22 වැනි සංශෝධනය සැරසිල්ලක්ද?

106

පොහොට්ටුව අලියගෙ පිටේ නැති බැරිකම් හතර වටේ!

පාර්ලිමේන්තුව විසින් ඉකුත් 21 වැනිදා (ඔක්. 21) සම්මත කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙරටේ අභිනව දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය වෙනුවෙන් තබන ලද කුඩා වුවත් ප්‍රබල පියවරක් ලෙස හැඳින්විය යුතුය. වර්තමාන සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදවලට ප්‍රධාන වගඋත්තරකරුවන් බවට පත්ව සිටින රාජපක්‍ෂ පාලනයේ නියමුවන් හා ඔවුන්ගේ අනුගාමිකයන් මෙම සංශෝධනයට පක්‍ෂපාතී නොවීම ඉතා ස්වභාවික ප්‍රතිචාරයකි. එහෙත් එහි ගැබ්වන දේශපාලනයෙන් තහවුරු වන්නේ රාජපක්‍ෂවරුන් දේශපාලනිකව නිවැරදිවීමට සූදානම් නැති බවය. විධායක ජනාධිපතිවරයා සතු අසීමිත අධිකාරී බලයෙහි විපාක වටහා ගත් ගෝඨාභය සිය ධුරය හැරයෑමට පෙර මෙම සංශෝධනයට එකඟ වූ අතර එදා අගමැතිව සිටි මහින්ද විසින්ද එය අනුමත කර තිබුණි. හිටපු ඇමැතිවරුන් වූ චමල්, නාමල් මෙන්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර මෙම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂ වීමද සුවිශේෂ සිද්ධියකි. රාජපක්‍ෂවරුන් සඳහාම නිර්මාණය වූ පොහොට්ටුව හෙවත් පොදු ජන පෙරමුණ මෙම සංශෝධනයට මුල සිටම එකඟ වූයේ නැත. එහි ලේකම් සාගරගේ කට හඬ එම පක්‍ෂයේ ප්‍රබලයා මෙන්ම නිර්මාතෘ ද වන බැසිල්ගේ බව සැඟවිය නොහැකිය. එනිසාම මහින්ද ප්‍රමුඛ කණ්ඩායම එම අවස්ථාව මගහැරීම පුදුම විය යුතු නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සංශෝධන ක්‍රියාවලියට උරදීම ඇමැති විජයදාසගේ බර හෑල්ලු කරන්නක් විය. පොහොට්ටුවේ දැඩි විරෝධයට ලක්වූ ද්විත්ව පුරවැසියන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කිරීම හා වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ලැබෙන බලය ඒ ආකාරයෙන්ම සංශෝධන යෝජනාවල අඩංගුවීම සුවිශේෂ සිද්ධියකි. ජනාධිපති රනිල් එහිදී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට කිසියම් ප්‍රතිඥාවක් දී තිබේදැයි අපට කිව නොහැකිය. එහෙත් එය සංශෝධනයෙන් ඉවත් කර නැත. ඒ අනුව සමස්තයක් ලෙස ගත් කල මෙම සංශෝධනය සම්මත කර ගැනීමට හැකිවීම රාජපක්‍ෂවරුන්ට හිමිවූ ඛේදනීය පරාජයකි.

මෙම සංශෝධනයේ හරය ලෙස ගත හැකි ස්වාධීන කොමිෂන් සභා පත්කිරීම, ව්‍යවස්ථා සභාව ස්ථාපිත කිරීම, කිසියම් පනත් කෙටුම්පතක් විමර්ශනය සඳහා තිබුණු දින 07 ක කාල සීමාව 14 ක් දක්වා වැඩි කිරීම මෙන්ම විගණනය හා ප්‍රසම්පාදනය බලාත්මක කිරීම ආදිය ඉතා වැදගත් විධිවිධාන ලෙස කැපී පෙනේ. 20 වැනි සංශෝධනයෙන් දුර්වල කරන ලද කරුණු ගණනාවක්ම යළිත් බල ගැන්වීම සඳහා 22 වැනි සංශෝධනයට හැකිවී තිබේ. වගකීම හා වගවීම පිළිබඳ මූලධර්මයට උඩින් පැන යෑමට 20 වැනි සංශෝධනයෙන් ලබා දුන් අවකාශය සීමා කිරීම යහපත් ජනතාවාදී පාලනයකට රුකුල් දීමකි. දේශපාලනය ස්වාර්ථය උදෙසා යොමු කරගත් පටු වංචනික චරිත තිගැස්සීමට මෙන්ම ඔවුන් නීතියට යටත් කිරීමට ඒවා ඉවහල් වනු ඇත.

රාජපක්‍ෂ පාලනයේ අවිචාර සමය උදා වන්නේ පොහොට්ටුවට හිමිවූ බලයත්, ගෝඨාභයට ලබා දුන් අති විශේෂ අධිකාරී බලයත් නිසා බව රහසක් නොවේ. මේ වන විට පොහොට්ටුව තුළ තිබෙන මන්ත්‍රීවරුන්ගේ සංයුතිය විමසා බලනවිට තහවුරු වන්නේ එහි හරයාත්මක ගුණය හීන වෙමින් තිබෙන ආකාරයයි. මහින්ද සමග සිටින ප්‍රබලයන්ට තිබෙන දේශපාලන විවේචන, දූෂණ වංචා පිළිබඳ චෝදනා සුළුපටු නොවේ. මේ අතර මැරයන්, චණ්ඩීන් ලෙස කුප්‍රකට වූ ස්වල්ප දෙනෙක්ද සිටිති. මේ කිසිවකු ඇමැතිකම්වලින් හෝ රාජ්‍ය ඇමැතිකම්වලින් භෞතීස්ම කළ නොහැක. මේ වූ කලී පොහොට්ටුවේ දේශපාලන දුසිරිත් ය. එසේ වුවත් ජනාධිපති රනිල්ට ඔවුන් ප්‍රතික්‍ෂේප කළ නොහැකිය. එහෙත් පොහොට්ටුවේ බලයෙන් තිරය පසුපස සිදු වූ මෙහෙයුම් දැන් දුර්වල වීමටද මෙම 22 වැනි සංශෝධනය හේතු වී තිබේ. විශේෂයෙන් ද්විත්ව පුරවැසි තහංචිය නිසා බැසිල්ගේ බලකේන්ද්‍රය දියවී යා හැකි බවද දේශපාලන අංශවල අදහස වී තිබේ.

මෙම අලුත් සංශෝධනයට ජාත්‍යන්තර වසයෙන්ද ප්‍රසාදයක් හිමි වනු ඇතැයි කල්පනා කළ හැකිය. විශේෂයෙන් අද ශ්‍රී ලංකාවේ තිබෙන දේශපාලන කැළඹීම් හා බෙදීම් දෙස බලනවිට මෙබඳු සංශෝධනයක් වුවද සම්මත කර ගැනීම පහසු නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු වෙනත් ජාත්‍යන්තර සංවිධාන එම දේශපාලන ක්‍රියාදාමය සාධනීය පියවරක් ලෙසද සලකනු ඇත. සැබැවින්ම එය අභියෝගාත්මක දේශපාලන කළමනාකරණයකි. මෙමගින් ජාත්‍යන්තරයට ලබා දෙන දේශපාලන සංඥාව ද වැදගත් එකකි. එනම් ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක අපේක්‍ෂාව තහවුරු කරන ඒ සඳහා යම් ක්‍රියාන්විතයක නිරත වී සිටින බවය.

කෙසේ වුවද මෙම අලුත් ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙරටේ දේශපාලනය ඉඳුරා පවිත්‍රකරණය වනු ඇතැයි සිතිය නොහැක. දසක කීපයක් මුළුල්ලේ පැවැති පාදඩ දේශපාලනයත් එයින් සුරක්‍ෂිත වූ චෞර නිලධාරීනුත් තවමත් මෙරටේ බලවත්ව ක්‍රියාකරන බවද අප තේරුම් ගත යුතුය. පසුගිය දිනවල ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් කෝටිපතිනි හෙරකගේ දූෂණ ක්‍රියාදාමය පිළිබඳ එල්ල වී ඇති චෝදනා පසුපස ඇති දේශපාලන සෙවණැලි තවමත් හඳුනා ගෙන නැත. එයට ද මහ බැංකු කොල්ලයට අත් වූ ඉරණමට වඩා වැඩි වෙනසක් සිදු නොවනු ඇතැයි සමහරු පවසති. ප්‍රබල දේශපාලන සෙවණක් මේ හෙරට ලැබුණු බව ඉතා පැහැදිලිය. මෙතෙක් තහවුරු නොවූ පුද්ගල නම්, ආයතන උපකාර ආදිය තුළින් තහවුරු වන්නේ එය නොවේද? මේ මුදල් කන්ද කිසිසේත් සාධාරණ ඉපැයීම් නොවන බව ඕනෑම අයෙකුට තේරුම් ගත හැකිය. එසේම මෙම දූෂිත හා අශික්ෂිත මූල්‍ය හොරකම සමග ඈඳී තිබෙන දේශපාලන, කලා, ආගමික ආදී ක්‍ෂේත්‍රවල ප්‍රකට චරිත කීපයක් ගැනම වාර්තා වී ඇත. ඒ දුර්ගන්ධයෙන් ඔවුන්ගේ ආත්මය කිලිටි වී තිබේද යන්න ගැන අපට කිව නොහැක. එහෙත් මේ සියල්ල මෙරටේ සමාජ සාරධර්ම, මනුෂ්‍යත්වයෙහි ගෞරවය හා අභිමානය බිඳ වැටී කුණු වෙමින් තිබෙන බව තහවුරු කිරීමක් නොවේද? සත්‍යය හා අවංක භාවය අද දේශපාලනයෙහි මෙන්ම සමාජයෙහි ද අපට දැක ගත හැකිද?

22 වැනි සංශෝධනය සැරසිල්ලක්ද?

මෙම සංශෝධනයෙහි ඇතුළත් වූ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ හිමිකම අහෝසි කිරීම අතිශය විවාදාත්මක යෝජනාවක් විය. එයට ප්‍රධාන හේතුව වූයේ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් කේන්ද්‍ර කර ගනිමින් එම සංශෝධනය සිදු කළ බවට බැසිල් හිතවාදීන් විසින් දැක්වූ විරෝධයයි. එහෙත් 20 වැනි සංශෝධනයට එම හිමිකම ලබා දී ඇත්තේ බැසිල් වෙනුවෙනි. එසේ නම් එහි වරදක් තිබේද? අනෙක් අතට මෙරටේ ඇතිවූ ආර්ථික බිඳවැටීම සම්බන්ධයෙන් මුදල් ඇමැති ධුරය ඉසිලූ බැසිල්ට ද චෝදනා නැගී තිබේ. ඔහු එම ඇමැති ධුරය මෙන්ම මන්ත්‍රීධුරය ද අත්හැර දමන්නේද ඔහුට එරෙහිව නැගුණු ජනතා විරෝධය ද නිසාය. පොහොට්ටුවට ඔහු විශ්වකර්මයකු ලෙස පෙනී ගියත් ඔහුගේ ආර්ථික කළමනාකරණය ද රට අර්බුදයකට ඇද දැමීමට හේතු විය. එසේම ඔහුට මේ රටට සේවය කිරීමට අවශ්‍ය නම් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගෙන ඒ සඳහා ඉදිරිපත් වීමට ද බාධාවක් නැත.

පොහොට්ටුවේ ලේකම් සාගර පසුගිය දිනක මාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණේ ඔහුගේ සේවය අහිමි කර ගැනීම රටට පාඩුවක් බවය. ඒ අදහස දැරීමට ඔහුට අයිතියක් තිබේ. මෙහිදී ඔහු සිය නායකයා සමග සැසඳීමට යොදාගත් බ්‍රිතාන්‍ය අගමැති රිසී සූනක් උපමාව ද නොගැළපේ. රිසී ද්විත්ව පුරවැසියකු නොව බ්‍රිතාන්‍යයේ උපන් බ්‍රිතාන්‍ය පුරවැසියකු බව ඔහු අමතක කර ඇත. ඔහුගේ මව්පියෝද හැටේ දසකයේදී එරට පැමිණි අය වෙති. ඔහු බ්‍රිතාන්‍යයේ ඉගෙන එහි විශ්වවිද්‍යාලයකින් උපාධිය පවා ලද්දෙකි. ඔහුට ඉන්දීය සම්භවයක් තිබීම වෙනම කරුණකි. මේ සත්‍යය ඔහු නොදැන සිටින බවක් කිව හැකිද? සිය නායකයාට පක්‍ෂපාතිත්වය දැක්වීම සඳහා සත්‍ය විකෘති කළේ නම් එය බරපතළ වරදක් පමණක් බව සඳහන් කළ යුතුය.

කුමක් වුවත් මේ වන විට අපේ පාර්ලිමේන්තුව තුළ සිටින බව කියැවෙන ද්විත්ව පුරවැසියන් ඉවත් කිරීමට ක්‍රමයක් නැතහොත් ක්‍රියාපටිපාටියක් ආණ්ඩුවට නැති බවද කියති. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතු බවද ජනමාධ්‍ය ඇමැතිවරයා මෙන්ම නීති ක්‍ෂේත්‍රවලද අදහස වී තිබේ. ඒ සඳහා අධිකරණ නියෝගයක් ලබා ගත යුතු වේ. මෙයට පෙර වත්මන් රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහට එබඳු අභියෝගයකට මුහුණ දීමට සිදුවී ඇත. පසුව ඇය තම ද්විත්ව පුරවැසි භාවය අත්හැර යළිත් මහ මැතිවරණයට ඉදිරිපත්ව දේශපාලනයට පිවිසි ආකාරය කව්රුත් දනිති. වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසිභාවය ලද අය සිටිත් නම් ඔවුන් එදා මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ ඒ පිළිබඳ සත්‍ය සඟවමින් විය යුතුය. මක්නිසාද යත් ඒ වනවිට 19 වැනි සංශෝධනය අනුව ද්විත්ව පුරවැසිභාවය වළක්වා තිබිණි. කුමක් වුවත් ඒ නීතිය අනුව නම් එබඳු කිසිවකුට මන්ත්‍රී තරගයකට හිමිකමක් නැත. පසුව 20 වැනි සංශෝධනයෙන් ඒ තහනම ඉවත් විය. එහෙත් ඒ මහ මැතිවරණය පැවැත්වූයේ 19 වැනි ව්‍යවස්ථාව අනුවය.

එදා දැන දැනම එබඳු වරදක් කළ අයෙක් මෙම 22 වැනි සංශෝධනයෙන් අහිමි කළ ඒ හිමිකම පිළිබඳ අනාවරණයක් කරනු ඇතැයිද සිතිය නොහැක. එය මෙරටේ දේශපාලන සදාචාරයත්, මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්‍ෂියත් පිළිබඳ ප්‍රශ්නයකි. අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කර ඇත්තේද පාර්ලිමේන්තුව නියෝජනය කරන එබඳු ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් සිය අවංක භාවය ජනතාවට හෙළි කරමින් එම ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවය. මෙය මහා සංඝරත්නය කලක සිට අපේක්‍ෂා කළ කරුණක් බවද මැදගම හිමියෝ සඳහන් කරති. එහෙත් මේ පවතින දේශපාලනයට හෘදය සාක්ෂියක් ලබාදීම යනු සිහිනයක් පමණි.

පසුගියදා සම්මත වූ 22 වැනි සංශෝධනය මෙම අවශ්‍යතාවට උචිත හරයාත්මක වෙනසකට තැබූ පියවරකි. මේ වන විටත් පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන බොහෝ කමිටුවල බලය තම පක්‍ෂයට (පාලනය හිමි) ලබා ගැනීමට දරණ ප්‍රයත්නය පැහැදිලිව පෙනේ. කෝප්, කෝපා වැනි කමිටුවලින් සිදු කළ හැකි කාර්ය භාරය තවත් ශක්තිමත් කළ යුතුය. මේ වනවිට ඒවා අබියස හෙළිදරව් වී තිබෙන දූෂිත, අක්‍රමවත් අවිධිමත් බොහෝ ක්‍රියාකාරකම් අධම දේශපාලනය සමග ගැට ගැසුණු ආකාරය ගැන ඒ දේශපාලනඥයන්ට ලැජ්ජාවක් හෝ තිබේද? රුපියල් හාරසිය ගණනකට ඉඩම් අක්කරයක් තක්සේරු කර තිබෙන දේශපාලන හා නිලධාරී ජාවාරම ගැන වගකිව යුත්තෝ කවරහුද?

1978 ව්‍යවස්ථාවෙන් සමාජය යොමු වූයේත්, විවෘත වූයේ යහපත් මාවතකට නොවේ. දේශපාලන කෞටිලයකු වූ ජේ. ආර්. ජනගත කළ ඒ ක්‍රමවේදය දේශපාලන වේදිකාවල තඩි බෑ මුවහමක් වූවා මිස වසර හතළිස් හතරක් වනතුරුත් එය වෙනස් කිරීමට තරම් අවංක දේශපාලන නායකත්වයක් අපට නොවීය. මෙම 22 වැනි සංශෝධනයෙහි වටිනාකම එයයි. එය දේශපාලන මරු කතරකට වැටුණු දිය බිඳක් වැන්න. මහාචාර්ය තිස්ස විතාරණ එම යෝජනාවට විරුද්ධ නොවුවත් ඉන් සිදු වූ වෙනස සෑහීමකට පත් විය නොහැකි බවද පවසා තිබේ.

ජ. වි. පෙ. අනුර කුමාර ද මෙම 22 වැනි සංශෝධනය ප්‍රබල දේශපාලන සංස්කෘතියක් සඳහා කෙරෙන බලපෑම් ඉතා අඩු බව පෙන්වා දෙයි. ඇත්ත වසයෙන්ම වරප්‍රසාද ප්‍රතිලාභ මත අදත් සිදුවන පක්‍ෂ මාරුවට ද දැඩි නීතිමය විධිවිධාන අවශ්‍යය. මන්ත්‍රීකම අද මුදලට විකිණෙන මෙවලමක්. එබඳු අයගෙන් රටකට සිදුවිය හැකි සේවය කුමක්ද? මේ වර්ගයේ දේශපාලන තකතීරුවන් විසින් මතුරන මන්තරයක් ද තිබේ. ඒ දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නොමැති බවය. මේ ප්‍රකාශය හොර තක්කඩියන්ට කදිම නවාතැනක් වැන්න.

කෙසේ හෝ 22 න් ඉදිරියට යා හැකි සමාජ දේශපාලන එකඟතාවක් අද රටට වුවමනා වී තිබේ. හොරුන්ට දූෂිතයන්ට රිංගා යා නොහැකි රටක් හා ජනතාව සුරක්‍ෂිත වන අලුත් ව්‍යවස්ථාවක් අද රටට අවශ්‍යව තිබේ. එසේම පොහොට්ටුවේ කපුටු මෙහෙයුම් මෙන්ම බලය සඳහා අලිපිටේ යෑම හෝ අලි වලිගයේ එල්ලීම හෝ අද තිබෙන අර්බුදවලට විසඳුමක් නොවේ. එහෙත් තවමත් දේශපාලන බල අරගලයට මැදිවී සිටින රටක් ලෙස අප සිටින්නේ යහපත් ස්ථානයක නොවන බව පෙන්වා දිය යුතුය.

කෙසේ වුවත් අද රටට වුවමනා අලුත් දේශපාලන සංස්කෘතියකි. ඒ සඳහා ව්‍යවස්ථාමය විධිවිධාන මෙන්ම ප්‍රබුද්ධ දේශපාලන නායකයෝද අවශ්‍ය වෙති. විධායක ක්‍රමය වෙනස් කළත් මොන ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ එයට ඇතුළත් වුවත් ඒවා සක්‍රීය කිරීම සඳහා අවංක සෘජු ප්‍රතිපත්තිගරුක පාලකයන් සිටිය යුතුය. මෙම 22 වැනි සංශෝධනය අර්ථවත් වන්නේ එයින් යෝජිත ව්‍යවස්ථාදායක සභාව, විගණන හා සම්පාදන වැනි අගනා ව්‍යුහයන් සඳහා පක්‍ෂග්‍රාහී නොවන අගතිගාමී නොවූ ප්‍රබුද්ධ විද්වතුන් පත්වුවහොත් පමණි. මහ බැංකුවට පත්වන අය හොරෙක් නම්, පරිසරය භාරවන්නේ ජාවාරම්කාරයකුට නම් ඇමැති පුතුන් තාත්තලාගේ දේශපාලන බලය රැගෙන යකා නටන්නේ නම් මේ රට මීට වඩා වෙනස් නොවන බව නිසැකය. දූෂණ, වංචා, අල්ලස, අක්‍රමිකතා ඉහවහා ගිය රටක දේශපාලනය ගැන කවර කතාද?

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment