2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වය ශී‍්‍ර ලංකාවට

351

2026 වසරේදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සම සත්කාරකත්වය ශී‍්‍ර ලංකාවට ලැබී තිබේ. එ් අනුව එම තරගාවලියේදී ඉන්දියාව සමගින් එක්ව ශී‍්‍ර ලංකාව සම සත්කාරකත්වය දැරීමට නියමිත බවට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය ඊයේ (16 වැනිදා) නිවේදනය කර සිටියේය.

2014 වසරේ සිට 2031 වසර දක්වා පැවැත්වෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය 8ක සත්කාරක රටවල් සහ දින වකවානු ඊයේ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ප‍්‍රකාශයට පත්කර සිටියේය. එ් අනුව 2026 වසරේදී ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාවේ සමසත්කාරකත්වය යටතේ පැවැත්වෙන විස්සයි විස්ස කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලිය එම වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ශී‍්‍ර ලංකාව මීට පෙර 2012 වසරේදීද පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය දරනු ලැබීය.

ප‍්‍රකාශයට පත්කළ සත්කාරක රටවල් සහ කාල සටහනට අනුව 2024 වසරේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය බටහිර ඉන්දීය කොදෙව් පත්වලට සහ ඇමරිකා එක්සත් ජනපදයට හිමිව තිබේ. එම තරගාවලිය එම වසරේ ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ. 2025 වසරේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලනා තරගාවලියේ සත්කාරකත්වයට පාකිස්තානය නම්කර ඇති අතර එම තරගාවලිය එම වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වේ. 2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව 2027 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දකුණු අපි‍්‍රකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල් විසින් දැරීමට නියමිත අතර එම තරගාවලිය එම වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී කි‍්‍රයාත්මක වේ. ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය 2028 වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රටවල් ලෙසින් නම් කර ඇති අතර එම තරගාවලිය එම වසරේ ඔක්තෝබර් මාසයේදී පැවැත්වේ. 2029 වසරේ ඔක්තෝබර් මස පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාව විසින් දැරීමට නියමිත අතර 2030 වසරේ ජුනි මාසයේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය එංගලන්තය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය විසින් දැරීමට නියමිතය. 2031 වසරේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ඉන්දියාව සහ බංග්ලාදේශයට ලැබී ඇති අතර එම තරගාවලිය එම වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මසදී පැවැත්වේ.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment