21 සංශෝධනයෙන් ජනතා පරමාධිපත්‍යය රැකේද?

573

විධායක ජනාධිපති ක්‍රමය සහිත වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට හිමිව ඇති බලතල සමහරක් පාර්ලිමේන්තුව වෙත පැවරීම සඳහාවන කෙටුම්පතක් අධිකරණ ආණ්ඩුක්‍රම සහ බන්ධනාගාර කටයුතු භාර ඇමැති විජේදාස රාජපක්ෂ මහතා විසින් අගමැතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව මාධ්‍ය ඔස්සේ රටට අසන්ට ලැබිණ. එය පුළුල් ජනතා සංවාදයකට ලක් කළ යුතු බව රට වැසි මතයයි.ප්‍රජාතන්ත්‍රවාදයේ පූර්ව කොන්දේසිය වන්නේ ජනතා පරමාධිපත්‍යයයි. ව්‍යවස්ථාව අයත් වන්නේ රටේ ජනතාවටයි. රාජ්‍ය පරමාධිකාරි බලය යනු ජනතා බලයයි. ඒ බලය පැහැර ගැනීමේ හෝ යටපත් කිරීමේ අයිතියක් ආණ්ඩුවලට නැත. ජනතාව සතු මේ බලය අන්සතු කළ නොහැකි සහ අත්හල නොහැකි එකක් ලෙස ලෝක සම්මතයට එක්වී ඇත්තේ එබැවිනි. ජනතා පරමාධිපත්‍යයට පාලකයා යටත් නැති කුමන පාලන ක්‍රමයක් යටතේ වුව ද රාෂ්ට්‍ර පාලනය සිදුවන්නේ ඒක පුද්ගල රංගයක් ලෙසිනි. 1972 සහ 1978 යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකෙහිම ජනතා පරමාධිපත්‍යය යන වචන සඳහන්ව ඇත්තේ අක්‍රීය සංකල්පයක් වශයෙනි. වර්තමානයේ විධායක ජනාධිපති ධුරය ඒක පුද්ගල රංගයක් ලෙස රට වැසියා විසින් හඳුන්වන්නේ ද එබැවිනි. ව්‍යවස්ථා සංශෝධනයකින් රට වැසියා අපේක්ෂා කරන්නේ හේතුව සොයා එයට ප්‍රතිකාර කිරීමයි.

පාලකයා මේ රටේත්, රට වැසියාගේත් භාරකරු මිස, අයිතිකරු නොවන බව ලක්වැසි අපට උගන්වා ඇත්තේ බුදු සසුන පිහිටුවීමට මෙරටට වැඩම කළ මිහිඳු මා හිමි විසිනි. එහෙත් අපේ මේ පාලකයන් ඒ උතුම් වදන සිත්හි දරා ගෙන රාජ්‍ය පාලනය ගෙන යෑමට වුවමනාවක් හෝ උනන්දුවක් නොදැක්වීම අද වනවිට රට වැසි ජනතාවට බරපතළ ප්‍රශ්නයක් වී ඇත. එදා මිහිඳු හිමි දේවානම් පියතිස්ස රජුට පැහැදිලිව ප්‍රකාශ කරදී තිබුණේ රාජ්‍ය පරමාධිකාරි බලය ජනතාව සතු එකක් බවයි. ජනතාව පෙළීමේ විශේෂ වරප්‍රසාදයක් රජුට නැති බව මිහිඳු හිමි දැක්වූ අදහසයි. රජුට මෙන්ම රටවැසි ජනතාවටත් රටේ වෙසෙන සියලු සත්වයන්ටත් සුරක්ෂිතව ජීවත්වීම සඳහා ඇත්තේ එක හා සමාන අයිතියක් බව මිහිඳු හිමිගෙන් රජුට ලැබුණු පණිවිඩයයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන යෝජනා ඉදිරිපත් කිරීමට යෝජනා ගෙන එන මේ අවස්ථාවේ සෑම දේශපාලන පක්ෂයක් විසින්ම කළ යුතු එක් දෙයක් වන්නේ ජනතා පරමාධිකාරී බලය යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ කුමක්ද? යන්න රටට පැහැදිලි කරදීමයි. බුදු දහමේ හැටියට මෙලොව උපදින සෑම මිනිසකුම පෘථග්ජනයෙකි. එසේ නොවන්නේ රහත් අරහත් භාවයට පත්වූවෝ පමණි. දේශපාලනඥයා යනු මිනිසෙකි. එය එසේ නම් ඔහු පෘථග්ජන බවින් මිදුණු අයකු නොවේ. හොරකම, බොරුව, වංචාව, කපටිකම සහ අවස්ථාවාදය සෑම දේශපාලනඥයකු තුළම අඩු වැඩි වශයෙන් සැඟවී ඇති දුර්ගුණ වේ. පාර්ලිමේන්තුවට තේරී පත්වන දේශපාලනඥයන්ට ද විවිධ ආශා සහ අරමුණු ඇති බව අප මෙහිදී තේරුම්ගත යුතු කරුණකි. බලය ඇතිවිට එක් ආකාරකටත්, බලය නැතිවිට තවත් ආකාරයකටත් හැසිරීම දේශපාලනඥයාගේ ගති ලක්ෂණය වෙයි.

1948 සිට මේ දක්වා රටේ පාලනය ගෙන ගොස් ඇත්තේ ජනතාව අතේ දුරින් තබා පාලකයා රටේ භාරකරු නොව අයිතිකරු යැයි සිතන බි්‍රතාන්‍ය වෙස්ට් මිනිස්ටර් මොඩලයේ වලව් පාර්ලිමේන්තු ක්‍රමයකිනි. මෙය තුළින් ජනතා හඬක් රටට ඇසෙන්නේ නැත. වෙස්ට් මිනිස්ටර් මොඩලයේ පර්ලිමේන්තු ක්‍රමය පවත්වාගෙන යෑමට අපේ දේශපාලනඥයන් දක්වන්නේ පුදුම උනන්දුවකි. එහි බල මහිමය ගැන ඔවුන් ජනතාවට කරුණු දක්වන්නේ මෙසේය. “එයට ගැහැනියකු මිනිසකු කිරීමටත්, මිනිසකු ගැහැනියකු කිරීමටත් හැර අන් ඕනෑම දෙයක් කළ හැකිය” කියායි. ඉන් කියැවෙන්නේ වෙස්ට් මින්ස්ටර් මොඩලයේ පාර්ලිමේන්තු ජනතා පරමාධිකාරි බලයට යටත් නැති බවයි. ඒ යටතේ සිදුවන්නේ පාර්ලිමේන්තු පරමාධිපත්‍යයට යටත්ව රටේ ව්‍යවස්ථාදායකය කටයුතු කිරීමයි. පාර්ලිමේන්තු පරමාධිපත්‍යයට යටත්ව ජනතාව පාලනය වීම එකකි; ජනතා පරමාධිපත්‍යයට යටත්ව පාර්ලිමේන්තුව කටයුතු කිරීම තවෙකකි. දේශපාලනඥයන් ජනතාව නොමඟ යවන්නේ මේ සංකල්ප දෙක එකට පටලවමිනි.

1970 මහා මැතිවරණයේදී වසර පහක කාලයකට ආණ්ඩු බලය ලබාගත් එවකට පැවැති රජය එම ජනවරම අවසන් වූ පසු නැවත මහා මැතිවරණයකට ගොස් අලුත් ජනවරමක් ලබා ගනු වෙනුව කළේ පාර්ලිමේන්තු යෝජනා සම්මතයෙන් පාර්ලිමේන්තුවේ ආයු කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කර ගැනීමයි. එදා සිටියේ පාර්ලිමේන්තු පාලනයට යටත් යැයි කියැවුණු අගමැතිවරයෙකි. විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට එදා තිබුණේ නාම මාත්‍ර විධායකයෙකි. එතැනදී අප දුටුවේ අන්සතු කළ නොහැකි සහ පැහැර ගත නොහැකි යැයි දක්වා තිබූ ජනතා පරමාධිපත්‍යය පාර්ලිමේන්තුව විසින් ගිලගත් අයුරු ය. එය එසේ වුවත්, එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව තිබුණේ “පරමාධිකාරි බලය ජනතාව සතුව; එය අන්සත කළ නොහැකිය සහ පැහැරගත් නොහැකිය” යනුවෙනි. එයට එරෙහිව ජනතාව විසින් ගත හැකි කිසිදු නෛතික පියවරක් එම ව්‍යවස්ථාව තුළ දක්නට නොතිබිණ. ඒ අනුව 1975 පැවැත්වීමට නියමිතව තිබූ මහා මැතිවරණය පවත්වනු ලැබුවේ 1977 වසරේදීය.

එසේම 1977 දී බලයට ආ ආණ්ඩුව 1982 වසරේ සාමානුපාතික වතු ක්‍රමය යටතේ පැවැත්වීමට නියමිතව තිබූ මහා මැතිවරණය ඒ අයුරින්ම පවත්වනු වෙනුවට කළේ ප්‍රෝඩාකාරී ජනමත විචාරණයක් පවත්වා එයට පෙර පැවැති කේවල ඡන්ද කොට්ඨාස ක්‍රමය යටතේ ලබාගෙන තිබූ 5/6 ක ව්‍යවස්ථාදායක බලය ඉදිරි කාලය සඳහා තවත් වසර පහකින් දීර්ඝ කර ගැනීමය. එතැනදී සිදු වූයේ ද අන්සතු කළ නොහැකි යැයි කියැවුණු ජනතා පරමාධිපත්‍ය බලයේ සිටි දේශපාලඥයන් විසින් යටපත් කර පැහැර ගැනීමයි. ඉහත කී කිසිදු අවස්ථාවක ඒවාට එරෙහිව ගත හැකි කිසිදු නෛතික පියවරක් ව්‍යවස්ථාව තුළ නොතිබිණ. විධායක ජනාධිපතිවරයා එක් පුද්ගල රංගයක් දක්වන්නකු බවට පත් වූයේ ජනතා පරමාධිපත්‍ය සුරැකීමට ඍජු සංචරණ, සහතුලන ව්‍යවස්ථාව තුළ නොතිබීමය. කුමන ව්‍යවස්ථා සංශෝධනයකදී වුව ද ජනතාව තීරණ ගත යුත්තේ කපටි දේශපාලනඥයන්ගේ බහට නොරැවටෙමිනි.

ගත වූ කාලය පුරාම මේ රටේ ජනතාවට අසන්ට ලැබුණේ මහජන මන්ත්‍රීවරුන් ගැන කියැවුණු අමිහිරි සහ අප්‍රසන්න තොරතුරුය. ඇතැම් අවස්ථාවලදී ඔවුන් මිල මුදලට අලෙවි වන භාණ්ඩ මෙන් කටයුතු කළ අවස්ථා ගැන ද රටට අසන්ට ලැබිණ. වර්තමාන ප්‍රශ්න බොහොමයකට ඔවුන් ද වගකිව යුතු බව මැදහන් විචාරකයන්ගේ මතයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විය යැත්තේ ජනතා අයිතිවාසිකම් සුරැකෙන ආකාරයටය. ව්‍යවස්ථාව සංශෝධන තුළින් ඇතැම් මන්ත්‍රීන් උත්සාහ දරන්නේ මන්ත්‍රී බලතල තවතවත් ශක්තිමත් කර ගැනීමටය. නිදහසින් පසු මෙරට ආණ්ඩු විසින් සාදන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකම මන්ත්‍රීන් විසින් අත් ඔසවා සම්මත කර ගත් ඒවා බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ ව්‍යවස්ථා කිසිවක් ජනතාව විසින් ජනමත විචාරණ මගින් නීතිගත කළ ඒවා නොවන බව ද රටේ ජනතාව හොඳින් දනී. ජනතාවගේ බලය ඒවාට ඍජුව කාන්දු වී නැති බව රටට නොරහසකි. ව්‍යවස්ථා වෙනස්කම් හැමදාමත් සිදු කර ඇත්තේ දේශපාලනඥයාට වාසි වන අන්දමටය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ අද මුළු මහත් රටම විශාල ආර්ථික අගාධයකට ඇද වැටී තිබීමය. දැන් කවුරුත් කතා කරන්නේ අශ්වයා පැන ගිය පසු ස්ථාලය වැසීමක් ගැනය. ඩොලර් තබා රුපියල්වත් නැති තරමට රට බංකොලොත්ය. රටේ විගණකාධිපතිවරයාගේ බලතල ද අද වනවිට දේශපාලනඥයන්ගේ පාලනයට යටත් කොට ඇති බව කිව යුත්තකි.

1947 ව්‍යවස්ථාවේ 71 වගන්තියෙන් විගණකාධිපතිවරයාට ලැබී තිබුණ බලය අති විශාලය. ඔහුට නිදහසේ විගණන කටයුතු කිරීමට විශාල රුකුලක් විය. විගණන කටයුතු කිරීමේදී ඔහු මැති ඇමැතිවරුන්ගේ අදහස් මත ක්‍රියා කිරීමට බැඳි සිටියේ නැත. ඔහු ඒ කටයුත්ත කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශිත නියෝගයක් පිළිපදින්නකු ලෙසය. 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් ඒ සියල්ල ඉවත් කිරීමත් සමග දේශපාලනඥයාට රාජ්‍ය මූල්‍ය වංචා සඳහා දොර විවෘත වුණි. වර්තමානයේ රට තුළ මතු වී ඇති ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමේදී ව්‍යවස්ථාවේ ඇති මෙබඳු අඩුපාඩුකම් ද නිවැරදි කළ යුතුය. කුකුළන් රැකීම නරියකුට භාරදුන් විට සිදුවන්නේ කුමක් දැයි ජනතාව හොඳින් දනි. මිල මුදලට අලෙවි වන දූෂිත මහජන නියෝජිතයන් සිටින රටක් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයට හැරවිය හැක්කේ පාර්ලිමේන්තු පරමාධිපත්‍යය වෙනුවට ජනතා පරමාධිපත්‍යය අවශ්‍ය විටදී ජනතාව විසින් ද ඍජුව ක්‍රියාත්මක කළ හැකි අයිතියක් ලෙස ව්‍යවස්ථාවෙන් පිළිගැනීමෙනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතැන හෝ මුල්ලක රාජ්‍ය පරමාධිකාර බලය ජනතාව සතුය; එය අන්සතු කළ නොහැකිය සහ එසේම පැහැර ගත නොහැකිය යනුවෙන් බොල් වාක්‍ය දෙපේළියක් ලියා තැබූ පමණින් එය දේශපාලන යථාර්ථයක් නොවන බව මෙහිදී යළි යළිත් කිව යුතුව ඇත. එය ජනතාවට පිළිගත හැකි සැබෑ යථාර්ථයක් වන්නේ ඍජු සංචරණ සහ තුලන (Direct Checks and Balance)  යොදා ව්‍යවස්ථාව ශක්තිමත් කළහොත් පමණි. ප්‍රජාතන්ත්‍රවාදයේ පූර්ව කොන්දේසිය වූ ජනතා පරමාධිකාරි බලය ව්‍යවස්ථාව තුළින් ක්‍රියාත්මක කළ හැක්කේ එවිටයි. අපේ ව්‍යවස්ථාවට අත තැබීමටවත් ජනතාවට ඉඩක් තබා නැත.

පාර්ලිමේන්තු පරමාධිපත්‍යය වෙනුවට, ජනතා පරමාධිපත්‍යයට යටත්ව රාෂ්ට්‍ර පාලනය ගෙන යන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වූ ස්විට්සර්ලන්තය මෙහිදී අපට ගතහැකි හොඳ උදාහරණයක් වේ. එහි ඇත්තේ ජනතාව අතේ දුරින් තබා රට කරවන වලව් පාර්ලිමේන්තු ක්‍රමයක්ක නොවේ. අවශ්‍ය විටදී රටේ පුරවැසියාට ද රටේ නීති සහ ව්‍යවස්ථා සම්පාදනයට ඍජුව දායක වීමට ඉඩ සලසා දී තිබීම එහි ඇති විශිෂ්ටත්වයයි. එය ද අපේ අවධානය යොමු විය යුතු කරුණකි. එම ක්‍රියාවලිය ඔවුන් විසින් බලගන්වන්නේ ජන ප්‍රාරම්භණය සහ ජනමත විචාරණ (Popular Initiative and Referendum)  මගිනි. තවත් ඇතැම් රටවල් සිය ව්‍යවස්ථා සකස්කොට ගෙන ඇත්තේ වරක් තේරී පත්වූ මහජන නියෝජිතයකු දූෂිතයකු බව රටට හෙළිවුවහොත් යළිත් මහා මැතිවරණයක් එන තෙක් බලා නොසිට ඒ විගසින්ම ඔහු/ඇය එම ධුරයෙන් ඉවත් කිරීමට ජනතාවට ඉඩ සැලසෙන පරිදිය. එසේ ඉවත් කිරීමේ ජනතා අයිතිය හැඳින්වෙන්නේ නියෝජිතාවර්තය සහ ජනමත විචාරණ (Recall and Referendum)  වශයෙනි.යල් පැන ගිය වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයේ මුල් රට ලෙස සැලකෙන මහා බි්‍රතාන්‍යය මෑතකදී නියෝජිතාවර්තන පනත (RECALL ACT , 2015) නමින් පනතක් නීතිගත කළ බව අප අසා ඇත. ප්‍රජාතන්ත්‍රවාදය බලගැන්විය හැක්කේ ජනතා පරමාධිපත්‍ය ජනපති, අගමැති හෝ පාර්ලිම්න්තුව විසින් යටපත් කළ නොහැකි ජනතා අයිතියක් ලෙස රටේ මූලික නීතිය සකස් කිරීමෙනි. ව්‍යවස්ථා සම්පාදනයේදී සෑමවිටම ජනතාව සහභාගිත්වයට ද ඉඩ තැබිය යුතු වෙයි. රටේ ව්‍යවස්ථාව යනු ජනතා කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලේඛනයයි.

සිසිල් අතුකෝරාළ

advertistmentadvertistment
advertistmentadvertistment