2030 දී පොල්වලින් වසරකට රු. බිලියනයක් – ලොහාන් රත්වත්ත

104

වර්ෂ 2030 වන විට පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින් රුපියල් බිලියනයක වාර්ෂික ආදායමක් අපේක්‍ෂා කරන බව වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතා පවසයි.

දැනට එම ආදායම රුපියල් මිලියන 900ක් වන බවත් අදියර දෙකක් යටතේ මෙම ඉලක්කය සපුරා ගැනීමට සැලසුම් ක්‍රියාත්මක කරන බවත්, ග්‍රාමීය ආර්ථිකය සුරක්ෂිත කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩසටහන් යටතේ පොල් වගා කිරීමේ මණ්ඩලයට සැලකිය යුතු කාර්යභාරයක් හිමිවන බවත් කී ඇමැතිවරයා, ඊට සමගාමීව මෙම වර්ෂයේදී පොල් පැළ ලක්‍ෂ 12ක් රෝපණය කිරීමට සැලසුම් කර ඇති බවත් කීවේය. පොල් වගා කිරීමේ මණ්ඩලය සතුව දැනට සකස් කරන ලද පොල් පැළ තවාන් 39ක් පවතින බවත් එම පැළ කඩිනමින් බෙදාදී පොල් වගාව ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. පොල් වගා කිරීමේ මණ්ඩලයට වසර 51ක් පිරීම නිමිත්තෙන් පොල් වගා කිරීමේ නව ක්‍රමවේද පිළිබඳව කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් දැනුවත් කිරීම නිමිත්තෙන් ඒදඬුවාව ගොවිජන සේවා පුහුණු මධ්‍යස්ථානයේදී 30 වැනිදා පැවති දැනුවත් කිරීමේ වැඩසටහනදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

පුහුණුව ලැබූ නිලධාරීන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදු කෙරිණි. පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති මාධවී හේරත්, ජනපති ලේකම් කාර්යාලයේ ආහාර සුරක්‍ෂිතතාව සහ යටිතල පහසුකම් කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ සරත් හේවගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

ජනක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment