5 වැනි කොරෝනා රැල්ල හදන සුපිරි එන්නත

620

5 වැනි රැල්ල හැදෙන්නේ සුපිරි එන්නත එනතුරු බලා සිටිනා ඔබගෙන් විය හැකිය

ඇස්ට‍්‍රාසෙනිකා, ෆයිසර්, මොඩර්නා, සයිනොෆාම් හෝ ස්පුට්නික් යන මෙරට භාවිත සියලූ එන්නත්වල ක‍්‍රියාකාරී ගුණය ඉතා ඉහළය

සයිනොෆාම් සහ සිනෝවැක් යන එන්නත්වල අඩංගු වන්නේ අඩපණ කරන ලද කොවිඞ් වෛරසයයි

ඕනෑම එන්නතක සිදුවන්නේ ප‍්‍රතිශක්තිය නිපදවීම හෝ ඉහළ දැමීමය

කොවිඞ් වැළඳීමෙන් මියයෑමට ඇති හැකියාව අවම කිරීමටත් ඇති එකම ක‍්‍රමවේදය එන්නත්කරණයයි

තමන්ට ඉක්මනින්ම ලැබෙන එන්නත මඟහැරීම නිශ්ඵල බව තරුණ පිරිස තේරුම්ගත යුතුය

කුමන එන්නත ලබාගත්තද කොවිඞ් නොවැළඳෙන්නේ යැයි කිසි විටෙක කියන්නේ නැත

ශ‍්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන යටතේ පසුගියදා වයස අවුරුදු 20-30 අතර තරුණ පිරිසට එන්නත්කරණය සිදු කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි. කොළඹ, හම්බන්තොට, මාතර, ගාල්ල ආදී දිස්ත‍්‍රික්ක කිහිපයකින් එම වැඩසටහන ආරම්භ කර රට පුරා පැතිරුණද තරුණයන්ගේ නොපැමිණීම නිසා මේ වන විටත් ඇතැම් එන්නත්කරණ මධ්‍යස්ථානවල එන්නත් කිරීම නවතා දමා හමාරය. විශේෂයෙන්ම අදාළ වයස් කාණ්ඩවල තරුණ තරුණියන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන විවිධ මතවාදයන් විශ්වාස කරමින් එන්නත්කරණය පිළිබඳ සැකමුසුව බැලීමත්, දැනට ලබාදෙන එන්නත් අතුරින් යම් විශේෂිත වර්ගයක් ලැබෙන තෙක් බලා සිටීමත්, එම වර්ගයෙන්ම එන්නත නොලැබේ නම්, ලැබෙන එන්නත ප‍්‍රතික්ෂේප කිරීමට පෙළඹීමත් හේතුවෙන් එම වයස් කාණ්ඩ සඳහා සිදු කෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ යම් මට්ටමකින් අඩපණ වීමට හේතු වී තිබේ.

සැබැවින්ම මේ එන්නත් විරෝධය හෝ අන් ඒවා අතුරින් ඇතැම් එන්නත් පමණක් තෝරගැනීමට තරුණ පිරිස් පෙළඹීම පසුපස ඇත්තේ කුමක්ද? ඒ පිළිබඳ නිසි විමසා බැලීමක නිරත වීම වටී. ශ‍්‍රී ලංකාවේ කොවිඞ් මර්දන එන්නත්කරණය ආරම්භ වූයේ මේ වසරේ ජනවාරි මාසයේදීය. එතැන් පටන් මේ දක්වා ශ‍්‍රී ලංකාව තුළ ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනිකා, සයිනොෆාම්, මොඩර්නා, ස්පුට්නික් සහ ෆයිසර් යන කොවිඞ් මර්දන එන්නත් වර්ග විවිධ ප‍්‍රමාණවලින් එන්නත් කර තිබේ. ලෝකයේ බහුලව භාවිත වන එන්නත් අතුරින් දැනට මෙරට භාවිත වී නැත්තේ ජැන්සෙන් (ජොන්සන් ඇන්ඞ් ජොන්සන්), නෝවාවැක්ස්, අබ්ඩාලා ආදී එන්නත් වර්ග කිහිපයකි.

ඒ අනුව ඉහත දැක්වූ සියලූ එන්නත් වර්ග භාවිතයෙන් මේ දක්වා මෙරට ජනගහනයෙන් 50% කට වඩා වැඩි පිරිසකට එන්නත් ලබා දී හමාරය. ඉකුත් මාස 07කට අධික කාලයක් තුළ මෙරට එන්නත්කරණ ක‍්‍රියාවලිය යම් ප‍්‍රමුඛතා පිළිවෙළකට අනුව සිදු කෙරුණු අතර, සෞඛ්‍ය සේවකයන් සහ කොවිඞ් සටනේ ඉදිරිපෙළ කණ්ඩායම්, වයස අවුරුදු 60ට වැඩි සහ වයස අවුරුදු 30ට වැඩි ආදී වශයෙන් අදියර කිහිපයක් යටතේ එය සිදු කෙරිණි. වයස අවුරුදු 20 – 30 අතර තරුණ පිරිස එන්නත්කරණයට බඳුන් කිරීම ඇරඹුණේ එකී වැඩසටහනේ තවත් පියවරක් වශයෙනි.

කෙසේ වුවද පෙර කී කණ්ඩායම් සඳහා එන්නත්කරණ ක‍්‍රියාවලිය සිදු කිරීමේදී එතරම් ගැටලූකාරී තත්ත්වයන් මතු නොවූ අතර, සැලකිය යුතු මට්ටමේ ගැටලූ මතු වී ඇත්තේ වයස අවුරුදු 20 -30 අතර තරුණ පිරිස් එන්නත් කිරීමේදීය.

5 වැනි කොරෝනා රැල්ල හදන සුපිරි එන්නත

හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් ෆයිසර් එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ වීමත් සමග මේ තත්ත්වය පුපුරා ගියේය. එම දිස්ත‍්‍රික්කයේ තරුණ පිරිසට ෆයිසර් එන්නත ලබාදීමත්, සෙසු බොහෝ දිස්ත‍්‍රික්කවල තරුණ පිරිසට සයිනොෆාම් හෝ වෙනත් එන්නතක් ලබාදීමට තීරණය කිරීමත් හේතුවෙන් එය එසේ සිදු විය. මෙකී වයස්වල පසුවන බොහෝ දෙනා සමාජ මාධ්‍ය භාවිතය වැඩි හෙයින් තත්ත්වය ක‍්‍රමයෙන් නරක අතට හැරුණු අතර, බොහෝ දිස්ත‍්‍රික්කවල සැලකිය යුතු තරුණ පිරිස් එන්නත්කරණ වැඩසටහන් මඟහැරියහ. මේ පිළිබඳ සමාජ මාධය තුළ මෙන්ම ජනමාධ්‍ය තුළද විවිධ වාර්තා පළවන්නට වූ අතර, රජයේ පාර්ශ්ව ඒවාට නිසි පිළිතුරු ලබානොදීම හේතුවෙන් එම අර්බුදය තවත් උග‍්‍ර විය. එය දේශපාලනික අවශ්‍යතා මත පිහිටා සිදු කළ ක‍්‍රියාවක් බවට බොහෝ මත පළ වූ අතර, වරායක් පිහිටා තිබීම හේතුවෙන් හම්බන්තොටට ෆයිසර් එන්නත ලබාදීම සම්බන්ධයෙන් විද්‍යාත්මක පදනමක් මත පිහිටා කිසිදු පැහැදිලි කිරීමක් නොවීමද ගැටලූව තීව‍්‍ර කළේය. එය එසේ නම් ලංකාවේ ප‍්‍රධානම වරාය පිහිටා ඇති කොළඹටද ෆයිසර් අවශ්‍ය යැයි බස්නාහිර තරුණ පිරිස් ඉල්ලන්නට පටන්ගත්හ. ගාල්ලේ තරුණ පිරිස්ද තමන්ට ලැබුණු සයිනොෆාම් එන්නත ප‍්‍රතික්ෂේප කරන්නට වූහ. අවසානයේ නිසි ක‍්‍රමවේදයකින් තොරව දේශපාලන වුවමනා මත එන්නත් තෝරන්නට යෑම නිසා නැති ගැටලූවක් ඇති වී යම් සාධනීය මට්ටමකින් සිදු කරගෙන ගිය එන්නත්කරණ වැඩපිළිවෙළට බාධා ඇති විය. සැබැවින්ම අප විමසා බැලිය යුත්තේ කුමක්ද? ඇස්ට‍්‍රාසෙනිකා, ෆයිසර්, මොඩර්නා, සයිනොෆාම් හෝ ස්පුට්නික් යන මෙරට භාවිත සියලූ එන්නත්වල ක‍්‍රියාකාරී ගුණය ඉතා ඉහළය. ඒ සියල්ලේම පාහේ වෛරසයට එරෙහිව ක‍්‍රියාකිරීමේ හැකියාව ඉහළ අගයක තිබේ. ඒ අනුව යම් වෙනසක් ඇත්නම් ඒ එන්නත නිපදවෙන ආකාරයේ සහ ඒ සඳහා වන තාක්ෂණය අනුව පමණකි. ඒ පිළිබඳ කෙටියෙන් හෝ විමසා බැලීමද සුදුසු වන්නේ එමගින් මේ විවිධ එන්නත් පිළිබඳ ඇති දුර්මත දුරු කිරීම සඳහා එය වැදගත් වන හෙයිනි. සයිනොෆාම් සහ සිනෝවැක් යන එන්නත්වල අඩංගු වන්නේ අඩපණ කරන ලද කොවිඞ් – 19 වෛරසයයි. මෙම වර්ගයේ එන්නත් නිෂ්පාදනය කරනු ලබන්නේ බැක්ටීරියාවක් හෝ වෛරසය වර්ධනය කර, ඉන්පසු එය රසායනික ක‍්‍රියාවලියකට බඳුන්කොට අක‍්‍රිය කිරීමෙනි. අක‍්‍රිය කරන ලද එන්නත් මගින් රෝගය ඇති කළ නොහැකි අතර, එමගින් ශරීරය තුළ ප‍්‍රතිශක්ති ප‍්‍රතිචාර නිර්මාණය කෙරෙයි. එමෙන්ම අනුපිටපත් නොකරන වෛරස රෝගවාහක ඇසුරින් නිපදවෙන එන්නත් තිබේ. මෙරට මුලින්ම එන්නත්කරණය සිදු කළ කොවිෂීල්ඞ් ඇස්ට‍්‍රාසෙනිකා එවැන්නකි. ඒවායෙහි ප‍්‍රතිදේහ අඩංගු නොවන අතර, ශරීරයේ ෙසෙල මාර්ගයෙන්ම ඒවා නිෂ්පාදනය කරනු ලැබේ. කොවිඞ්-19 සම්බන්ධයෙන් ගත් කල, මෙය වෛරසයේ රූපවල දක්නට ලැබෙන කූරු වැනි කොටස්වල තිබෙන ප්‍රෝටීන ජානයි (ස්පයික් ප්‍රෝටීන්).

එමගින් සෛලවලට එම ප්‍රෝටීනවල පිටපත් නිෂ්පාදනය කිරීමට උපදෙස් දෙනු ලැබේ. න්‍යෂ්ටික අම්ල හෝ mRNA යනුද තවත් වර්ගයකි. මේ එන්නත සඳහාද භාවිත කරන්නේ වෛරසයෙන් ලබාගත් ජානමය ද්‍රව්‍යයි. එමගින් ප‍්‍රතිශක්තිමය ප‍්‍රතිචාරයක් උත්තේජනය කරනු ලැබේ. එන්නතෙහි ජානමය ද්‍රව්‍ය DNA හෝ RNA විය හැකි අතර, එහිදී රෝග බීජයෙන් නිශ්චිත ප්‍රෝටීනයක් නිපදවෙයි. ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් එය ප‍්‍රතිදේහ ජනකයක් ලෙස හඳුනාගනු ලබයි. ඉහත කොයි ආකාරයෙන් වුවද නිපදවෙන ඕනෑම එන්නතක සිදුවන්නේ ප‍්‍රතිශක්තිය නිපදවීම හෝ ඉහළ දැමීමය. එමෙන්ම කුමන එන්නත ලබාගත්තද කොවිඞ් නොවැළඳෙන්නේ යැයි කිසි විටෙක කියන්නේ නැත. එහෙත් ලෝකයම පිළිගන්නා පරිදි කොවිඞ් පැතිරීම අවම කිරීමටත්, කොවිඞ් වැළඳීමෙන් මියයෑමට ඇති හැකියාව අවම කිරීමටත් ඇති එකම ක‍්‍රමවේදය එන්නත්කරණයයි. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතය සඳහා පිළිගෙන ඇති ඕනෑම එන්නතක් ලබාගැනීම සෑහෙන බව විද්වත් මතයයි. එනිසා විශේෂ එක් එන්නතක් බලාපොරොත්තුවෙන් තමන්ට ඉක්මනින්ම ලැබෙන එන්නත මඟහැරීම නිශ්ඵල බව තරුණ පිරිස තේරුම්ගත යුතුය.

මන්දයත් ලෝකයේ එන්නත්කරණය අරඹා වසරකට ආසන්න කාලයක් ගතවීමත්, මෙතෙක් නිෂ්පාදනය කර ඇති කිසිදු එන්නතක බරපතළ සංකූලතා ඇතැයි මේ දක්වා කිසිදු ආකාරයක විද්‍යාත්මක කරුණු අනාවරණයක් සිදු වී ඇති නිසාත්ය.

එමෙන්ම මේ වනවිට එන්නත් විරෝධී පිරිස් මේ වනවිට බිහිවෙමින් තිබේ. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය මුල් කරගෙන බිහිවන ඇතැම් ආගමික, වෛද්‍යමය හෝ වෙනත් අදහස් හේතුවෙන් මෙම පිරිස් බිහිවන අතර, මේ වනවිට මෙරට තුළ එවැනි එන්නත් විරෝධීන් බිහිවෙමින් තිබෙනු දැකිය හැකි වෙයි. විශේෂයෙන්ම එන්නත් යනු ජෛව අවියක්ය යන්න හෝ එන්නත් අතුරුඵල හේතුවෙන් අනාතයේ වඳභාවයට පත්වීම හෝ වෙනත් සංකූලතාවලට හෝ මුහුණපාන්නට සිදු වෙතැයි කියමින් එන්නත් ප‍්‍රතික්ෂේප කරන පිරිසක් සිටිති. මේ පිරිස අතුරින් ඉහත වයස අවුරුදු 20 -30 අතර සැලකිය යුතු ප‍්‍රමාණයක් සිටීමද එන්නත්කරණ වැඩසටහන ඉදිරයට ගෙනයෑමට බාධාවක්ව තිබේ. කෙසේ වුවද ලෝකයේ දියුණුම රට ලෙස සැලකෙන ඇමෙරිකාවේද ජනගහනයෙන් 30% ක පමණ පිරිසක් තවමත් කිසිදු එන්නතක් ලබානෙ නොමැති අතර, ඒ සඳහා උක්ත ආකාරයේ මතවාද මෙන්ම දේශපාලනික අදහස් ද බලපා තිබේ.

විශේෂයෙන්ම ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය එන්නත්කරණය සම්බන්ධයෙන් දරන විරෝධතාව නිසාද එම තත්ත්වය ඇතිව තිබේ. එමෙන්ම නිසි පිළිගැනීමක් නැතැයි කියමින් එන්නත බැහැර කරන පිරිසක්ද වෙති. එහදී අප තේරුම්ගත යුතු වන්නේ මේ දක්වා ලොව කිසිදු එන්නතක් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනුමත කර ඇත්තේ හදිසි භාවිතයන් සඳහා පමණක් බවයි. විශේෂයෙන්ම සායනික පරීක්ෂණ සහ පර්යේෂණ අනුව එන්නතක් හෝ කුමන ඖෂධයක් වුවද පිළිගැනීමට සුදුසුදැයි තීරණය කරන්නේ අවම වශයෙන් වසර 05-07ක් වැනි කාලයක් තිස්සේ නිරීක්ෂණය කිරීමෙන් පසුය. එහෙත් කොවිඞ්-19 ලෝකයේ පැතිර යෑම ආරම්භ වූයේ 2019 නොවැම්බර් මාසයේය. කොවිඞ් මර්දන එන්නත් සොයාගැනුණේ 2020 වර්ෂයේය. එනිසා වසර ගණනාවක් සිටිමින් පර්යේෂණ නිම කිරීමට කාලය නොමැති වීමත්, මෙතෙක් සිදුකළ සායනික පරීක්ෂණවලදී කිසිදු ගැටලූවක් නොමැති වීමත් හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා හදිසි භාවිතය සඳහා ඒවා අනුමත කර තිබේ. ඊටත් වඩා ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ නියාමනය කරන FDA ආයතනය පවා ඇමෙරිකාවේම නිපැයුමක් වන ෆයිසර් එන්නත පවා නිල පිළිගැනීමකට ලක්කළේ ඉකුත් අගෝස්තු මාසයේය. එතෙක් ඔවුන්ද අනුමැතිය ලබා දී තිබුණේ හදිසි භාවිතය සඳහා පමණි. එනයින් නිරපරාදේ අනියත බියක් ඇති කරගනිමින් එන්නත් ප‍්‍රතික්ෂේප කිරීම නොකළ යුතු බව අපේ හැඟීමයි. ඇමෙරිකාවෙන් හෝ බටහිර ඕනෑම රටකින් එන ඕනෑම දෙයක් පෙරදිග කවර නිෂ්පාදනයකට වඩා ප‍්‍රමිතියෙන් ඉහළ බව කාලාන්තරයක් තිස්සේ පොදුජන විඥානයේ පවතින කරුණකි. යටත් විජිතයක්ව පැවතීම මෙයට හේතුව යැයි ඇතැමෙකුට තර්ක කළ හැකි වුවත් නිදහසින් අවුරුදු 50 කට පසුව උපන් වර්තමාන තාරුණ්‍යය පවා එම මතයේම එල්බ ගෙන සිටියි.

මේ නිසා ඇමෙරිකාව නිපදවූ ෆයිසර් හෝ මොඩර්නා එන්නත බලාපොරොත්තුවෙන් අනෙකුත් එන්නත් ලබාගැනීමෙන් වැළකී සිටියි. එසේම මෙර හැරයෑමට මඟ බලා සිටින තරුණ පරපුර වෙනත් එන්නත්වලට විදේශ රටවල පිළිගැනීමක් නැති බව පවසමින් ෆයිසර් හා මොඩර්නා ගැනීමට පොර බඳියි.

ඒ බොහෝ දෙනා චීනය, රුසියාව හෝ කියුබාවේ එන්නත් බටහිර රටවල් පිළිනොගන්නේ එන්නතේ ගැටලූවක් නිසා නොව දේශපාලන ගැටලූවක් නිසා බව දන්නේ නැත. විදේශ රටකට පැන ගන්නත් පළමුව ජීවත්ව සිටිය යුතුය යන්න බොහෝ දෙනාට මතක නැත. අප මේ වනවිට අත්දකිමින් සිටින්නේ ඇමෙරිකාව සහ බටහිර රටවල් කාලයක් තිස්සේ සිදු කරන තම මතවාදය පැතිරවීමේ ක‍්‍රියාවලියේ කොටසක් පමණි. ඇමෙරිකාවේ දැන් ප‍්‍රධානම ප‍්‍රශ්නයක් වී තිබෙන්නේ සමාජ මාධ්‍ය හරහා පැතිර යන බොරු ප‍්‍රවෘත්තිය. ට‍්‍රම්ප් ගේ බොරු ප‍්‍රවෘත්ති නිසා ඇමෙරිකාවේ ඩොල්ටා රැල්ලක් ඇති විය. ඒවා ඇමෙරිකාවට ප‍්‍රශ්නයක් වෙද්දී මතවාදය පැතිරවීමේ ක‍්‍රියාවලියේ කොටසක් ලෙස අනෙක් සියලූ රටවල නිෂ්පාදනයන් සම්බන්ධයෙන් තවත් බොරු ප‍්‍රවෘත්ති නිර්මාණය වෙන බව පැහැදිලිව දැක ගත හැකිය. අපේ රටේ ඉංග‍්‍රීසි භාෂාව දන්නා තරුණ පරපුර මේවා කියවා සිංහලටද පෙරළයි. එවිට වර්තමාන තරුණ පරපුර නොදැනීම බටහිර රටවල මතය විශ්වාස කිරීමේ සදාතනික උගුලට වැටෙයි. එහෙත් අඩුවෙන් මේ ගනුදෙනුව කරන වතුකරයේ තරුණයෝ තමන්ට ලැබෙන එන්නත ගසාගනිති. වතුකරයේ තරුණයන් ලෝකය සමග ගනුදෙනුව අඩුවීම මේ වෙලාවේ ඔවුන්ට විශාල වාසියක් වී අවසන්ය. ඕනෑවටටත් වඩා දන්නා අය ලැබෙන එන්නත එපා කියමින් බලා සිටිති. නුවණැත්තෝ කවුදැයි තීරණය කිරීම වෛරසයට භාරවීම භයානක තත්ත්වකි. එන්නත් යුද්ධය ලොව දරුණුම ආර්ථික යුද්ධයක් වී තිබේ. අමෙරිකාව ඩොලර් 5 ට ෆයිසර් දෙන්න කතා කළා යැයි ඩොලර් මත යැපෙන දේශපාලකයන් කෑ ගසන්නේ මේ නිසාය. එහෙත් එසේ දෙන්න කතා කළ අවස්ථාවක් පෙන්වන්නට මොවුන්ට හැකියාවක් නැත. මානව හිමිකම් කොමිසම රැස්වෙද්දී තවත් මාස හයකින් භාවිත කිරීමට කියා ශ‍්‍රී ලංකාව ෆයිසර් මිලියන 14 ක් ඇනවුම් කරන්නේ නිකම්ම නොවේ. එහෙයින් මේ තත්ත්වය නිවැරදිව තේරුම්ගත යුතුය. 5 වැනි රැල්ල හැදෙන්නේ සුපිරි එන්නත එනතුරු බලා සිටිනා ඔබගෙන් විය හැකිය. අන්තිමට ඔබට සුපිරි එන්නතත්, රටින් පැන යෑමේ අවස්ථාවත් යන දෙකම නැතිවෙන්නට ඉඩ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment