46ක් සමග මිනිස් ජාවාරම්කරුවකු රැගෙන ගිය  ‘දැහැමි දුව’ අත්අඩංගුවේ

394

කාර්මික දෝෂයකට ලක් වී ඇති බව බුද්ධි අංශ විසින් සනාථ කරගත් ප්‍රධාන පෙළේ මිනිස් ජාවාරම්කරුවකු විසින් රැගෙන යමින් තිබූ ‘දැහැමි දුව’ නමැති බහුදින යාත්‍රාව ඉන්දියන් සාගර කලාපයට අයත් රියුනියන් දූපත් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා ආරක්ෂක බුද්ධි අංශ සඳහන් කරයි.

 මෙම බහුදින යාත්‍රාව ඉකුත් ජූලි මස 21 වැනිදා මීගමුව වරායෙන් පිටත්ව ගොස් ඇත. විවිධ වයස් කාණ්ඩවලට අයත් 46 දෙනකු මෙහි ගමන් කර ඇති අතර ඔවුහු කල්පිටිය, පුත්තලම, මීගමුව, මාරවිල, හලාවත ඇතුළු ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

 ප්‍රංශය, ඔස්ටේ්‍රලියාව වැනි රටවල රැකියා ලබා දෙන බවට පවසමින් අඹකදවිල පදිංචි ප්‍රධාන පෙළේ මිනිස් ජාවාරම්කරුවකු විසින් මෙම පිරිස රැගෙන ගොස් තිබේ. මෙම ජාවාරම්කරු යාත්‍රාව පදවා ඇති බවත් ඔහු සමග ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ පිරිසක් ද ගමන් කර ඇති බවත් බුද්ධි අංශ මගින් සනාථ කරගෙන ඇත. මෙම යාත්‍රාව මීගමුව වරායෙන් පිටත් ගිය පසු ඉන්දියන් සාගර කලාපයට අයත් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී කාර්මික දෝෂයකට ලක්වී ඇති බව ද බුද්ධි අංශ විසින් අනාවරණය කර ගෙන ඇත.

 එම යාත්‍රාව යළි ක්‍රියාත්මක කර ඔවුන්ගේ ගමන් මග ඔස්සේ ගමන් කරමින් සිටියදී යාත්‍රාව ඉන්දියන් සාගර කලාපයට අයත් රියුනියන් දූපත් වෙරළ ආරක්ෂකයන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන ඇති බව ද අනාවරණය වී තිබේ.

 රියුනියන් දූපත ප්‍රංශයට අයත් දූපතක් වන අතර එය ඉන්දියන් සාගර කලාපයේ මැඩගස්කරයට නැගෙනහිරින් පිහිටා ඇති බවත් මෙම දූපතේ ලක්ෂ 10ක ආසන්න පිරිසක් විදේශිකයන් ලෙස වාසය කරන බවත් සඳහන් වේ.

 මෙම පිරිස රැගෙන ගිය ප්‍රධාන පෙළේ මිනිස් ජාවාරම්කරු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය හරහා දැනුවත් කර ඉදිරි නීතිමය කටයුතු සිදු කරන බව බුද්ධි අංශ පවසයි.

 මෙම පුද්ගලයා මීට පෙරද නීති විරෝධීව බහුදින යාත්‍රාවලින් ජනතාව රැගෙන යෑමේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් හලාවත පොලිසිය මගින් ඒ සම්බන්ධව නඩු පවරා ඇති බවත් පැවසේ.

 අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment