22 සම්මතවීම රාජපක්ෂවරුන්ගේ පරාජයක් ! – පාඨලී චම්පික

161

ඔවුන්ට තවදුරටත් කහ සිවුරට වහන්වෙන්න බෑ….
ලිස් ට්‍රස් කළේ ගෝඨාභය රාජපක්ෂ කරපු දේශපාලනයමයි…..
ඒ කියන්නෙ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ධනපතියන්ට බදු සහන දීමයි….

22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙසිනි. මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමග තුනෙන් දෙකක බලයක් හිමිකර ගනිමින් ආණ්ඩු බලයක් පිහිටු වූ පොදුජන එක්සත් පෙරමුණේ වූ බෙදීම තවදුරටත් තීව්‍ර වන බව දේශපාලන විචාරක මතයයි. ඒ කෙසේ වුවද අප රටේ 21 වැනි සංශෝධනය සම්මත වන පසුබිමේ ලෝක දේශපාලනය කෙරෙහිද අවධානය යොමු කිරීම වැදගත් වනුයේ ප්‍රථම වරට බ්‍රිතාන්‍ය අගමැති ධුරයට අප අසල්වැසි රාජ්‍යයේ පුරවැසියෙක් අගමැති ධුරයට පත්වීම නිසාය. ඒ නිසා අප මේ පසුකරමින් සිටිනුයේ දේශීය මෙන්ම විදේශීයවද තීරණාත්මක දේශපාලනික සංසිද්ධීන් බහුල සමයකි. ඉදින් මේ කතාබහ ඒ පිළිබඳ වඩා සංවේදී මෙරට දේශපාලනඥයෙක් සමගය. ඔහු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, 43 වැනි සේනාංකයේ නිර්මාතෘ පාඨලී චම්පික සමගය.

ප්‍රශ්නය – 22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත 21 වැනි සංශෝධනය ලෙසින් පසුගියදා සම්මත වුණා. මේ 21 වැනි සංශෝධනය ගැන දේශපාලන වශයෙන් තියෙන වාසි අවාසි ගැන මේ දවස්වල කතාවෙනව. මේ සංශෝධනය නිසා ජනතාවට තියෙන වාසි මොනවද?

පිළිතුර – මේ රටේ තිබුණු ලොකු ප්‍රශ්නයක් තමයි ජනාධිපති ඒකාධිපති වීම නිසා ඇතිවුණ ගැටලුව. 21 වැනි සංශෝධනයෙන් යම් ආකාරයකට පොලිසියෙ සහ අධිකරණයේ යම් ස්වාධීනත්වයක් ඇතිවෙනව. අධිකරණයේ විනිසුරුවරුන් තමන්ව පත්කිරීමේ බලධාරියා වෙච්ච ජනාධිපතිට ඕන විදිහට වැඩ කිරීම නිසා අධිකරණය ගැන විශ්වාසය බිඳ වැටෙනව. පොලිසිය තමන්ගෙ පත්වීම් බලධාරියා වන ජනාධිපති හා දෙපාර්තමේන්තුව බාර ඇමැතිවරයාට ඕන විදිහට හැසිරීමෙන් එය දේශපාලනීකරණයවීම නිසා විශාල අසාධාරණකම් මිනිසුන්ට වෙනව. රාජ්‍ය සේවයේ දේශපාලනීකරණය වීම නිසා රාජ්‍ය සේවයේ ස්වාධීන නොවීම නිසා එයත් මහජනයාට විශාල ප්‍රශ්න මතුකරල තියෙනව. ඊට අමතරව ලොකුම ගැටලුවක් තමයි විගණනය. ඒ විගණකාධිපතිවරයා සහ විගමන කොමිසමේ බලය වැඩි කිරීමට රටේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් රටේ ටෙන්ඩර් පටිපාටිය ස්වාධීන කිරීමට ප්‍රසම්පාදන කොමිසම පිහිටුවීම ඉදිරිගාමී පියවරයන්. ඒ වගේම ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය පත්කිරීම හා ඉවත් කිරීම සම්බන්ධ කාරණාවලදී අගමැතිවරයා විමසීම හා විපක්ෂනායකවරයා විමසීම ආදී කාරණාවලට ව්‍යවස්ථාදායක සභා පත්කිරීම වැනි දේවල් ඉදිරිගාමී ප්‍රජාතන්ත්‍රවාදී පියවරයන්. මේව 19 වැනි සංශෝධනය තරම් ප්‍රබල නැති වුණත්, සමහරු කියන විදිහට මේවා සම්පූර්ණයෙන් වැඩක් නෑ කියලත් ඉවත දාන්න බෑ.

ප්‍රශ්නය – මේ සංශෝධනයෙදි බොහෝ දෙනා කතාකරන කාරණයක් තමයි ද්විත්ව පුරවැසිභාවය ගැන කාරණය….

පිළිතුර – ද්විත්ව පුරවැසිභාවය ගැන කාරණය ගත්තොත් රටක යම් විශේෂඥ දැනුමක් ලබාගන්න වෘත්තීයවේදියෙක් අදහස් ලබාගැනීම වරදක් නෑ, නමුත් ජනතාවගෙ නියෝජිතයෙක් වෙන්න බෑ රටේ පුරවැසියෙක් නොවෙන කෙනෙක්ට. අපේ හුඟක් දේශපාලනඥයො එක කකුලක් මෙහේ තියාගෙන තව කකුලක් විදේශයක තියාගෙන ඉන්නෙ. සමහරු ලංකාවෙ පුරවැසියො වුණාට දරු පවුල් ඉන්නෙ පිටරට. ඕනම වෙලාවක විදේශ පුරවැසිභාවය අරගෙන රටින් පනින්න පුළුවන්. ඒ වගේම දේපළ ගොඩගහන්නෙ විදේශවල. විගණනයට ලක්වෙන්නෙ එහෙ. ඒ නිසා මේ වගේ දේවල් රටේ ලොකු ප්‍රශ්න. ඒවායින් යම්කිසි ආකාරයක පාලනයක් ඇතිවෙනව ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඒමට වැට බැඳීමෙන්.

ප්‍රශ්නය – පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු 22 වැනි සංශෝධන කෙටුම්පත සම්මත වෙයිද කියන අවදානමක් තිබුණ. මොකද පාර්ලිමේන්තුවෙ බොහෝ කටයුතු මෙහෙයවන්නෙ බැසිල් රාජපක්ෂ කියල බොහෝ දෙනා කිව්ව නිසා. හැබැයි මේත් එක්කම ඒ කතාව බොරුවක් වුණාද?

පිළිතුර – රාජපක්ෂවරු බොරු බිල්ලෙක් මවල තිබුණ, මහ දැවැන්ත පොහොට්ටු පක්ෂය මෙහෙයවන්නෙ ඔවුන් කියල. රනිල් වික්‍රමසිංහ වැඩ කරන්න ඕන මහින්ද ගෙ අණට කියල කියන වාචාල කතා අපට ඇහුණ. පාර්ලිමේන්තුවෙ අපේ දිස්ත්‍රික් නායකයන්ට ඇමැතිකම් දුන්නෙ නැත්නම් ආණ්ඩුව පෙරළනව වගේ කතා පොහොට්ටුවෙන් කියනව අපිට ඇහුණ. පාර්ලිමේන්තුව ජනතාව තරයේ ප්‍රතික්ෂේප කරල තියෙද්දි, කොටින්ම කිව්වොත් මිනිස්සු ගහල පන්නපු පාලකයො රැලක් පාර්ලිමේන්තුවෙ පස්ස දොරෙන් තමන්ගෙ බලය පාවිච්චි කරගෙන තමන්ගෙ පක්ෂයක පැවැත්ම හදාගත්ත. ඒකට එල්ල වෙච්ච ලොකුම ප්‍රහාරයක් තමයි 21 සම්මත වීම. මොකද ඒ අය උත්සාහ කරා මේක සම්මතවීම වැළැක්වීමට. එහි පළමු උත්සාහය ඔවුන්ගෙ හරි ගියා. දෙවැනි උත්සාහයෙදි අන්ත පරාජයක් ලැබුව. මහින්ද රාජපක්ෂ ඡන්දය නොදුන්නට, බැසිල් රාජපක්ෂ පිටුපසින් හිටියට ඡන්ද 18යි පාර්ලිමේන්තුවෙ තියෙන්නෙ ඔවුන්ට. තමන්ගෙ අනාගතය ගැන හිතල නාමල් රාජපක්ෂ ඡන්දය දුන්න. නමුත් මේක පොදුවේ රාජපක්ෂවරුන්ට පාර්ලිමේන්තුවෙදි අත්වෙච්ච අන්ත පරාජයක්.

ඔවුන් දැන්වත් සාමකාමී විදිහට දේශපාලනයෙන් යන්න ඒ අය තීරණය නොකළොත් ඊළඟ මැතිවරණයට කලින් වුණත් නැවත මේ රටේ මිනිසුන්ගෙ කෝපය ඇතිවෙන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මහත්තය කරන්නෙ රට පුරාම වෛරයයි, කෝපයයි ඇතිකරන විදිහේ වැඩක්. මේ රට බංකොලොත්භාවයට පත්කිරීම ගැන ඔහු වගකියන්න ඕන. ඔහුට තවදුරටත් සිංහල බෞද්ධ කඩතුරාවට වැහෙන්න දෙන්න බෑ. මේ රටේ 70%ක් සිංහල බෞද්ධ ජනතාවට තමයි මේ බංකොලොත් වුණෙ. අද හිඟමනට වැටිල ඉන්නෙ. අද ආර්ථික අතින් අන්තිමට බිඳ වැටිල අන්තයටම වැටිල ඉන්නෙ. ඒ නිසා කහ සිවුරට තවදුරටත් ඔවුන්ට වහන්වෙන්න බෑ. මොකද බෞද්ධකමට මුවාවෙලා ඔවුන් කරපු දේවල් තවත් වලංගු නෑ. අද සමස්ත ජනතාවම රාජපක්ෂවරුන්ව ප්‍රතික්ෂේප කරල ඉවරයි. මේ අයට ආශිර්වාද සපයපු හැමදෙනාම මහජනයා ප්‍රතික්‍ෂේප කරල ඉවරයි.

ප්‍රශ්නය – අද රටේ තියෙන මතයක් තමයි රාජපක්ෂ කඳවුර කියන්නෙ ලේසියෙන් බලය අත්හරින්න කැමැති පිරිසක් නෙමෙයි කියල. ඉතින් මේ වගේ සංශෝධනයකින් පුළුවන් වෙයිද ඒ කියන ඔවුන්ගෙ බලලෝභය නැතිකරන්න…

පිළිතුර – ඒ අයගෙ කාලය ඉවර වුණේ ජුලි 9ය. මහජනයා පාරට බැහැල තමයි ඔවුන්ව දේශපාලන වශයෙන් එළියට දැම්මෙ. ඊට වඩා දෙයක් නෑ. ඒ නිසා පැහැදිලව කියන්න ඕන ඒ යුගය ඉවරයි. හැබැයි පාර්ලිමේන්තුවෙ කීප දෙනෙක් රාජපක්‍ෂලව අල්ලගෙන කෝලං නටනව. ඒ කෝලං නැටවීමත් මේ 21 වැනි සංශෝධනය සම්මත වීමෙන් අවසන් වුණා. විපක්ෂයෙත් ඉන්නව අනන්‍යතා දේශපාලනය කරන, අපේ ජාතියට ආගමට විතරයි ප්‍රශ්න තියෙන්නෙ අනෙක් අයට නෑ කියන අය. ඒ අය පවා මේකෙන් පරාජයට පත්වුණා. තවදුරටත් රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවට ඕන විදිහට කටයුතු කරන්න යනව නම් ඔහුට විශාල මහජන පිපිරීමකට මුහුණදෙන්න වෙයි. දැන්වත් රනිල් වික්‍රමසිංහ මහත්තයා සර්ව පාක්ෂික ආණ්ඩුවකට සාධනීය පියවර තැබිය යුතුයි. එහෙම කරනව නම් විපක්ෂයෙ සහයෝගය ඊට ලැබෙනව.

ප්‍රශ්නය – විපක්ෂය නම් හැම මොහොතකම ඉල්ලා ඉන්නෙ මැතිවරණයක්. මේ යන විදිහට මැතිවරණයක් තියයි කියල විශ්වාස කරන්න පුළුවන්ද? මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩු බලයක් ගන්න තරම් වැඩපිළිවෙළක් විපක්ෂයට තියෙනවද?

පිළිතුර – පැහැදිලිව මේ පාර්ලිමේන්තුව රටේ ජනමතය නියෝජනය කරන්නෙ නෑ. හැබැයි සමහරු කියනව අපිට දෙන්න අපි කරල පෙන්වන්නම් කියල. ඒ අය කිසිම අත්දැකීමක් නැතිව ආඩම්බර ප්‍රකාශ කර කර වේදිකා තනාගෙන බෙරිහන් දෙනව. මම ජනතාවට කියනව හොයා බලන්න ඔය කෑගහන කට්ටිය අමාත්‍යාංශය අරගෙන ගිය හැටි, පළාත් සභා අමාත්‍යාංශ කළ හැටි, ප්‍රාදේශීය සභා සභාපතිකම් කරපු හැටි. ඒවායෙ කළමනාකාරීත්ය ගැන හොයා බැලුවම පේනවා ඔවුන් කවුරුන්ද කියල. අපේ මිනිස්සුන්ගෙ සිරිතක් තියෙනව නළුවෙක් හෝ නිළියක් ආවොත් ලස්සනට රැවටෙනව, කථිකයෙක් ආවොත් ඒ කථිකත්වයට අහුවෙනව. ක්‍රීඩකයෙක් ආවොත් ඔහුගෙ ක්‍රීඩා කුසලතාව දැකල රැවටෙනව. හමුදාවෙ කෙනෙක් ඒ වීරත්වය බලල ඡන්දය දෙනව. අම්ම දේශපාලනය කරල තියෙනව නම් අම්ම දිහා බලල දුවට ඡන්දය දෙනව, තාත්තා දිහා බලල පුතාට දෙනව. මෙන්න මේ ක්‍රමය දැන්වත් වෙනස් විය යුතුයි. බ්‍රිතාන්‍යයේ වුණෙ ඒකයි. ප්‍රංශයත් වෘත්තියවේදියෙක්ට ඉඩ දුන්න. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන කළමනාකාරීත්වය හඳුනාගෙන, එයට ඉඩ දෙන හැකියාව තියෙන තරුණ පිරිසට තැන දෙන්න කටයුතු කරන්න ඕන. පරණ බයිල හරියන්නෙ නෑ.

ප්‍රශ්නය – ඔබතුමා බ්‍රිතාන්‍යයේ, ප්‍රංශයේ දේශපාලන වෙනස්වීම් ගැන කියනව. ජාත්‍යන්තර දේශපාලන දෙස බැලීමෙදිත් අපි දකින දෙයක් තමයි මැතිවරණවලින් තොරව සිදුවන දේශපාලන බල හුවමාරු. ඒකෙ ආසන්නතම සිදුවීම තමයි හින්දු ජාතිකයෙක් බ්‍රිතාන්‍යයේ අගමැතිවීම. ඒක ගැන අද බොහෝ දෙනාගෙ කතාබහට ලක්වෙලා තියෙනව. ඔබතුමා ජාත්‍යන්තර දේශපාලනය ගැන බොහොම උනන්දුවෙන් කටයුතු කරන කෙනෙක්. මේ පත්වීම සහ ජාත්‍යන්තර දේශපාලනය වෙන මේ වෙනස්වීම් අපට දෙන දේශපාලන සංඥාව මොකක්ද?

පිළිතුර – බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂය කියන්නෙ රාජ්‍යත්වය රැක ගැනීමට ඉදිරිපත් වූ පක්ෂය. ඒ පක්ෂයේ විදේශීය සම්භවයක් තියෙන පුද්ගලයෙක්, හින්දු ජාතිකයෙක්ට එම රටේ අගමැති ධුරය ලැබීම තමයි විශේෂත්වය. ඇත්ත වශයෙන් මේක බැරක් ඔබාමා පත්වීමටත් වඩා විශේෂිත තත්ත්වයක්. ඔබ ඇහුවනෙ මේ වෙලාවෙ ලොකු දේශපාලන වෙනස්වීම් ගැන… මේ වෙද්දි ලෝකය පුරා තියෙන දේශපාලන ප්‍රවණතාවක් තමයි වාත්තීයවේදීන්ගෙ ඉදිරියට ඒම. ඇමරිකාවේ කමලා හැරිස් ඇය උප ජනාධිපති වුණා. ඇයට ඒකට බලපෑමෙ කැලිෆෝනියාවේ වෘත්තීයවේදීන් හා ජීවත්වීමේ හයිය. දැන් ලෝකය පුරාම ජාති, ආගම්, කුලය සලකන්නෙ නැතිව අර්බුදය ආවම වෘත්තීයවේදීත්වය කැඳවන්න ඕන තැනට ඇවිත් තියෙනව.

රිෂී සුනාක් වෘත්තීයවේදියෙක් නිසා බ්‍රිතාන්‍යයේ ඇතිවී තියෙන අර්බුදයන් යම් දුරකට පාලනය කරයි. විශේෂයෙන් ඉල්ලා අස්වුණු ලිස් ට්‍රස් කළේ ගෝඨාභය රාජපක්ෂ කරපු දේශපාලනය. ඒ කියන්නෙ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ධනපතියන්ට බදු සහන දීම. බ්‍රිතාන්‍ය ඒක ප්‍රතිකිෂේප කළා. අයිඑම්එෆ් එක ලිබරල් කිව්වට ඔවුනුත් ඒකට විරුද්ධ වුණා. දැන් ගෝඨාභයට විරුද්ධව කෑගහන අපේ රටේ සමහර වාමාංශිකයො එදා හිටියෙ ගෝඨාභයගෙ වලිගය වෙලා. හැබැයි එංගල්නතයෙ ධනපතියො පවා ලිස් ට්‍රස්ට විරුද්ධ වුණා. ඒ නිසා තමයි යන්න වුණේ.

ලෝකය අලුත් ගමනක් යමින් තියෙන්නෙ. පරණ විදිහට තවදුරටත් යන්න බෑ. අත්දැකීම් විරහිත නවකයො කැඳවගෙනත් බෑ. කැඳවන්න ඕන අත්දැකීම් තියෙන අය. අත්දැකීම් විරහිත අය කැඳවූවාම වෙන අර්බුදයට හොඳම උදාහරණය තමයි යුක්රේනය. අපි මේ වෙලාවෙ ඉගෙන ගන්න ඕන පාඩම තමයි දැන්වත් අපි නළුවන්ට, ක්‍රීඩකයින්ට, රණවිරුවන්ට, ඥාතීත්වයට සලකන්නේ නැතිව, කළමනාකාරීත්වය, කුසලතාව මත තීරණ සැලකීම. එහෙම නොවුණොත් ලංකාවෙ කවුරු ඊළඟට බලයට ආවත් ආයු කාලය මාස හයයි.

ප්‍රශ්නය – ඇත්තටම මේ තියෙන ආර්ථික අර්බුදයන් එක්ක රට තව කොච්චර කල් දුර යන්න පුළුවන් වෙයිද?

පිළිතුර – ඉතාම දරුණු වේදනාත්මක තීරණ ගත්තොත් තව අවුරුදු තුනකින් රට ගොඩගන්න පුළුවන්. එහෙම නොවුණොත් තව අවුරුදු දහයක් වුණත් රට මේ විදිහට තියෙන්න පුළුවන්. අපි අමතක කරන්න හොඳ නෑ ග්‍රීසිය. මේකට කවුරුත් කියන විදිහේ ක්ෂණික විසඳුම් නෑ. අපි ආවම තෙල් දෙනව, අපි ආවම දුගියන්ට සහන දෙනව වගේ කතා හරියන්නෙ නෑ. රාජ්‍ය සේවය සම්බන්ධයෙන්, අයබදු සම්බන්ධයෙන් ඉතාම වේදනාත්මක තීරණ ගන්න වෙනව. අපේ ඖෂධ, අපේ බලශක්තිය රැකගන්න ක්‍රියාදාමයකට යන්න වෙනව. ඒව අපහසුයි. ඒත් ඒව නොකර අපට තව දුර යන්න ලැබෙන්නෙ නෑ.

ප්‍රශ්නය – ආර්ථික ස්ථායිකරණ අනු කමිටුවේ කටයුතු මේ වෙද්දි වෙන්නෙ මොන විදිහටද?

පිළිතුර – නොවැම්බර් 8 වැනිදා පාර්ලිමේන්තුවට වර්තාවක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනව. අපි දැනට ණය ප්‍රතිව්‍යුගත කිරීම, ඖෂධ හිඟය ආහාර හිඟය, පොහාර හිඟය, බලශක්තිය, ප්‍රවාහනය සහ මේ අර්බුද නිසා අමාරුවේ වැටිල ඉන්න ජනතාවට සහන ලබාදීම කියන ක්ෂේත්‍ර හය ගැන වෘත්තීයවේදීන් පිරිසක් සමග, රාජ්‍ය ආයතනවල පිරිස් එක්ක සාකච්ඡාවක් කළා. ඒ අනුව කෙටිකාලීන වැඩපිළිවෙළක් අපි නොවැම්බර් 8 ඉදිරිපත් කරනව. ඉන් පස්සෙ එම ලියවිල්ල පදනම් කරගෙන සමාජයේ පීඩාවට පත්වෙලා ඉන්න විවිධ ක්ෂේත්‍ර සම්බන්ධ පිරිස් එක්ක සාකච්ඡා දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනව.

ප්‍රශ්නය – මේ තියෙන දේශපාලන අස්ථාවරභාවය හමුවේ විපක්ෂයට බැරිද පාර්ලිමේන්තුව තුළ බහුතරයක් පෙන්නල පාලනය අතට අරගෙන විසඳුම් හොයන්න…?

පිළිතුර – දැන් පාර්ලිමේන්තුවෙ බල තුලනය වෙනස්. පොහොට්ටුව හයට කැඩිල තියෙන්නෙ. වීරවංශ කණ්ඩායම මුලින්ම ඉවත් වුණා. ඊට පස්සෙ අනුර යාපා කණ්ඩායම ඉවත් වුණා, ඊට පස්සෙ මෛත්‍රිපාල කණ්ඩායම, ඩලස් කණ්ඩායම ඉවත්වුණා. ඊයෙ පෙරේදා ආණ්ඩුවෙන් බැසිල් රාජපක්ෂ කණ්ඩායම ඉවත් වුණා. දැන් රනිල් කණ්ඩායම තමයි බලයෙ ඉන්නෙ. පොහොට්ටුවට තවදුරටත් රට පාලනය කිරීමේ හැකියාවක් හෝ වරමක් හෝ නෑ. ඒ නිසා සෙසු මධ්‍යස්ථ කණ්ඩායම් අනෙක් පිරිසත් එක්ක එකතුවෙලා පාර්ලිමේන්තුවෙ බහුතරය වෙනස් කර ගන්න ඕන. නැත්නම් හිතුමතේ මේ යන ගමන පාලනය කරන්න ඕන.

සංවාදය – සිරිමන්ත රත්නසේකර
ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment