2050ට ලෑස්ති වෙනවාද නැත්තම් 1950ට ආපසු යනවාද – ජනපති රනිල් වික්‍රමසිංහ

141

අපි ලබන අවුරුද්ද අරඹන්නේ රුපියල් බිලියන 300 – 400 ක විශාල ණය බරක් සමගයි

ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණයක් නොව 2050ට මුහුණදිය හැකි ශක්තිමත් නව ආර්ථික ක්‍රමවේදයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

යල් පැනගිය ආර්ථික ක්‍රම මඟින් මෙරට ආර්ථිකය ගොඩගැනීමට නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් අවශ්‍ය වන්නේ විදේශ විනිමය උපයා ගැනීම බවද පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී ඉකුත් 05 වැනිදා පවත්වන ලද ’2022 ආර්ථික සමුළුව‘ අමතමිනි.

2050ට ලෑස්ති වෙනවාද නැත්තම් 1950ට ආපසු යනවාද - ජනපති රනිල් වික්‍රමසිංහ

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“මේ අවුරුද්ද වෙන කිසිම අවුරුද්දකට සමාන කිරීමට නොහැකි බව වැඩසටහන මෙහෙයවන මහත්මිය ප්‍රකාශ කළා. එය නිවැරැදියි. මං හිතන විදිහට 20 වැනි සියවසේ හෝ 19 වැනි සියවසේ මේ වගේ එක වසරක්වත් තිබිලා නෑ. අපට මීට කලින් සිවිල් යුද්ධයක් තිබුණා. වර්තමානයේ තිබෙන්නේ ත්‍රස්තවාදී යුද්ධයක් නොවෙයි. අපට ඇත්තේ ලෝක යුද්ධයක් ද නොවෙයි. අපි මේ සියල්ලට මුහුණ දී තිබෙනවා. අපි කැරලිවලට මුහුණ දී තිබෙනවා.

වර්තමානයේ තිබෙන්නේ ආර්ථිකය කඩා වැටීමක්ම පමණයි. ඒකත් කඩාවැටෙන්න බලාගෙන හිටපු ආර්ථිකයක්. මම වසර හතරහමාරක් අගමැති වෙලා සිටි කාලයේ දැඩි පරිශ්‍රමයක් දරන්න වුණා මේ ආර්ථිකය නිවැරදි දිශාවකට යොමු කරන්න. අපට එහිදි ප්‍රාථමික අයවැය අතිරික්තයක් ලබාගැනීමට හැකි වුණා.

එදා දේශපාලනඥයන්ට අවශ්‍ය වුණේ තමන්ගේ බලය රැකගන්න. ව්‍යාපාරිකයන්ට අවශ්‍ය වුණේ තම ලාභය රැක ගන්න. තවත් බොහෝ දෙනෙකුට අවශ්‍ය වූණේ වරප්‍රසාද. කිසිදු සේවාවක් ලබා නොදී, තමන්ට නොමිලේ ලැබෙන්නේ මොනවද කියලා, තවත් කොටසක් බලාගෙන සිටියා.

2050ට ලෑස්ති වෙනවාද නැත්තම් 1950ට ආපසු යනවාද - ජනපති රනිල් වික්‍රමසිංහ

කෝල්බෲක් – කැමරන් ප්‍රතිසංස්කරණ සහ තීරු බදු අහෝසි කිරීමෙන් පසු ලංකාව නවීන වාණිජ ආර්ථිකයක් බවට පත් වූණා., ‘රාජකාරි ක්‍රමය‘ අහෝසි කිරීමත් සමඟ බි්‍රතාන්‍ය ජාතිකයන් පමණක් නොව ශ්‍රී ලාංකිකයන් ද ඊට ඇතුළත් වුණා. ඔවුන්ට බැංකු තිබුණේ නැහැ. ඔවුන්ට මුදල් සොයා ගැනීමට ක්‍රමයක් තිබුණෙත් නැහැ. ඒ කාලයේ ඔවුන්ට සහාය දැක්වීමට හෝ සහනදායි කොන්දේසි මත ආධාර දෙන්න ලෝක බැංකුවක් තිබුණේ නැහැ.

නමුත් ඔවුන් කළේ කුමක්ද? ඔවුන් විශාල ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනඟුවා. බි්‍රතාන්‍යයන් තේ වගා කරද්දී, අපි පොල් වගා කළා. අපි අපේ මිනිරන් සොයා ගත්තා. ඊට පස්සේ 1948 යුද්ධය අවසන් වූ පසු අපි දෙවැනි වුණේ ජපානයට පමණයි. ඒත් අපි හැටේ සහ හැත්තෑව දශකවල සිට නැවත විනාශය කරා

ගමන් කළා. ඉන් පසුව අපි යුද්ධයකින් පීඩාවට පත් වූ ආර්ථිකය නැවත ගොඩනඟන්න පටන් ගත්තා. එතැනින් පස්සේ රට ගමන් කළ දිශාව ගැන මම මෙතැනදී කතා කරන්නෙ නෑ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ආදායම් අඩුවීම සහ එවකට රජය ගත් ඇතැම් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග යන කරුණු දෙක මත මේ ආර්ථිකය කඩාවැටීමට ලක්වීම පුදුමයට කරුණක් නොවෙයි. මේ අර්බුදවලින් අපි ගොඩ ආ යුතුයි. අපි තවමත් ඒ සඳහා උත්සාහ කරමින් සිටිනවා.

පසුගිය ජූලි මාසයේ සිට ගෙවුණු මාස කිහිපය තුළ යම් ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට හැකි වුණා.

අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹ තිබෙනවා. ඒ වගේම අපි දැන් අපගේ ණය හිමියන් සමඟ සාකච්ඡා කරනවා. අපි චීනය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එක්සිම් බැංකුව සමඟ සාකච්ඡා කරන ලෙස ඔවුන් අපෙන් ඉල්ලා තිබෙන අතර එම සාකච්ඡා දැන් සිදුවෙමින් පවතිනවා. කොමියුනිස්ට් පක්ෂ සමුළුව නිසා චීනය සමඟ සාකච්ඡා ආරම්භ කිරීම ප්‍රමාද වුණා. එම කටයුතුවලදී මේ දක්වා ලොකු ප්‍රශ්නයක් මතු වී නැහැ. එම සාකච්ඡා ඉක්මනින් අවසන් කළ හැකි වෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. අපි ලබන අවුරුද්ද අරඹන්නේ රුපියල් බිලියන 300 – 400 ක විශාල ණය බරක් සමගයි. කොහොමද අපි මේක කළමනාකරණය කර ගන්නේ. රජයෙන් අරමුදල් ලබාදීමට නම්, අපිට අලුතින් මුදල් මුද්‍රණය කරන්න සිදු වෙනවා. අපිට මේ විදයම් කරන්න වෙන්නේ ගල්අඟුරු, ඉන්ධන මිල වැඩිවීම නිසා පමණක් නොවෙයි, වැරදි ආර්ථික කළමනාකරණයටත් ගෙවන්න සිදුවෙලා තිබෙනවා.

අපි සැලසුම් සහගතව මේවට මුහුණු දෙනවාද? එසේත් නැතිනම් අපි කිසිවක් නොකර කවුරුන් හෝ අපට උපකාර කරනු ඇතැයි කියා බලාපොරොත්තුවෙන් ඉන්නවද කියන එක දැන් අප හමුවේ තිබෙන පළමු ප්‍රශ්නයයි. දෙවනුව, අපි අපේ බැංකු පද්ධතිය දෙස බැලිය යුතුයි. අපි අපේ බැංකු බේරාගත යුතුයි. අපේ බැංකුවල තත්ත්වය ගැන මට ඔබ සමඟ කතා කිරීමට අවශ්‍ය නෑ. එය මට වඩා හොඳට ඔබ දන්නවා. නමුත් එහි දෙපැත්තක් තිබෙනවා.

මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි උද්ධමනය අද උපරිමයට පැමිණ තිබෙනවා. නමුත් එය පහතට වැටෙනවා. ව්‍යාපාර කරගෙන යෑමේදී පොලී අනුපාතවල යම් සහනයක් අවශ්‍ය බව තේරුම් ගත හැකියි. මෙය කියනවා වගේ නොවෙයි, කරන්න ගියහම හරිම අපහසුයි.

අනෙක් පැත්තෙන් ආර්ථිකය හැසිරවීමේදී මහ බැංකුවට විශාල කාර්යභාරයක් කිරීමට සිදු වෙනවා. ඒ නිසා ලබන වසර මුලදී ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මෙම යෝජනා දෙකම පිළිබඳ සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ආර්ථිකය ශක්තිමත් කිරීම වගේම පෞද්ගලික අංශයට දෙන්න පුළුවන් සහන මොනවද කියලා එහිදී අපි සොයා බලනවා.

අපගේ අවධානය යොමුවිය යුතු ප්‍රධාන ක්ෂේත්‍රවලින් එකක් වන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තයි. ඒවා කඩා වැටීමට ඉඩදිය නොහැකි අතර ඒවා නඟාසිටුවීමට විසඳුම් සොයා ගත යුතුයි. අපේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් බේරා ගන්නේ කෙසේදැයි සොයා බැලිය යුතුයි.

විවෘත ආර්ථිකය සාර්ථක වුණේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විශාල ප්‍රමාණයක් ඉදිරියට පැමිණීම තුළින්. සමහරු කෝටිපතියෝ වුණා. එදා මෙම ක්ෂේත්‍රයේ පැවතියේ මෙවන් තත්ත්වයක්. නමුත් දැන් අපි ඉදිරියට යනවිට විසඳාගත යුතු ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් ආර්ථිකය ස්ථාවර වීමෙන් පසු අප කරන්නේ කුමක්ද? යන්නයි. අනෙක, ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා සැලැස්ම කුමක්ද? යන්නයි.

මෙම ආර්ථික අර්බුදය තුළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ හැකිද කියා මම දන්නේ නෑ. ප්‍රතිසංස්කරණය කිරීමට නම් අපට ආර්ථිකයක් තිබිය යුතුයි. අනාගතයේදී අපට මුහුණ දීමට සිදු වන්නේ කුමන තත්ත්වයකටද?

අපට ණය දෙන පාර්ශ්වයන්ගෙන් සහ පෞද්ගලික ණය හිමියන්ගෙන් කුමන සහනයක් ලැබුණත් මෙම මුදල් දිගුකාලීනව ආපසු ගෙවිය යුතුයි. ඒ වගේම ඉදිරි වසර කිහිපය සඳහා අපි මුදල් ණයට ගත යුතුව තිබෙනවා. ඒ වගේම අපගේ වෙළෙඳ ශේෂය අපට වාසිදායක වන්නේ නෑ. ඉතින් අපි පැවති ක්‍රමවේදයම නැවත ගොඩනඟාගෙන වඩාත් වේගයෙන් පහළට වැටෙනවාද කියා සිතා බැලිය යුතුයි. ඒ අනුව බලනවිට මම හිතුවා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කර පලක් නැහැ කියලා. ඒ නිසා මට පෞද්ගලිකව ප්‍රතිසංස්කරණ සඳහා කිසිදු සැලැස්මක් නෑ. එමනිසා රජයටත් ආර්ථික ප්‍රතිසංස්කරණ සැලසුම් නෑ. අපට අවශ්‍ය වන්නේ 2050ට මුහුණ දෙන නව ආර්ථිකයක්

ගොඩනැඟීමටයි. පෞද්ගලික අංශය ඊට සූදානම්ද? මට ඔබෙන් ඇසීමට ඇති එකම ප්‍රශ්නය එයයි. ඒ වගේම අපි ඊට සූදානම්ද? මෙම අභියෝගය භාරගන්නවද? එහිදී දැනෙන වේදනාව දරා ගැනීමට සූදානම්ද? නැත්නම් අපි ආයෙත් හැංගෙන්නද යන්නේ? පැස්බරාට තම ඔළුව නිතරම සඟවාගත නොහැකියි.

අපේ ප්‍රමුඛතාව විය යුත්තේ විදේශ විනිමය ඉපැයීමයි. ඇයි අපිට වෙළෙඳ ශේෂයක්

තියාගන්න බැරි? එහි අතිරික්තයක් පවත්වාගෙන යෑමට නොහැකි ඇයි? වෙළෙඳ ශේෂයේ අතිරික්තයක් පවත්වා ගත්තේ නැතිනම් අපිට පැවැත්මක් නැහැ. අපි ලෝකය සමඟ තරඟ කළ යුතුයි.

ඒ වගේම අපි ආසියාවේ සෙසු රටවල් අතරට පැමිණිය යුතුයි. චීනය, ජපානය, කොරියාව, ඉන්දියාව වැනි දියුණු රටවල් සමඟ තරඟ කළ යුතුයි. අපට එම තතත්ත්වය ගොඩනගා ගත හැකිද? අපට තරඟකාරී අංශ නිර්මාණය කළ හැකිද? යන අභියෝගය භාර ගැනීමට ඔබ සූදානම් විය යුතුයි. අපි 2050ට යන්න ලෑස්තිද නැත්තම් 1950ට ආපහු යන්න ඕනද? මේ විකල්ප දෙක තමයි අපට තිබෙන්නේ.

අපි ඉතා තරගකාරී සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. එය කිහිප දෙනෙකුට පමණක් නොව සැමට ප්‍රයෝජනවත් විය යුතුයි. අපි හැමෝම ඉතා දුෂ්කර කාලයක් පසු කරමින් සිටින්නේ. මේ නව ප්‍රතිසංස්කරණ සඳහා අපි සූදානම් විය යුතුයි.

අපි පුනර්ජනනීය බලශක්තිය ගැන අවධානය යොමු කළ යුතුයි. මම පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කරන්නේ නැහැ. මම හරිත හයිඩ්‍රජන් ගැන කතා කරන්නම්. හරිත හයිඩ්‍රජන් බවට පත් කළ හැකි පුනර්ජනනීය බලශක්තියේ අතිවිශාල අතිරික්තයක් අප සතුව තිබෙනවා.

ඇයි අපි අපේ රට වරාය කේන්ද්‍රස්ථානයක් බවට පත් නොකරන්නේ? කොළඹ වරාය සංවර්ධනයේදී නැගෙනහිර පර්යන්තය පිළිබඳ ගත් තීරණවලදී ලොකු විවාදයක් ඇති වුණා. මම රට විකුණන්න හදනවා කියලා. දැන් අපි බටහිර පර්යන්තය ලබා දී තිබෙනවා. එය ඉතා හොඳ තත්ත්වයක්. අපට ඇත්තටම ඉදිරියට යෑමට අවශ්‍ය නම්, නැගෙනහිර පර්යන්තයත් ලබාදිය යුතුයි. අපි පළමු තේරීම ජපානයට ලබා දී තිබෙනවා. එහෙම නැත්නම් අපි අනිත් පාර්ශ්වයන්ටත් එන්න කියනවා.

කොළඹ වරාය දකුණු ආසියාවේ කාර්යබහුලම වරාය විය යුතුයි. තවදුරටත් කුඩා වරායක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා කොළඹ වරාය ජාඇල දක්වා පුළුල් කරන්න. වරාය කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සඳහා කොළඹ උතුරු ප්‍රදේශයේ අක්කර 30ක් පමණ දැනටමත් එළිපෙහෙළි කර තිබෙනවා. එයට සම්බන්ධ කිරීමට තවත් ඉඩම් තිබෙනවා. රට අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් බවට පත් විය යුතුයි. එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට එකඟ වූ පාර්ලිමේන්තුවේ සියලුම පාර්ශ්වයන්ට මම ස්තූතිවන්ත වෙනවා. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පෞද්ගලික අංශයටත්, විශ්වවිද්‍යාලවලටත් විවෘත කරමු. මෙම ආර්ථික සමුළුවේ ප්‍රධාන දේශනය ඉන්දීය පරිවර්තනය සඳහා වූ ජාතික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි පරමේෂ්වරන් අයියර් මහතා විසින් සිදු කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති විෂ් ගෝවින්දස්වාමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment