2024 ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකාවෙන් වැඩි පිරිසක් අපේක්‍ෂා කරනවා

385

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවටු ඔලිම්පික් දින උත්සවයේදී කියයි

ප්‍රංශයේ පැවැත්වෙන 2024 ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් සැලකිය යුතු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් සහභාගි වනු දැකීම තම අපේක්ෂාව බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවටු මහතා ජාත්‍යන්තර ඔලිම්පික් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ඊයේ (23 වැනිදා) ප්‍රකාශ කර සිටියේය.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය සියලු සහයෝගය දැක්වීමට තම රට දැඩි කැමැත්තෙන් පසුවන බව ද තව අවුරුදු දෙකක් තුළ හොඳින් පුහුණු වීම් සිදුකර වැඩි වැඩියෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් උළෙලට සහභාගි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

මේ වනවිට ශ්‍රී ලංකාව ගත කරන අසීරු අවධිය ඉතා ඉක්මනින් නිමා වනු දැකීම තම බලාපොරොත්තුව බවත් ශ්‍රී ලංකාවට උදව් උපකාර කිරීම සඳහා තමන් සූදානම් බවත් ඔලිම්පික් නිවහනේ දී පැවැති එම උත්සවය අමතමින් ප්‍රංශ තානාපතිවරයා තවදුරටත් සඳහන් කර සිටියේය.

ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා විසින් ප්‍රංශ තානාපතිවරයා ඇතුළු පිරිස පිළිගැනීම සිදු කරනු ලැබූ අතර ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා පැමිණ සිටි පිරිස අමතමින් ස්තූති කතාව කරනු ලැබීය.

ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ, ඔලිම්පික් බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අනුරාධ විජේකෝන් සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

කුෂාන් සුබසිංහ
පිංතූරය නිෂාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment