225 ම එපාද… හෙට රට භාර දෙන්නේ කාටද?

79

පසුගිය කාලයේදී මේ රටේ තෙල් පෝලිම් ඇතිවුණා. පැය 10 ක් 12 ක් විදුලිය කපන්න පටන් ගත්තා. මේ නිසා ජනතාවගේ එදිනෙදා ජීවිතය කඩා වැටුණා. තරුණ ප්‍රජාව මීට එරෙහිව අහිංසක අරගලයක් දියත් කළා. රටේ වෙනසක් ඉල්ලා ඔවුන් කළ අරගලය සාධාරණයි. එය අපි පිළිගන්නවා. තරුණ තරුණියන් දහසකින් පමණ ආරම්භ කළ අරගලය ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ අරගලයක් බවට පත්වූයේ සමාජ මාධ්‍ය හරහායි. අරගලයට සම්බන්ධ වූ තරුණයන් සමඟ මේ රටේ නිර්පාක්‍ෂික ජනතාව එය ආදරයෙන් වැළඳගත්තා. නමුත් සමහරු දේශපාලන වාසි තකා මෙම අරගලයට එකවීම නිසා ඊට විෂ ඇතුළු වුණා. විවිධ කණ්ඩායම් තම පටු අරමුණු ඔස්සේ අරගලයට එක්වීම නිසා තරුණ අරගලයේ සුජාතභාවය නැති වුණා. කොටින්ම තරුණ ප්‍රජාවේ අරමුණු ඇතැම් අවස්ථාවාදී කණ්ඩායම් හා පටු දේශපාලන අරමුණු සහිත දේශපාලන කණ්ඩායම් අවභාවිතා කරනු ලැබුවා. එහි අවසන් ප්‍රතිඵලය වූයේ රටට වෙනසක් ඉල්ලා කළ තරුණ අරගලය දියාරු වීම පමණයි.

අරගලයත් සමඟ සමාජ ගත වූ කාරණයක් වූයේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනාම එපා කියලයි. නමුත් මෙම 225 දෙනා පාර්ලිමේන්තුවට යැව්වේ කවුද? මේ රටේ ජනතාවයි. ඒ අතර තරුණ ප්‍රජාවත් සිටිනවා. ඒ නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයන් පත්කිරීමේදී මේ රටේ තරුණ, මහලු ඇතුලු සියලුදෙනා වගකීමකින් තම ඡන්දය භාවිතා කළ යුතුයි. රටට වග කියන, ජනතාවට වගකියන, දූෂණයෙන් තොර, වංචාවෙන් තොර ජනතා නියෝජිතයන් පත්කර ගැනීමේ වගකීම ඇත්තේ මේ රටේ ජනතාවටයි. එම වගකීම ඉටුනොකර තමන් රැවටුණා කියන පදනමේ සිට ජනතා නියෝජිතයන්ට දෙස් දෙවොල් තැබීමෙන් පලක් නැහැ.

මේ රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ කාලයක් තිස්සේ කරන දෙයක් තමයි ඡන්දෙ කාලයට ජනතාවට යම් යම් දේවල් ලබාදීම. සෙවිළි තහඩු, වැසිකිළි පෝච්චි, සිමෙන්ති කොට්ට, මහන මැෂින් ඇතුළු විවිධ දේ ඒ අතර වෙනවා. අද මේ වැඩේ අප රටේ සමහර සුළු පක්‍ෂත් කරනවා. නමුත් නගර සභාවක්වත් නියෝජනය නොකරන මම සෑහෙන කාලයක සිට ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් වැඩකටයුතු කරනවා. ඒ අතර පාරවල් 5 ක් කොන්ක්‍රීට් කරලා තිබෙනවා. දුප්පත් ජනතාවට ගෙවල් 3 ක් සාදා තිබෙනවා. ඊට අමතරව වියළි සලාක බෙදා දීම, පොත්පත් බෙදා දීම ආදියද ඇතුළත්. මම ජනතාව වෙනුවෙන් මේ දේවල් කළේ ජනතාවගෙන් කිසිම දෙයක් අපේක්‍ෂාවෙන් තොරවයි. එනිසා ජනතාවට වගකීමක් තියෙනවා අප මොන දේ ලබාදුන්නත් අප ප්‍රතිපත්ති ගරුක නැත්නම්, සැබෑ ජනතා නියෝජිතයකුගේ භූමිකාව නිරූපණය නොකරයි නම් අපව ප්‍රතික්‍ෂේප කිරීමට. එම නිසා රටේ හෙට දවස වෙනුවෙන්, රටේ සම්පත් සොරා කන්නේ නැති මහජන නියෝජිතයන් පත්කිරීම ජනතාවගේ වගකීමක්.

අරගලයත් සමඟ ක්‍රියාත්මක වූ සමාජ මාධ්‍ය මම හොඳින් විශ්ලේෂණය කළා. සමහරුන් තදබල ලෙස විවේචන එල්ල කරමින් පාර්ලිමේන්තුවේ සිටින මහල්ලන් පන්නා දැමිය යුතු යැයි ප්‍රකාශ කළා. වෛරයෙන්, ද්වේශයෙන්, ක්‍රෝධයෙන් යුතුව මුහුණු පොතෙහි සමහර අය තබා ඇති සටහන් කොහෙත්ම පිළිගන්න බැහැ. තමන් අකමැති අපේක්‍ෂයකු තරුණ වේවා, මහලු වේවා, ඊළඟ ඡන්දයකදී ප්‍රතික්‍ෂේප කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා. එහෙත් වැඩිහිටියන්ට ගරු නොකරන වෛරී සමාජයකින් අපට සැබෑ දේශපාලන වෙනසක් අපේක්‍ෂා කළ හැකිද? විශේෂයෙන් වැඩිහිටියන්ට ගරු නොකරන තරුණ පරම්පරාවකින් අපට යහපත් දේශයක් නිර්මාණය කළ හැකිද? කිසිදු ආගමකින් එකිනෙකාට ගරු කරන සමාජයක් මිස එකිනෙකා ගරහන සමාජයක් අපේක්‍ෂා කරන්නේ නැහැ. එනිසා මෙම ක්‍රමය වෙනස් කිරීමේ, එසේ නොමැති නම් තරුණයන් ඉල්ලන ක්‍රමයේ මූලික පදනම සකස් විය යුත්තේ පළමුව තමන් තුළයි. වැඩිහිටියන්ට ගරු කරන, සමාජයට ආදරය කරන, රටේ සම්පත් සොරා නොකන ජනතා සේවය වෙනුවෙන් කැපවුණු, මහත්මා දේශපාලනයේ නිරතවීමට සූදානම් මානවහිතවාදී තාරුණයකුට පමණයි මේ රටේ සැබෑ වෙනසක් කළ හැක්කේ.

පසුගිය කාලපරිච්ඡේදය නිරීක්‍ෂණය කිරීමේදී මා අත්දුටු අනෙක් ප්‍රධානම කාරණය තමයි ජාතිවාදය, ආගම්වාදය මුල්කරගෙන දේශපාලනය කිරීම. මම හොඳ සිංහල බෞද්ධයෙක්. නමුත් මාගේ මිත්‍රයෙක් සිටීමට පුළුවන් හොඳ ගුණගරුක සමාජයට ආදරය කරන මුස්ලිම් සහෝදරයෙක්. එසේත් නොමැති නම් දමිළ සහෝදරයෙක්. මේ සියලු දෙනා තමන්ට හිමි ආගම් වැළඳගන්නේ තමන්ගේ දෙමාපියන් එම ආගම ඇදහූ නිසයි. එනිසා මේ මොහොතේදී අප තේරුම් ගත යුතු දේ තමයි තවදුරටත් ජාතිවාදය හෝ ආගම්වාදය නොව අප රටට අවශ්‍ය මානව ප්‍රේමයෙන් සන්නද්ධ පරම්පරාවක්. ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් ඔද්දල් නොවුණු සැබෑ එවැනි පරම්පරාවකට පමණයි අප රට මේ වැටී ඇති අර්බුදයෙන් ගොඩගත හැක්කේ.

මෙහිදී මතක් කළ යුතු අනෙක් ප්‍රධාන කාරණය වන්නේ පොරොන්දු දේශපාලනයයි. පොරොන්දු දේශපාලනයෙන් අප රටේ ජනතාව රවටන යුගය අවසන් කළ යුතුයි. ජනතාවට දහසක් පොරොන්දු ලබා දී ඒ එකක්වත් ඉටු නොකර තම පරම්පරාව පෝෂණය කරන දේශපාලන කේවට්ටයන්ගේ වහසි බස්වලට අප රටේ ජනතාව තවදුරටත් රැවටෙයි කියා අපි විශ්වාස කරන්නේ නැහැ. දේශපාලනඥයන් පොරොන්දු දුන් පමණින් ඒවා විශ්වාස නොකර, ඒවා පිළිබඳ කිරාමැන, ගැඹුරින් විශ්ලේෂණය කර නිවැරදි දේ තේරුම් ගැනීම ජනතාවගේ වගකීමක්. මෙහිදී දේශපාලනඥයන් ද තේරුම් ගත යුතු සත්‍යයක් තියෙනවා. මිනිසත් බව ලැබූ අපගේ ජීවිතය ඉතා කෙටියි. එම කෙටි කාලය තුළ තමන්ගේ හත්මුතු පරම්පරාවකට ජනතා දේපළ කොල්ලකා ගොඩනගා ගන්නා වත්කම්වලින් ඔබේ ඊළඟ ආත්මය සුවපත් වන්නේ නැහැ. නමුත් ඔබට සැබෑ ලෙසම මේ රටේ ජනතාවට සේවයක් කර මියයා හැකි නම් ඔබේ මහත්මා දේශපාලනයේ මතකය අප රටේ ජනතාවගේ හදවත් තුළ සැමදා පවතිනු ඇත. එවන් මානවවාදී දේශපාලනයක නිරතවීමට සූදානම් පරම්පරාවකට හෙට මෙම රට භාරදිය යුතුය.

225 ම එපාද… හෙට රට භාර දෙන්නේ කාටද?
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ
කොළඹ දිස්ත්‍රික් සංවිධායක
භාතිය අනුරුද්ධ
advertistmentadvertistment
advertistmentadvertistment