්කමේ සවිකර ඇති තද නිල්පැහැති පීත්ත පටියේ අයිෆල් කුලුනේ දැල්වල මෝස්තරය එම්බෝස්කර ඇත. පැරාලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිරිනමන පදක්කම් රතු පැහැති පීත්ත පටියකින් සමන්විතය.

ග්‍රීෂ්ම ඔලිම්පික් ක්‍රීඩා සඳහා පදක්කම් 2600ක් පමණ සහ පැරාලිම්පික් ක්‍රීඩා සඳහා පදක්කම් 2400ක් පමණ නිෂ්පාදනය කර ඇත. රන් පදක්කමක් ග්‍රෑම් 529ක් බරය. රිදී පදක්කම ග්‍රෑම් 525කින් සහ ලෝකඩ පදක්කමක් ග්‍රෑම් 455ක් බරින් යුතුය. ඔලිම්පික් රන් පදක්කම මුලදී රත්තරන්වලින්ම පමණක් සාදා ඇති අතර 1912 වර්ෂයේ ස්ටොක්හෝම් හිදී පැවැති ඔලිම්පික් උළෙලින් පසුව තනි රනින් සෑදීම නතර කරන ලදී.

“Monnqie de Paris ” යනු ප්‍රංශයේ කාසි නිෂ්පාදනය කිරීමේ වගකීම දරන රජය සතු ආයතනයකි. එය ක්‍රි.ව. 864දී ආරම්භ කරන ලද අතර ලොව දැනට ඇති පැරණිතම සමාගම්වලින් එකකි. මෙම සමාගම කාසි සහ සිහිවටන පදක්කම්ද නිෂ්පාදනය කරති. ඔලිම්පික් පදක්කම් චෞමෙට් සමාගම නිර්මාණය කළ පසු පදක්කම් නිෂ්පාදනය කරන ලද්දේ මෙම Monnqie de Paris සමාගම විසිනි.

රුවන් තරස්වින්

advertistmentadvertistment
advertistmentadvertistment