22 ටත් හාදුවක්

271

කොන්දේසි ඇතිව සජිත් කැමතියි
ඩලස් – මෛත්‍රී – විමල් පාර්ශ්වත් එකඟයි
බැසිල්ට හිතවත් සාගර කාරියවසම්ලා වැට උඩ
අනුරලා ස්ථාවරය කියා නෑ
කැබිනට් ඇමැතිවරුත් පක්‍ෂයි
ආණ්ඩුව ගෙන එන සංශෝධන පරද්දන්න වුවමනා නෑ
– මහින්දානන්ද
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පනතෙන් ආරම්භයක් ලැබෙන්නේ නෑ – සුමන්දිරම්

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (20 දා) ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය පිළිබඳ තීරණාත්මක ඡන්ද විමසීම අද (21) පස්වරුවේ දී සිදු කිරීමට නියමිත අතර එය බොහෝ දුරට වැඩි ඡන්දයෙන් සම්මත වන බවට ලකුණු පළවී ඇත.

එය සම්මත කිරීම සඳහා විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය සහාය පළ කිරීමට නියමිත අතර ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගෙන සිටින ශ්‍රීලනිපය, ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිස මෙන්ම ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් ද ඊට සහාය පළකිරීමට මේ වන විටත් තීරණය කර හමාරය.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පාර්ශ්වය ද යෝජනාවට පක්‍ෂව ඡන්දය දීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ඇතුළු බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් පිරිසක් මේ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතියි.

මෙම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ප්‍රධාන කරුණු තුනක් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නේ නම් සමගි ජන බලවේගයේ පූර්ණ සහාය පනතට හිමි වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පනත ඉදිරිපත් කිරීමට පෙර පොරොන්දුවක් දුන්නේය.

ඒ අනුව ද්විත්ව පුරවැසි තහනම, ව්‍යවස්ථා දායක සභාව සඳහා කරනු ලබන සිවිල් පුද්ගල පත්කිරීම් සාධාරණ ලෙස සිදු කිරීම සහ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමේ හැකි කාලය වසර දෙකහමාර එලෙසම පවත්වා ගැනීම යන ප්‍රධාන කාරණා ඇතුළත් වන්නේ නම් තම සහාය ලබා දෙන බව හෙතෙම කීය.

ද්විත්ව පුරවැසි තහනම 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ සැණින් බලාත්මක වන අතර කුමන පරස්පර මතවාද තිබුණ ද ජනතාව පිළිබඳ සිතා මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ යුතු යැයි අධිකරණ ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.

දෙමළ සන්ධානය වෙනුවෙන් විවාදය ආරම්භයේදී අදහස් දැක්වූ මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා කියා සිටියේ විධායක ජනාධිපති බලය අවසන් කිරීමට මෙම පනත ආරම්භයක් යැයි කීම අසත්‍ය බවය. ජනතාව මෝඩයන් කිරීම සිදු නොකොට ජනමත විචාරණයක් පවත්වා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ තීරණය කළ යුතු යැයි ද ඔහු කීය.

ආණ්ඩුව විසින් ගෙන එන මෙවැනි ව්‍යවස්ථා සංශෝධන ආණ්ඩුව තුළ සිට පැරදීමට අවශ්‍ය නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකු වන මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමැතිවරයකු වන විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කියා සිටියේ ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන බවය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය මේ සඳහා හිමි වන බව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දින පාර්ලිමේන්තුවේ දී කීය.

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ඇමැති ධුර ලබා ගත් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු ඇමැති කණ්ඩායම සහාය දෙන බව සඳහන් කළහ. ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගෙන සිටින ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සංශෝධනයට පක්ෂ බව නාලක ගොඩහේවා මහතා විවාදයට එක්වෙමින් පැවසීය.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා සංශෝධන ඉදිරිපත් කර ඇතත් ජාතික ජනබලවේගය ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් සිය මතය මෙතෙක් ප්‍රකාශ කර නැත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment