22 ට අපි දාපු සංශෝධන තුනක් අනුමත කළේ නෑ

168

පොහොට්ටුව බෙදිලා නොවෙයි හත අටකට කැඩිලා

22 වැනි ව්‍යවස්ථාවේ සංශෝධන තුනක් පාර්ලිමේන්තුව විසින් අනුමත කර නැති බවත් පොහොට්ටුව බෙදිලා නොව හත අටකට කැඩිලා බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා 22දා දෙනියාය ආසන සමුළුව අමතා පැවසීය.

“විසඳුම වෙනුවෙන් ජනබලය ගොඩනගන” දෙනියාය ආසන සමුළුවට මහා සංඝරත්නය, පූජකතුමන්ලා, ජාතික ජනබලවේගයේ දෙනියාය ආසන සංවිධායකයන් වන කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක, ලංකා ගු‍රු සේවා සංගමයේ දිස්ත්‍රික් ලේකම්, ජාතික ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික ජනතා විමුක්ති පෙරමුණේ දෙනියාය ආසන සංවිධායක, හිටපු දකුණු පලාත් සභා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත්, ජාතික ජනබලවේගයේ දිස්ත්‍රික් සංවිධායක කමිටු සාමාජික, ජාතික විද්වත් සංවිධානයේ දෙනියාය ආසන සංවිධායක, නීතිඥ චමින්ද ගුණසේකර, ජාතික ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් සංවිධායක සභික හිටපු අධිකරණ වෛද්‍යනිලධාරිපේමරත්න රන්කඩුව, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ දෙනියාය ආසන සංවිධායිකා කරුණා ගුරුගේ මහත්මිය, බැංකු විධායක නිලධාරි සාමවිනිසුරු අතුල හෙට්ටිආරච්චි, සමාජ සේවිකා, තැනිපිට එන්පීපී සභාවේ

භාණ්ඩාගාරික සෙබස්තියන් ලිස්ට්‍රා, මොරවක් කෝරළයේ තේ නිපදවන්නන්ගේ සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මොරවක් කෝරළයේ සංස්කෘතික පදනමේ සභාපති, පිටබැද්දර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, මාධ්‍යවේදී ජාලිය චමින්ද, කොටගල එන්පීපී සභාවේ ලේකම්, ආචාර්ය එම්.ඒ. ගයා, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වැඩිහිටි හිමිකම් සංවර්ධනය නිලධාරිනී වසන්තා දීපානි විජයහේවා, නිල්ගිරි ටී ප්‍ලාන්ටේෂන් පුද්ගලික සමාගමේ හා නිල්රිච් තේ නිෂ්පාදන ආයතනයේ අධ්‍යක්ෂ තිස්ස වන්නිගේ, දෙහිගස්පෙ එන්පීපී සභාවේ ලේකම් ආර්.වී. සචිනිකා දුලක්ෂි, ෆෙයරි මවුන්ට් තේ කර්මාන්ත ආයතනයේ අධ්‍යක්ෂ මහේෂ් විදානපතිරන, අමු තේ දලු‍ ව්‍යාපාරික ඩබ්.එම්. අශෝක අමරසිරි, නීතිඥ දිලක්ෂි හේරත්, කැකුන්දෙනිය එන්පීපී සභාවේ සභාපති යුදහමුදා නිලධාරි අසේල අරම්පත්ත යන නිලධාරින් සමග ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙසේද කීය.

අපි 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සංශෝධන තුනක් ඉදිරිපත් කළා. ඒවා අනුමත වුණේ නෑ.

පළවෛනි එක අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය 4 ආ. වෙනස් කරන්න බෑ. ජනමත විචාරනයක් නැතුව. ඒ වගන්තියෙ කියන්නේ රටේ ආරක්ෂාවද විධායක බලයද ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනාධිපතිවරයෙක් විසින් හොඹවන්නේය. රනිල් රටේ ජනතාව විසින් තෝරා ගත්තෙත් නෑ. පාර්ලිමේන්තුවට තෝරා ගත්තෙත් නෑ. ටෙම්පරියක් අදින්න දාගත්තු කෙනෙක්. 40 වැනි වගන්තියේ හිඩසින් එයා ජනාධිපති වෙලා දැන් එයා හිතනවා විධායක බලය ලැබුණා කියලා. ඒ 134කින්. පට්ට හොරු 134ක් ජන්දෙ දුන්නා. එයා රටේ ජනාධිපති. ඒ නිසා අපි ව්‍යවස්ථාවට දැම්මා ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වූ විට ඒ පුරප්පාඩුවට පත්වන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට මාස 06කට වඩා ඉන්න බෑ කියලා. හැබැයි ජනතාවට හොඳ වුනාට මේ පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ට නරකයි. අනික එහෙට පනිනවා මෙහෙට පනිනවා. ඒ නිසා සංශෝධනයක් දැම්මා පක්ෂ මාරු කරලා එහෙට මෙහෙට පැන්නොත් මන්ත්‍රීකම හබක්. හොඳයිද නරකයිද? ඕගොල්ලො අනුමත කරලා අප්පුඩි ගැහැව්වාට පාර්ලිමේන්තුව අනුමත කළේ නෑ.

තුන්වැනි එක. අපේ රටේ ඇමැතිවරු පැටව් ගහනවා. ලබන සතියේ 10ක් දිව්රුම් දෙන්න බලන් ඉන්නවා. අපිට ඇවිල්ලා කියනවා. මන්ත්‍රී පඩිය විතරයි ගන්නේ. ඇමැතිවරු කියන්නේ ජනපදයක් නඩත්තු කරන්න යන වියදම්. ඒ නිසා අපි කිව්වා ව්‍යවස්ථාවට සංශෝධනයක් ගේන්න ඕන උපරිම අමාත්‍ය ධුර 25යි. නියෝජ්‍ය අමාත්‍ය ධුර 25යි. රාජ්‍ය අරව මේව කියලා එල්ලන මොකුත් නෑ. හොඳයි කියලා ජනතාව අනුමත කළාට පාර්ලිමේන්තු අනුමත කළේ නෑ. මේ ඉන්න හාදයෝ ඇමැතිකම් ගන්න බලන් ඉන්නේ.

අපි ඔය සංශෝධනය තුන ඉදිරිපත් කළාට අනුමත වුණේ නැත්නම් අපි කරන්න ඕන ඒ සංශෝධන තුන ඇතුළු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන පාර්ලිමේන්තුව බවට පත් වෙන්නේ ජාතික ජනබලවේගයේ බලය ගන්න පාර්ලිමේන්තුවකින් පමණයි. අන්න ඒකට කට්ටිය යවන්න වැඩේ කරමු.

ගොඩක් අය අහනවා කියනවා සහෝදරයා ඔයාලා කියන ඒවා ඔක්කොම ඇත්ත. ඒත් දිනන්න පුළුවන්ද? පොහොට්ටු ඉවරයි. ඔය පොහොට්ටු හැමදාම පවතින්නේ නායකත්වය මත. සංවිධානය ප්‍රතිපත්ති මත නොවෙයි. පොදුජන පෙරමුණ විහාරමහාදේවිය චන්ද්‍රිකා මත ගැටගහලා තිබ්බ. ඊට පස්සේ නායකයා වුණේ මහින්ද දුටුගැමුණු. ගිරුවාපත්තුවෙ ඉපදුනේ. කුරහන් සාටකේ දාගෙන ඉන්නේ. වක්කඩෙන් අත සෝදලා තාත්තා නාම යෝජනාවලට අත්සන් කළේ. ගොඩනගලා ගොඩනගලා ජැක්සන් කිව්වා බුදුහාමුදුරුවන්ගේ ඥාතීන් කිව්වා. විශාල ලෙස ජනතාව වෙත ප්‍රතිරූපයක් හදලා ඒ ප්‍රතිරූපය මත පක්ෂ ගොඩනගනවා.

අද පොහොට්ටුව කැඩිලා තියෙන්නේ. පොහොට්ටුව බෙදිලා නොවෙයි පැලිලා. හත අටකට කැඩිලා අවසන්.

එක්සත් ජාතික පක්ෂේ. රනිල්ගේ කියලා පොළොවෙ බලයක් නෑ. සජිත් ප්‍රේමදාස දුප්පතාගේ හිතවතා. මේ වනවිට සියලු‍ම දේශපාලන බලකඳවුරු ඉරිතලලා. දෙදරා ගොස් ඉවරයි. පක්ෂ ඇතුළෙත් පවතින්න බැරි තත්ත්වයක් වෙලා තියෙන්නේ. දැන් රටේ මතුවෙලා තියෙන්නේ විශේෂ දේශපාලන තත්ත්වයක්.

ජාතික ජනබලවේගයේ විධායක සභික හිටපු කෝප් කමිටු සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ස්වාභාවික සම්පත්වලින් පිරුණු දෙනියාය ආසනය සංචාරක කර්මාන්තය, තේ හා මැණික් කර්මාන්තයෙන් දියුණුවට පත් කොට තම රජයක් යටතේ පුංචි නුවරඑළිය ලෙස සංවර්ධනය කරන බව කීය.

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිනී සරෝජා සාවිත්‍රි පොල්රාජ්, හිටපු අධිකරණය වෛද්‍ය නිලධාරි පේමරත්න රන්කඩුව, රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ.එම්. අබේවික්‍රම යන විධායක සභිකයින්ද සභාව ඇමතූ අතර ජනතා විමුක්ති පෙරමුණු දෙනියාය ආසන සංවිධායක විධායක සභික ලාල් ප්‍රේමනාත් මහතා පැමිණ සිටි පිරිස පිළිගැනීම සිදුකළේය.

සමන් උපුල් පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment