2568 ශ්‍රී බුද්ධ වර්ෂයෙන් සැමරිය යුතු වෙසක් මහෝත්සවය

1342

මෙවර වෙසක් උත්සවය 2024 මැයි 23වන බ්‍රහස්පතින්දා යෙදී ඇත. ඇතැමුන් වෙසක් උත්සවයේ අරුත, ඓතිහාසිකත්වය, කළ යුත්ත දැනගෙන කටයුතු කරන අතර ඇතැමුන් වෙසක් උත්සවයට නොගැලපෙන දේද සිදුකරන බව පෙනේ.

(1) ඓතිහාසිකත්වය – සම්බුදු තෙමඟුල

බෞද්ධයන් සමරන වෙසක් උත්සවයේ ප්‍රධාන නිමිත්ත සම්බුදු තෙමඟුල බව බොහෝ දෙනා දනිති. එනම් 1. සිදුහත් කුමරු උපත, 2. සිදුහත් තවුසාණන් සම්මා සම්බුද්ධත්වයට පත්වීම, 3. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමයි. එම සිදුවීම්වලට අදාළ වසර ගණන් මෙසේය.

සිදුහත් කුමර උපතින් – 2648 වෙනි වසරද

සම්මා සම්බුදු වීමෙන් – 2613 වෙනි වසරද

පිරිනිවන් පෑමෙන් – 2568 වෙනි වරසද ඇරඹේ

බෞද්ධයන්ගේ වර්ෂ ක්‍රමය වූ බුද්ධ වර්ෂ ක්‍රමය ආරම්භ වන්නේ බුද්ධ පරිනිර්වාණයත් සමගය. ඒ අනුව මෙවර වෙසක් පුන් පෝදා ශ්‍රී බුද්ධ වර්ෂ 2567 අවසන් වී බු.ව. 2568 බෞද්ධයන්ගේ නව වසර උදා වේ.

  1. බුද්ධ වර්ෂ ගණනය ඇරඹෙන්නේ බුද්ධ පරිනිර්වානයෙනි. ක්‍රිස්තු වර්ෂ ගණනය ඇරඹෙන්නේ කිතු උපතිනි. කිතු උපත සිදුවන්නේ බුදුන් පිරිනිවී වසර 543යි මාස 7කට පමණ පසුවය. එය මෙසේ පැහැදිලි කරගත හැකිය.

2024 මැයි 22 දක්වා

බුද්ධ වර්ෂ 2567

ක්‍රිස්තු වර්ෂ 2024

වෙනස වසර 543

මෙම හේතු කාරණා වටහා ගත හැකි සාමාන්‍ය බුද්ධියක් ඇති කාහට වුවද, වෙසක් උත්සවයට 2024 මාතෘකා කිරීම නොගැලපෙන බව වැටහිය යුතුය.

  1. තවද අපේ වැඩිහිටියන් මීට වසර 67කට පෙර ක්‍රි.ව. 1956දී ශ්‍රී බුද්ධ වර්ෂ 2500 උදාව “2500 බුද්ධ ජයන්තිය” ලෙසින් ඉතා උත්කර්ෂවත් අයුරින් සමරා ඇත. එපමණක් ද නොව මීට වසර 17කට පෙර ක්‍රි.ව. 2006දී බුද්ධ වර්ෂ 2550 උදාවීම, “2550 බුද්ධ ජයන්තිය” ලෙස සැමරූ බව සිහියට නගාගන්න. මෙම සැමරුම් අවස්ථා දෙකෙහිදීම සමරු කලාප, සමරු මුද්දර, සමරු කාසි නිකුත්කර ඇත. මෙලෙස අපගේ වැඩිහිටියන් අපට පූර්වාදර්ශ සපයා ඇති බව අමතක නොකරන්න.

අපේ පැරැන්නන් රැකගෙන ආ ජාතික, ශාසනික, ඓතිහාසික උරුමයන් රැකගෙන මතු පරපුරට දායාද කිරීම අද දවසේ අපගේ යුතුකම් සහ වගකීම් අතරේ පවතින බව සලකන්න.

එබැවින් දාන, ශීල, භාවනා ආදී පිංකම් සිදුකිරීමේදී ද වෙසක් සැරසිලි සිදුකිරීමේදී ද “බුද්ධ වර්ෂ 2568” සඳහන් කිරීමත්, සියල්ල සිදුකරන්නේ බුදුරජාණන් වහන්සේට පූජා පිණිස ගෞරව පිණිස බැවින් “නමො බුද්ධාය” යනුවෙන් ඉහළින්ම සඳහන් කිරීමත් මෙවර වෙසක් උත්සවයේදී කළගුණ දන්න ඉතිහාසය අගයන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න බෞද්ධයන් විසින් සිදු කරත්වා.

ඒ සඳහා මෙම ලිපියෙහි ඉහත ඇති පහන් කූඩු ආදර්ශයට ගත හැකිය.

ලබන්නා වූ ශ්‍රී බුද්ධ වර්ෂ 2568 නව වසර ඔබ සැමට තෙරුවන් සරණින් පින්බර වසරක් වේවා!

චන්න පීරිස්


advertistmentadvertistment