‘22’ ට සහය දෙන බව ඊයේ උදේ කිව්ව විපක්‍ෂය හවස වෙනස් වුණා – අගමැති

128

‘22’ විවාදය කල් යයි

අගමැතිගෙන් සාධනීය පිළිතුරක් ලැබුණේ නෑ විපක්‍ෂ – නායක සජිත් ප්‍රේමදාස
22 ගේන්න කියලයි අපි කියන්නේ – මෛත්‍රිපාල සිරිසේන
මේක ඒකපාක්ෂිකව ගෙන ආපු එකක් නෙවෙයි – ඇමැති විජයදාස රාජපක්‍ෂ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවැනි සංශෝධනය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී ඊයේ සහ අද (06 – 07) දින විවාදයට ගැනීමට නියමිත වුවද එය මීළඟ සතියේ 18 සහ 19 යන දිනවල විවාදයට ගන්නා බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ දහවල් මැතිසබයට නිවේදනය කළේය.

එම කෙටුම්පත ඊයේ පෙරවරුවේ සිට විවාදයට ගැනීමට නියමිත වූ අතර ඒ සඳහා න්‍යාය පත්‍රය ද සූදානම් කර තිබුණ ද එම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආණ්ඩු පක්ෂය විසින් ආරම්භ නොකරන ලදි.

ඒ වෙනුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දින හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරනු ලැබූ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් පවත්වන ලදී.

ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශය සිදු කර අවසන් වූ සැණින් ආණ්ඩු පක්ෂ පසු පෙළ මන්ත්‍රී මධුර විතානගේ මහතා ඒ සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන්නේ දැයි විමසීය.

විපක්ෂය ද ඒ සඳහා සූදානම් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් මතු වූ කතා බහ මෙසේය.

මධුර විතානගේ මහතා –

මම අහන්න කැමතියි ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කාරණා සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙනවාද කියලා.

සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා – ජනාධිපතිතුමාගේ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන්න අපි සූදානම්.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා –

දැන් ඔබතුමා යෝජනා කරන්නේ අදම ගන්න කියලාද? විවාදය අදම ද ගන්නේ අපි සූදානම්.

සභානායක – විපක්ෂයේ සංවිධායකතුමා කාලෝචිත ලෙස විවාදයට සූදානම් කිව්වා. අපි ඒකට එකඟයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක – එතකොට 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද ගේන්නේ නැද්ද

සභානායක – මේකට ගතවන කාලය අනුව ඒක තීන්දු කරන්න පුළුවන්.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක – මම අහන්නේ සරල ප්‍රශ්නයක්. ‘22’ අද ගේනවාද නැද්ද, එච්චරයි.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා –

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පසුබිමක් හා වර්තමානයක් තිබෙනවා. මේ වසරේ, මුල් භාගයේදී මේ පිළිබඳ පළමු යෝජනාවන් සාකච්ඡාවට ලක්කරනු ලැබුවා. ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍යතුමාත් ඒ අවස්ථාවේදී අමාත්‍යතුමා හැටියට නොවුණත් ඒ යෝජනාවන් ඉදිරිපත් කළා. ඒ අනුව එවකට ජනාධිපතිතුමත් මාර්තු මාසයේ තුන්වෙනි සතියේ සාකච්ඡා වාරයක් පැවැත්වූවා. එයට සර්ව පාක්ෂික සහභාගිත්වයක් ඇති වුණා.

ඉන් ආරම්භ කරපු මෙම ව්‍යවස්ථා සංශෝධනය අතරතුර පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනාවන් ද පනත් හැටියට ව්‍යවස්ථා සංශෝධනයන්ට ඉදිරිපත් වී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණ ප්‍රකාශයට පත් කළා. ඒ තීරණයන් සභාවටත් රටටත් දැනගන්නට ලැබුණා. වර්තමාන ජනාධිපතිතුමත්, රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යතුමා හැටියටත් අග්‍රාමාත්‍ය කාර්යාලයට පක්ෂ කීපවතාවක් කැඳවා සාකච්ඡා කළා. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පොදුජන පෙරමුණේ සභාපතිතුමා හැටියටත්, මම සභානායකතුමා හැටියටත් එයට සහභාගි වුණා. අනිත් විපක්ෂයේ ඉන්න ඔක්කොම පක්ෂවල නියෝජිතයන් සහභාගි වුණා. කීපවාරයක් එය සාකච්ඡාවට ලක් කරනු ලැබුවා. ස්වාධීනව ඉන්න මන්ත්‍රීවරු පවා එම සාකච්ඡාවට සහභාගි වී තමයි මේ කෙටුම්පතට ගමන් කළේ.

ඒ හැම අවස්ථාවකදීම විශේෂයෙන් විපක්ෂය ඉල්ලා සිටියා මේ කටයුතු ඉක්මන් කරන්න කියලා. මම ඉතාම ඕනෑකමින් හා කෙටියෙන් කියන්නට ඕනි ඊයේ දිනයේ විරුද්ධ පක්ෂයේ නායකතුමාත්, විරුද්ධ පක්ෂයේ නායකතුමා සමඟ සංවිධායක තුමාත්, රාවුෆ් හකීම් මන්ත්‍රීතුමාත් ඒ වගේම අපේ මනෝ ගනේෂන් මැතිතුමාත් කියන මේ නියෝජිත පිරිස සමග මේ ගැන සාකච්ඡා කළ බව. ඒ සාකච්ඡාවේදී යම්කිසි මූලික කරුණු කීපයක් ගැන එකඟතාවය මත ‘22 ට’ සහයෝගය දක්වන්න පුළුවන් බව ප්‍රකාශ වුණා. මෙය පස්වරුවේ යළිත් ස්ථිර කරන බව සිතා තමයි අපි සාකච්ඡාවෙන් විසිර ගියේ. ඉන් අනතුරුව උත්තර සභාවට අයත් පක්ෂ නායකයන් සමග මම සාකච්ඡාවක් පැවැත්වූවා. එම සාකච්ඡාවේදී ද බොහෝම හොඳ ප්‍රතිචාර ලැබුණා. 22ට සහයෝගයක් දැක්විය හැකි, ඒ වෙනස්කම්වලට භාජනය වෙනව නම් ඒ එකඟ විය හැකි කරුණු ගැන කල්තියා දැනගතයුතු බව එහිදීත් කියවුණා. ඒ අනුව වාසුදේව නානායක්කාර මැතිතුමාගේ නායකත්වයෙන් ඒ පක්ෂ නායකයන් එම අවස්ථාවට පැමිණියා. ඒ අනුව සාකච්ඡාවට මමත් ප්‍රසන්න රණතුංග සංවිධායකතුමත් සහභාගි වුණා. ඒ තත්ත්වය තුළ මේ සාකච්ඡාව බොහෝම සුහදව හමාර වුණා. නමුත් පස්වරුවේ අපට ලැබෙන ප්‍රතිචාරය අපි බලාපොරොත්තුවෙන් සිටියා. මට සංවිධායක කිරිඇල්ල මහතා පස්වරුවේ හමුවුණා. ඒ අනුව එයට සහයෝගය දක්වන්නට අමාරුයි කියා ප්‍රකාශ වුණා. විරුද්ධ පක්ෂයේ අනෙක් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ තමන් දක්වන සාකච්ඡාව අනුව සහයෝගය දක්වන්නට අමාරු බවයි ප්‍රකාශ වුණේ. බොහෝම කනගාටුයි. මේ තත්ත්වය මත උදේ හා දවල් තිබුණු තත්ත්වය වෙනස් වී වෙන තත්ත්වයකට පරිවර්තනය වී තිබෙන බව මම සභාවට හා ආණ්ඩු පක්ෂයට දන්වා සිටියා. ඒක මගේ යුතුකම. ඒ අනුව ජනාධිපතිතුමා වෙතත් දැනුම් දුන්නා. මේ ගැන අපි සාකච්ඡා කරලා එකඟතාවයකට එමු.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා – අගමැති හමුවී විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට සාකච්ඡා කළා. එහිදී ජනාධිපතිවරයාගේ බලය අඩු කරලා ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ සලසා දරදඬු ප්‍රතිපත්තීන් අවම කරගෙන ද්විත්ව පුරවැසිභාවයට ඉඩ දෙනවාද? පාර්ලිමේන්තුව විසිරවීමේ කාලය වසර දෙකහමාර දක්වා අඩු කරනවාද වැනි කාරණා විමසුවා. නමුත් ඒවාට නිසි උත්තර ලැබුණේ නෑ. ඊට අමතරව අපට එකඟ විය නොහැකි කරුණු ගැනත් කතා කළා. ව්‍යවස්ථා සභාව පත් කරන ආකාරය ගැන අපට ගැටලු තිබුණා. ඇත්තටම විසි දෙක හරහා සාධනීය ලෙස විධායක ජනාධිපතිගේ බලතල කැපෙනවාද කියලා ඇහුව මුත් අගමැතිගෙන් සාධනීය පිළිතුරක් ලැබුණේ නෑ. මේ ගැන අපේ පක්ෂය අවසන් තීන්දුවකට අපි පැමිණියේත් නෑ. නමුත් අධිකරණ ඇමැතිතුමා මට කතා කළා. එහිදී එතුමා මෙහි සාධනීය වෙනසක් කරන්න එකඟ වුණා. නමුත් විපක්ෂය විරුද්ධයි කියලා මේක ගේන්නේ නෑ කියා පෙන්නන්න එන්න එපා. කරුණාකරලා කියන්න ආණ්ඩු පක්ෂය තුළවත් මේ ගැන එකඟතාවයක් තිබෙනවාද. ලේකම් සාගර කාරියවසම් එකක් කියනවා. විධායක ජනාධිපති ක්‍රමයේ ප්‍රගතිශීලී වෙනසක් කරනවා නම් සහ 19 වැනි සංශෝධනයේ හොඳ කරුණු ගේනවා නම් අපි සහාය දෙන්න සූදානම්. 22 වැනි සංශෝධනය රට අන්දවන ප්‍රෝඩාවක් වෙන්න බෑ. සාකච්ඡා කරලා අපි මේ ගැන හොඳ ධනාත්මක තැනකට එමු.

කථානායක – අපි මේ ගැන සාකච්ඡා කරන්න උදේ 11ට පක්ෂ නායක රැස්වීමක් කැඳවමු.

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා – මේ කෙටුම්පත අවස්ථා ගණනාවකදී පක්ෂ නායකයන්ට කතා කරලා අදහස් අරගෙන තමයි සකස් කළේ. මේ යම් කරුණු ගැන ඇතැම් නායකයන් එකඟතාවයකට ආවේ නෑ. පක්ෂ නායකයන් 43ක් රැස්වෙලා එකඟවුණු කරුණු පමණයි මේ දැන් යෝජනා කරලා තිබෙන්නේ. ඒ කියපු සංශෝධන අපි ගේනවා. මේක ඒකපාක්ෂිකව ගෙන ආපු එකක් නෙවෙයි. ජනතාව ඉල්ලන දෙයක් තමයි මේ ගේන්නේ.

එස්. එම්. මරික්කාර් – මේ සංශෝධනය ගේන්නේ බැසිල් රාජපක්ෂව ගේන්න නම් කියන්න අපි ඡන්දෙන් දෙන්නම්.

මෛත්‍රිපාල සිරිසේන මහතා – 22 ගේන්න කියලා අපි කියන්නේ.

කථානායක – දැන් පැවැති පක්ෂ නායක

රැස්වීමේදී විසි දෙවැනි ආණ්ඩුක්‍රම සංශෝධනය මීළඟ සැසිවාරයේදී ගැනීමට තීරණය වුණා.

සභානායක – මීළඟ සැසිවාරය ආරම්භ වන්නේ ලබන 18. ඒ අනුව 18 සහ 19 ගමු.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment