2500 මැයි 23 (1956) 2568 මැයි 23 (2024)

සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙදහස් පන්සිය වසරක් ගතවීම නිමිත්තෙන් බුද්ධ ජයන්ති මහෝත්සවය 1956 මැයි 23 වැනිදාට යෙදුණු වෙසක් පුන් පොහෝ දින රට පුරා පැවැත්විණි. 2568 වෙසක් පුන් පොහොය ද යෙදී තිබුණේ මෙම වසරේ මැයි 23 වැනිදාවක වීම අපූර්ව සිදුවීමකි. එදින උදේ 5.30ට බුද්ධ ජයන්ති වර්ෂය උදාවෙත්දී එවක අගමැතිව සිටි ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා අරලියගහ මන්දිරයේ දී මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක් ද පිළිගැන්විය. බුද්ධ ජයන්ති වර්ෂය උදා වූයේ මැයි 23 වැනිදා ලක්‍ෂ සංඛ්‍යාත උවසු උවැසියන් අටසිල් සමාදන් කරවීමෙනි. සෑම බෞද්ධ නිවසකම ෂඩ් වර්ණ බෞද්ධ කොඩි ලෙළදෙමින් තිබිණි.

උදෑසන 6.30 සිට 6.35 දක්වා වූ මිනිත්තු පහක කාලය බෞද්ධ ජනතාව භාවනාවෙහි යෙදුණහ.

මෙම පිංකම්වලට සහභාගි වීම සඳහා රජයේ සම්භාවනීය අමුත්තන්, විදේශයන්ගෙන් මෙරටට පැමිණෙන ප්‍රභූන්, ලංකා බෞද්ධ මණ්ඩලයේ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

2500 සම්බුද්ධ ජයන්තිය එදා සැමරුව හැටි
1954 බුද්ධ ජයන්ති උත්සවය නිවේදනය මුල්ම රාජ්‍ය උත්සවය ඇරඹීමට පෙර එවක අගමැති සර් ජෝන් කොතලාවල බෞද්ධ ධජය එසවීම

බුද්ධ ජයන්ති වර්ෂය උදාවූ වෙසක් පුන් පොහොය ලැබුවේ රාත්‍රි 7.14ට ය. ඒ මොහොතේ රට පුරා සියලු වෙහෙර විහාරස්ථානවල ශබ්ද පූජාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

මෙම පිංකම්වලට සහභාගි වූ ජනයාගේ පහසුව තකා දුම්රිය සේවා වැඩිකර තිබිණි. ඒ අනුව දිනපතා විශේෂ දුම්රිය තුනක් කොළඹ සිට අනුරාධපුරය දක්වා ගමන් කළේය. පොහෝ දින හා ඊට පසුව රැය පහන්වන තුරුම කැලණියේ සිට මරදාන දක්වා දුම්රිය ධාවනය විය.

මෙම උත්සවයට සහභාගි වීමට පැමිණ සිටි විදේශීය අමුත්තන් විද්‍යෝදය, විද්‍යාලංකාර යන පරිවේණාධිපතින් වහන්සේලා ද ශ්‍රී ලංකා විද්‍යාලාධිපති වහන්සේ ද හමුවිය. එම අමුත්තන් වෙනුවෙන් එදින සවස 2.00ට කොළඹ නගරාධිපතිතුමන් විසින් කොළඹ නගර සභා ශාලාවේදී පිළිගැනීමේ උත්සවයක් පවත්වනු ලැබීය.

පිළිගැනීමේ උත්සවයෙන් පසු මෙම පිරිස දහවල් 2.30ට විශේෂයෙන් පිළියෙල කරනු ලැබූ පෙරහැරකින් කොළඹ නිදහස් චතුරස්‍රයේ රැස්වීම් ශාලාව වෙත කැඳවා ගෙන එනු ලැබීය.

එම උත්සවයේ වැඩකටයුතු ආරම්භ වන්නේ මල්වතු පාර්ශ්වයේ මහ නායක වැලිවිට අසරණ සරණ සරණංකර නාහිමියන් විසින් රැස්ව සිටි පිරිස පන්සිල් සමාදන් කරවීමෙනි.

මෙම උත්සවයට සමගාමීව මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ කොළඹ සිට මහනුවරට වැඩම කරවීමෙන් පසු පුරා දින පහක් ශ්‍රී දන්තධාතුන් වහන්සේ සහ එම ධාතුන් වහන්සේ ශ්‍රී දළදා මාලිගාවේදී ප්‍රදර්ශනය කළේය.

25 වැනිදා සවස 3.30ට මහනුවර පිටියේදී මල්වතු මහ නායක නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මහා සභාවක් පැවැත්විණි.

27, 28 හා 29 දිනවල සවස 5.30 සිට 7.00 දක්වා කොළඹ රාජකීය ශාලාවේදී විදේශීය බෞද්ධ අමුත්තන් ඉදිරිපිට පිළිවෙළින් පූජ්‍ය නාරද හිමියන්, මහාචාර්ය මලලසේකර මහතා, අගමැති බණ්ඩාරනායක මහතා බුදු සමය අලළා විශේෂ කතා 3ක් පැවැත් වූහ.

බුද්ධ ජයන්තිය වෙනුවෙන් ඉන්දියාවේද විශේෂ උත්සව පැවැත්විණි. විශාල බැතිමතුන් පිරිසක් ඊට සහභාගි වූහ.

බුද්ධ ජයන්තිය වෙනුවෙන් එක්සත් භික්‍ෂු පෙරමුණ නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්විණි.

2500 බුද්ධ ජයන්තිය ආරම්භ වූ මේ අවුරුද්ද තුළ බුද්ධාගමත්, සිංහල ජාතියත්, සිංහල භාෂාවත්, සිංහල සිරිත් විරිත් හා සිංහල අයිතියත් රැකගැනීමට අපේ බෞද්ධයන් හා භික්‍ෂූන් වහන්සේ විශේෂ ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ යුතුව තිබේ.

මෙම නිවේදනය සඳහා අත්සන් තබා ඇත්තේ තල්පාවිල ශීලවංශ, කැලෑපිටිමුල්ලේ සංඛපාල, මාපිටිගම බුද්ධරක්ඛිත හා හබන්පොල රතනසාර යන හිමිවරුන් විසිනි.

1956 දී එළඹෙන සම්බුද්ධ ජයන්තිය රට පුරා ආධ්‍යාත්මික ප්‍රබෝධයක් ඇති වන පරිදි සැමරීම ජාතියට සපථ කිරීමේ රාජ්‍ය මහෝත්සවය 1954 දී පවත්වනු ලැබුයේ එවකට අගමැතිව සිටි සර් ජෝන් කොතලාවල හා ත්‍රෛනිකායික පූජනීය මහා සංඝරත්නයේ සහභාගිත්වයෙනි.

2500 සම්බුද්ධ ජයන්තිය එදා සැමරුව හැටි
වැඩම කර සිටි ගරුතර මහා සංඝරත්නය

කොළඹ නිදහස් චතුරස්‍රයේ නිදහස් සමරු ශාලාව අබියස හා මස්තකයේ සිට එම රාජ්‍ය මහෝත්සවය අමතමින් අගමැති සර් ජෝන් කොතලාවල කළ කතාව පහත දැක්වේ.

එහිදී පළමුව බුද්ධ ප්‍රතිමා වහන්සේට මල් පුදා, බෞද්ධ ධජ ඔසවමින් එම රාජ්‍ය මහෝත්සවය මහා සංඝරත්නය විසින් පිරිස පන්සිල් සමාදන් කරවීමෙන් පසුව ඇරඹිණි.

බුද්ධ ජයන්ති උදාන ගීතය ගායනා කිරීම ද සිදුවිය. පසුව මඟුල් බෙර හඬ පතුරමින්, ජය සක් බෙර වාදනයෙන් අනතුරුව රාජ්‍ය මහෝත්සවය අමතා අගමැති සර් ජෝන් ජාතිය ඇමතීය.

1956දී පවත්වනු ලබන බුද්ධ ජයන්ති මහෝත්සවය සම්බන්ධ අපගේ වැඩසටහන සකස් කිරීම සඳහා අද දින අපි මෙහි රැස්ව සිටිමු. ඔබ හැම දන්නා පරිදි බුදධ ජයන්ති උත්සවය පවත්වනු ලබන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අවුරුදු දෙදහස් පන්සියය සම්පූර්ණ වීම නිමිත්තෙනි. බෞද්ධයනට පමණක් නොව ආධ්‍යාත්මික වටිනාකම් අගය කරන ලෝකවාසී සියල්ලනට ද ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයකුට ගරු කිරීමට මෙය අවස්ථාවක් වන්නේය. රාජ කුමාරයකු වශයෙන් තමනට හිමිව තිබුණු සුඛෝපභෝගී ජීවිතය ද පංචකාම ගුණයන් ද අතහැර මනුෂ්‍ය සන්හතිය දුකින් මුදාලනු සඳහා නිර්වාණ මාර්ගය සෙවීමට මුළු ජීවිතයම කැප කළ තථාගතයන් වහන්සේ වනාහි මහා පුරුෂයෙකි. ජීවිතය පිළිබඳ ප්‍රහේලිකාව විසඳනු සඳහා ගෘහාභිනිෂ්ක්‍රමණය කළ උන්වහන්සේට විඳ දරා ගන්නට සිදුවූ දුක් හිරිහැර පුරාණ පොත්වල විස්තර වශයෙන් සඳහන් වේ. අවුරුදු දෙදහස් පන්සිය හතළිස් තුනකට පෙර යම් වෙසක් මස පුරපසළොස්වක් දිනක දුක, දුක ඉපදීමේ හේතුව, දුකින් මිදීමය, දුකින් මිදීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය යන චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් සේක් ද එදින තෙක් වූ සාවුරුද්ද තුළ උන්වහන්සේ උපවාසයෙන් ද භාවනාවෙන් ද කල්ගත කළ සේක. එදින සිට පුරා පන්සාළිස් වසක් ධර්ම දේශනා කරමින් ද ස්වකීය ධර්ම මාර්ගය පිළිපැදීමට දහස් ගණන් අනුගාමිකයන් දිනා ගනිමින් ද අතිශය කාර්යබහුල ජීවිතයක් ගත කළ සේක. තමන් වහන්සේ කරා පැමිණියන් යහමඟ යෙදීම සඳහා උන්වහන්සේ නොදැරූ ප්‍රයත්නයක් නැත. නිර්වාණාධිගම මාර්ගය වන පරමාර්ථ ධර්මය දේශනා කිරීමෙන් පමණක් නොව ඔවුන්ගේ චරිත ශුද්ධිය, අයිතිවාසිකම් සහ යුතුකම් පිළිබඳ අනුශාසනයෙන් ද උන්වහන්සේ එසේ කළ සේක.

තථාගත චරිතය

තථාගත චරිතය වනාහි සැබවින්ම විචිත්‍රය. චර්යා මාර්ගයක් දේශනා කිරීමෙන් පමණක් නොනැවතී තමන් දෙසූ පිළිවෙත පරිසමාප්ත වශයෙන් පිළිපැදි පුද්ගලයකු එයින් අපි දකිමු. කරුණු මෙසේ කල උන්වහන්සේගේ දහම ලොව පෙදෙස්වල වැසි කෝටි සංඛ්‍යාත ජනකායකට පරමාදර්ශීව පැවති බව එසේම අද ලෝකයේ මුළු ජනගහනයෙන් සතරින් එකක්ම උන්වහන්සේට වැඳුම් පිදුම් කරන බව පුදුමයට කරුණු නොවේ. සසර දුකින් තමන් ගලවා ගන්නා මාර්ග දේශකයා වශයෙන් ඔවුහු උන්වහන්සේ දෙසට හැරෙති. උන්වහන්සේගේ ප්‍රතිපත්තීන් නිසා බුද්ධ ධර්මය නොඅදහන්නෝ පවා උන්වහන්සේට ආදර භක්තියෙන් ගරු කරති.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ද උන්වහන්සේ විසින් පණවන ලද ශික්‍ෂා පදයන් ලොව පුරා පිළිපැදිය හැකි බවද බුද්ධ ධර්මය හැදෑරූ හැමදෙනාම එක සේ පිළිගනිති. ශත වර්ෂ විසිදෙකකට පළමු බුද්ධ ධර්මය මෙරටට ගෙනා තැන් පටන්ම, මෙරට වැසි වැඩිදෙනා බුද්ධ භක්තිකයන්ව සිටින බැවින් බුද්ධ චරිතය ගැන හෝ බුදුන් වහන්සේගේ ක්‍රියා සිද්ධීන් ගැන හෝ බුද්ධ ධර්මයෙහි වැදගත්කම ගැන හෝ ලංකාවාසී පිරිසක් ඉදිරිපිට දිගින් දිගට කතා කිරීම අනවශ්‍ය කරුණකි. එදා එය මෙරටට ගෙනා තැන් පටන් බුද්ධ ධර්මය අපගේ ජීවිත පිළිවෙළෙහි ද අපගේ කලා කෘතීන්හි හා වාස්තු විද්‍යාවෙහි ද සාහිත්‍යයෙහි ද ජීවනාලියක් වූයේය. ශාස්තෘන් වහන්සේගේ ධර්මය අනුව යෑමෙන් අප ලැබූ ලාභයන් ගැන මෙනෙහි කරන කල අනාගතයෙහිදී එයින් අපට ලබන්නට හැකි ලාභයන් ගැන අවබෝධ කරගන්නා කල සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙදහස් පන්සියය සම්පූර්ණවීමේ උත්සවය එම මහා සිද්ධියට සරිලන උත්කර්ෂතාවයෙන් පැවැත්වීම තථාගත ධර්මය අදහන්නන් වන අපගේ වගකීමය. බුදුරජාණන් වහන්සේගේ ආදර්ශය අනුගමනය කොට අහිංසාව සහ මෛත්‍රිය ගර්භකොට ඇති උන්වහන්සේ දෙසූ ධර්මයට අනුව ජීවත්වීමට තරයේ අධිෂ්ඨාන කරගත යුතු බව මගේ අදහසයි.

2500 සම්බුද්ධ ජයන්තිය එදා සැමරුව හැටි
බුද්ධ ජයන්ති උදාන ගීතය ගැයීම

ථෙරවාද බෞද්ධාගමේ භාරකාරයන් වීම නිසා අපි ලෝකව්‍යාප්ත කීර්තිය සහ පිළිගැනීම ලද්දෙමු. බෞද්ධ සමයේ භාරකාරයන් වීමට අතිරේකව භක්තිමත් බෞද්ධයන් ලෙසින් බුද්ධානුශාසනා පරිදි ජීවිතය ද සකස් කර ගනිමු නම් එයින් මනුෂ්‍ය වර්ගයාගේ යහපත සහ සැපත සඳහා අප කරන සේවය අධිකතර වන හෙයින් යථෝක්ත කීර්තිය සහ පිළිගැනීම සැලකිය යුතු තරමින් වැඩිවනුවා ඇත. මේ මහෝත්සවය ප්‍රතිඵල කොටගෙන ඇතිවන ආධ්‍යාත්මික ප්‍රබෝධය ලක්වැසි සෑම බෞද්ධයකුම, වඩා හොඳ බෞද්ධයකු කිරීමට හේතුවනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි.

1956 වැන්නෙහිදී එළඹෙන බුද්ධ ජයන්තියේදී මුළු මහත් දිවයින පුරාම ආධ්‍යාත්මික ප්‍රබෝධයක් ඇතිවන පරිදි අපගේ හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් සහෝදරයන් ද තම තමන්ගේ සමයන්ට අනුව ආගමික ප්‍රබොධයක් ඇති කිරීමට ආභාෂය ලබත්වායි යන මගේ හෘදයාංගම ප්‍රාර්ථනය ප්‍රකාශ කිරීමට මෙහිදී මට අවසර දෙනු මැනවි. අපගේ මුළු ජීවිත පදනමටම තර්ජනය කරමින් සිටින ආගම් විරෝධී බලවේගයනට විරුද්ධව සටන් කිරීමෙහි ලා සෑම ආගමික කණ්ඩායමක්ම මිත්‍රත්වයෙන් හා සහයෝගයෙන් එක්ව නැඟී සිටීමේ අවශ්‍යතාවය කියා නිම කළ නොහැකිය. මේ නිසා අප අතර ආගම් භේද ඇතිකර ගැනීම අප එකිනෙකාගේ යහපතට හේතු නොවන බව මා විසින් කියා පෑම අවශ්‍ය නොවෙයි. ගුණවර්ධනය සඳහා අප හැමදෙනම එක්ව පොදු වැඩසටහනක් සකස් කර සාමාන්‍යයෙන් මනුෂ්‍ය සමාජයේ ද විශේෂයෙන් ජාතියේ ද යහපත සඳහා වන මේ උත්තම කාර්යයට අපගේ මුළු ශක්තිය ද ඥානය ද කැප කිරීමට කාලය එළැඹ ඇත්තේය යනු මගේ හැඟීමයි. අප හැමදෙනාටම සුඛිතව ජීවිතය විසීමට හැකි වඩා හොඳ පෙදෙසක් බවට මේ දිවයින පැමිණවීම තුළ බුද්ධ ජයන්ති මහා මංගල්‍යයේ නියම අර්ථය ඉටුවූවා වන්නේය.

බෞද්ධ මණ්ඩලයක්

පහත දැක්වෙන කාර්යාර්ථන් සඳහා බෞද්ධ මණ්ඩලයක් පිහිටුවීමට යෝජනා කොට ඇත.

(1) බුද්ධ ජයන්ති මංගල්‍යය හා සම්බන්ධකාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවට කරුණු කියා සිටීම;

(2) බුද්ධ ජයන්තිය හා සම්බන්ධ වන සියලුම කාරණා භාර ගැනීම;

(3) තමන් වෙත ඉදිරිපත් කෙරෙන වෙනත් කරුණු සලකා බැලීම.

2500 සම්බුද්ධ ජයන්තිය එදා සැමරුව හැටි

මේ මණ්ඩලය පත්කිරීම ආණ්ඩුව සමාදරයෙන් පිළිගන්නා අතර අද එය ආරම්භ කිරීම සඳහා අපි මෙහි රැස්ව සිටිමු. මේ මණ්ඩලයට ඉතා භාරධුර කාර්යයක් පැවරීමට තිබේ. බුද්ධ ජයන්ති උත්සවය යනුවෙන් මා බලාපොරොත්තු වන්නේ සැණකෙළි, ප්‍රදර්ශන සහ සන්දර්ශනයන්ම පමණක් නම් මම ඊට භාරධුර කාර්යයෙකැයි නොකියමි.

බෞද්ධයනට පමණක් නොව දිවයින් වැසි සෑම මිනිසකුට, සෑම ස්ත්‍රියකටම සහ සෑම ළමයකුටම යහපත සැලසෙන න්‍යායෙන් බුද්ධ ජයන්ති මහෝත්සවය පැවැත්විය යුතුය. ත්‍රිපිටකය පරිවර්ථනය කිරීම, බෞද්ධ විශ්ව කෝෂයක් සකස් කිරීම සහ බෞද්ධ කලා ප්‍රදර්ශනයක් පැවැත්වීම වැනි කරුණු යෝග්‍ය වන්නේය.

(සංරක්‍ෂණය – නාරද නිශ්ශංක)

සැකසුම – කමල් බෝගොඩ
advertistmentadvertistment
advertistmentadvertistment