225 ම යවා ගෙන ආ යුත්තේ කුමක්ද?

452

මෙතෙක් බිත්තියේ පමණක් කොටා තිබූ සටහන් දැන් ඉන් ඔබ්බට ගොස්, ගාලු මුවදොර සිටින සාමකාමී විරෝධකරුවන් සහ මාර්ග දෙපස සිටින නිහඬ ජනතාව ප්‍රදර්ශනය කරන පුවරුවලද දක්නට තිබේ. එම පුවරුවල ලියැවී තිබූ පහත සඳහන් ‘සටන් පාඨ’, ජනතා ඉච්ඡාභංගත්වය, උද්වේගය සහ අපේක්ෂාවන් මැනවින් ග්‍රහණය කර ගැනීමට ප්‍රමාණවත් වේ.

“තීරකයින් නූගත් නම් උගත් ජනගහනයක ඇති ප්‍රයෝජනය කුමක්ද”;

“20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න” සහ “අයුක්තිය නීතියක් වන විට ප්‍රතිරෝධය රාජකාරියක් බවට පත් වේ”.

තවද, තම දෛනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අධික මිලකට හෝ මිල දී ගැනීමේ චේතනාවෙන් වංගු සහිත පෝලිම්වල සුසුම්ලමින් සිටින සෑම සමාජ තරාතිරමක්ම නියෝජනය කරන්නන්ගේ දෙතොල්වලින් මුමුණන්නේද එම පොදු ඉල්ලීම්මය! දැන් දැන් ‘225 දෙනාම චුත විය යුතුය’ යන ඒකමතික ඉල්ලීම උච්ච ස්ථානයකට පැමිණීම නිසා, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන’ සහ මැතිවරණ ප්‍රතිසංස්කරණ හරහා සුදුසු ‘පද්ධති වෙනස්වීම්’වල ක්ෂණික අවශ්‍යතාවයක් පැන නැගී ඇත. මේ සඳහා කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව විසින් වසර 2 කට පමණ පෙර පත් කරන ලද අදාළ කමිටුවල අවසන් වාර්තා ඉදිරිපත් කිරීමේ දිනයන් කිහිප වතාවක් දීර්ඝ කරමින් සිටින්නේ, දැන් ජනතා ශාපයට ලක්වී ඇති, ආත්මාර්ථකාමී දේශපාලන පක්ෂවලට සහ තම තමන්ගේ න්‍යාය පත්‍ර සහිත ඇතැම් සිවිල් සාමූහිකවලට පමණක් තවදුරටත් කන් දීම සඳහා බව දැනේ. එනිසා, දැන්වත් රටේ ඇතිවී තිබෙන තත්ත්වය දෙස අදාළ කමිටු සාමාජිකයන් ඇස් ඇර බැලුවහොත්, වත්මන් දේශපාලන පක්ෂවලින් තවදුරටත් අදහස් විමසීම හා සාකච්ඡා පැතීම, “හොරාගේ අම්මගෙන් පේන අහනවා” යැයි කියමනට ගැළපෙන නිෂ්ඵල ව්‍යායාමයක් බව තේරුම් යනු ඇත. කනගාටුදායක මෙන්ම හාස්‍යජනක කාරණය නම්, මෙම කමිටු විසින් මහජනතාවගෙන් යෝජනා ඉල්ලා සිටියද, රට වෙනුවෙන් වටිනා යෝජනා පැකේජයන් ඉදිරිපත් කළ කිසිදු ස්වෛරී ඡන්දදායකයෙකුට කන් දුන් බවක් නොපෙනේ.එබැවින්, රචකයා විසින් ස්වෛරී ඡන්දදායකයකු ලෙස වසරකට පෙර ඉහත කී කමිටුවලට මෙන්ම ජාතික මැතිවරණ කොමිසම (භෑක්‍) සහ ඡන්ද දායකයින් වෙනුවෙන් කැප වූ සංවිධාන/ක්‍රියාකාරීන් වෙත ඉදිරිපත් කරන ලද ‘පද්ධති වෙනස්වීම්’ පැකේජයේ සාරාංශයක් සහ ඒවායේ ප්‍රතිලාභ, දැඩි ඉච්ඡා භංගත්වයකට පත්ව ඇති සමස්ත ස්වෛරී ඡන්දදායකයින් සහ නව තරුණ පරපුර සමග බෙදා ගැනීම දැන් වඩාත් කාලෝචිත හෙයින් මෙසේ නැවත දැනුවත් කරමි.

මහ මැතිවරණයකට පෙර කළ යුතු ක්ෂණික පද්ධති වෙනස්වීම් පැකේජයක
1. 1948 හි අත්සන් කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී මහ මැතිවරණයක මූලික අරමුණ වියයුත්තේ, ජාතික පාර්ලිමේන්තුවේ සීමාසහිත ආසන සංඛ්‍යාවක් සඳහා හිමිකම් ලබන පක්ෂවලට ලබා දී ඇති සෑම වලංගු ඡන්දයකටම සමාන වටිනාකමක් ලැබෙන පරිදි, නිවැරදිව ආසන ගණනය කර පිරිසිඳු ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීමයි. එම අරමුණ ඉටුකිරීම සඳහා, පළමුව මුළු රටමිඑක මැතිවරණ කොට්ඨාශයක් ලෙස සැලකිය යුතුය. ඉන්පසුව, ආසනවලට හිමිකම් නොලබන අන් අය (OTHERS) යටතේ වර්ගීකරණය කර ඇති මුළු ඡන්ද සංඛ්‍යාව අතහැර ලැබෙන, ශුද්ධ-ජාතික වලංගු ඡන්ද එකතුව (උදාහරණයක් ලෙස පහත දක්වා ඇති වගුවෙහි තීරු අංක 2 හි උප-එකතුව) එල්ලේ අදාළ පක්ෂ විසින් ලබාගත් ජාතික ඡන්ද % ගණනය කර (තීරු අංක 8), ඒ % අනුව පාර්ලිමේන්තුවේ ආසන 225 (196+29)අදාළ පක්ෂවලට හිමි කර දිය යුතුව තිබිණ. (තීරු අංක 9,10,11). ඉන්පසුව, දිස්ත්‍රික්/ මැතිවරණ කොට්ඨාස මන්ත්‍රීවරුන් පත් කිරීම සඳහා, අදාළ පක්ෂ විසින් ජාතික වශයෙන් ලබාගත් ආසන සංඛ්‍යාව, තම දිස්ත්‍රික්/මැතිවරණ කොට්ඨාස ඡන්ද % අනුව වෙන් කර අදාළ කුසලතා ලැයිස්තු තුළින් මන්ත්‍රීන් නම් කළ යුතුය. ප්‍රකාශයට පත් කළ නිල ආසන සංඛ්‍යාව (තීරු අංක 6), නිල ජාතික % අනුව ලැබෙන නිල ආසන සංඛ්‍යාව (තීරු අංක 7) හා නිවැරදිව හිමි විය යුතු ආසන සංඛ්‍යාව (තීරු අංක 11) අතර ඇති වෙනස්කම් වගුවෙන් පැහැදිලිව දැකිය හැක. මෙම විකෘතිය මතුව ඇත්තේ අ) රටපුරා මැතිවරණයක් සඳහා දිස්ත්‍රික් පදනමින් කලින් තීරණය කළ ආසන සංඛ්‍යාවක් නියම කිරීම, ආ) කිසිදු ඡන්ද පිටුබලයකින් තොරව ප්‍රසාද ආසන 22ක් මැවීම සහ ඇ.) දිස්ත්‍රික් මට්ටමින් අවම 5% ඡන්ද අවශ්‍යතාවය පැනවීම හේතුවෙන් වලංගු ජාතික ඡන්ද විශාල සංඛ්‍යාවක් කුණු කූඩයට යැවීම නිසාය.1978 පෙර පැවති වෙස්ට්මිනිස්ටර් (EPP) ක්‍රමයේ මැතිවරණ කොට්ඨාස 160 ක් සඳහා ආසන පැනවීමෙන් ලැබෙන ප්‍රතිඵලය තීරු අංක 12 න් පෙනෙන අතර එය වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට කෙතරම් ගැලපේදැයි තීරණය කිරීම කියවන්නාට භාර කරමි.

ප්‍රතිලාභ: I ) උතුර, දකුණ, නැඟෙනහිර සහ බටහිර සෑම වලංගු ඡන්දයකටම ‘සමාන වටිනාකමක්’ ලබා දීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ මූලික මානව හිමිකමක් සහතික කරයි.

II) ප්‍රජාතන්ත්‍රවාදීව, නිවැරදිව සහ විනිවිදභාවයෙන් පාර්ලිමේන්තුවට ආසන වෙන් කිරීම හේතුවෙන්, ක්‍රමය කෙරෙහි ඡන්දදායකයින්ගේ විශ්වාසය ඉහළ නංවයි.

III) ජාතික මට්ටමින් ‘ශ්‍රී ලාංකීය’ බව ගොඩනැගෙයි.

225 ම යවා ගෙන ආ යුත්තේ කුමක්ද?


2. මහ මැතිවරණයක ද්විතීයික අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා, පළමුව, ආසන 225 සඳහා සුදුසු දේශපාලන වෘත්තිකයන් තෝරා ගැනීමට මග පාදනු වස්, කුප්‍රකට, විකල්ප මනාප ඡන්ද යාන්ත්‍රණය අවලංගු කරන්න.

ප්‍රතිලාභ: I) මැතිවරණ ක්‍රියාවලිය ක්ෂණිකව ඉතා අර්ථවත් ලෙස සරලවී, ප්‍රචණ්ඩත්වයෙන් තොර වනු ඇත.

II) මැතිවරණ දෙපාර්තමේන්තුවේ බර පැන, කාලය සහ ශ්‍රමය විශාල ලෙස අඩුවේ.

III) ප්‍රධාන මැතිවරණ ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියට පෙර ප්‍රකාශ කළ හැක.

IV) සමස්ත මැතිවරණ ව්‍යායාමය පරිසර හා ජනතා හිතකාමී වනු ඇත.

3. දෙවනුව, ‘රට පළමුව’ යන ආකල්පය හා කුසලතා මත පමණක් පිහිටා, ජාතික පාර්ලිමේන්තුවේ ප්‍රධාන අරමුණු සාක්ෂාත් කර ගැනීමට කැපවී සිටින අවංක ‘දේශපාලන වෘත්තිකයින්’ 225ක් මිලියන 16.3 කට වැඩි ස්වෛරී ඡන්ද දායකයින් පිරිසක් නියෝජනය කිරීම සඳහා තෝරා ගැනීම සහතික කිරීමට, NECවිසින්, (කලින් කලට වෙනස්විය හැකි) අනිවාර්ය අවම අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් නිර්ණායකයන් සමග ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ක්‍රමයක් නියම කළ යුතුය. එවැනි අවසානයක් කරා,

I) නිශ්චිත අවම අධ්‍යාපනික,වෘත්තීය සහ වෙනත් සුදුසුකම් නිර්ණායක (වයස් සීමාව, සෞඛ්‍ය තත්ත්වය, වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම යනාදිය) සහ ඉහළ අවංකභාවය, විශ්ලේෂණාත්මක හැකියාව, නායකත්වය, සන්නිවේදන කුසලතා, සමාජ අනුබද්ධතාවය සහ සමස්ත යෝග්‍යතාවය වැනි ගුණාංග තක්සේරු කර ලකුණු ලබාදෙන නිර්ණායක ඇතුළත් ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ක්‍රමයක් පිළිබඳව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 වැනි වගන්තියේ ඇති සරල ‘ඡන්දදායක’ අවශ්‍යතාවයට අමතරව සඳහන් කළ යුතුය.

II) කාන්තා මන්ත්‍රීන්ගේ 25% අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා NECවිසින් විශේෂ පූර්ව සම්මුඛ පරීක්ෂණ ලකුණු නියම කළ යුතුය. (කරුණාකර පහත අයිතම 4 බලන්න.)

III) ජාතික පාර්ලිමේන්තුවේ ප්‍රධාන අරමුණු වන්නේ නීති/ ප්‍රතිපත්ති සැකසීම සහ අනුමත කිරීම, ජාතික මුදල් පාලනය සහ ජාතික / විමධ්‍යගත අයවැය අනුමත කිරීම යනාදිය වන බැවින්, නීතිඥයින්, ගණකාධිකාරීවරුන්, ආර්ථික විද්‍යාඥයින් සහ ප්‍රඥාවන්ත, පළපුරුදු ‘දේශපාලන වෘත්තිකයන්’ කෙරෙහි සමස්ත අවධානය යොමුවිය යුතුය.

IV) සියලුම ලියාපදිංචි පක්ෂ ආයතනික මට්ටමේ සංවිධාන ලෙස ක්‍රියා කළ යුතු අතර සියලුම NECරෙගුලාසිවලට අනුකූල වන පරිදි ඔවුන්ගේ ව්‍යවස්ථාවන් සංශෝධනය කළ යුතුය.

ඉතිරි කොටස සෙනසුරාදා පත්‍රයේ පළවේ.

බර්නාඩ් ප්‍රනාන්දු

හිටපු නියෝජ්‍ය මහා කළමනාකරු – ලංකා බැංකුව
[email protected]














 

advertistmentadvertistment
advertistmentadvertistment