22 ක 20 වූ හැටි එළියට: චෝදනා ලැබූ ආණ්ඩුවේ දෙදෙනෙක් මුදාහැරලා

357

සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් නොදුන්නොත් නීතිය හමුවට යනවා
– අනිවාර්ය නිවාඩු යැවූ වෘත්තීය සමිති නායකයෝ කියති

තෙල් සංස්ථා වෘත්තීය සමිති එක්ව ඉකුත් අඟහරුවාදා (28 වැනිදා) ක්‍රියාත්මක කළ වැඩවර්ජනයට නායකත්වය දුන් වෘත්තීය සමිති නායකයන් විසිදෙනකු අනිවාර්ය නිවාඩු ගන්වා ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ ජාතික සේවක සංගමයේ සී.පී.එස්.ටී.එල්. ශාඛාවේ සභාපති හා ලේකම්වරයා එම චෝදනා ලත් ලැයිස්තුවෙන් ඉවත් කර දැමීමෙන් පසුව යැයි අනාවරණය වී තිබේ.

තෙල් සංස්ථාව විකුණා දැමීමට එරෙහිව දින දෙකක් තිස්සේ උපවාසයක නරත වී පසුව වැඩවර්ජනයට නායකත්වය දුන් පිරිස අතරද මේ දෙදෙනා සිට ඇත.

ඒ අනුව වර්ජනය ආරම්භ වූ පසුව පාලනාධිකාරිය විසින් වෘත්තීය සමිති නායකයන් විසිදෙදෙනකුගේ ලැයිස්තුවක් සකස් කර ඔවුනට එරෙහිව විනය හා නෛතික පියවර ගෙන ඇත. පසුව ඉහළින් පැමිණි උපදෙස් මත මොවුන් දෙදෙනා හැර අනෙක් වෘත්තීය සමිති නායකයන් විසිදෙනා අනිවාර්ය නිවාඩු යවා තිබේ. ඔවුනට සේවා පරිශ්‍රය තුළට ඒමද තහනම් කර ඇත්තේ ඊට පසුව යැයි තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයෝ කියා සිටියහ.

මේ අතර ඇමැතිවරයා සමඟ සාකච්ඡා කොට එකඟතාවකට ඒමට නොහැකි වුවහොත් අනිවාර්ය නිවාඩු යවා සිටින වෘත්තීය සමිති නායකයන් පාලනාධිකාරියට එරෙහිව ගතහැකි සෑම නෛතික පියවරක්ම ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේ ගුණරත්න මහතා “දිවයින” කළ විමසීමේදී කියා සිටියේය.

තමා ඇතුළු විසි දෙනකු අනිවාර්ය නිවාඩු යවා සේවා ස්ථානයට ඇතුළුවීම තහනම් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව කියමින් වෘත්තීය සමිති නායකයන් ඊයේ (30 වැනිදා) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බවද ඒ මහතා කීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විකුණා දැමීමට එරෙහිව වෘත්තීය සමිති දින දෙකක් උපවාසය කළ බවද ඒ මහතා කීය. ඊට පසු පාලනාධිකාරියට ලිපියක් මගින් කරුණු පෙන්වා දී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වූ බවද ඒ මහතා පැවසීය.

මෙම වෘත්තීය සමිති ක්‍රිමාර්ගය නිසා රාජ්‍ය දේපළවලට කිසිදු හානියක් නොවූ බවද විජේගුණරත්න මහතා සඳහන් කළේය. එසේ තිබියදී පාලනාධිකාරිය විසින් වෘත්තීය සමිති නායකයන් විසිදෙනකු අනිවාර්ය නිවාඩු යවා සේවා ස්ථාන වෙත පැමිණීම තහනම් කිරීමට පියවර ගෙන තිබෙන බවද කීය.

මේ සම්බන්ධව සාකච්ඡා කොට විසඳුමකට ඒමට වෘත්තීය සමිති සූදානම් බවත් ඒ සඳහා වේලාවක් ලබා දෙන ලෙස ඇමැති කංචන විජේසේකර මහතාට ලිපියක් මගින් දැනුම් දී ඇති බවත් ඒ මහතා පැවසීය. එලෙස සාකච්ඡා මගින් විසඳුමක් නොලැබෙන්නේ නම් ඉදිරි පියවර ගන්නා බවද ඒ මහතා කීය.

මේ අතර ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා කියා සිටියේ වෘත්තීය සමිති ව්‍යාපාර කරගෙන යෑමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නෛතික බලතල ලබාදී තිබෙන බවයි. එනිසා වෘත්තීය සමිතිවලට තිබෙන එම අයිතිය විනාශ කර දමන ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරවලට එරෙහිව සියලු දෙනා එක්විය යුතු බවද ඒ මහතා කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment