‘21’ ඉක්මන් කරන්න පොදු සන්ධානයක්

156

විසිඑක් වැනි ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් සම්මත කරවා ගැනීමට ආණ්ඩුවට බලකිරීම සඳහා ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ පොදු සන්ධානයක් ඊයේ (15දා) බිහි විය.

ඒ අනුව ජෝන් සෙනෙවිරත්න, පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, නීතිඥ ශිරාල් ලක්තිලක යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු මාදිවෙල කිඹුලාවල උත්සව ශාලාවක ඊයේ ප්‍රථම වරට මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කළහ.

ඉදිරියේදී තවත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙම සන්ධානයට එකතු කර ගන්නා බව ද ඔවුහු කීය.

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත කරගන්නා ලෙසට ආණ්ඩුවට බලකරන බව එම මාධ්‍ය හමුවට සහභාගි වූ හිටපු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා ඇතුළු ආණ්ඩු පක්ෂ – විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම කියා සිටියහ.

ඉදිරියේදී ගනු ලබන අත්‍යවශ්‍ය කාරණාවලදී ආර්ථික, සමාජීය සාමුහිකව මෙම කණ්ඩායම ඒකාබද්ධව තීන්දු තීරණ ගන්නා බව ද පැවසූහ.

21 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශයේ කටයුතු කිරීමට අයිතිය තිබීම හා වෙනත් අමාත්‍යාංශ ජනාධිපතිවරයාට නොපැවරීම, අගමැතිවරයා පත් කිරීමෙන් පසුව ඇමැතිවරුන් පත් කිරීමේදී අගමැතිවරයාගෙන් විමසා පත් කිරීම, ඇමැති මණ්ඩල 30ක් වීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනාධිපතිවරයා විසින් අවුරුදු 3ක් ඉක්ම වූ පසු සිදුකිරීම යන කාරණා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ඔවුහු කීහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment