27 විසඳුම් නැත්නම් ග්‍රාම නිලධාරීන් ගමෙන් යයි!

262

ග්‍රාම නිලධාරි සේවාවේ පවතින ගැටලු පිළිබඳව ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති එකමුතුව ලබන 27 වැනිදා කොළඹට කැඳවා ජනාධිපති ලේකම් කාර්යාලයේ බලධාරීන් සමග සාකච්ඡා කරන බවත්, එහිදී ද සාධනීය විසඳුමක් නොලැබුණොත් එදිනෙන් පසුව ග්‍රාම නිලධාරි සේවා කටයුතුවලින් සම්පූර්ණයෙන් ඉවත් වන බැව් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා “දිවයින ඉරිදා සංග්‍රහයට” ට පැවසීය.

ග්‍රාම නිලධාරීන්ද ශ්‍රී ලංකා ගුරු සේවය, ඉංජිනේරු සේවය මෙන් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සේවාව ලෙසින් ස්ථාපිත කරන ලෙසටත් ඒ සඳහා සම්මත වැටුප් තලයක පිහිටුවන ලෙසටත් වසර 61ක පමණ කාලයක සිට මේ සඳහා ඉල්ලීම් කළද මෙතෙක් සාධනීය පිළිතුරක් නොලැබුණු බවද රණසිංහ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සේවාව ලෙස ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බවට යම් ආරංචි ලැබී තිබුණද, එවැනි අනුමැතියක් පිළිබඳව සිය ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති එකමුතුව වෙත ලිඛිතව දැන්වීමක් ලැබී නැතැයි ද ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා තවදුරටත් සඳහන් කළේය.

හෙට (20දා) රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්‍ෂවරයා සමග සාකච්ඡාවකටද තම එකමුතුව වෙත කැඳවීමක් ලැබී ඇති බවද ඔහු කීවේය.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment