5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය කුඩා මාළුවකු විශාල පොකුණකට දැමීමක් ද?

518

පහ ශ්‍රේණියේ දක්ෂයින් වැඩි දෙනෙක් ජනප්‍රිය පාසල්වලට ඇතුළු වූ පසු අපොස (සා.පෙ) හා (උ.පෙ) කඩඉම් සාර්ථක කර නොගන්නේ ඇයි. මේ පිළිබඳ බොහෝ සාකච්ඡා පැවතියද මේ පිළිබඳ න්‍යායාත්මක පැහැදිලි කිරීමක් නොවීය. ඒ අතර විවිධ වෘත්තීය පුහුණු ගැටලු පැහැදිලි කරගැනීමට අන්තර්ජාලය ගවේෂණය කිරීමේ දී 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වධාරියකුගේ අනාගත අධ්‍යාපන ප්‍රගමනයේ ගැටලු පැහැදිලි කළ හැකි සංකල්පයක් හමුවිය. එය නම් කුඩා මාළුවකු විශාල පොකුණකට දැමීමේ සංසිද්ධියයි. එය ඉංග්‍රීසියෙන් Small Fish in a Big Pond Effect යනුවෙන් අන්තර්ජාලය ගවේශණය කළ හැකිය.

ලොකු පොකුණක සිටින්නේ ලොකු මාළුය. කුඩා මාළුවකු ලොකු පොකුණකට දැමූ විට එක්කෝ සැඟවී සිටීමට සිදු වේ. නැතිනම් ඌ ලොකු මාළුන්ගේ ගොදුරක් බවට පත් වේ. ලොකු මාළුන් සමග සහජීවනයෙන් සිටින කුඩා මාළුන් ද සිටිය හැකිය. https://en.wikipedia.org/wiki/Big-fish%E2%80%93little-pond effect වෙබ් අඩවියේ විස්තර කරන මාළුවා හා පොකුණ සංකල්පය ඉගෙනීමට බලපාන ආකාරය විස්තර කර ඇත. මෙය පැහැදිලි කර ඇත්තේ සිසුවකුගේ ස්ව අධ්‍යාපන සංකල්පය (Academic Self Concept) පදනම්ව ය. දීපාල් විජේසේකර මහතාගේ පුද්ගල සංවර්ධන කුශලතා පොතේ පැහැදිලි කිරීම් අනුව ස්ව සංකල්පය යනු තම හැකියාවන් හා සීමාවන් පිළිබඳව, තම පරිසරය හෝ තම සමකාලීනයන් සමඟ සසඳා ගන්නා මානසික චිත්‍රයකි

ඕනෑම කෙනෙක් තමන්ගේ හැකියාවන්, තමා අවට තම සමකාලීනයන්ගේ හෝ තම පන්ති සගයන්ගේ හැකියාවන් සමග සංසන්දනය කරයි. ඉහත වෙබ් අඩවියේ පැහැදිලි කිරීම් අනුව, පාසල් සිසුවෙක් තමාගේ හැකියාවන් තම සමකාලීනයන්ගේ හෝ පන්ති සගයන්ගේ හැකියාවන්ට වඩා ඉහළ බවට වැටහීමක් වේ නම්, තම අධ්‍යාපනික ස්ව- සංකල්පය ධනාත්මක වේ. එවිට ඔහුට හෝ ඇයට තම හැකියාවන් තව තවත් වර්ධනය කරගැනීමේ උත්ප්‍රේරණයක් ඇති වේ. සිසුවෙක් තමාගේ හැකියාවන් තම සමකාලිනයන්ගේ හෝ පන්ති සගයන්ගේ හැකියාවන්ට වඩා පහළ බවට වැටහීමක් වේ නම්, තම අධ්‍යාපනික ස්ව සංකල්පය ඍණාත්මක වේ. එවිට ඔහු හෝ ඇය තම හැකියාවන් වර්ධනය කරගැනීමේ ධෛර්ය හීනවේ.

ගමේ පාසලේ ශිෂ්‍යත්වය සමත් වන ළමයා වසර ගණනාවක් තම දක්ෂතාව වාර විභාගවලදී ප්‍රදර්ශනය කර ඇත. ඔහු/ ඇයට පාසලේ හා ගමේ ඉහළ පිළිගැනීමක් ඇත. ළමයාගේ දෙමව්පියන්ට පාසලේ ගුරුවරුන් අතර පිළිගැනීමක් ඇත. මේ නිසා ගමේ පාසලේ ශිෂ්‍යත්වය සමත් වූ සිසුවාගේ අධ්‍යාපනික ස්ව-සංකල්පය ඉතා ඉහළ ධනාත්මක අගයක් ගනී. මෙම සිසුවා විශාල ජනප්‍රිය පාසලකට ඇතුළත් වූ විට මුහුණ දෙන තත්ත්වය කෙබඳු වේද?

ජනප්‍රිය පාසලට ඇතුළු වන සිසුවා ගමේ පාසලේ ඉහළම ශිෂ්‍යත්ව ලකුණු ගත් ළමයා වුවද, අලුත් පාසලේ අලුත් පන්තියේ දී ඔහුට හෝ ඇයට තමන්ට වඩා ශිෂ්‍යත්ව ලකුණු ලබා ඇති සිසුන් රාශියක් හමු විය හැකිය. තම පන්තියේ සිසුන් අතර රටේ ප්‍රභූන්ගේ දූ පුතුන් ද සිටිය හැකිය. තමන් ගමේ පාසලේ මෙන් ගුරුවරුන්ගේ විශේෂ ආකර්ෂණයට ලක් නොවීමට ඉඩ ඇත. එසේම අලුත් පන්තියේ පාසලේ බාහිර ක්‍රියාකාරකම්වල කැපීපෙනෙන සිසුන් සිටිය හැකිය. ආගන්තුක පරිසරය, භාෂාවේ හා හැසිරීම් වෙනස්කම්වලට මුහුණ දීම ළාබාල වයසේ සිටින සිසුවාට ව්‍යාකූලත්වයක් විය හැකිය. ඇත්තටම ජනප්‍රිය පාසල වෙනම සංස්කෘතියක් වේ. ගමේ පාසලින් ජනප්‍රිය පාසලට ඇතුළත් වන සිසුවාට ඇත්තටම සංස්කෘතික කම්පනයක් ඇති වීමට ඉඩ ඇත. මෙම තත්ත්වය තුළ, ගමෙන් ශිෂ්‍යත්වය සමත් වී පැමිණි සිසුවාගේ ධනාත්මක ස්ව-සංකල්පය හානිවීමට ඉඩ ඇත. මෙම තත්ත්වය කාලයක් පැවතුණහොත් ස්ව-සංකල්පය ඍණාත්මක බවට පත් විය හැක.

බොහෝ සිසුන් මෙම සංසිද්ධිය හේතුවෙන් දුර්වල වේ. එහෙත් ශාස්ත්‍රීය ස්ව-සංකල්පය හා තම හැකියාව පිළිබඳ ඉහළ ආත්ම විශ්වාසයක් තිබෙන සුළු සිසුන් පිරිසක් තම ඉගෙනීමේ දක්ෂකම් ඉහළ මට්ටමින් පවත්වා ගැනීමට සමත් විය හැකිය.

මෙහි විස්තර කළේ කුඩා මාළුවකු ලොකු ටැංකියකට දැමීම පිළිබඳව ය. ලොකු මාළුවකු කුඩා ටැංකියට දැමීමෙන් ද මෙවැනි බල පෑමක් ඇති වේ. https://skeptics.stackexchange.com/questions/44971/will-a-shark-kept-in-a-fish-tank-have-stunted-growth වෙබ් අඩවිය අනුව මුහුදේ දී අඩි 8 ක් පමණ දිගැති මෝරෙකුගේ පැටියකු කුඩා මාළු ටැංකියකට දැමූ විට ලොකුවන්නේ අඟල් 8 ක් පමණය. මෙසේ සිදුවන්නේ ටැංකිය කුඩා නිසාම නොව වතුරේ ගුණාත්මක බව හා පරිසරාත්මක සාධකවල බලපෑම මත බවට තර්කයක් එහි ඇතුළත් විය. කුඩා පාසලක සිසුවෙක් ක්‍රීඩාවක දක්ෂයෙක් වන විට ඔහු හෝ ඇය අගනුවර ලොකු පාසලකට ඇතුළත් කර අගනුවර ඇති පහසුකම් මත පුහුණුව ලබා දේ. ක්‍රීඩාවට දක්ෂ සිසුවාට කුඩා පාසලේම සිටියහොත් ඉහළ මට්ටමේ දක්ෂ ක්‍රීඩකයකු විය නොහැක්කේ පාසල කුඩා නිසා නොව ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් නොමැති නිසාය.

ක්‍රීඩා කරන සිසුවකු වැඩිදුර පුහුණු කිරීමට කොළඹට රැගෙන එන්නේ වයසින් සෑහෙන මුහුකුරා ගිය පසුය. එවිට ඔහු හෝ ඇය ක්‍රීඩාව පිළිබඳ ඉහළ ස්ව-සංකල්පයක සිටී. මෙම මට්ටමේ ක්‍රීඩකයකු තම දක්ෂතාව අගයන්නේ තම පෙර දක්ෂතාව සමගය. ඇගයීම් ක්‍රමවලදී මෙය Ipsative Assessment යනුවෙන් හඳුන්වයි. ක්‍රීඩා කරන සිසුවකු කොළඹට රැගෙන ඒමට තීරණය කරන විට එම සිසුවා තමා ක්‍රීඩා ඉසව්වේ තරග රාශියකට සහභාගී වී ඇත. එවිට එම සිසුවා ක්‍රීඩා තරගවලට සහභාගී වී ඉහළ පන්නරයක් ලබා ඇත. එවැනි ක්‍රීඩකයකු ලොකු පාසලකට ඇතුළත් කරනවා යන්න ලොකු මාළුවකු ලොකු පොකුණකට දැමීමට සමාන වේ.

පාසල් අධ්‍යාපනයේ එකම තරගකාරී විභාගයකට පමණක් සහභාගි වූ ළාමක වයසක සිටින 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වලාභියා ඉහත විස්තර කළ ලොකු මාළුවකුගේ භූමිකාවට ආදේශ කළ නොහැක. එවිට එම සිසුවාට කුඩා මාළුවකු ලොකු ටැංකියකට දමන සංසිද්ධියට සමාන තත්ත්වයකට මුහුණ දීමේ වැඩි සම්භාවිතාවක් ඇත.

ජනප්‍රිය පාසලට මා සමග ඇතුළු වූ ශිෂ්‍යත්වලාභීන්ගෙන් බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපනයට ඇතුළත් නොවූවද, ඔවුහු සෑම කෙනෙක්ම වාගේ තම රැකියාවලදී නායකත්ව කුශලතා ප්‍රදර්ශනය කර ඇත. ශිෂ්‍යත්වලාභියකු වූ මාගේ පාසල් පන්ති සගයකු රාජ්‍ය ආයතනයක ලිපිකරු හෝ සමාන්තර ශ්‍රේණියක සේවය කළේය. ඔහු එහි බලවත් වෘත්තීය සමිතියක නායකයා විය. තවත් ශිෂ්‍යත්වලාභී පන්ති සගයෙක් ප්‍රධාන නගරයක ලොරි රියැදුරෙක් ලෙස සේවය කරන බවත් ඔහු එම නගරයේ ලොරි රියදුරන්ගේ නායකයා බව මෑතකදී මා දැන ගතිමි. මාගේ වසර 25 ක වෘත්තීය පුහුණු සේවයේදී වෘත්තීය පුහුණුව ලබා ඉතා සාර්ථක වූ කාර්මිකයින් හා ව්‍යාපාරිකයින් රාශියක් මට හමු වී ඇත. ඔවුන් අතර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් වූවෝද රාශියක් සිටිති. මෑතක දී ඉංජිනේරුමය ව්‍යාපාරයක් ආරම්භ කර ඇති තවමත් තරුණ වියේ සිටින එක් වෘත්තීය පුහුණුලාභියෙක් හමු වූ අතර, එහි ඔහු යටතේ ඉංජිනේරු උපාධිධාරීන් කීප දෙනෙකූ සේවය කරන බව දැන ගතිමි. මා ඔහුගේ අධ්‍යාපනික හා වෘත්තීය ගමන් මග පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ඔහු 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් වූ බවත් අ.පො.ස (උ.පෙ) සමත් නොවූ නිසා වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරූ බව පවසන ලදි. මා අසා ඇති මෙවැනි සිද්ධීන් නිසා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් වූවන් එම වයස් කණ්ඩායමේ දක්ෂයින් බව මාගේ විශ්වාසයයි. එසේ වුවද එම දක්ෂයින් ජනප්‍රිය පාසලකට දැමීමෙන් තමන්ට හා දෙමව්පියන්ට ආගන්තුක වූ සංස්කෘතියක් තුළ අතරමං වීමේ සම්භාවිතාවක් පවතින බව අවධානයට ගත යුතු කරුණකි.

මෙම සංසිද්ධියේ වැදගත්කම බොහෝ අධ්‍යාපනවේදීහු හා බලධාරීහු තේරුම් ගෙන සිටිති. එහෙත් සමාජ සංවේදී මාතෘකාවක් පිළිබඳ තීරණ ගැනීම ඉතාමත් අපහසු වේ. එමනිසා මෙම පසුබිම පිළිබඳ ජනමතය සැකසෙන පරිදි සමාජ කතිකාවක් ආරම්භ කිරීම ප්‍රයෝජනවත් වේ.

බී.එච්. සුසන්ත සුරවීර
වරලත් ඉංජිනේරු
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ විශ්‍රාමලත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

advertistmentadvertistment
advertistmentadvertistment