ත‍්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගත් දෙමළ සිරකරුවන් 27ක් ඉක්මනින් නිදහස් කරනවා

162

අධිකරණ ඇමැති යාපනයේදී කියයි

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින තවත් දෙමළ දේශපාලන සිරකරුවන් 27 දෙනකු ඉතා ඉක්මනින්ම නිදහස් කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන ඇතැයි අධිකරණ අමාත්‍ය අලි සබි‍්‍ර මහතා 30 දා යාපනයේදී පැවසීය.

යාපනයට පැමිණි අමාත්‍යවරයා මාධ්‍යවේදීන් පිරිසක් විසින් නගන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට මේ දිනවලදී කටයුතු කරගෙන යන බවත් ඉදිරි කාලයේදී එම පනත මුළුමනින්ම වෙනස් කිරීමට පියවර ගන්නා බවත්ය.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම වෙනස් වීමෙන් පසුව ඉතිරි දෙමළ දේශපාලන සිරකරුවන් පිරිසට ද ඉක්මනින්ම නිදහස ලැබෙන බව කී අමාත්‍යවරයා මේ පනතේ කිසිම සංශෝධනයක් නොතිබූ මොහොතක

පසුගිය වෙසක් පොහොය නිමිත්තෙන් දෙමළ දේශපාලන සිරකරුවන් 16 දෙනකු නිදහස් කිරීමට හැකි වූ බවද කියා සිටියේය.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මත අත්අඩංගුවට ගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ස`දහා සලකා බැලීමට ජනාධිපතිවරයා විසින් හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කොට ඇති බවද මෙහිදී අධිකරණ අමාත්‍යවරයා පැවසීය. එම කමිටුවට නිදහස් කළ යුතු දෙමළ දේශපාලන සිරකරුවන් 44 දෙනකුගේ අයදුම්පත් ලැබී ඇති බවත්, ඔවුන් අතරින් 27 දෙනකු නිදහස් කිරීමට නිර්දේශ ලැබී ඇති නිසා ඉතා ඉක්මනින් නුදුරු කාලයේදී ඔවුන්ට නිදහස ලැබෙනු ඇති බවත් අධිකරණ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

රටේ පවත්නා නීතියට අනුව දෙමළ දේශපාලන සිරකරුවන් යනුවෙන් පිරිසක් නොමැති බවත් දැනට අත්අඩංගුවේ සිටින පිරිස ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පිරිසක් පමණක් බවත් අමාත්‍යවරයා යාපනයේදී වැඩිදුරටත් කියා සිටියේය.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment