2025 දී Gypsies විසුරුවනවා – පියල් පෙරේරා

337

මෙරට එළිමහන් මෙන්ම ගෘහස්ථ සංගීත කණ්ඩායම් කලාවේ ප‍්‍රමුඛයා ලෙස Gypsies හඳුන්වාදීම වැරදි නැත. දශක පහක් පුරා මෙරට කණ්ඩායම් සංගීතයේ නොමැකෙන ගීත රැසක් ඉදිරිපත් කළ Gypsies කණ්ඩායමට ලොකුම බලපෑම ඇති වුණේ සුනිල් පෙරේරාගේ වියෝවත් සමගය. නමුත් පියල් පෙරේරා කෙසේ හෝ තම සහෝදරයාගේ අඩුව නොපෙන්වාගෙන Gypsies ඉදිරියට ගෙන යෑමට ඉදිරිපත් විය. නමුත් අද වනවිට පියල් Gypsies ගැන දැඩි තීරණ රැුසක් ගැනීමට සැරසේ. මේ ඒ ගැන පියල් කියන කතාවය.

ජිප්සීස් බෑන්ඩ් එක අලූත් වුණා කියන්නේ ඇත්තද?

 සුනිල් අයියා නැති වුණාට පස්සේ අපේ බෑන්ඞ් එක අලූත් වුණා. අපි දැන් අලූත් විදිහකට තමයි ප‍්‍රසන්ට් කරන්නේ. ඇත්තටම ඉස්සර තිබ්බට වඩා ගොඩක් වෙනස්. ඉස්සර තිබුණට වඩා වෙනස්ම මාර්ගයක තමයි අපි දැන් යන්නේ.

 ගීත පවා අලූත් කළා නේද?

 ඔව්. අපේ පැරණි ගීත අලූත් මාදිලියකට හදලයි තියෙන්නේ. මියුසිකල් ඇරෙන්ජ්මන්ට් ගොඩක් වෙනස් කරලා තියෙනවා.

 සුනිල් පෙරේරා නැතිව යන ජිප්සීස් කණ්ඩායමට ඉල්ලූම අඩු වෙලාද? වැඩි වෙලාද?

මට එහෙම හරියටම කියන්න අමාරුයි. නමුත් සුනිල් පෙරේරා නැතිකොට ඉල්ලූම අඩු වුණා තමයි. ජිප්සීස් කිව්වහම වැඩියෙන්ම එතැන හිටියේ සුනිල් අයියා තමයි. නමුත් අපි දැනට කරපු ප‍්‍රසංගවලදී හොඳ ප‍්‍රතිචාර ලැබුණා. අනෙක් කාරණාව තමයි මිනිස්සු කැමතියි අපි යන අලූත් මාර්ගයටත්. අපට සුනිල් අයියා ගිය මාර්ගයේ යන්න බැහැ. මොකද සුනිල් අයියාව අපිට රිප්ලේස් කරන්න බැහැ. ඒක හින්දයි අපි අලූත් විදිහකට බෑන්ඞ් එක කරගෙන යන්නේ. සුනිල් අයියා වගේ ගීත ගායනා කරන ගායකයෝ ඉන්නවා. සුනිල් අයියා කියන්නේ වෙනම චරිතයක්. සුනිල් අයියාව අපිට රිප්ලේස් කරන්න බැරි හින්දයි අපි හිතුවේ වෙනස්ම විදිහකට බෑන්ඞ් එක කරගෙන යන්න.

බෑන්ඩ් එකේ සාමාජිකයන්ගේ පවා වෙනස්වීම් සිදුවුණාද?

අපේ ඇත්තටම බේස් සෙල්ලම් කළේ සෙෂ්ලි කියලා කෙනෙක්. එයා වෙනුවට දැන් අපි රංගෙ කියලා කෙනෙක් අරගත්තා. ඔහු හොඳ දක්ෂයෙක්. ඒ ඇරෙන්න අපි තව අලූතෙන් ගත්තා ගිටාරිස් කෙනෙකුයි සිංගර් කෙනෙකුයි. නලින් සමන් තමයි අපේ අලූත් ගිටාරිස්. ඔහුට ඕනෑම ගීතයක් ගායනා කරන්නත් පුළුවන්. අලූත් සාමාජිකයන් දෙදෙනාගෙනුත් අපේ බෑන්ඩ් එකට ලොකු පනක් ලැබුණා.

ජිප්සීස් බෑන්ඩ් එකේ අයිතිය තියෙන්නේ පියල්ටමද?

ඔව්. කණ්ඩායමේ අයිතිය තියෙන්නේ මට.

ඉදිරියේදී මොනවද කරන්න හදන වෙනස්කම්?

ඇත්තම කියන්න එපායැ. ජිප්සීස් සංගීත කණ්ඩායම තව අවුරුදු දහයක් පහළොවක් කරගෙන යන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. මගේ බලාපොරොත්තුව තියෙන්නේ වැඩිම වුණොත් අවුරුදු දෙකයි. දෙකහමාරයි. ඒ කියන්නේ 2024 දෙසැම්බර් පහුවුණාට පස්සේ ඕනෑ නම් ජිප්සීස් ලොකු කොන්සර්ට් එකක් කරලා එතැනින් කණ්ඩායම නවත්වන්න තමයි මගේ අදහස.

ඇයි එවැනි තීරණයක් ගත්තේ?

එහෙම තීරණයක් ගත්තේ මට දැන් 65 ක් වෙනවා. අපි දැනගන්න ඕනෑ අපේ ජීවිතයට හැමදෙයක්ම හැමදාම කරගෙන යන්නත් බැහැ. හැමදාම ලැබෙන්නෙත් නැහැ කියලා. මම විශ්වාස කරන්නේ ඒ දේ. අපිට වාසනාවක් තිබුණා ජිප්සීස් සංගීත කණ්ඩායමට මේ වරප‍්‍රසාදය ලැබෙන්න. ඒක ලොකු වාසනාවක්. දැන් අපිට අවුරුදු පනහකටත් වැඩියි. 54ක් විතර වෙනවා. ඒක ලොකු වරප‍්‍රසාදයක්. කාටවත් මෙවැනි වරප‍්‍රසාදයක් ලැබෙන්නේ නැහැ. කණ්ඩායමක් වශයෙන් මම ආඩම්බර වෙනවා. ඒක හින්ද අපි දැනගන්න ඕනෑ මීට අවුරුදු දහයකට විස්සකට කලින් කරපුවා දැන් කරන්න බැහැ කියලා. මට දැන් 65 වුණාම කණ්ඩායමෙන් ඉවත් වුණාම තනියම එහෙ මෙහෙ යන්න පුළුවන්. එතකොට ලොකු පීඩනයක් නැහැ. කණ්ඩායමට වුණත් සමහර වේලාවට බාහිර සංදර්ශනවලට විතරක් සහභාගි වෙන්න පුළුවන්.

ජිප්සීස් කියන බෑන්ඩ් එකට මේ කරන්න හදන්නේ අපරාධයක් නේද?

ඔව්. ජිප්සීස් කියන්නේ බ‍්‍රෑන්ඩ් එකක් තමයි. ඒ වුණාට අපිට නොහිතන දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද අපි හිතුවේ නැහැ සුනිල් අයියා නැතිවෙයි කියලා. සුනිල් අයියා නැති වුණ වෙලාවේ මුලදී මම හිතුවේ බෑන්ඩ් එක එතැනින්ම නැති වේවි කියලා. ඒ දවස්වල මම හිතුවේ බෑන්ඩ් එක කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ ගොඩක් දෙනෙක් මට කිව්වා පියල් ඔයා මේ වැඬේ නවත්වන්න එපා කොහොම හරි කරන්න කියලා. ඒ වෙලාවේ බෑන්ඩ් එක නැවැත්තුවා නම් සුනිල් අයියා නැති වුණ ගමන් සියල්ල කඩා වැටුණා වගේ වැඩක් වෙන්නේ. ඉතින් මාත් බැලූවා කඩා වැටුණා වගේ පෙන්වන්නේ නැතිව අවුරුදු දෙක තුනක් කරලා පිළිවෙළකට සමුගන්න.

ජිප්සීස් සුනිල්ගේ පුතා ගයාන්ව මේ වැඩේට සම්බන්ධ කරගන්න අදහසක් නැත්ද?

අපේ බෑන්ඞ් එකට ගයාන් සෙට් වෙන්නේ නැහැ. අපේ තියෙන අදහස් වෙනස්. දැන් ගයාන්ගේ අදහස් මගේ අදහස් එක්ක සෙට් වෙන්නේම නැහැ. මොකද මගේ සංගීත ශෛලිය වෙනස්ම එකක්. බොරු කියන්න ඕනෑ නැහැ. මට නම් ගයාන් ලංකාවේ ඉන්න දක්ෂතම සංගීතඥයෙක්. ගයාන් තරම් දක්ෂයෙක් මම ළඟකදී දැකලා නැහැ. රූකාන්තට පස්සේ මම දැක්ක දක්ෂම කොම්පෝසර්. ඒ වුණාට ගයාන්ගෙයි මගෙයි අදහස් වෙනස්. මට බෑන්ඞ් එක කරන්න ඕනෑ වෙන විදිහක්. ගයාන්ට කරන්න ඕනෑ තව විදිහක්. අපි දෙන්නා එකට වැඩ කරන්න ගියොත් ප‍්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක ගයානුත් දන්නවා. මම නැවැත්වූවාට පස්සේ එයාට හිතුණොත් එයාට කරගෙන යන්න පුළුවන්.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment