33 වන ඉල් මහ සමරුව – රට විනාශ කළ කණ්ඩායම්වල පොදු සතුරා ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයයි…

242

නයි – මුගටි එකට ලගින කඳවුරක් නිර්මාණය වෙලා
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක 33 වන මහ සමරුවට එක්වෙමින් කියයි

රනිල් ඔළුවෙන් ජේආර්ට ආවේශ වෙන්න හදනවා

රට විනාශය කරා රැගෙන ගිය සියලු‍ පක්ෂ ඇතුළු කණ්ඩායම් ඔවුන්ගේ පොදු සතුරා බවට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය පත්කරගෙන ඇති බවත් එබැවින් ඊට එරෙහිව නයි, මුගටි එකට ලගින කඳවුරක් නිර්මාණය කර ගනිමින් ඇති බවත් එම බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා 13 වැනිදා සඳහන් කළේය.

එසේ වුවත් 1988-1989 සමයේ වීරවරුන්ගෙන් වීරවරියන්ගෙන් පාඩම් ඉගෙන ගෙන ඇති සිය කණ්ඩායම ඒ සෑම කුමන්ත්‍රණයක්ම පරාජය කර රටට අනිවාර්යෙන්ම ජයග්‍රහණ අත්පත් කර දෙන බවද හෙතෙම අවධාරණය කර කියා සිටියේය.

දිසානායක මහතා එම අදහස් පළ කළේ කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග රංගපීඨයේ පැවැති 33 වන මහ සමරුවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

33 වන ඉල් මහ සමරුව - රට විනාශ කළ කණ්ඩායම්වල පොදු සතුරා ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයයි...

මීට අවුරුදු 33කට පෙර අපේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ආදරණීය සහෝදර සහෝදරියන් දස දහස් ගණනක් එක්සත් ජාතික පක්ෂයේ මිනීමරුවන් විසින් සදහටම උදුරාගනු ලැබුවා. අප අද මෙතනට එක්රැස්වී සිටින්නේ ඔවුන්ගේ කැපකිරීම් ආදර්ශයට ගනිමින් ඔවුන් ප්‍රාර්ථනා කළ ලෝකය ගොඩනඟා ගන්නේ කෙසේදැයි සාකච්ඡා කරන්න. අපේ පක්ෂය ජයග්‍රහණයන් වගේම පරාජයන් ලැබූ අවස්ථා තිබෙන බව කවුරුත් දන්නවා. ඉතා අසීරුතාවයකට පත්වූ අවස්ථාවලදී නැවත අපේ ජයග්‍රහණයන් පිළිබඳව සුබවාදී බලාපොරොත්තු ගෙන එන්නේ 88-89 කාලයේ අපෙන් උදුරාගත් වීරවරියන් සහ වීරවරුන්. ඔවුන් අපට ධෛර්යය, වීර්යය සහ මඟපෙන්වීම ගෙනත් දෙනවා. එදා 88-89 යුගයේ ශ්‍රේෂ්ඨ කාර්යභාරය මොනතරම් නිවැරදිද යන්න අද නැවත නැවතත් තහවුරු වෙනවා. ඇත්ත ඉතිහාසය යටපත් කරන්න, විකෘති කරන්න බොහෝ සතුරන් ක්‍රියා කළා.

අද සමාජයේ සාතිශය බහුතර පිරිසක් ඉදිරියට ඇවිත් කියන්නේ මේ සමාජය මුළුමනින්ම වෙනස් කළ යුතු බවයි. මීට බොහෝ කලකට පෙර ඒ අනතුර කල් තියා දැක්ක මිනිසුන් මෙය වෙනස් කිරීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා. අද අපි සමරන්නේ ඒ ශ්‍රේෂ්ඨ විරුවන්. අපේ රට විනාශයට පත්කළ පාදඩ දේශපාලන සංස්කෘතියත් ආර්ථික මාවතත් වෙනස් කළ යුතු බව අද රට තුළ රැව්පිළිරැව් දෙනවා. වර්තමානය වගේම ජේ.ආර්. ජයවර්ධනගේ පළවෙනි විධායක ජනාධිපති ජනතාව විසින් පත්කරගත් පුද්ගලයෙක් නොවෙයි. ව්‍යවස්ථා ගැටයකින් ජනාධිපති පුටුවේ ජේ.ආර්. ජයවර්ධන වාඩිවුණා. 1977 ජනතාව ඡන්දය දුන්නේ විධායක බලයක් නිර්මාණය කරන්න නොවෙයි. එවැනි ජනාධිපති ධූරයකින් ශිෂ්ට සම්පන්න සමාජයක සියලු‍ම පද්ධති අහෝසි කළා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් අපේ රටේ මිනිසුන් දහස් ගණනක් ආරක්ෂක ඇමැතිගේ අත්සනින් කඳවුරු තුළ ගාල් කළා. ජේ.ආර්.ගේ බෑනත් මේ වැඩේම කරමින් ඉන්නවා. එදත් නියමිත පරිදි මැතිවරණය නොපවත්වා ලාම්පු කළගෙඩි සෙල්ලම ගෙනාවා වගේ රනිල් වික්‍රමසිංහයත් සූදානම් වෙනවා. එදා ප්‍රජාතන්ත්‍රවාදය හැකිළීමට විරුද්ධව උතුරෙත් දකුණෙත් ජනතාව නැගී සිටියා. යාපනය පුස්තකාලය ගිනි තියලා, ඡන්ද කොල්ලයන් දියත් කර ප්‍රභාකරන්ට මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කිරීමේ පසුබිම හැදුවා. දකුණේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයන්ට එරෙහිව මර්දනය දියත් කළා.

33 වන ඉල් මහ සමරුව - රට විනාශ කළ කණ්ඩායම්වල පොදු සතුරා ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයයි...

ජේ.ආර්. ජයවර්ධනලාගේ මර්දනකාරී ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහි අපේ වීරෝධාර සගයින් සටන් වැදුණා. ජේ.ආර්. කොටියෙක් නම්, රනිල් පූස් පැටියෙක් බව මතක තබාගත යුතුයි. එයා ඔළුවෙන් ජේ.ආර්.ට ආවේශ වෙන්න හදනවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණයි. රනිල් වික්‍රමසිංහ ජේ.ආර්.ගේ වේශය අරගෙන ක්‍රියාකරනවා නම්, එය පරාජයට පත්කරන්න පෙරට එන්නේ අන්කිසිවෙකුත් නොවෙයි, ජනතා විමුක්ති පෙරමුණයි. ඡන්ද කල්දැමීමට එරෙහිව මර්දනයට එරෙහිව තියුණු සටනේ පෙරමුණ ගන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. බොහෝ අය උත්සාහ කරනවා අපිව කළබල කරන්න. ඒත් අපි කළබල නැහැ. 1994 සිට අපේ සහෝදරවරු ගණනාවක් ඝාතනය කළ අය ප්‍රජාත්නත්‍රවාදයේ පාඩම අපට කියාදෙන්න උත්සාහ කරනවා. ඒ ඝාතනවලට වගකිව යුතු ඉහළම දේශපාලකයින් සහ නිලධාරීන් නීතිය හමුවට ගෙන එන ක්‍රියාමාර්ග අපි

ගන්නවා. අපරාධකරුවන් ආරක්ෂා කරන්න ගිය බස්නාහිර පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට සිදුවුණු දේ දැන් ඉන්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් කල්පනා කරනවා නම් හොඳයි.

1977 හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියෙන් සිංගප්පූරුවක් ගොඩනඟන බව ජේ.ආර්. ජයවර්ධන කීවා. ආර්ථික ස්වාධීනත්වය අහිමි කරන ලද රටක නිදහස රැකෙන්නේ නැහැ. මවුබිමේ නිදහස, ගෞරවය, ප්‍රෞඩත්වය රැකෙන්නේ ආර්ථික නිදහස මත බව මතක තබාගත යුතුයි. අද අපිට ආර්ථික ස්වාධීනත්වය අහිමි කරලා.

කැත, නින්දිත දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුව තිබෙනවා. මීට දශකයකට විතර කලින් වංචාව, දූෂණයට එරෙහි සටන් පාඨය ජනතා විමුක්ති පෙරමුණේ අපේ කටවල්වලින් විතරක් එළියට ආවා. සමහර අය සිතුවේ මහින්ද මහත්තයා නම් ඒ වගේ වැඩකරන එකක් නෑ කියලා. නමුත් එයින් දශකයකට විතර පසු වංචා කරන ලද පවුලම පළවා හරින්න තරම් මහජන අරගලයක් එළියට ආවා. ඡන්ද කාලයට හැමදෙනාම වේදිකාවේ වංචාව, දූෂණය ගැන කතා කරනවා. නමුත් අපේ රටේ රට දුප්පත් කර, පාලකයන් පොහොසත් වෙන ක්‍රමයක් මේ දක්වා ගෙනාවා. ඒ වංචනිකයන්ට, දූෂිතයන්ට එරෙහිව දඬුවම් කිරීමේ සටන් කරන්නෙත් ජනතා විමුක්ති පෙරමුණ පමණයි. ඒ සටනත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමත් සිදුකරන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි.

1988-1989 වීරවරියන් අපිට පෙන්වාදී තිබෙන්නේ අවලාද පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් බලපාන්නේ නැති බව අවධාරණය කරනවා. දේශපාලන පොරපිටිය තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය කේන්ද්‍රගත කරගෙනයි. මේ රට ගොඩනැගීමේ ඉතාමත් හොඳ පොරපිටිය ජාතික ජන බලවේගය බවට පත්කර තිබෙනවා. සතුරා හතරවටින් කලබල වී තිබෙන්නේ ඒ නිසයි. ජනතාවත් ප්‍රකාශ කරමින් සිටින්නේ ජාතික ජන බලවේගය වටා පෙළ ගැසෙමින් තිබෙන බවයි. ඒ නිසා අපට එරෙහිව නයි, මුගටි එකට ලගින කඳවුරක් නිර්මාණය වෙමින් තිබෙනවා. නොවැම්බර් 02වැනි දා ඒ කඳවුරේ සැබෑව ජනතාව ඉදිරියේ ඔවුන්ම ප්‍රදර්ශනය කිරීම නිසා ජනතාව එය පරාජය කර තිබෙනවා.

88-89 වීරවරියන්ගේ වීරවරුන්ගේ හදවත්වල තිබුණු වේදනාවේ බර අපේ හදවත්තවල තිබෙනවා. ඒ සහෝදර සහෝදරියන්ගේ ගෞරවයේ බර අපේ හදවත්වල තිබෙනවා. ඒ හැමටම වැඩිය ඔවුන් විසින් ප්‍රාර්ථනා කළ ලෝකය නිර්මාණය කිරීමට තවමත් අපි අසමත් වීම පිළිබඳව බරක් තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ ඉල්මහ සමරුවල අපි කතා කළත් සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාගේ සමගියේ මාවත, කඩාවැටී තිබෙන ආර්ථිකය ගොඩනැඟීමේ මාවත, ආර්ථිකයේ ප්‍රතිලාභ පොදුජනයා වෙත සාධාරණ ලෙස බෙදීයාමේ මාවත සාර්ථක කර ගැනීම සඳහා අපි මැදිහත් විය යුතුයි.

එදා තිබුණු සටනට වඩා සතුරා අපිට බයයි. පාලක පංතිය තමන්ගේ බලය අත්හැරීමට එදාට වඩා බයයි. ඔවුන් අත කළු සල්ලි බලය, මාධ්‍ය බලය, මැර බලය තිබෙනවා. ඒ සියලු‍ බලයට වඩා ජන බලය ශක්තිමත් බව මීට මාස කිහිපයකට පෙර ඔප්පුකර තිබෙනවා. අපේ කොට්ඨාස සභාව, අපේ ආසන සභාව ශක්තිමත්ම දේශපාලන ව්‍යුහයට බවට ගොඩනැඟිය යුතුයි. තවදුරටත් ජනතාව සංවිධානය කළ යුතුයි. එසේ නොකළොත් ජනතාව කොයිතරම් අරගල කළත් අමිහිරි අත්දැකීම්වලින් කෙළවර වන බව මෑත අතීතයේ ඔප්පු කර තිබෙනවා. මේ රටට තවදුරටත් අවශ්‍ය භාග ජයග්‍රහණ නොවෙයි. මීට වඩා දුෂ්කර කොන්දේසි යටතේ සතුරා සලිත වන ප්‍රබලතම ජනතා ව්‍යාපාරය 1988- 1989 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ගොඩනැගුවා. ධෛර්යය සහ විශ්වාස, තමන් කරන කාර්යයට අවංකභාවය සහිතව අපි හැමදෙනාම මේ වෙලාවේ ජනතාව ජයග්‍රහණය කළ හැකි ව්‍යාපාරය නිසැක වශයෙන්ම ගොඩනැගිය හැකියි. ඒ වෙනුවෙන් සියලු‍ම දෙනා ඒකරාශී වන ලෙස ආරාධනා කරනවා.

ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා

අපේ පක්ෂය ආරම්භයේ සිටම මර්දනය කිරීමට එරෙහිව 1971 නැගී සිටීම සිදුවුණා. ඉන් පස්සේ නැවත පක්ෂය ගොඩනඟමින් ක්‍රියාකරන අතර, ජේ.ආර්. ජයවර්ධනගේ පාලනය 1983 අපේ පක්ෂය තහනම් කර, ඒ තහනම ඉවත් නොකර දිගටම මර්දනය ගෙනගියා. 1988-1989 ගැන බොහොම දෙනෙකුට විවේචනයක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම ගත්තොත් 1987-1989 වශයෙන් නිවැරදි විය යුතුයි. අපේ පක්ෂය තහනම් කළත් කිසි කෙනෙකු ආයුධ අතට ගත්තේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එන්න අපි දිගටම උත්සාහ කළා. ඒ තත්වය තුළ ඊට ගැලපෙන ලෙස රහසිගතව දේශපාලනය කරන්න අපට සිදුවුණා. ඒ අතර 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කර, මාතෘ භූමිය ඉන්දියාවට පාවාදුන් අවස්ථාවේ අවි අතට ගෙන සටන් කරන්න අපට සිදුවුණා. ඒක දේශප්‍රේමී අරගලයක්. විශාල ජන ප්‍රසාදයක් තිබුණා. නමුත් එක වෙලාවක සතුරා බලවත් වෙලා, අපේ ප්‍රේමණීය සගයන් අපෙන් උදුරා ගත්තා. 1987-1989 ඉබේ පහළ වුණු එකක් නොවෙයි. ධනපති ආණ්ඩුව හිතාමතාම නිර්මාණය කළ එකක්.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment