48 වන ජාතික ක්‍රීඩා උළෙල – බර ඉසිලීමේ ශ්‍රී ලංකා වාර්තා 6ක්

78

පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේ 48 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේ බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තා 06ක් බිහිකිරීමට තරග වැදුණු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ.

කිලෝ ග්‍රෑම් 109 බර පන්තිය යටතේ පැවැති තරගයේදී බස්නාහිර පළාතේ ඒ. ජී. එස්. අබේවික්‍රම ක්‍රීඩකයා එම බර පන්තිය යටතේ නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් බිහිකිරීමට සමත්විය. එහිදී ඔහු විසින් ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 166ක් ඔසවමින් හා සමස්ත බර කිලෝ ග්‍රෑම් 303ක් ඔසවමින් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවනු ලැබීය.

එහිදී මෙම ක්‍රීඩකයා විසින් බිඳහෙළන ලද්දේ 2001 වසරේ ඩබ්ලිව්.පී.ඩී.ඩී.සී. ජයවික්‍රම ක්‍රීඩකයා විසින් ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 163ක් ඔසවමින් තබා තිබූ වාර්තාව සහ එස්. එම්. පීටර්ස් ක්‍රීඩකයා 2022 වර්ෂයේ සමස්ත බර කිලෝ ග්‍රෑම් 302 ඔසවමින් තබා තිබූ වාර්තාවන්ය.

මෙම තරගයේ රිදී පදක්කම බස්නාහිර පළාතේ කේ. ටී. විමන්ත ක්‍රීඩකයා විමින්ද ලෝකඩ පදක්කම මධ්‍යම පළාතේ එච්. ටී.ආර්. එල්. බණ්ඩාර ක්‍රීඩකයා විසින්ද දිනාගනු ලැබීය.

මෙම තරගාවලියේ කාන්තා බර ඉසිලීමේ ශූරතාව උතුරු මැද පළාතට හිමිවූ අතර රන් පදක්කම් 03ක් රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම් 01ක් වශයෙන් දිනාගැනීමට සමත් විය. අනුශූරතාව දිනාගන්නා ලද්දේ වයඹ පළාත් කණ්ඩායම විසිනි. එහිදී රන් පදක්කම් 03ක් ලෝකඩ පදක්කම් 02ක් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හිමිකර ගත්හ.

පිරිමි බර ඉසිලීමේ ශූරතාව වයඹ පළාත් කණ්ඩායම විසින් රන් පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනු ලැබීය. එම තරගාවලියේ අනුශූරතාවය උතුරු මැද පළාතට හිමිවූ අතර එම කණ්ඩායම රන් පදක්කම් 03ක් සහ රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම් 02ක් හිමිකරගනු ලැබීය.

මෙම තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස වයඹ පළාතේ ඉසුරු දිලංක සහ හොඳම ක්‍රීඩිකාව ලෙස උතුරු මැද පළාතේ උපමාලික ගුණතිලක ක්‍රීඩිකාවද පදක්කම්, සහතික සහ තිළිණ ලබාගත්හ.

කිලෝ ග්‍රෑම් 89 බර පන්තිය යටතේ උතුරු මැද පළාත නියෝජනය කරමින් තරග වැදුණු පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් ලාභී චින්තන ගීතාල් විදානගේ රන් පදක්කම දිනාගනු ලැබීය. එහිදී ඔහු විසින් ස්නැච් ක්‍රමය යටතේ කිලෝ ග්‍රෑම් 130ක්ද, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝ ග්‍රෑම් 150ක්ද මුළු බර කිලෝ ග්‍රෑම් 279ක් ඔසවනු ලැබීය.

එම තරගයේ රිදී පදක්කම දකුණු පළාතේ කේ. බී. ඩබ්. ශ්‍රීමාල් විසින් ද ලෝකඩ පදක්කම බස්නාහිර පළාතේ ජී. ඩබ්. ඩී. ගොතටුව විසින් දිනාගත්හ.

ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කර තිබූ මෙම තරගාවලිය පසුගිය 06 දා සිට 09 දක්වා පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේ ක්‍රීඩා මධ්‍යස්ථානයේ පැවැති අතර දිවයිනේ පළාත් 09 නියෝජනය කරමින් අවසන් වටයට තේරුණු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 360 දෙනකු සහභාගි වූහ.

පෙරේදා (09 දා) පොළොන්නරුව ගල්ලෑල්ල ජාතික ක්‍රීඩා සංකීර්ණයේ පැවැති සමාප්ති උළෙලේ ජය සංකේත හා සහතික පිරිනැමීමේ අවස්ථාවට ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිඟුරක්ගොඩ කඳවුරේ, ශ්‍රී ලංකා ගුවන් හමුදා පක්‍ෂාංගයේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් ඉන්දික උදයකුමාර, ජාතික බර ඉසිලීමේ සංගමයේ සභාපති එච්. පී. අශෝක බණ්ඩාර, 48 වන ජතික මහා ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරග සම්බන්ධීකරණ නිලධාරී හා පුහුණුකරු ජී. සී. එන්. ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment