22 සම්මතයි

237

පක්‍ෂව ඡන්ද 174 යි විරුද්ධව ඡන්ද නෑ
මන්ත්‍රීවරු 44 දෙනෙක් සභාවේ නැහැ
බැසිල් හිතවාදීහු නිහඬයි…. නාමල් පක්ෂව ඡන්දය දෙයි…..අනුර කුමාරත් පක්ෂයි
දෙවැනි වර කියවීමේදී විරුද්ධ වූ වීරසේකරගේ සංශෝධනවලට ඉඩ නොලැබෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මැති ඇමැතිවරුන්ගේ වැඩි ඡන්දයෙන් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ දී ඊයේ (21 දා) සවස සම්මත කරනු ලැබිණ. ඒ අනුව ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව මන්ත්‍රී ඡන්ද 174 ක් ප්‍රකාශ විණි. විරුද්ධව කිසිවකු ඡන්දය ප්‍රකාශ නොකළ අතර එක් මන්ත්‍රීවරයකු ඡන්දය දීමෙන් වැළකී සිටි බවට ප්‍රකාශ විණ.

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඡන්දය විමසන අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 44 දෙනකු සභාවට නොපැමිණ සිටීම විශේෂත්වයක් විණ.

එම පිරිසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ඇතුළත් විණි. එමෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා මෙන්ම කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ පසුපෙළ මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු ඇමැතිවරුන් පිරිසක් ද සභාවේ නොසිටීම ද විශේෂත්වයක් විය.

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මහතා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, ආණ්ඩුවෙන් වෙන්ව සිටින ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ගේ කණ්ඩායම්, දෙමළ සුළු පක්ෂ මෙම සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

මෙම ව්‍යවස්ථා සංශෝධනයට පෙර සිටම විරෝධය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මෙන්ම බැසිල් රාජපක්ෂ හිතවාදීන් විවාදයේ දී අදහස් නොදැක්වීම විශේෂත්වයක් වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු ද විවාදයේ දී අදහස් නොදැක් වූහ.

ඡන්ද විමසීම ඉලෙක්ට්‍රෝනික ක්‍රමයට විමසනු ලැබිණ. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය පෙරේදා (20) ආරම්භ වූ අතර එය ඊයේ දිනය පුරාම පැවැත්වීය.

මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින් ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තු පැමිණීමට ඇති ඉඩකඩ ඇහිරීම විශේෂ අවස්ථාවක් වේ.

මෙම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ලෙසට හඳුන්වා කටයුතු කළ ද සංශෝධනවල දී එහි නාමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය ලෙස පසුව නම් කෙරිණ.

ව්‍යවස්ථා සංශෝධනයට සංශෝධන එකතු කිරීම අධිකරණ ඇමැතිවරයා විසින් සිදු කළ අතර සරත් වීරසේකර මහතා සංශෝධන එකතු කිරීමට අවසන් අවස්ථාවේ ඉල්ලා සිටිය ද ඊට ඉඩ නොලැබිණ. ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා ද සංශෝධන කිහිපයක් සිදු කරන ලෙස සංශෝධන ලෙස කියවූ අතර ඒවා දැනටමත් සංශෝධනය කර ඇතැයි ද ඇතැම් ඒවා ප්‍රතික්ෂේප කරන බව ද අධිකරණ ඇමැතිවරයා කීය.

කෙසේ වෙතත් දෙවැනි වර ඡන්දය විමසන අවස්ථාවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පමණක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. දෙවැනි වර කියවීමේ දී ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරු 6දෙනෙක් තෙවන වර කියවීමේ දී ඡන්දය ප්‍රකාශ නොකළහ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment