23 න් පහළ අවසන් සටන අද සහ හෙට

86

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය මුවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අද ( 21 වැනිදා) සහ හෙට (22 වැනිදා ) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කණ්ඩායම් 24ක් අතරේ පැවැති තරගාවලියේ අවසන් පූර්ව වටයේදී මුවර්ස් ක්‍රීඩා සමාජය හා රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ ලකුණු අනුව පිළිවෙලින් එස්එස්සී පිල හා ටැමිල් යුනියන් පිල පරාජය කොට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

මෙහිදී ‘සී’ කාණ්ඩයෙන් තරග වැදි මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු වටයේ තරග 4 කදී එක් පූර්ණ ජයක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 3 ක් සමග අවසන් පූර්ව වටයට පිවිසි අතර, ‘ඩී’ කාණ්ඩය යටතේ තරග වැදි රාගම ක්‍රීඩා සමාජය මූලික වටයේ තරග 5 කදී පූර්ණ ජයග්‍රහණ 2 ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 2 ක් සමඟ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. තරගාවලියේ ශූරතාව සඳහා ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ 5 ක මුදලක්ද අනුශූරයන් සඳහා රුපියල් ලක්ෂ 3 ක මුදලක්ද පිරිනැමෙනු ඇත. මීට අමතරව තරගාවලියේ වීරයා සඳහා රුපියල් ලක්ෂයක මුදලක්, දක්ෂතම පිතිකරුවා සහ පන්දු යවන්නා සඳහා රුපියල් 75,000 බැගින් සහ අවසන් මහා තරගයේ වීරයා සඳහා රුපියල් 50,000 ක මුදලක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ.

මුවර්ස් ක්‍රීඩා සමාජ පිල – දිනුක දිල්ෂාන් (නායක), ජනිස්ක පෙරේරා, ඉම්තියාස් ස්ලාසා, ඔමේෂ් මෙන්ඩිස්, මොහොමඩ් සමාස්, ෂාකූර් රස්නි, රිසිර වීරසූරිය, රසීන් රමීන්, රසීන් රම්ලාන්, යසිත සමරරත්න, දේශාන් ගමගේ, සිසිත මදනායක, අබ්දූල් මජීඩ්, තේෂාන් විතූෂන්, උපේන්ද්‍ර වර්ණකුලසූරිය, රංජිත් කුමාර් නිව්ටන්, අශේන් සල්ගාදු, මොහොමඩ් යූසුප්, පැතුම් මලිත.

රාගම ක්‍රීඩා සමාජ පිල – ඩිලෝන් පීරිස් (නායක), කල්හාර සේනාරත්න, අශේන් ප්‍රනාන්දු, රන්මිත් ජයසේන, ශෂික දුල්ෂාන්, ඒෂාන් මාලිංග, යොහාන් ලියනගේ, චමත් ගෝමස්, ලකිදු සචින්, නිපුන් මාලිංග, තරූෂ් දමින්ද, උනෙත් පීරිස්, අවිෂ්ක තරිදු, දුලාජ් බණ්ඩාර, ළහිරු දෙවටගේ, නුෂාල් ධර්මරත්න, තෙවිදු දික්වැල්ල.

advertistmentadvertistment
advertistmentadvertistment