225ම ගෙදර යවා රටට කුමක් කරමුද?

531

2019 නොවැම්බර් මාසයේදී මෙරට පැවති ජනාධිපතිවරණය කාරණා කිහිපයක් නිසා ඓතිහාසික වැදගත්කමක් පෙන්නුම් කරයි. එයින් එක් විශේෂිත වූ කරුණක් වන්නේ බහුතර සුළු ජන කණ්ඩායම්වල සහයෝගය නොමැතිව ගෝඨාභය රාජපක්ෂ 69 ලක්ෂයක් ඡන්ද ලබාගෙන ඡන්දය දුන් ජනතාවගේ දහසකුත් එකක් බලාපොරොත්තු මැද පාලන බලය ලබාගැනීමයි. එය ඉතාමත් පැහැදිලි ජනමතයක් පෙන්නුම් කළේය. ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රකාශනයේ පමණක් නොව ඔහු සෑම විටම ඉස්මතු කළේ බුද්ධිමත් විද්වත් මණ්ඩලයකින් සැදුම්ලත් පාලනයක් මඟින් වංචා දූෂණ තුරන් කොට පිරිසිදු පාලනයක් ස්ථාපිත කර රටත් ජනතාවත් සුඛිතමුදිත කිරීමට කටයුතු කරන බවය.

වෙනදා අලුත් ජනාධිපතිවරයෙකු පත් වූ විට රට පුරා රතිඤ්ඤා පත්තු කර කැවුම් කිරිබත් කෑම ජනතාවගේ දේශපාලන සම්ප්‍රදාය විය. නමුත් මෙවර ජනතාව දවස් ගණන් රතිඤ්ඤා පත්තු කර කැවුම් කිරිබත් කෑවා විතරක් නෙමෙයි තරුණ පිරිස් හා බොහෝ අය ඒකරාශි වී පාර දිගට තාප්පවල සිතුවම් ඇඳ ජනාධිපතිවරයාගේ හා රටේ ගමන් මාවත සරසන්නට කටයුතු කළේය. තමන් මේ රටේ ගැළවුම්කරුවා සොයාගත් බව එදා ජනතාවට සිතුණි. වීරත්වයක් ආරෝපනය කරගනිමින් කරළියට ආ ගෝඨාභය රාජපක්ෂ රටෙහි සමස්ත ප්‍රශ්නවල විසඳුම්කරුවා වශයෙන් ජනතාව දිටීය. ඒ කටයුත්ත කරගැනීමට ඔහුට අවශ්‍ය සියලු ශක්තිය හා සහයෝගය ජනතාව ලබා දුන්නේය. සුළු ජන කණ්ඩායම්වල කේවල් කිරීම්වලට නතු නොවී ශක්තිමත් ආකාරයට තීරණ ගැනීමට තනි සිංහල ආණ්ඩුවක් අවශ්‍ය බව කියූ බැවින් තනි සිංහල ආණ්ඩුවක් හදා දුන්නේය. එමෙන්ම ඒ වන විට පැවති තත්ත්වයෙන් වෙනස් නීති රීති සකස් කරගැනීමට 2/3 ක බලයක් අවශ්‍ය යැයි කියූ බැවින් තුනෙන් දෙකක බලයත් ලබාදුනි. ජනාධිපතිට කටයුතු කිරීමට 19වන ව්‍යවස්ථා සංශෝධනය බාධාවක්ය. විධායකය සර්ව බලධාරි විධායකයක් කිරීමට අවශ්‍ය බව පැවසූ විට ඇස් කන් නෑර එය කරගැනීමට ඉඩහැරියේය. තම පාලනය ශක්තිමත් කරගැනීමට ඇමරිකන් පුරවැසිභාවයක් තිබෙන තම සහෝදරයා පාර්ලිමේන්තු ගෙන ආ යුතු බව කියන විට ජනතාව හිස නමා එයට ඉඩකඩ සලසා දුන්නේය.

නිදහසට වඩා ප්‍රබල බඩේ පාර

එදා ගොඨා්භය රාජපක්ෂ රටභාර ගන්නා විට ජනතාවට බඩගින්න පිළිබඳ ප්‍රශ්නයක් නොවීය. ජනතාවට විදුලිය ගෑස් ඛනිජතෙල් කිරිපිටි සහල් ආදී පෝලිම් ප්‍රශ්න නොවුනි. ඩොලර් මිලියන 8000ක පමණ විදේශ විනිමය සංචිත රට සතුව තිබුණි. භාණ්ඩ මිල අහස උසට ගොස් නොතිබුණි. ගොවිතැන කරගෙන යෑමට අවශ්‍ය පොහොර බෙහෙත් ද්‍රව්‍ය ගොවීන්ට තිබුණි. කිසිදු ක්ෂේත්‍රයක ප්‍රබල ගැටලුවක් නොතිබුණි. ගැටලුව වී තිබුණේ කෘතීමව නිර්මාණය කළ නමුත් එසේ නිර්මාණය කළ එකක් බව ජනතාවට නොතේරුණු ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයයි. ගෝඨාභය බලයට පත් වූ පසු ජාතික ආරක්ෂාව නැංවීමට අපට දැණුනු විශේෂ යමක් නොකළේය. නමුත් බෝම්බ පිපිරීම් සිදු නොවුණි. ඒ නිසා ඔහු ජාතික ආරක්ෂාව තහවුරු කළ බව 69 ලක්ෂයට තේරුම් යන්නට ඇත. නමුත් පොරොන්දු වු ආකාරයට වියත් ආණ්ඩුවක් හැදීමට ගෝඨාභයට අවශ්‍ය නොවුණි. ඔහු ඔහුට කැමති පිරිස් පාලනයට සම්බන්ධ කරගත්තේය. වියත් ද අවියත් ද යන්න ඔහුට වැදගත් නොවුණි. අමාත්‍ය මණ්ඩලය රාජපක්ෂවරුන්ගෙන් පිරී ඉතිරී යන්නට විය. ඥාතීන් හිතවතුන් නිලතලවල වැජඹුණි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය හමස් පෙට්ටියට ගියේය. ඒ වෙනුවට මිථ්‍යා විශ්වාස හා ඇදහිලි ඉදිරියට ආවේය. රතු නූල් පොකුරු පිටින් අත්වල බැඳෙන්නට විය. ආර්ථික ඝාතනයත් ආරම්භ විය. අද වන විට රට පුරා පෝලිම්ය. ජනතාවට කෑමබීම නැත. මිල ගණන් අහස උසට ගොස් ඇත. ඩීසල් නැත. පෙට්‍රල් නැත. ගෑස් නැත. විදුලිය නැත. කිරිපිටි නැත. සහල් නැත. පරිප්පු නැත. හැමදෙයක්ම නැත. ජනතාවට හොඳටම බඩේ පාර වැදී ඇත. වෙනදා පඩිපතෙන් මිලට ගත් භාණ්ඩ ප්‍රමාණයෙන් භාගයක්වත් මිලට ගැනීමට අද නොහැකිය. 20 වන සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා නිදහස අහිමි කරන විට අත්පුඩි ගසමින් සතුටු වු ජනතාව අද තමන්ගේ බඩට පාර වදින විට තම වීරයා පුටුවෙන් ඇද දැමීමට මහ පාරට ඇවිත් ඇත. බඩේ පාර හරිම සංවේදී හා ප්‍රබල කීමට වෙනත් සාධක අවශ්‍ය නැත.

ජනතාව අවදිකිරීම

විපක්ෂයට හා මේ රටේ දැනුම් තේරුම් ඇති විද්වතුන්ට මෙම රාජපක්ෂ පාලනයේ ඉස්මතුවන දුර්වලත්වය වංචනිකත්වය හා කෲරත්වය රහසක් නොවුණි. ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කිරීමට හා විවේචනය කිරීමට 2020 ආරම්භයේ සිටම ඒ අය පසුබට නොවුණි. පාර්ලිමේන්තුව තුළත් දේශපාලන වේදිකාවෙත් විද්වත් සභාවන්වලත් මාධ්‍ය සාකච්ඡාවලත් මෙම විසංවාදී අදහස් ලියලන්නට විය. 69 ලක්ෂයේ බොහෝ අයට එය දිරවන්නේ නැති විය. නමුත් සෞභාග්‍යයේ දැක්ම මහ පොලොවේ යථාර්ථයක් නොවන තැන ජනාධිපතිවරයාගේ වීරත්වය හා වැඩකාරත්වය පුස්සක් බව ඔවුන්ට පසක් වන්නට විය. මෙම අවස්ථාවේ දී ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සර් ෆේල් සටන් පාඨය කරළියට ගෙන ආවේය. එයින් ගෝඨාභය රාජපක්ෂ රජය සලිත වූ බව පැහැදිලිය. ඉන් පසු නොකඩවාම විපක්ෂය ගෙන ගිය ආණ්ඩුවේ නොහැකියාව හා අඥාන බව පෙන්වා දීම මත ආණ්ඩුව කෙරෙහි තිබුණු ජනතා විශ්වාසය ක්‍රමයෙන් ඉරිතලා යන්නට විය. ඒත් එක්කම නිර්මාණය කළ කෘෂිකර්මාන්තයේ අර්බුදය, විදේශ විනිමය අර්බුදය, මිල ඉහළ යෑම, භාණ්ඩ හිඟවීම ආදිය සඳහා විසඳුම් සෙවීමට හැකියාවක් හා වුවමනාවක් ආණ්ඩුවට නොවීය. ඇත්ත වශයෙන්ම ආණ්ඩුව සිදු කළේ මෙම ප්‍රශ්න එන්න එන්නම උග්‍ර වීමට ඉඩහැරීමය. ඒත් එක්කම ජනතා මර්දනය ආරම්භ විය.

රට පුරා විවිධ පක්ෂ විසින් සංවිධානය කළ උද්ඝෝෂණ ආරම්භ විය. සමගි ජන බලවේගය මාර්තු 15 දින කොළඹ දියත් කළ දැවන්ත විරෝධතාව ආණ්ඩුවට එරෙහි දැවැන්ත ජන අරගගයක් නිර්මාණය කළේය. එම උද්ඝෝෂණයේ ප්‍රධාන සටන් පාඨය වූයේ අද සෑම දෙනාගේම සටන් පාඨය වු ගෝඨා ගෝ හෝම් යන්නය. එමෙන් ම මාර්තු 15 සමගි ජන බලවේගය උද්ඝෝෂණයෙහි ඇස් ඇදී ගිය පින්තූරය වූ පාන් ගෙඩියක් ලීයක ගසාගෙන ගිනි ගොඩක් ඉදිරියේ විරෝධය දක්වන පුද්ගලයාගේ පින්තූරය අද රට තුළ උත්ගතව ඇති බොහෝ උද්ඝෝෂණයන්හි ආරම්භක දර්ශනය වූවා නිසැකය. එම පින්තූරයෙන් කියැවෙන කතාව අතිශය සානුකම්පිතය. එමෙන්ම ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති පිළිබඳ සාධාරණ විවේචනයන් කරමින් ආණ්ඩුවට මඟපෙන්වා දෙන මාධ්‍ය සාකච්ඡා ඇතුළු දැනුවත් කිරීමේ වැඩසටහන්වලට විද්වතුන් නිරන්තරව දායක විය. ඒ අනුව අද රට පුරා රාජපක්ෂවරුන්ට හා ආණ්ඩුවට එරෙහිව නිර්මාණය වී ඇති උද්ඝෝෂණ රැල්ල අහම්බයක් නොව ජනතාව වෙනුවෙන් කැප වූ කාලය වැය කළ සහ අවදානමක් ගත් පිරිසකගේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස දැක්වීමට මා කැමතියි.

කෑලී කැඩීගිය 69 ලක්ෂය

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීමට දායක වූ 69 ලක්ෂයක ජනතාව අද වන විට ප්‍රධාන කොටස් තුනකට කැඩී හමාරය. එයින් පළමුවැන්න වන්නේ ආණ්ඩුව ගැන කළකිරීම් ඇතත් සර් වැඩ පෙන්නයි කියන බලාපොරොත්තුවෙන් තවමත් සිටින පිරිසය. ඔවුන් මෙම ආර්ථික හා දේශපාලන අර්බුදය දෙස උපේක්ෂාවෙන් බලා සිටින අතර රාජපක්ෂවරුන් වෙත තම ළැදියාව අත් නොහරී. දෙවන කොටස වන්නේ තමන්ට වැරදුණු බව අවබෝධ කරගනිමින් මේ ආණ්ඩුවට රට හැදීමට බැරි බව තේරුම් ගෙන වෙනත් දේශපාලන ධාරාවන්ට එකතු වෙමින් ආණ්ඩුවට විරුද්ධව වැඩ කරන පිරිසය. තුන්වන කණ්ඩායම වන්නේ මේ වන විට අතිශය දරුණු අපේක්ෂා භංගත්වයට පත් වූ පිරිසයි. මේ අය ගෝඨාභයට බැරි බව තේරුම් ගත්ත ද සම්මත දේශපාලනයේ රාජපක්ෂවරු නොවන වෙනත් පිරිසකට බලය ලබාදීමට අතිශයින්ම විරුද්ධ පිරිසක්ය. ආණ්ඩුවට එරෙහි මෙම උද්ඝෝෂණ රැල්ල තුළ වඩාත් ඉහළම ආකාරයෙන් අවේගශීලි බවක් හා කළහකාරී බවක් පෙන්නුම් කරන්නේ මෙම කණ්ඩායමයි. ඔවුන් තවදුරටත් මෙම රාජපක්ෂවරුන්ට හිතවත් බව සනාථ කරන සාධකයක් වන්නේ පාර්ලිමේන්තුවේ 225ම ගෙදර යා යුතු බවට ගෙන එන සටන් පාඨයයි. ඒ මඟින් මෙම අර්බුදයට රාජපක්ෂවරු පමණක් නොව අනෙක් සියලුම දෙනා වගකිව යුතු බව ඉස්මතු කර පෙන්වීමට ඔවුන්ට අවශ්‍යව ඇත. නමුත් අද අප මුහුණ දෙන ආර්ථික දේශපාලන සමාජ අර්බුදය සඳහා ජනාධිපති ඇතුළු සමස්ත රාජපක්ෂ පවුල පමණක් නොව විමල් වීරවංශ උදය ගම්මන්පිල වාසුදේව නානායක්කාර මෛත්‍රිපාල සිරිසේන ඇතුළු ආණ්ඩුවේ 2/3 බලය තහවුරු කළ සියලුම මන්ත්‍රීවරුන් වගකිව යුතුය.

විපක්ෂයේ නායකවරයා හා අනෙකුත් සියලුම විපක්ෂයේ මන්ත්‍රීවරු ආණ්ඩුවේ දුර්දාන්තය පාලනය හා එහි අඥාන බව පෙන්වාදීමට දිගින් දිගටම කටයුතු කළ බවත් අවශ්‍ය විකල්ප විසඳුම් ඉදිරිපත් කළ බවත් රහසක් නොවේ. ඒ අවස්ථාවේදී අපට ඔබලාගේ උපදෙස් ඕනේ නෑ අපි දන්නවා කරන්න ඕන දේ වැනි ප්‍රකාශ කරමින් අහංකාරත්වය හා මෝඩකම ප්‍රදර්ශනය කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු පාලක රැල ජනතාව තමන්ගේ නිවාස වට කරන විට විපක්ෂයට පාලනය භාරගන්නා ලෙස ආරාධනය කරයි. ඊනියා අන්තර්වාර ආණ්ඩු ගුන්ඩු ඉදිරිපත් කරයි. තමන්ගේ නොහැකියාව සහ තම මෝඩ සහ අමනෝඥ තීරණවල ඵලවිපාක විපක්ෂය මත පැටවීමට ක්‍රියා කරයි. යෝජිත අන්තර්වාර ආණ්ඩුව මා දකින්නේ විපක්ෂය දේශපාලනිකව විනාශ කිරීමට රාජපක්ෂවරු සහ රනිල් වික්‍රමසිංහ එකතු වී ඇට වූ උගුලක් ලෙසය.

රාජපක්ෂවරු සේදීම

උද්ඝෝෂකයන් ආණ්ඩුවේ මෙම ගැටය තේරුම් ගත යුතුයි. ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට එල්ල වන චෝදනා සමස්ත පාර්ලිමේන්තුව දෙසට හරවා තමන් ගැළවී යෑමේ කුමන්ත්‍රණය මේ තුළ සඟවා ඇත. උද්ඝෝෂකයන් තේරුම්ගත යුතු අනෙක් කරුණ වන්නේ සියලුම පක්ෂවලට අයත් පිරිස් අද මහ පාරට පැමිණ ඇති බවයි. පොදුවේ ආණ්ඩුවට විරුද්ධව ඔවුන් අද එක මතයක සිටිය ද දේශපාලන තේරීම කිරීමට ඇති අවස්ථාවේ දී ඔවුන් වෙන්ව යනු ඇත. අද වන විට උග්‍ර අපේක්ෂා භංගත්වයකට පත්ව ඇති රාජපක්ෂවාදීන් රාජපක්ෂවරුන්ට සිදුවන හානිය අවම කිරීමට උත්සාහ කරයි. ඒ සියලු දේශපාලකයන් හා දේශපාලන මතධාරීන් එකම ගොඩකට දමා අතුගා දැමීමට සූදානම් වීමෙනි. ජනාධිපති ඇතුළු 225ම එපා නම් අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරන්නේ නම් රටෙහි පාලනය තහවුරු කරන ක්‍රමවේදය කුමක්ද? අරාබි වසංගතය ද රතු විප්ලවය ද හමුදා කුමන්ත්‍රණය ද යන්න අපට තෝරා ගැනීමට සිදු වන්නේය. එසේ පත්වන පාලකයන් ද මෙම වැරුද්දම නැවතත් කරන්නේ නම් ඊළඟ විකල්පය කුමක් ද? නැවතත් වසංගතය ද විප්ලවය ද මිලිටරි ජුන්ටාව ද? උද්ඝෝෂණ විරෝධතා ලේ වැගිරීම් මැද රටකට අයාලේ ගිය නොහැක. විශේෂයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ශක්තිමත් ලංකාව වැනි රටක ජනතාවට එසේ සිතීමටවත් නොහැකිය. මෙම ගැටලුවට විසඳුම මෙරට ව්‍යවස්ථාව තුළින්ම සොයාගැනීම අවශ්‍ය වේ. එහිදී විපක්ෂයට වඩා වත්මන් පාලකයාට හා පාලනයට වඩාත් අවංක හා ඵලදායි විකල්ප වැඩසටහනක් ඉදිරිපත් කිරීමට සිදු වේ. එය බංග්ලාදේශයේ සිදු කළ හැකි නම් පාකිස්තානයේ සිදු කළ හැකි ලංකාවේ නොහැකි වීමට හේතුවක් නොමැත.

සැබෑ භාරකාර ආණ්ඩුවක්

මා දකින ආකාරයට අපට දැන් අවශ්‍ය වන්නේ ගෝඨාභය රාජපක්ෂ යටතේ ක්‍රියාත්මක වන ඊනියා අන්තර්වාර පාලනයක් නොවේ. එයට හේතුව 2/3ට අධික බලයක් සහිතව අසාර්ථක වූ ජනාධිපතිවරයාගේ වැඩසටහන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුළුතර ආණ්ඩුවකින් කෙසේවත් සාර්ථකත්වයට පත් කර ගත නොහැක. එමෙන් ම පසුගිය කාලය පුරාවට ජනාධිපතිවරයා ගත් අඥාන තීරණ නැවත හරවන්නේ නොමැතිව ආර්ථිකය නැවත ගොඩනැගීමට නොහැක. පොහොට්ටුවේ පිරිස් දැන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කරති. මන්ත්‍රීවරු 150කට අධික සංඛ්‍යාවක් තමන් භාරයේ සිටිය දී මන්ත්‍රීවරු 50ක් පමණ සිටින සජිත් ප්‍රේමදාසට ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කිරීම විහිළුවකි. දැනට ස්වාධීන යැයි කියන මන්ත්‍රීවරු ඇත්ත වශයෙන්ම ස්වාධීන ද? මා දකින විදිහට ඔවුන් මේ සිදු කරමින් සිටින්නේ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය උරා ගැනීමකි. රට ගැන ජනතාව ගැන සිතා ස්වාධීන වූ චන්දිම වීරක්කොඩි අනුර ප්‍රියදර්ශන යාපා වැනි කිහිප දෙනකු ඒ අතර සිටිය හැකිය. නමුත් බොහෝ දෙනකු ස්වාධීන වී ඇත්තේ තම පෞද්ගලික ලාභ අපේක්ෂාවන් මුල් කරගෙනය. එය කොමිස් ප්‍රශ්නයක් විය හැකිය. ඇමැති තනතුරු විය හැකිය. අගමැති ධුරය විය හැකිය. මොවුන්ගේ ස්වාධීන බව රඳා පවතින්නේ පවතින ආණ්ඩුවට බලය අහිමිවීමේ දැඩි තර්ජනයක් නිර්මාණය වන තුරු පමණි.

යෝජිත අන්තර්වාර ආණ්ඩුව සජිත් ප්‍රේමදාස දේශපාලනිකව අනාථ කිරීමට ඇටවූ උගුලක් වශයෙන් මා දකින්නේ ඒ නිසයි. තනතුරු බල තණ්හාවෙන් මෙම අවස්ථාවේ කඩාහැළෙන ආණ්ඩුවට මුක්කු ගැසීමට සූදානම් නොවීමට සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා ගත් තීරණය අතිශයින්ම නිවැරදිය. අගය කළ යුතුය. තමන්ට පාලනය ගෙන යෑමට නොහැකි නම් පැලැස්තර විකාර අන්තර්වාර ආණ්ඩු හැදීම නොව අපක්ෂපාත භාරකාර රජයකට රට භාර දී ජනාධිපතිවරයා ධුරයෙන් නික්ම යෑම ජාතික අවශ්‍යතාවකි. ජනතාව ඉල්ලා සිටින්නේ එයයි. තනතුරු තණ්හාවෙන් ආණ්ඩුව නමැති ගිළෙන බෝට්ටුවට පැන රටේ ආර්ථිකය ගොඩදැමීමට වඩා තමා ගොඩ යාම යෝග්‍යය යැයි සිතන පිරිස්වලට මෙම යෝජනාව ආකර්ෂණයක් විය හැකිය. නමුත් ජනතා විශ්වාසය පළුදු වූ ආණ්ඩුවක් සමඟ ආර්ථිකය ගොඩනැගීම අතිශය දුෂ්කර බව අවබෝධ කරගැනීමට වත්මන් විපක්ෂ නායකවරයා පරිණත වී ඇත.

මහාචාර්ය ආනන්ද ජයවික්‍රම
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
 

සාකච්ඡා කොට සකස් කළේ
සමන්ති වීරසේකර






 

advertistmentadvertistment
advertistmentadvertistment