225 ටම පාර්ලිමේන්තු වරප්‍රසාද සහ නිවන් සුව!

830

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හෝ පොදුවේ පාර්ලිමේන්තුවට අපහාස කළ පුද්ගලයකුට පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත යටතේ දඬුවම් කිරීමේ බලය පාර්ලිමේන්තුවට සහ රටේ ඉහළම උසාවියට ඇත.

පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කළ බවට වරදකරුවකු වන පුද්ගලයෙකුට පාර්ලිමේන්තු බලය යටතේ අවවාද කිරීමට හෝ මාස 6 ක් පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කිරීමේ බලය ද පාර්ලිමේන්තුවට ඇත.

යම් වරදක් සිදුවී ඇති බව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින් තීරණය කළහොත්, එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ හැකිය. ඒ අනුව ඊට වරදකරු වුවහොත් වසර දෙකකට නොවැඩි සිර දඬුවමකට හෝ දඩ මුදලකට ද නොඑසේ නම් මෙම දෙකටම ද යටත් කළ හැකිය. මෙම තත්ත්වය අවධාරණය කළේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂය. අධිකරණ අමාත්‍යවරයා වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයකු වන ඔහු අදාළ කාරක සභාවේ සභාපතිවරයාය.

පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු කාරණා ඉස්මතුවන්නේ මුහුණු පොත හරහා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය නියෝජනය කරන ආර්. සම්පන්දන්ට අපහස කළ බවට යෝහරාසා ශාන්තිරකුමාර් නමැති පුද්ගලයකු අදාළ කාරක සභාව ඉදිරියේ වරද පිළිගත් අවස්ථාවේදීය. ඒ ඔක්තෝබර් මාසයේ 4 වැනිදාය. සම්පන්දන්ට අපහස කළ බවට යෝහරාසා ශාන්තිරකුමාර් චෝදනා නැඟුවේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාය.

පොහොට්ටු පක්ෂයේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ‘මැතිසබේ කැන්ටිමේ දියර කිරි හිඟවී මන්ත්‍රීවරු යකා නටති’ යන සිරස්තලය යටතේ 2022 මාර්තු 09 දින එම පුවත්පතේ පළ කළ ප්‍රවෘත්තියක් නිසා මන්ත්‍රී වරප්‍රසාද කඩකළ බව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට පැමිණිලි කර තිබිණි. එම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා අවධාරණය කළේ එම ජනමාධ්‍යවේදීන් දෙදෙනා සමස්ත පාර්ලිමේන්තුව සහ මන්ත්‍රීවරුන් කෙරෙහි මහජනතාව තුළ වෛරයක් ඇති වන ආකාරයට එම අසත්‍ය තොරතුර පළ කර තිබූ බවයි. ජනමාධ්‍යවේදීන් වරදකරුවන් ලෙස නිගමනය විය. එම ප්‍රවෘත්තිය අසත්‍ය බව ප්‍රකාශ කළ එම සභාවේ සභාපතිවරයා තවදුරටත් අවධාරණය කළේ අසත්‍ය තොරතුරු පළ කිරීමක් මගින් සමස්ත පාර්ලිමේන්තුවේම ගෞරවයට හානියක් සිදුවී ඇති බව පෙනී යන බවත්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ලෙස වඩාත් වගකීමෙන් යුතුව වාර්තාකරණයේ නියැළීමේ වගකීම සහ අවශ්‍යතාවයත්ය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් ලෙස සැප්තැම්බර් 21 දින විජයදාස රාජපක්ෂ (සභාපති), ඩිලාන් පෙරේරා, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, කබීර් හෂීම්, ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරල, කනක හේරත්, විජිත බේරුගොඩ, තාරක බාලසූරිය, අනුරාධ ජයරත්න, ජී. ජී. පොන්නම්බලම්, හේෂා විතානගේ, කෝකිලා ගුණවර්ධන, වීරසුමන වීරසිංහ සහ සමන්ප්‍රිය හේරත් පත්විය.

මහජන මුදල් සහ නීති සම්පාදනය සම්බන්ධයෙන් වගවිය යුතු වන්නේ පාර්ලිමේන්තුවයි. එබැවින් රට බංකොළොත් බවට ශ්‍රී ලංකා මහා බැංකුව පිළිගෙන ඇති තත්ත්වය තුළ, පාර්ලිමේන්තු වරප්‍රසාද එමෙන්ම වගකීම් පිළිබඳව නව සාකච්ඡාවක් අත්‍යවශ්‍යය. මෙහිදී අවධාරණය කළ යුතු වන්නේ ජනතා අවශ්‍යතා ඉටු කිරීමට පාර්ලිමේන්තුව අපොහොසත් වී ඇති මෙම අවස්ථාවේ සමස්ත පාර්ලිමේන්තු ක්‍රමයම පසු විපරමකට ලක්විය යුතු බවයි. පාර්ලිමේන්තුව අසමත් බව මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත ප්‍රකාශ කරන තත්ත්වයක් තුළ සමස්ත පාර්ලිමේන්තු ක්‍රමයම බරපතළ අර්බුදයක බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ද්‍රවිඩ ජාතික සංධානයේ නායක සම්පන්දන්ට අපහාස කිරීමේ චෝදනාවට ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ඉදිරියට ද්‍රවිඩ ජාතිකයකු කැඳවීමේ බලය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැත. නමුත් යම් මන්ත්‍රීවරයකු, මන්ත්‍රීවරු කණ්ඩායමක් හෝ පක්ෂයක් ජනතා අභිලාෂයන්ට එරෙහිව කටයුතු කරනවානම්, ජනතාවට හිමි අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා නම් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ඊට වහාම මැදිහත් විය යුතුය. පැමිණිල්ලක් ලැබෙන තුරු සිටීමේ අවශ්‍යතාවයක් නැත. බොහෝ උදාහරණ දිය හැක. නමුත් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේදී පසුගියදා අවධානයට ලක්වූයේ සම්පන්දන් හට මුහුණු පොත හරහා සිදුවූ අපහාස කිරීමේ සිද්ධිය නිසා ඔහු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කටයුතු කළ ආකාරය මතක් කර දිය යුතුය.

ත්‍රස්තවාදී ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස 2001 දී නම් කළේ සම්පන්දන්ය. ත්‍රස්තවාදීන්ගේ පූර්ණ සහයෝගයෙන් 2004 මහා මැතිවරණයේදී උතුරු – නැගෙනහිර පළාතේ ආසන 21 ජයග්‍රහණය කිරීමට ප්‍රභාකරන් සමග කල්ලිගත වූයේ නීතිඥයකු වූ සම්පන්දන් මය. එම ‘ගිවිසුම’ එම පළාතට තරග කළ සියලුම පක්ෂවලට විණ කළේය. ඊට පසු අවුරුද්දේ ජනාධිපතිවරණයේදී ද්‍රවිඩ කථාකරන ජනතාවට තම ඡන්දය පාවිච්චිය කිරීමේ අයිතිය අහිමි කළේ ද සම්පන්දන්මය. ඒ ප්‍රභාකරන් සමඟ සම්පන්දන් ඇති කර ගත් ‘ගිවිසුම’ අනුවය. රනිල් වික්‍රමසිංහ පරාජය කර මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරවීමේ කර අති විනාශකාරී හතරවන ඊළාම් යුද්ධයට මඟ කැපුවේද ප්‍රභාකරන් -සම්පන්දන් අවබෝධතාවයයි. එම ‘ගිවිසුම්’ පාර්ලිමේන්තුව එවකට නියෝජනය කළ සියලුම මහජන නියෝජිතයන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කළේය. එකෙකු කථා කළේ නැත. මිනීමරු කොටි සංවිධානය සමඟ යහන්ගත වූ සම්පන්දන්ට ත්‍රස්තවාදය පරාජය කර වසර හයකින් පසුව විපක්ෂ නායක ධුරය හිමිවිය.

ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සාමාජික ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේ සැබෑ තත්ත්වය පසුගියදා අවධාරණය කළේය. ඒ එම කාරක සභාව සමස්ත පාර්ලිමේන්තුවේ සහ විශේෂයෙන්ම සම්පන්දන් සහ පාඨලී චම්පික රණවක යන මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීම සම්බන්ධයෙන් යෝහරාසා ශාන්තිරකුමාර් යන පුද්ගලයාට සහ මාධ්‍යවේදීන් දෙදෙනකු සම්බන්ධයෙන් විමර්ශනය කළ දිනයේදීමය.

පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ජනතාවට කිසිදු විශ්වාසයක් නැති බව අවධාරණය කළ අලහප්පෙරුම මන්ත්‍රීවරයා පැවසුවේ ජනතාව මැති සභය නියෝජනය කරන 225 ටම නිවන් සුව ප්‍රාර්ථනා කරන බවයි. ඊට එහා දෙයක් කීමට අවශ්‍ය නැත. ජනතා විශ්වාසය පාර්ලිමේන්තුව කඩ නොකළ බවට ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ අනෙකුත් සාමාජිකයන්ට විශ්වාසයක් ඇතිනම් අනිවාර්යයෙන්ම අලහප්පෙරුම මන්ත්‍රීවරයාව ප්‍රශ්න කිරීමකට භාජනය කළ යුතුමය. ඇත්ත වශයෙන්ම එතුමා මාධ්‍යවේදීන්ගේ මිත්‍රයෙකි. නමුත් එතුමාම ප්‍රකාශ කර ඇති පරිදි ජනතාව නිවන් සුව ප්‍රාර්ථනා කරන 225 න් එකෙකි. අට වරක් පාර්ලිමේන්තුවට පත්වූ එතුමා මන්ත්‍රී වරප්‍රසාද අනුව තීරු බදු රහිත වාහන ආනයනය කළේ දෙවරක් පමණි. අතිශය දූෂිත ක්‍රමය තුළ එවැනි ආදර්ශයක් දුන් මන්ත්‍රීවරු ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර විය යුතුය. (ඔහු ජාතික ලැයිස්තුවෙන් 2005 සහ 2010 පාර්ලිමේන්තුවට පත් විය. හයවරක් ජනතා ඡන්දයෙන් ඉහළින්ම පත්විය). නමුත් ජනතාවට පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව කිසිදු විශ්වාසයක් නැති බව අලහප්පෙරුම මන්ත්‍රීවරයාට දැනුනේ කවදාද? යන ප්‍රශ්නය බැහැර කළ නොහැක. අනිවාර්යෙන්ම, ඒ එතුමා පළවාහැරිය ගෝඨාභය රාජපක්ෂට හිමි ජනාධිපති ධුරයේ ඉතිරි කාලය සඳහා විධායක පුටුවට එජාප නායක රනිල් වික්‍රමසිංහ ජුලි 20 වන දින පත්වීමට බොහෝ කලකට පෙර විය යුතුය.

අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඇතුළුව 13 දෙනාගේ කණ්ඩායම බරපතළ අතපසුවීමක් කළේය. එය අපරාධයක් කීවත් වරදක් නැත. අතිශය ආන්දෝලණාත්මක යුගදනවි ගිවිසුමට නැතහොත් පාවාදීමට එරෙහිව කැබිනට් අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංස සහ උදය ගම්මන්පිල පසුගිය වසරේ අග භාගයේ රටේ ඉහළම උසාවියට පැමිණිලි කළ අවස්ථාවේදී නිශ්ශබ්ධව සිටීමයි. ඒ අවස්ථාවේ අලහප්පෙරුම කැබිනට් අමත්‍යවරයෙකි. එම 13 දෙනාගේ කණ්ඩායමේ ප්‍රධානියකු වූ මහාචාර්ය ජී. එල්. පිරිස් ද කැබිනට් මණ්ඩලය නියෝජනය කළේය. එදා වාසු -විමල් -උදය පොහොට්ටු නායකත්වයට එරෙහිව ගත් නිර්භීත තීන්දුව සමඟ තව අමාත්‍යවරුන් සිට ගත්තානම් සමහර විට ගෝඨාභය රාජපක්ෂ තවමත් රටේ ජනාධිපතිය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ශ්‍රීලනිපය සමබන්ධයෙන් කීමට ඇත්තේද එයමය. කවුරු කවුරුත් තම තමන්ගේ වරප්‍රසාද පිළිබඳව උනන්දු වූවා මිස ජනතාවගේ අවශ්‍යතා සැලකුවේ නැත. පාර්ලිමේන්තු ක්‍රමයම වරප්‍රසාද මතම රැඳී පවතිනවාද යන ප්‍රශ්නය අවධාරණය කළ යුතුය. මහජන නියෝජිතයන්ගේ ආචාර ධර්ම සම්බන්ධයෙන් කතා කිරීම නිෂ්ඵල ක්‍රියාවකි. පාර්ලිමේන්තුවේ මූලික වගකීම් දෙක වන මහජන මුදල් සහ නීති සම්පාදනය පැහැර හැර ඇති බවට මහජන නියෝජිතයන්ගේ චෝදනාවට නිරන්තරයෙන්ම ලක්වන මැති සභය ජනතා අධිකරණය ඉදිරියට පැමිණවිය යුතුය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ අඩු වැඩි වශයෙන් වර්තමාන බංකොළොත්භාවයට වගකිව යුතුය. පාර්ලිමේන්තු ක්‍රමයේ අසාර්ථක සහ විනාශකාරීභාවය අගෝස්තු 31 දින කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ආරාධනයෙන් මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ නොවලහා පැවසීය. එතුමා පැවසූ ඉතාමත් අමිහිරි සත්‍ය ඇත්ත වශයෙන්ම ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ අවධානයට යොමු විය යුතුය. ඉතාමත් කෙටියෙන් කිවහොත් ආචාර්ය වීරසිංහ රට බංකොළොත් කළේ පක්ෂ දේශපාලන ක්‍රමය බව අවධාරණය කළේය. වර්තමාන තත්ත්වය යටතේවත් ඉටු කිරීමට නොහැකි පොරොන්දු ජනතාවට දෙන විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් නොකළහොත් ‘අරගලයට’ වඩා භයානක තත්ත්වයක් ඇතිවන බව අවධාරණය කළේය. රට ලේ වැගිරීමක් අභියස බව ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව මහා බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශය පිලිනොගන්නේ නම් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ඉදිරියට කැඳවිය යුතුය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඉදිරියේ ආචාර්ය වීරසිංහ පෙනී සිටියේ මැයි 25 දින පාර්ලිමේන්තුවේදීය. එම රැස්වීම එවකට සභාපති මහාචාර්ය චරිත හේරත්ගේ නායකත්වයෙන් පැවැත්විණි. ආර්ථිකය මෙහෙයවූ කිහිප දෙනා ශ්‍රී ලංකාව අදහාගත නොහැකි අර්බුදයකට පත්කිරීම අපරාධයක් බව සලකා කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ හේරත් මන්ත්‍රීවරයා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් දොට්ට දැම්මේය. නමුත් ආචාර්ය වීරසිංහ රට බංකොළොත් කළ ක්‍රියාවලියට සම්බන්ධ (පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ එයින් පිටත) සියලුම පුද්ගලයන් නම් කර ඇත. නමුත් පාර්ලිමේන්තුව නිහඬය. අවස්ථාවක් තිබුණා නම් මහා බැංකු අධිපතිවරයාවත් පළවා හරිනු ඇත. අවශ්‍යතාවයක් ඇතත් අවස්ථාවක් නැත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආර්ථික උපදේශක වූ ආචාර්ය පුංචි බණ්ඩා ජයසුන්දර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොසලකා කටයුතු කිරීම නිසා ඇතිවූ තත්ත්වය සහ එවකට මුදල් අමාත්‍ය (මහින්ද රාජපක්ෂ) සහ සමස්ත කැබිනට් මණ්ඩලය ක්‍රියාකළ වගකීම් විරහිත ආකාරය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඉදිරියේ තැබීය. නමුත් පාර්ලිමේන්තුව තවමත් නිහඬය. රජයේ මුදල් කාරක සභාව ඉදිරියේ ඊට පෙර දින ආචාර්ය වීරසිංහ ඉතාමත් බරපතළ චෝදනාවක් කළේය. එවකට එම කාරක සභාවේ සභාපතිත්වය දැරුවේ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාය. ආචාර්ය වීරසිංහ අවධාරණය කළේ පසුගිය කාලය තුළ අයවැය පිළියෙල කිරීමේදී ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම සැබෑ තත්ත්වයට එහා ගිය යථාර්ථවාදී නොවන ආදායමක් ලෙස ඉදිරිපත් කිරීම නිසා පාර්ලිමේන්තුව ද නොමඟ යෑම සිදුවූ බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය. මේ නිසා මෙම ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම මත පදනම්ව අමාත්‍යාංශ ඇතුළු වියදම් සඳහා ඉහළ මුදලක් වෙන් කිරීමත් අවසානයේ එම වියදම පියවාගත නොහැකිව ඉහළ අයවැය පරතරයක් ඇති වීමත් ණය උගුලක හිරවීමටත් මෙම තත්ත්වය හේතු වූ බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙම නොමඟ යැවීම සිතා මතා කළ අපරාධයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

අපරාධකරුවන් හෙළිදරව් වී ඇත. අමුතුවෙන් සෙවීමට කිසිවක් නැත. පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක, රජයේ මුදල් කාරක සභාව සහ මුදල් කාරක සභාව සහ විගණකාධිපති ඉදිරිපත් කර ඇති වාර්තා පාර්ලිමේන්තුවේ නිසි අවධානයට යොමු විය යුතුය. එම වාර්තා නීතිපතිවරයා වෙත යැවීමේ වගකීම වර්තමාන කථානායක මහින්ද යාපා අබේවර්ධන සතුය. ඒ එසේ වී ඇත්තේ ඔහුට පෙර සිටි කථානායකවරුන් තම තමන්ගේ වගකීම නිසිලෙස ඉටු නොකළ නිසා බව 2003 සිට 2013 දක්වා පාර්ලිමේන්තුවේ පාලන අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ලැසිල් ද සිල්වා මහතා මෙම ලියුම්කරු සමඟ පැවසීය. රට බංකොළොත් වනතුරුම සමස්තයක් ලෙස පාර්ලිමේන්තුව සහ විශේෂයෙන්ම කථානායකවරු අඩු වැඩි වශයෙන් තම තමන්ගේ වගකීම පැහැර හැරිය බව එතුමා අවධාරණය කළේය. පාර්ලිමේන්තුවේ දූෂණ සහ නාස්තිය සම්බන්ධයෙන් සිදු වූ හෙළිදරව්වක් සම්බන්ධයෙන් නැසීගිය කථානායකවරයකු වන ඩබ්ලිව්. ජේ. එම්. ලොකුබණ්ඩාර මැදිහත්වීමෙන් වැඩ තහනමකට ලක්වූ, ඊට එරෙහිව රටේ ඉහළම උසාවියට ගිය ලැසිල් ද සිල්වා එම නඩුවෙන් ජය ගත්තේය. නමුත් දූෂණයට සියල්ල යටවී ඇත. ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට ආචාර්ය වීරසිංහ සහ ලැසිල් ද සිල්වා කැඳවිය හැක. ජනතාවගේ වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමේ මූලික පියවර තැබිය හැක.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment