247,406 ක් තවමත් පීඩාවට

48

දිස්ත්‍රික්ක 13කට තවදුරටත් බලපා තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් හැටපන්දහස් හත්සිය හැත්තෑහතක පුද්ගලයන් දෙලක්ෂ හතළිස් හත්දහස් හාරසිය හයදෙනකු ඊයේ (05දා) සවස වනවිටත් පීඩාවට පත්ව සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පුද්ගල මියයෑම් 21ක්, පුද්ගල තුවාලවීම් 13ක්, අතුරුදන්වීම් 01ක්, පූර්ණ නිවාස හානි 41ක්, අර්ධ නිවාස හානි 3,887ක්ද වාර්තා වෙයි. පවුල් 4162 ක පුද්ගලයන් 15,735 දෙනකු ඥාති නිවාසවල සහ පවුල් 2592ක පුද්ගලයන් 10,820 දෙනකු ආරක්ෂිත ස්ථාන 151ක රඳවා ඇතැයි ද එම මධ්‍යස්ථානය පවසයි.

පීඩාවට පත්ව ඇත්තේ රත්නපුර, කොළඹ, ගාල්ල, කළුතර, ගම්පහ, හම්බන්තොට, මාතර, කුරුණෑගල, කෑගල්ල, පුත්තලම, ත්‍රිකුණාමලය, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ජනතාවයි. ගම්පහ පවුල් 19,860ක පුද්ගලයන් 80,411ක්, මාතර පවුල් 8718ක පුද්ගලයන් 32,554ක්, කොළඹ පවුල් 15,432ක පුද්ගලයන් 56,398ක් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවලට විටින් විට වර්ෂාව වාර්තා වුවත් අධික වර්ෂාවක් නොලැබීම නිසා ගංගාවල ජල මට්ටම යථාතත්ත්වයට පත්වෙමින් තිබෙන බවත්, ජලයෙන් යටව තිබූ ප්‍රදේශවල ජලය බැසයමින් පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

විශේෂයෙන් මේ ආපදා තත්ත්වයට යම්කිසි පිරිසක් පත්ව සිටී නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ‘117’ හදිසි අංකය අමතන ලෙස ඒ මහතා ඉල්ලා සිටී. එම අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවත් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රාජ්‍ය නිලධාරීන් ආපදා වාර්තාවන ප්‍රදේශවලට යොමු කර පීඩාවට පත් පිරිස බේරාගැනීමට සූදානම්ව සිටින බවත් ඔහු කීය.

අධික වර්ෂාවත් සමග නිල්, කළු, කැලණි, ගිං ගංගාවන් සහ අත්තනගලු ඔය පිටාර ගැලීම නිසා පහත් බිම් යට වී ජන ජීවිතයට විශාල ලෙස බලපෑම් සිදුවූවත් ඊයේ (05දා) වන විට එම ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම බැස යමින් තිබුණු බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එස්.පී.සී. සුගීෂ්වර මහතා පැවසීය. ගංගා පිරී ජලය පිටාර ගලා පහත් බිම් යට වුවත් එම ජලය බැසයෑම කානු මගින් සිදුවන නිසා පිරී තිබෙන ජලය බැස යෑමට කාලයක් ගතවන බවද ඔහු කීය.

මෙම ජලාශවල ජලය නැවත වැඩිවන බවට ඇතැම් පිරිස් ව්‍යාජ තොරතුරු පතුරවා හරින බවත් එවැනි අවදානමක් ඇතිවීමට නම් නැවත සැලකිය යුතු විශාල වර්ෂාපතනයක් ලැබිය යුතු බවත් ඔහු කීය. එවැනි තත්ත්වයක් ඉදිරි දිනවල ඇති නොවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ වන විට පුරෝකථනයක් කර තිබෙන නිසා ජනතාව අනවශ්‍ය බියක් ඇති නොකර ගතයුතු බව ද ඔහු කීය.

ජල ගැලීමෙන් සිදුවූ මරණවලින් වැඩි ප්‍රමාණයක් ජීවිත ආරක්ෂා කරගත හැකිව තිබූ බව මරණ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී පෙනී යන නිසා ජලය පිරී තිබෙන ගංගාවල සහ ඔයවල්වල දියනෑම, ක්‍රීඩා කිරීම වැනි දේවල් සිදු නොකරන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.

කැලණි ගඟ උතුරා යෑම නිසා කොළොන්නාව, කැලණිය, කඩුවෙල ඇතුළු අවට ප්‍රදේශද, නිල්වලා ගඟ පිටාර ගලා ගල් බැම්ම මතින් ජලය පිටාර ගැලුවත් ඊයේ (05දා) වන විට එම ගලායන ජල ප්‍රමාණය අඩුවී ජනතාවට ගල් බැම්ම මතින් ගමන් කිරීමට හැකි තත්ත්වයක් පැවති බවද ඔහු කීය. ගිං ගඟ පිටාර ගැලීම නිසා ගාල්ල සහ මාතර ප්‍රදේශවල පහත් බිම්ද, කළු ගඟ පිටාර ගැලීම නිසා කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, වලල්ලාවිට ඇතුළු අවට ප්‍රදේශවල පහත්බිම් සහ මාර්ග කිහිපයක් ඊයේ (05දා) දිනය තුළත් ජලයෙන් යටවී තිබූ බවද ඔහු කීය.

චමින්ද සිල්වා

මහ වැස්සෙන් පසු නාය යෑම් එනවා – මහාචාර්ය අතුල සේනාරත්න

247,406 ක් තවමත් පීඩාවට

මෙවැනි අධික වර්ෂාපතනයකින් පසු නායයෑම් තත්ත්වයන් ඇති විය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන ලෙස භූ ගර්භ හා භූවිද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

නාය යෑමක් සිදු වූ පසුව ඊට පිළියම් සොයනවාට වඩා නායයෑම් සිදුවීමට පෙර ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද නාය යෑම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය නිකුත් කරන නිවේදන පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන ලෙස ද මහාචාර්යවරයා මහජනතාවට දැනුම් දෙයි.

මිලි මීටර් 400 ක් තරම් වර්ෂාවක් ඇද හැලෙන්නට පෙර හඳුනාගැනීම සඳහා අති නවීන රේඩාර් පද්ධති අප සතු විය යුතු බවත් ඒවායෙහි අඩුවක් තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

මිලි මීටර් 400 ක් වැනි ලොකු වර්ෂාපතනයකදී වර්ග මීටරයකට ලැබෙන ජල ප්‍රමාණය සැලකීමේ දී ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට එය ලැබුණේ නම් සියලුම ජලාශ උතුරා ගොස් මහා ව්‍යසනයක් සිදුවීමට ඉඩ තිබූ බව ද හෙතෙම පැවසීය.

එවැනි ව්‍යසනයන්ගෙන් වැළැකීමට නම් වර්ෂාව සම්බන්ධයෙන් නිවැරදිම පුරෝකතන ලබා දීමට නවීන රේඩාර් පද්ධති තිබිය යුතු බව ද මහාචාර්යවරයා කියා සිටියේය.

අධික වියළි කාලගුණික තත්ත්වයත් සමග උණුසුම් වායු ධාරා මගින් ඉහළ අහසට ලොකු ජල කඳක් රැගෙන යන්නට ඇති බවත් එම ජල කඳ මෙලෙස මහා වර්ෂාපතනයක් ලෙස පොළොවට ඇද වැටුණ බවත් අධික වියළි කාලගුණ තත්ත්වයකින් පසුව එවැන්නක් සිදුවීම විශ්මයජනක නොමැති බවත් හෙතෙම කියා සිටියේය.

වර්තමානය වන විට මිනිසාගේ අනිසි ක්‍රියාකලාපයන් මත ජලය ගලා බැසීමට බාධක, අවහිරතා රැසක් ඇති බැවින් ගංවතුර තත්ත්වයක් ඇතිවීම පුදුමයක් නොවන බවද හෙතෙම කියා සිටියේය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment