2025දී 4G තාක්ෂණය මුළු රටටම ලබාදීම අපේ අරමුණයි – රාජ්‍ය ඇමැති කනක හේරත්

49

අධිකරණය ආණ්ඩුවට ඕනෑ විධියට කටයුතු නොකළාම හිත රිදෙනවා ඇති – විජිත හේරත් (ජාජබ)

පලවා හැරිය පාලකයා වෙනුවට පත් වූ පාලකයාගෙන් ප්‍රජාතන්ත්‍රවාදයක් බලාපොරොත්තු වෙන්න බැහැ – මුජිබර් රහුමාන් (සජබ)

අධිකරණයේ කටයුතු සුදුසු ලෙස කරගෙන යෑමට ශක්තිය ලබාදිය යුතුයි – මහාචාර්ය ජී.එල්. පීරිස් (ශ්‍රීලපොපෙ)

ඩිජිටල් ආර්ථික උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීම තුළින් 2030 වනවිට රට ශීඝ්‍ර ඩිජිටල්කරණයකට ලක් කෙරෙන බව රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

විදුලි සංදේශ නියාමන පනත් කෙටුම්පත පිළිබඳ ඊයේ (9දා) පැවැති විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.

රාජ්‍ය ඇමැති කනක හේරත්,

රටේ ඩිජිටල්කරණය ශීඝ්‍ර කිරීමට ජනතාවට අවශ්‍ය වුණා. පසුගිය වසර දහයේ යම් මට්ටමක ඩිජිටල්කරණය පැවතියා. ඒත් ශීඝ්‍ර දියුණුවක් මේ ක්ෂේත්‍රයේ ඇති නොවුණහොත් ලෝකයේ අපට ඉදිරියට යන්න බැරි වෙනවා. එනිසා ලෝක බැංකුවේ සහාය ඇතිව ඩිජිටල් ආර්ථික උපාය මාර්ගය 2030 දක්වා ක්‍රියාත්මක කරනවා. ඊට අපට අනුමැතිය ලැබී තියෙනවා.

පාරිභෝගිකයා ආරක්ෂා කර සාධාරණ සේවයක් ලබාදීම මේ පනතේ අරමුණයි. විදුලි සංදේශනය සඳහා අවශ්‍ය තාක්ෂණය හා ක්‍රියාකාරිත්වය ඇති කිරීමට අපි පියවර ගන්නවා.

දැනට විදුලි සංදේශ නියාමන කොමිසම බලපත්‍ර නිකුත් කළා. නව සංශෝධන අනුව අලුතෙන් බලපත්‍ර 3ක් ලබාදෙනවා. යටිතල පහසුකම් ලබාදීමට බලපත්‍රයක් දෙනවා. දුරකථන සමාගම්වල ඉල්ලීම් අනුව තුන්වන පාර්ශ්වයකට එහි කටයුතු පැවරීමට හැකියාව ලැබෙනවා.

2025දී 4 ජී තාක්ෂණය මුළු රටටම ලබාදීම අපේ අරමුණයි. ඒ සඳහා කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනෙනවා. ඊට අවශ්‍ය ආයෝජන කඩිනමින් ලබාගන්නවා. නියාමනය තුළින් මෙම ආදායම ලබාගැනීම සිදුකරනවා.

2018 ගෙනා නීතියට අනුව දුරකථන සම්බන්ධතා සිම්පතක් ලබාදීම සඳහා හැඳුනුම්පතේ පිටපතක් ලබාගැනීම සිදුවෙනවා. ඒත් ඊට පෙර මිලියන 2ක් පමණ සිම්පත් හැඳුනුම්පත් නැතිව ලබාදී තියෙනවා. මෙමගින් විශාල ලෙස වංචා දූෂණ සිදුවෙනවා. අපරාධවලට යොදා ගන්නවා. වැරදි තොරතුරු ලබාදී සිම්පතක් ලබාගත්තොත් නීතිමය පියවර ගන්න සංශෝධන ගෙන ආවා. ඒ වගේම නීති විරෝධී සන්නිවේදන උපකරණ රාජසන්තක කිරීමට ක්‍රියා කරනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි විජිත හේරත් (ජාජබ),

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පුරප්පාඩු ආරම්භ වී ඇත්තේ පසුගිය නොවැම්බර් මාසයේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තීන්දුව ආවේ අප්‍රේල්. එහෙනම් පුරප්පාඩු පුරවා නැත්තේ ආණ්ඩුවයි. නඩු තීන්දුව ඊට අදාළ නෑ. අතුරු නියෝගය ගැන අපටත් ප්‍රශ්න තියෙනවා. ඊට පෙර පුරප්පාඩු තිබිලා තියෙනවා. තමන්ගේ වැරැද්ද වහලා තමයි අභූත චෝදනා එල්ල කර ඇත්තේ. අධිකරණ සේවා කොමිෂන් ලේකම්ගේ නිල කාලය අවුරුදු 3ක් බවට නීතියේ සඳහන්ව නෑ. මීට පෙර හිටපු අය ඊට වඩා ඉඳලා තියෙනවා. වැරැද්ද නීතියයි. නීතිය වෙනස් නොකර ලේකම්ට බැනලා වැඩක් නෑ.

අභියාචනාධිකරණයෙත් විනිසුරු පුරප්පාඩු 5ක් තියෙනවා. ඒවා පුරවන්න කිසිම ගැටලුවක් ආණ්ඩුවට නෑ. ජනාධිපති නිර්දේශ යැව්වානම් ව්‍යවස්ථාදායක සභාවට සති දෙකක් ඇතුළත පත් කරන්න පුළුවනි. උසාවියේ විස්කි බෝතල් සිද්ධියට දෙදෙනකුගේ වැඩ තහනම් කරලා තියෙනවා.

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරන්න එපා. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතුයි. අධිකරණය ආණ්ඩුවට අනුව ක්‍රියා කරන්නේ නෑ. ඒකයි මේ රිදිලා තියෙන්නේ. එවැනි ස්වාධීන නිලධාරීන්ව හයියක් විය යුතුයි. අධිකරණයේ හා නිලධාරීන්ගේ ස්වාධීනත්වය වෙනුවෙන් පාර්ලිමේන්තුව පෙනීසිටිය යුතුයි.

පත් කළ මන්ත්‍රි මුජිබර් රහුමාන් (සජබ)

ජනාධිපතිවරණය කල්දානන්න ඒ පක්ෂයේ පිරිස කරපු ප්‍රකාශ නිසා ජනපතිවරණය ගැන ප්‍රශ්න ඇති වුණා. ජනපතිවරණය ගැන පෙත්සමක් ඉදිරිපත් වීම අහඹුවක් නෙවෙයි. සංවිධානාත්මකව සිදුවීමක්.

වහාම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා නවත්වන්න. ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කරන්න ආණ්ඩුව ක්‍රියා කරන්න. නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අද වගේ දවසක විශාල නැඟිටීමක් ආවා. රටේ පාලකයා පලවා හැරලා පරිවර්තනයක් ආවා. එතුළින් බලයට ආපු පාලකයා ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවල යෙදෙනවා. රටේ ආර්ථිකය විනාශ කරපු පිරිස සමග එකතුවෙලා විශාල ජනහමු පවත්වනවා. මෙවැනි ජනපතිවරුන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු වෙන්න බෑ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන,

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව රටේ විශිෂ්ට ආයතනයක්. ශ්‍රීලනිප අර්බුදයේදී ආණ්ඩුවේ කිහිපදෙනකු අත්පත් කරගෙන අපි ඒ ගැන පොලිසියට පැමිණිලි කළ විට ඊට පරීක්‍ෂණ කරන්න ආවේ දවස් 23කට පස්සේ. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පක්‍ෂයේ ලේකම් ලෙස වැඩ කරන්න ආ විට පොලිසියේ 300කට වැඩි පිරිසක් වතුර බවුසර් සමග ඇවිත් මන්ත්‍රීවරයාට ඇතුළට එන්න දුන්නේ නෑ. අධිකරණ තීන්දු ක්‍රියාත්මක කිරීම වැළැක්වීම ආණ්ඩුව කරන විශාල වැරැද්දක්. රාජ්‍ය මැදිහත්වීම තුළ කරන මේ කටයුතු අපි හෙළා දකිනවා.

ආණ්ඩුවේ ශ්‍රීල.නි.ප. ඇමැතිවරුන් කියනවා මෛත්‍රීපාල නවතින්නේ අංගොඩින් හෝ වැලිසරින් කියලා. ඔහු අධිකරණයටත් එහා ගිහින් ප්‍රකාශ නිකුත් කරනවා. ශ්‍රීල.නි.ප. සංවිධායකයන්ට තර්ජනය කරනවා. සී. අයි. ඩී. එකට ගෙනියනවා.

ඇමැති මහින්ද අමරවීර

මම නම් අංගොඩ යන කතා කිව්වේ නෑ. අංගොඩ යන අය එහි යයි. ශ්‍රීල.නි.ප.ය භාර දුන්නේ පාක්‍ෂිකයකුවත් නොවන අයකුට. පක්‍ෂයේ සභාපති හා ලේකම් නිල වශයෙන් ඉන්නවා. ඊට විරුද්ධ නම් අධිකරණයට යා හැකියි.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස්

විදුලි සංදේශ පනත සංශෝධනයට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවට අධිකරණය පවසනවා. පාර්ලිමේන්තුව හා අධිකරණය එකිනෙකාට ගරු කළ යුතුයි. මේ රටේ අධිකරණය සංවේදී කරුණුවලට තීන්දු දී තිබෙනවා. අධිකරණයේ කාර්යභාරය සුදුසු වාතාවරණය තුළ ක්‍රියා කිරීමට ශක්තිය ලබාදිය යුතුයි.

මැතිවරණ පැවැත්වීමේ අනුපිළිවෙළ ගැන පැහැදිලි බවක් තිබිය යුතුයි. කුමක් හෝ ක්‍රමයකින් මැතිවරණ පැවැත්වීම ගැටලුවක් ඇතිවේ ද යන්න සැක තිබුණා. ඊයේ නඩු තීන්දුවෙන් එය නිරාකරණය වුණා.

මේ මස 17 වැනිදායින් පසුව ජනාධිපතිවරණය කැඳවීමේ බලය මැතිවරණ කොමිසමට පැවරෙනවා.

වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු,

ජනතාවගේ ගැටලු නිරාකරණය කිරීමට පනත් ගෙන ඒමේදී ඒවා දේශපාලනයට හරවා නොගත යුතුයි.

අපි මේ කාලය තුළ පනත් විශාල ප්‍රමාණයක් වෙනස් කළා. ආර්ථිකය නැංවීමට අවශ්‍ය පනත් රැසක් වෙනස් කළා. පසුගිය කාලයේ ආර්ථිකය සම්බන්ධ නීති වෙනස් නොකිරීමෙන් එහි ප්‍රතිවිපාක දැක්කා. ආසියාවේ තියෙන ලොකුම විදුලි බිල ගෙවන රට බවට අපි පත් වුණා. අවුරුදු දහයකට වඩා විදුලිය අර්බුදයට විසඳුම් ගෙනාවේ නෑ. ගතයුතු තීන්දු නිසි කල ගත්තේ නෑ. අවසන් ප්‍රතිඵලය විදුලි බිල ඉහළ ගියා.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් (ශ්‍රීලපොපෙ)

රටේ විදුලි සංදේශ යටිතල පහසුකම් ගැන මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මේ විෂය ගැන පුළුල් අවබෝධයකින් කටයුතු කළ යුතුයි. දේශපාලන වුවමනා මත සංශෝධන නොකළ යුතුයි. දැනල් සමග තියෙන එදිරිවාදිකම් මත විදුලි සංදේශ නීති වෙනස් නොකළ යුතුයි. ඩිජිටල් පැවැත්ම ඉතා වැදගත් අවශ්‍යතාවක්.

ආණ්ඩු එක එක කාලවල තරංග හිමිකරුවන් සමග ගැටුම් ඇති කර ගන්නවා. නාළිකා හිමිකරුවන්ගේ විශාල වගකීමක් තියෙනවා. නියාමනය ගැන වැරදියට තේරුම් ගන්න එපා. නීතියෙන් කරන්න බැරි බොහෝ දේ මාධ්‍ය සදාචාරය තුළින් කරන්න පුළුවන්.

විදුලි සංදේශ කොමිසම ජනාධිපති යටතේ තිබිය යුතු එකක් නොවෙයි. විදුලි සංදේශ අමාත්‍යාංශය යටතට ගෙන ආ යුතුයි. නෙළුම් කුලුන හදන්න එදා ටී. ආර්. සී. එකත් අවසර දුන්නා.

සන්නිවේදනය සඳහා කුලුනු උඩ ඇන්ටෙනාව හදන්න අවශ්‍යයි. එහි ඇන්ටෙනාව නැතිව කුලුන හැදුවා. අද වන විට අපට නෙළුම් කුලුනක් තියෙනවා රෙස්ටුරන්ට් එකක් කරන්න. ඇන්ටෙනාව නෑ. එහෙම වුණේ ටී. ආර්. සී. එකේ සමහර අය තීරණ ගන්න විට කල්පනා කළේ නෑ. ජනාධිපතිවරයා යටතේ ආපු තීන්දුවක් නිසා වෙන ලෝකවල සිට ආපු අය වගේ හිතුවා. හැම ජනාධිපතිම ටී. ආර්. සී. එක අතේ තියාගෙන චැනල් කළමනාකරණය කරන්න පුළුවන් කියලා හිතනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ (ශ්‍රීල.පො.පෙ.) ආණ්ඩුව ඵලදායි පනත් රැසක් ගෙනාවා. වසර 28කට පස්සේ තමයි විදුලි සංදේශ පනත වෙනස් කරන්න සැලසුම් කරලා තියෙන්නේ. ලොව රටවල් තාක්‍ෂණයෙන් ඉදිරියට යන විට අපි ඉන්න තැන ගැන කනගාටු විය යුතුයි. මේ පනතේ අරමුණ පාරිභෝගිකයා ආරක්‍ෂා කර ගැනීමයි. තිබූ ඒකාධිකාරිය නැති කිරීමටත් නියමිතයි.

පාර්ලිමේන්තුව අද (10දා) පෙරවරු 9.00ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment