‘ණය අරන් අරන් දැන් කරන්නෙත් කන එකයි ඉන්ධන වලට පුච්චන එකයි’
ස්වාධීනව කටයුතු කිරීම, ආණ්ඩුවේ සිටිමින් විවේචනය කිරීම වැනි විවිධ කණ්ඩායම් දැන් ආණ්ඩුව තුළින්ම බිහි වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර අතුළු දස දෙනෙක්ගෙන් යුතු මන්ත්‍රී කණ්ඩායමක්ද මේ වන විට ආණ්ඩුව තුළ සිටින වෙනස් මතධාරී කණ්ඩායමක් ලෙස ක්‍රියා කරයි. පවතින දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ රටේ හෙට දවස ගැන අවබෝධයක් ගැනීමට මෙවර අපි ඔහු සමග කතා කළෙමු.
● ඔබලාගේ දහදෙනාගේ මන්ත්‍රී කණ්ඩායමත් දැන් ස්වාධීන වෙලාද?
ඒක ස්වාධීනවම නෙවෙයි. අපි තාම ස්වාධීන වෙලා නෑ. ආණ්ඩු පක්ෂය ඇතුලේ තවමත් අපි ඉන්නවා. හැබැයි හෘද සාක්ෂියට එකඟව හරි දේට හරි දේ කියනවා. වැරදි දේට වැරදි කියනවා. පක්ෂය වුණත් වැරදි දෙයක් තීන්දු කළොත් අපි ඒක වැරදියි කියමින් පෙනී සිටිනවා.
● පක්ෂයක පොදු එකඟතාවක් තුළ ඉඳිමින් කොහොමද එහෙම කරන්නෙ?
මෙච්චර කල් නම් අපිට පක්ෂයක ඉන්නකොට පක්ෂය ගන්න තීරණවලට එකඟ වෙන්න වෙනවා. නමුත් අපිට හෘද සාක්ෂියක් තියනවනේ. අපි දහදෙනෙක්ගේ මන්ත්‍රී කණ්ඩායම කරන්නෙ යම් අවස්ථාවක පක්ෂය ගන්න තීරණය වැරදිනම් ඒක වැරදියි කියන තැන ඉන්නවා. හෘද සාක්ෂියට එකඟව ඒකට විරුද්ධ වෙන්න පුළුවන්නෙ. හැබැයි අපි පක්ෂයෙන් අයින් වෙලා නෑ.
● පොහොට්ටු පක්ෂය මේ ක්‍රියාවට විරුද්ධත්වයක් දක්වන්නේ නැද්ද?
නෑ පක්ෂයේ අය කියනවා අපිට එහෙම කරන්න එපා කියලා. නමුත් අපිට හොඳ දේට එකඟ වෙන්නත් හොඳ නැති දේට එකඟ නොවෙන්නත් පුළුවන්නෙ.
● ඔබලා මේ කරන්නෙ ජනතා ප්‍රසාදය දිනා ගැනීමේ නාට්‍යයක් නේද?
නෑ නෑ. ජනතා ප්‍රසාදය දිනාගන්න නම් අපි විරුද්ධ පක්ෂයේම ඉන්න එපැයි. අපි බලන්නෙ ජනතා ප්‍රසාදය නෙවෙයි. මේ හරි තැනට එන්න හදන්නෙ. මොකද අපි දකින විදියට විරුද්ධ පක්ෂයත් වැරදියිනෙ. අපි කිව්වෙ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කියල. එතකොට සාර්ව පාක්ෂික ආණ්ඩු හදන්න කියන්න හේතු ගොඩක් තිබුණා. ඒ තමයි තනි පක්ෂයක ජනතාව ප්‍රතික්ෂේප කරන ම්ට්ටමේ ටික දෙනෙක්ගෙන් හදන ආණ්ඩුවක් ජනතාව පිළිගන්නෙ නෑ. හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාගෙන් ගත්තනම් විපක්ෂයක් නැති පාර්ලිමේන්තුවක් අපිට හදාගන්න තිබුණා. අපි කිව්වෙ එහෙම පුළුල් වැඩ පිළිවෙළක්. ඉතින් ඒක භාර නොගැනීමෙන් මේ වෙලාවේ විපක්ෂයත් වැරදියි කියන තැන අපි ඉන්නෙ.
● ආණ්ඩුවට තිබුණ ජන මතය තාම තියනවා කියල ඔබලා හිතනවාද?
නැ නෑ. මම හිතන්නෙ නෑ ආණ්ඩුවට තිබුණ ජන මතය එලෙසින්ම තියනවා කියලා. එහෙම හිතෙනවනම් පිස්සු වෙන්න ඕන. ඒක වෙනස්වෙලා තියනවා කියල අපිපිළිගන්නවා. ඒකයි මේ ජනතාව අපේක්ෂා කරන දේත් සැළකිල්ලට අරගෙන රට ගැනත් හිතල තීන්දු ගැනීමක් අපි මේ කරන්නෙ. අපි දන්නවා අපි මේ කරන්නෙ අමාරු වැඩක් කියල. මොනවා හරි කරල මේක සමාකාමී නොකොළොත් රටට මේ එන සංචාරකයෝ ටිකවත් එන්නෙ නෑ. තව ටිකක් කල් මෙහෙන්ම ගියොත් අපේ රටේ කෙනෙක් විදේශ රැකියාවකටවත් ගන්න එකක් නෑ. අපි කියන්නෙ දැන් මේ තියන තත්ත්වය රටක් හැටියට අවාසියි. සේවා අපනයන ටික වැඩි කරල විදේශ විනිමය ගේන්නත්, විදේශ රැකියා අවස්ථා ඇතිකරල විදේශ විනිමය හොයන ක්‍රමයකට අපිට යන්නම වෙනවනේ. දැන් ඔන්න ආයෙත් ඉන්දියාවෙන් ඩොලර් මිලියන හත්සීයක් ණයට ගන්න තීරණය කරලනෙ. එහෙම කොහේ හරි රටකින් ඩොලර් මිලියන කීයක් හරි ණයට ගන්නවා. ඒකෙන් තෙල් ටිකක් ගේනවා. ඔහොම අපි කී දවසක් ජීවත් වෙන්නද? කරන්න තියෙන ආර්ථික ප්‍රතිසංස්කරණ නොකර පැලස්තර විසඳුම් හරි යන්නෙ නෑ කියන තැන අපි ඉන්නෙ.
● ආණ්ඩුවට තිබුණ ජනමතය වෙනස් වෙලා කියල පිළිගන්නව නම් ඇයි ජනතාව එක හඬින් ඉල්ලන මැතිවරණයකට නොයන්නේ?
මැතිවරණයකට යන්න මේ වෙලාවෙ පුළුවන්ද ඇත්තටම. ජනතා විමුක්ති පෙරමුණත් මැතිවරණයක් ඉල්ලනවා. මැතිවරණයකට යන්න කෝටි දාහක් අවශ්‍ය වෙනවා. අනික මැතිවරණයකට යන්න රට සාමකාමී නෑ මේ වෙලාවේ. කී දෙනෙක් මැරෙයිද මේ වෙලාවේ මැතිවරණයකට ගියොත්. ඒ නිසයි අපි කියන්නෙ රට මාස හයක් විතර සාමකාමී කරගෙන ඊට පස්සෙ මැතිවරණයක් තියන්න සුදුසු වාතාවරණයක් හැදුණොත් අපි මොන ක්‍රමයකට හරි මුදල් ටිකක් හොයාගෙන මැතිවරණයකට යමු. හැබැයි ඒකට පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනල්ලා බහුතරයෙ කැමැත්ත මත පාර්ලිමේන්තුව විසුරුවා හරින්න එපැයි.
● මැතිවරණයට කෝටි දාහක් වියදම් වෙනවා කියන එක ප්‍රවාදයක්?
නෑ ප්‍රවාදයක් නෙවෙයි. කිසි සේත් නෑ.
● රාජ්‍ය සේවකයන් ස්වෙච්ඡාවෙන් මැතිවරණ කටයුතුවලට සහභාගි වෙන බව වෘත්තීය සමිති කියනවා. මැතිවරණ ප්‍රචාරණ වියදම් අඩු කළ හැකි ක්‍රමවේදත් ඉදිරිපත්ව තිබෙනවා. මේ සියල්ල එක්ක කෝටි පන්සියය දක්වා මැතිවරණයකට යන වියදම අඩු කරගන්න පුළුවන්?
කිසි ප්‍රශ්නයක් නෑ. එහෙමනම් වියදම අඩු වෙනවා. හැබැයි ඒක කොච්චර යථාර්ථයක් වෙයිද කියන ප්‍රශ්නය තියෙනවා. වෙනදට වඩා ප්‍රවාහන සේවයට දැන් අති විශාල වියදමක් යනවා. මැතිවරණ පක්ෂත් තමන්ගේ වියදම් අඩු කරනවනම්, රාජ්‍ය සේවකයන්ගෙ වියදමත් අඩු කරල යන්න පුළුවන්නම් ලොකු ගැටලුවක් වෙන්නෙ නෑ. හැබැයි මම තව කාරණාවක් කිව්වා. මේ වෙලාව මැතිවරණයකට යන්න පුළුවන් සුදුසු සාමකාමී වාතාවරණයක් නෑ. වෙනදට වඩා කලහකාරී සිදුවීම් ඇතිවෙන්න පුළුවන්. මිනී මැරීම් ඇතිවෙන්න පුළුවන්.
● මිනිස්සු ඉල්ලන්නෙත් මැතිවරණයක් නම් කලහාකාරී වෙන්න හේතුවක් නෑනෙ. කලහකාරී වෙයි කියන්නෙ උපකල්පනයක් නේද?
නෑ හිතන්නකො කවුරු කවුරුහරි විසින් මේ වෙලවෙත් දහ දෙනෙක් මැරුවනෙ. ඒ මරල අඩු ගාණේ මාස තුනේ දානයවත් දුන්නෙ නෑනෙ. බස් ගිනි තිබ්බා. සෑහෙන දේපල විනාශ කළා. එහෙම භීෂණ තමයක් උදාවෙලා තාම මාසයකවත් ගියේ නෑනෙ. අපි කියන්නෙ මේ තත්ත්වය අඩු වෙලා මේ දේශපාලන අර්බුදය විසඳගෙන මාස හයක් වත් යන්න වෙයි.
● දැන් මේ කරපු වෙනස්කම් එක්ක දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවෙයිද?
නෑ දැන් දේශපාලන ස්ථාවරත්වයක් නෑනෙ. දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවෙන්න තමයි හැමෝම එකතු කරන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට යමු කියල අපි කිව්වෙ. මොනවා වුණත් බහුතරය ඉන්නෙ පොදුජන පෙරමුණේනෙ. හිතන්නකො ජනාධිපති ඉල්ලා අස්වෙලා ජනාධිපති කෙනෙක් පත් කරගන්න වෙනවා කියලා. රහස් ඡන්දයෙන්නෙ ඒක කරන්න වෙන්නෙ. එතකොටත් වැඩි බලයක් තියෙන්නෙ පොදුජන පෙරමුණේ ඡන්දවලට. ඉතින් ඒ රහස් ඡන්දය කොහොම පාවිච්චි කරයිද කියල කවුද දන්නෙ. කාටද විශ්වාසය තියෙන්නෙ ජනතාව හිතන කෙනා පත්වෙයි කියලා. ඒ නිසා අපි කියන්නෙ දේශපාලන ස්ථාවරත්වය හදාගන්න ඕන.
● මේ කාල වකවානුවේ මේවා කරනවා කියල දැනට ආණ්ඩුවේ තීරණයක් තියනවද?
නෑ දේශපාලන ස්ථාවරත්වයක් නැතිව එහෙම ටයිම් ලයින් එකක් හදන්න බෑ. අපේ දහදෙනාගේ ස්ථාවරත්වය තමා මාස හයක් යමු කියන එක.
● මාස හයක් කියන්නෙ ආණ්ඩුව කල් මැරීමට කරන උප්පරවැට්ටියක් ?
නෑ නෑ. කල් මැරීමක් නෙවෙයි. හේතුව මාස හයක් වත් නැතිව මෙච්චර දරුණු ව්‍යසනකාරී තත්ත්වයක් සාමාන්‍ය තත්ත්වයට හරවන්න අමාරුයි.
● ද්විත්ව පුරවැසි භාවයට ව්‍යවස්ථා සභාවේ ඉඩ ඇහිරීම, විධායකයේ අසීමිත බලය ව්‍යවස්ථාදායකට ගෙන ඒම අරමුණු කරන් එන 21 වැනි සංශෝධනයට දහ දෙනාගේ කණ්ඩායම පක්ෂයිද ?
ඔව්. කෙටියෙන්ම කිව්වොත් අපි ඒකට කැමතියි.
● ඡන්දයක් එද්දි ඔබලගේ මේ ස්ථාවරත්වය වෙනස් වෙයිද?
දැනට 21 ගැන දළ වශයෙන් තියනවනෙ අදහසක්. ඇත්තටම තාම අපිට එකේ ඩ්‍රාෆ්ට් එක ලැබුණේ නෑ. අපිට තියන අදහස අනුව දහ නව වැනි සංශෝධනයට කිට්ටු එකක් ගේන්නෙ. අධිකරණයට විනිශ්චයකාරවරු පත්කිරීම් දෝෂ අයින් කරල, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම වගේ කරුණු ඇතුල් කරල මේක ගෙනෙයි. හැබැයි ස.ජ.බ කියනවනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක කරන්න කියල. ඒක ව්‍යාවස්ථා සංශෝධනයකින් කරන්න බෑ. බොහෝ විට ඒකට ජනමත විචාරණයක් ඕන වෙයි. ඒ වගේ වැඩක් කරන්න මුල ඉඳන්ම සංශෝධනය කරල අපිට අලුත් ව්‍යවස්ථාවකට යන්න වෙයි. ඒක මේ මොහොතෙම කරන්න බෑ. ඒත් දැන්මම පටන් අරන් කරගෙන යා යුතු වැඩක් කියල අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ එන 21 වැනි සංශෝධනයේ අවසානයේ පාර්ලිමේන්තුවට එන කරුණු අනුව තමා අපේ අවසන් ස්ථාවරත්වය ඇතිවන්නෙ.
● ගත්ත ගමන්ම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වුණේ ඇයි?
ඒ වෙලාවේ අමාත්‍යාංශයක වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් තිබුණේ නෑ. ඩොලර් රේට් එක සහ ඩොලර් ප්‍රශ්නය නිසා පාරිභෝගිකයා බලාපොරොත්තු වෙන කිසි දෙයක් එතන කරන්න පුළුවන් වාතාවරණයක් තිබුණේ නෑ. ඉතින් එතන ඉඳල වැඩක් නෑ.
● ඔබ ආරථික විද්‍යාව පිළිබඳව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්. ඒ නිසයි මම මේ ප්‍රශ්නය ඔබෙන් අහන්නෙ. නිදහසින් පසු මේ රට පාලනය කරගෙන එන්නෙ පක්ෂ දෙකක්. එම පක්ෂ දෙකේ ආර්ථික ප්‍රතිපත්ති වලින් මේ රටට යහපත් හෙටක් උදාකරන්න පුළුවන්ද?
මෙහෙමයි මම විශ්වාස කරන විදියට රටට හිතැතිව හොඳ දැක්මකින් යුතුව කටයුතු කළ කාලය ලෙස දකින්නෙ එක්දහස් නවසිය හැත්තෑව සහ හැත්තෑ හතර අතර කාලය විතරයි. ඒ කාලයේ ගෙන ගිය දේශීය නිෂ්පාදනය වර්ධනය කිරීම, ආනයන ආදේශන කර්මාන්ත ප්‍රතිපත්තිය නිසා හැත්තෑ හත වෙද්දි අපේ ආනයන වියදම අඩු වෙලා අපනයන ආදායම වැඩි වුණා. ජේ. ආර්. ජයවර්ධන මහත්තයා මේ ආර්ථික ප්‍රතිපත්තිය අංශක එකසිය අසූවෙන්ම අනිත් පැත්ත හැරෙව්වා. එදා ඉඳන් තමා ආනයන වැඩි අපනයන අඩු වෙලා අපි හැමදාම ණය වෙන්න ගත්තෙ. ණය ආපසු ගෙවීම නොසිතා ණය ගැනීම නිසා තමයි අපි මේ අර්බුදයට ලක්වුණේ.
● ණය අරගෙන කළ ව්‍යාපෘතිවල ප්‍රශ්නයක් නේද තියෙන්නෙ?
ණය අරගෙන පාවච්චි කළ විදිය වැරදියි. මූල්‍ය කළමනාකරණය වැරදියි.
● නිකන් කොන්ක්‍රීට් වනාන්තරයක් හැදුවා කියන එකයි චෝදනාව?
මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන කරුණු දෙකයිනෙ තියෙන්නේ. එකක් වාසිදායකම සහ යෝග්‍ය මාර්ග වලින් අරමුදල් සම්පාදනය කර ගැනීම. අනික් පැත්ත තමා වාසිදායකම සහ යෝග්‍ය මාර්ගවල අරමුදල් යෙදවීම. ඔය දෙකෙන් එකක් හරි වැරදුණොත් ඒ කියන්නෙ ඒ මූල්‍ය කළමනාකරණය දුර්වලයි. විශේෂයෙන් ස්වෛරීත්ව බැඳුම්කර හරහා ණය ගැනීම යෝග්‍ය මාර්ගයක් නෙමෙයි. ටිකක් හොයල බැලුවොත් පෙනෙයි චන්ද්‍රිකා මැතිනියගේ කාලේ එහෙම ලොකු පොලියකට ස්වෛරීත්ව බැඳුම්කර වලින් ණය අරන් නෑ. හැබැයි ඊට පස්සේ අපි ලොකු පොලියකට ණය ගත්ත තැන් තියනවා. 2015 ත් 2019 අතර ඩොලර් බිලියන 12.5 ණය අරන් තියනවා. එකෙන් මම දන්න විදියට ඩොලර් බිලියන 4.5 විතර කලින් ණය ගෙවල තියනවා. හැබැයි ඩොලර් බිලියන හතක් අටක් මොකටද යෙදුව්වෙ කියල අපිට හිතාගන්න බෑ. ඇත්තටම දැන් මේ සැරේ ලෝක බැංකුවෙන් අරන් සහනාධාර දෙනවනෙ රුපියල් පන්දහස බැගින්. කොහොමද මේවා ගෙවන්නෙ. මේ වෙනකොටත් ඉන්දියාවෙන් අපි ඩොලර් බිලියන කිහිපයක් ගත්තනෙ. අරන් අපි කරේ තෙල්වලට පුච්චන එකයි කාපු එකයිනෙ. මේවා කොහෙන්ද ගෙවන්නේ. මෙකෙන් වෙන්නෙ අනාගත දවසක මීටත් වඩා හිරවෙනවා. ආර්ථික ප්‍රතිසංස්කරණ ගේන්න ඕන තියෙන විදියට ජීවත් වෙන්න.
හොඳ වැටුපක් තියන ගෞරවනීය රැකියාවක් මම කර කර හිටියේ. වියත් මගෙන් ලැබුණු යම් යම් තොරුතුරුත් එක්ක වගේම ආරක්ෂක ලේකම් ලෙස සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විදියට කරපු වැඩ කොටසත් එක්කනෙ මේ රටේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ජනප්‍රිය අපේක්‍ෂකයා විදියට ගෝඨාභය මැතිතුමා පත්වුණේ. එතකොට මට ලොකු බලාපොරොත්තුවක් ඇතිවුණා මේ තමයි රට ගොඩ නැඟෙන අවුරුදු පහ. අනිත් අය මම දන්නෙ නෑ. මම නම් ආවේ මේ රට සංවර්ධිත රටක් බවට පත්කර ගැනීමට අපටත් දායකත්වයක් දැක්විය හැකියි කියන සිතින්. ඒ දායකත්වය දැක්වීමේ අරමුණ ඇතිව මිස වෙන කිසිදු පුද්ගලික අරමුණක් නිසා නෙවෙයි. දැන් මොනවා හෝ හේතුවකට අපි අපේක්ෂා කරපු තැනට යන්න බෑ කියන හැඟීම තිබෙනවා. ඉතින් මම ආව අරමුණ ඉටුකර ගැනීමට බැරි නම් තවදුරටත් ඉඳීමේ පලක් නෑ කියන තීරණයට ඇවිත් තියෙනවා.
තිස්ස ගුණතිලක