27 රෑ මහරගමට පායන – රෑ ඉරපාන

314

රවීන්ගේ අයිසිං තට්ටුව ගලවලා – ප්‍රසංගයට ගත්තා – බන්දුල නානායක්කාරවසම්
එදාට රසික ප්‍රජාව අසුන්වලින් නැඟිටීවී

තවත් දින කීපයක ඇවෑමෙන් ලබන 27 වැනි දින පස්වරු 6.30ට මහරගම යොවුන් රඟහල පුළුල් තිර විවර වන්නේ රෑ ඉරපාන ප්‍රසංගය පිණිසය. “ගීත කියන්නෙ මහ පුදුම ජාතියක්” යනුවෙන් නම්කර එම ප්‍රසංගය ඔබ වෙත රැගෙන එන ප්‍රතිභාපූර්ණ ගීත රචක බන්දුල නානායක්කාරවසම් සමග ‘මීවිත. සිදුකළ කතාබහක් පහත පළවේ.

27 රෑ මහරගමට පායන - රෑ ඉරපාන

රෑ ඉරපාන ප්‍රසංගය තුළින් මෙරට සිංහල ගීත සාහිත්‍යයට අලුත් ආලෝකයක් ලැබුණ බව නොරහසක්. එහි ආරම්භය පිළිබඳ යමක් සඳහන් කරමින් මේ කතා බහ ආරම්භ කරනව නම්

ඔව්….. රෑ ඉරපාන මුලින්ම විකාශනය වෙන්නේ 2011 සැප්. 05 වැනිදා. එය මුල්වරට ශ්‍රාවකයන් අතරට යන්නේ ත්‍ඵ ගුවන් විදුලි වැඩසටහනක් ලෙසයි. එම වැඩසටහනේ තිබුණ සුවිශේෂීත්වය තමයි එකම නිෂ්පාදකවරයෙක් එකම නිවේදකයෙක් විසින් වැඩසටහන ඉදිරිපත් කිරීම. ඒ වගකීම පැවරෙන්නේ මට. ගීත රචකයෙක් ලෙස ඒ වනවිට මා විසින් ගීත 2000ක් පමණ රචනා කොට තිබුණා. නමුත් 2015 දෙසැම්බර් මස වන තුරු වැඩසටහන් 159ක් මා විසින් ඉදිරිපත් කළත් මගේ එකම ගීතයක්වත් රෑ ඉරපාන තුළින් ප්‍රචාරය නො කරන්න මම ප්‍රවේශම් සහගත වුණා. එතැනදී විවිධ පිරිස් මට චෝදනා කරන්න පවා ඉදිරිපත් වුණා.

ඒ තීරණය පිළිබඳ ඔබ පසු කලෙක පසුතැවීමට පත්වෙනවා ද?

කිසිසේත්ම නැහැ.

රෑ ඉරපාන නිෂ්පාදක සහ ඉදිරිපත් කරන්නා ලෙස එතැනදී මට අවශ්‍ය වුණේ මා ගීත රචකයෙක් වූ බැවින් මගේ ගීත මා විසින්ම උත්කෘෂ්ටයට නංවා ගැනීම නොවෙයි. ඊට හාත්පසින් ම වෙනස් වුවමනාවක් වෙනුවෙන් තමයි මම පෙනී සිටියේ. ඒ තමයි මා රසිකයකු බවට පත් කළ ගීත පිළිබඳව හරබර කතාබහක් ඇති කරවමින් ඒ ගීත ඉදිරිපත් කිරීම. මගේ ගීත ඉදිරිපත් නොකිරීම පිළිබඳව දිගින් දිගට ම චෝදනා විඳිමින්” ඒ වෙනුවට වෙනත් ගීත රචකයන්ගේ ගී නිර්මාණ ඉදිරිපත් කරමින් පැය දෙකක ගුවන් කාලයක් පුරා පවත්වා ගෙන ගිය රෑ ඉරපාන අතිශය ජනප්‍රිය වැඩසටහනක් බවට පත්වුණා.

27 රෑ මහරගමට පායන - රෑ ඉරපාන

● හොඳයි ඔබේ ම ගීත ඇතුළත් රෑ ඉරපාන ප්‍රසංගය කරළියට ආවේ කොහොම ද?

මා ඉහත සඳහන් කළ ගුවන් විදුලි වැඩසටහන සමාප්ත කරල වසර දෙකක් ගත වුණාට පස්සේ 2017 වර්ෂයේ මගේ උපන් දිනය දවසෙ තමයි නැවතත් රෑ ඉරපාන අරගෙන ප්‍රේක්‍ෂකයන් අතරට පැමිණෙන්නේ. එදා මගේ ගීත තිස්හතරක් ගායක ගායිකාවන් තිස්දෙනෙක් විසින් ගායනා කරනවා. එයත් එතෙක් කලක් වෙනත් ප්‍රසංගයක් තුළ දකින්නට නොලැබුණ වෙනස්ම දෙයක්. ප්‍රසංගය පැවැත්වුණේ මහනුවර. මහනුවර ඡායාරූප සංගමයක් විසින් සංවිධායන කළ එම ප්‍රසංගය නැරඹීම පිණිස පැමිණි විශාල පිරිසකට ඒ අවස්ථාව අහිමි වෙනවා. ඒකට හේතුව තමයි සංවිධායකයන් අපේක්‍ෂා නොකළ තරම් විශාල පිරිසක් පැමිණීම. ඊට පසුවත් මහනුවර තවත් රෑ ඉරපාන ප්‍රසංගයක් පැවැත්වූවා. එය සංවිධානය කළේ වෛiවරුන් පිරිසක්. එහෙම රටවටා ගමනක් යන අතරතුර කොවිඩ් වෛරසය පැමිණීමත් එක්ක ඒ කටයුත්ත අතරමඟ නතර කරන්න අපට සිද්ධ වෙනවා.

● වසර කීපයකට පසුව නැවත ලබන 27 වැනි දින මහරගම යොවුන් රඟහලේ පැවැත්වෙන රෑ ඉරපාන ප්‍රසංගයේ දී දැක ගැනීමට ලැබෙන අලුත් හැඩයන් එහෙමත් නැත්නම් වෙනස්කම් මොනව ද?

ඒ අත්දැකීම විඳගැනීමෙන් මෙපිට ඒ පිළිබඳ කරන විස්තර ඒ තරම් ඵලක් නැහැ” කියන එකයි මගේ විශ්වාසය. ඒ පිළිබඳ වචනයකින් දෙකකින් කියනව නම් මෙවර ප්‍රසංගය කෘතවේදීත්වයේ ප්‍රසංගයක් ලෙස නම් කරන්න මා කැමැතියි. විශාරද සුනිල් එදිරිසිංහ කියන්නෙ අපට සිටින විශිෂ්ටයෙක්. එදාට ඔහු ඇතුළු ශෂිකා නිසංසලා” උරේෂා රවිහාරි සහ නව පරපුරේ ගායන ශිල්පියෙක් වෙන රවීන් කනිෂ්ක ගීත ගායනයෙන් දායකත්වය සපයනවා. ඒ වගේම අපේ රටේ දක්‍ෂතම වාදන ශිල්පීන් පිරිසක් ඒ ගීතවලට සංගීතය සපයනවා.

එදාට අසන්නට ලැබෙන ගීත සහ එම ගීතවල පසුබිම් කතාවට සවන් දුන්නට පස්සේ ඇතිවෙන හැඟීම් එක්ක රසික ප්‍රජාව තම තමන්ගේ අසුන්වලින් නැඟිටල අපේ ප්‍රවීණයන්ට ගෞරව කරයි කියන විශ්වාසයක් මා තුළ පවතිනවා. මොකද ගීතයෙන් මාව මෙලවපු සහ ලෙළවපු ප්‍රවීණයන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් ගැන ඔවුන්ගේ නිර්මාණ ගැන එදාට කතා කරනවා. ‘ගීත කියන්නෙ මහ පුදුම දෙයක්” කියලා මේ ප්‍රසංගයට උද්ධෘතයක් යෙදුවේ ඇයි කියල එදාට බොහෝ දෙනෙක් කතාබහ කරාවී.

● මෙවර රෑ ඉරපාන සඳහා රවීන් කනිෂ්ක වැනි අලුත් පරපුරේ ගායන ශිල්පියෙක් යොදා ගත්තෙ තරුණ පරම්පරාව ප්‍රසංගය සඳහා ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ද?

රවීන් කනිෂ්කව මේ සඳහා තෝරා ගන්නෙ ඔහුගේ හැකියාව මා කලින් දැක තිබූ නිසයි. ඒ වෙද්දී රවීන් ටෙලිනාට්‍ය නළුවෙක් නොවෙයි. එතකොටත් ඔහු දක්‍ෂ ගායකයෙක්. මනා හඬ පෞරුෂයක් සහිතව පපුවට දැනෙන්න සින්දු කියන්න පුළුවන් තරුණයෙක්. ඒ කාරණා මත පදනම් වෙලා මිසක්

ඔහුගේ අයිසිං තට්ටුව නිසා මේ ප්‍රසංගයට ගත්ත නොවෙයි. ඇත්තට ම රවීන් පිළිබඳ මට තිබෙන ප්‍රශ්නය තමයි ඔහු නළුවෙක් වෙන්න පෙර ගායකයෙක් නොවුණේ ඇයි කියන එක.

● පවතින ආර්ථික සමාජ පසුබිම තුළ රෑ ඉරපාන නැරඹීම පිණිස ප්‍රමාණවත් පිරිසක් පැමිණෙනු ඇතැයි කියන විශ්වාසය ඔබ තුළ පවතිනවා ද?

මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න පෙර නැවතත් අතීතයට යන්න ඕන. එක්තරා දවසක මාතර තාගෝර් රඟහලේ රෑ ඉරපාන ප්‍රසංගය පැවැත් වෙනවා. එදා තරුණ ගුරුවරුන් 300කට අධික පිරිසක් ප්‍රවේශපත්‍ර නැතිව ආපසු හැරිල යනවා. තවත් අවස්ථාවක කොළඹ නෙළුම් පොකුණ රඟහලේ රෑ ඉරපාන දිග හැරෙනවා. රඟහලම අතුරු සිදුරු නැතිව ප්‍රේක්‍ෂකයන්ගෙන් පිරී ඉතිරී යනවා. ගාල්ල ඒ වගේම මහනුවර පැවැත්වූ

ප්‍රසංගවල එක ප්‍රවේශ පත්‍රයක්වත් ඉතිරි වුණේ නැහැ. එහෙම ඉතිහාසයක් සහිත රෑ ඉරපාන මහරගමට එනව කියන්නේ රෑ ඉරපාන මහරගමට පායන තුරු බලා සිටිය ජනතාව ගේ බලාපොරොත්තුවක් ඉෂ්ට වීමක්. ඒ හින්ද මම විශ්වාස කරනව සුවිශාල ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් මෙවර රෑ ඉරපානට හිමිවෙයි කියලා.

● මේ ප්‍රසංගය රූගත කිරීමක් එදාට සිද්ධ වෙනව ද?

නැහැ. ඒ සඳහා විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. මොකද මම වැඩක් කරනව නම් මට ඒක හරියට කරන්න ඕන.

රෑ ඉරපාන සඳහා සංගීතය සපයන්න වාi ශිල්පීන් හයදෙනකු වුවත් ප්‍රමාණවත්. නමුත් එතැනදී මම බලාපොරොත්තු වන දේ ඉෂ්ට වෙන්නෙ නෑ. එම නිසා වාi ශිල්පීන් විසිදෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් වාi වෘන්දය සඳහා යොදා ගන්නවා. ඔබ විමසා සිටින පරිදි 27 වැනිදා පැවැත්වෙන රෑ ඉරපාන රූගත කරන්න ඇත්නම් හොඳයි. නමුත් ප්‍රධාන අනුග්‍රහකයෙක් නැතුව කරන ප්‍රසංගයක් විදිහට රූගත කිරීම පිණිස යන විශාල මුදල මේ වෙලාවෙ තනි මට දරන්න අමාරුයි.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment