කාලය ආපසු හැරවූ යුද ස්මාරකය මිණිපුර ඔරලෝසු කණුව

278

ලොව්තුරා බුදුන්ගේ ශ‍්‍රී පාද පත්ම සුපිපුණු බෞද්ධ පුරවරය වන සපරගමුව මහ පොළොවේ එවන් ඓතිහාසික අතීත මතකයන් බොහෝ ගණනක් කාලයේ වැලිතලාවට යටින් වැළලී ගොස් ඇත. එවන් අතීත මතකයන් රැසකට කෙම්බිම වූ රත්නපුර නගරය මැණික් කර්මාන්තය හා සබැඳි උප සංස්කෘතීන් ගණනාවකට ද සාක්ෂි දරන ඓතිහාසික පුරවරයක් බව නොකිවමනාය.

ඒ අතරින් බොහෝ හේතූන් නිසා දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගත් පුරවරයක් ලෙසින් අදටත් රත්නපුර නගරය අපේ රටේ එවන් ස්ථාන අතර කැපී පෙනේ. ජාතික හා ජාත්‍යන්තර කීර්තියට පත් මිණිපුරයට එදිනෙදා කාර්ය බහුල ජීවිත ගත කරන බොහෝ දෙනා පෞද්ගලික හෝ රාජකාරීමය අවශ්‍යතාවන් සඳහා පැමිණෙනවා මෙන්ම නගරය පසු කරමින් ගමන් කරන වාර ද අනන්ත අප‍්‍රමාණ වේ.

ඒ යන එන කාගේත් ඇස නිරතුරුව ගැටෙන දසුනක් ලෙස නගර මධ්‍යයේ උසින් විරාජමානව වැජඹෙන රත්නපුර ඔරලෝසු කණුව හැඳින්විය හැක. එහෙත් එම හෝරාස්ථම්භය හා සබැඳි ඓතිහාසික වටිනාකම් රැසක් ඉතිහාසය තුළ තවමත් අප‍්‍රකටව ජන විඥ්ඥානයෙන් ඈත්ව පවතින බව බොහෝ දෙනා දන්නේ නැත. මා අද ලියා දක්වන්නේ රත්නපුර ඔරලෝසු කණුව පිළිබඳ බොහෝ දෙනා නොදන්නා තොරතුරු කිහිපයකි.

පළමු ලෝක යුද්ධය සඳහා රාජකීය හමුදාවට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින්ද සෙබළුන් සහභාගි වූ බව ඉතිහාසය දන්නා ඇතැමුන්ට අලූත් පුවතක් නොවේ. සපරගමුව පළාත නියෝජනය කරමින්ද ඒ සඳහා සෙබළු සහභාගි වූ බවට මේ ඔරලෝසු කණුවම හොඳ සාක්ෂියකි. මන්ද…. පළමු ලෝක යුද්ධයට සපරගමු පළාතෙන් ගොස් දිවි පිදූවන් සිහිකිරීම අරමුණු කර ගනිමින් සුදු ආණ්ඩුවේ රත්නපුර දිස්ත‍්‍රික් මහ ඒජන්ත ආර්. බී. බ‍්‍රැව්නින්ග් මහතාගේ මූලිකත්වයෙන් වර්ෂ 1914 -1918 යන කාල වකවානුව තුළදී මෙම ඔරලෝසු කණුව නිර්මාණය වූ බව කියවේ.

කොහොමටත් අපේ රටේ ඓතිහාසික ඔරලෝසු කණු ගත්විට ඉන් 90%කටත් වඩා නිර්මාණය වී ඇත්තේ සුදු අධිරාජ්‍යටාදීන්ගේ පාලන සමයේ බව රහසක් නොවේ. එදා එම කටයුත්ත නිමකරන්නට රජය වියදම් කළ මුදල රුපියල් 11 000 බව ඒජන්ත ආර්. බී. බ‍්‍රැව්නින්ග් වාර්තාවලින් ඔප්පු වේ. මෙම ඔරලෝසු කණුව සම්පූර්ණයෙන්ම වැඩ නිමා කර ඇත්තේ වර්ෂ 1922 මාර්තු මස 17 වන දිනය. දිස්ත‍්‍රික් මහ ඒජන්ත ආර්. බී. බ‍්‍රැව්නින් වර්ෂ 1920 ඔක්තෝබර් 17 වන දින සිය දින පොතෙහි ද මේ පිළිබඳව සවිස්තරාත්මකව සටහනක් තබා ඇත.

ඒ අතර නිර්මාණාත්මක සැලැස්මක් තෝරාගත් අන්දම ගැනද තව අපූරු කතාවක් ඇත. ඔරලෝසු කණුව ඉදිකිරීම සඳහා සැලසුමක් තෝරා ගැනීමට යුධානුස්මරණ කමිටුව රැස් වී සාකච්ඡා පවත්වා හොඳ ම සැලැස්ම තෝරා ගැනීම සඳහා තරගයක්ද පවත්වන්නට සිදුව ඇත්තේ ඒ සඳහා ඉදිරිපත් වූ සැලසුම් ප‍්‍රමාණය වැඩි වූ නිසාය. අවසානයේ තරගයක් පවත්වා හොඳම සැලැස්ම තෝරාගත් අතර පළමු ත්‍යාගයට රුපියල් 300 ක් පිරිනමන ලද බවද කියවේ. එම තරගය සඳහා හොඳම සැලසුම් දහයක් ඉදිරිපත් වූ අතර ඉන් සැලසුම් තුනක් වැඩිදුර සලකා බැලීම සඳහා තෝරා ගන්නා ලදී. ඊට අමතරව ලන්ඩනයේ ‘‘ටයිම්ස් සප්ලයි ඒජන්සි‘‘ ආයතනයෙන් ඉදිරිපත් කොට තිබූ පවුම් 287 ක් පමණ වටිනා ඔරලෝසුව පිළිබඳ ඇස්තමේන්තුව යුධානුස්මරණ කමිටුව විසින් අනුමත කරන ලදී.

මෙලෙසින් නිර්මාණය වූ ඔරලෝසු කණුවේ දෙපැත්තෙහි ම යුද්ධයෙන් මියගිය රණවිරුවන් විසි දෙදෙනකුගේ නම් සඳහන්ය. ඒ අතර එහි සඳහන් සුවිශේෂී සිදුවීමක් ද වේ. රත්නපුර ලෝකල් බෝර්ඞ් සභාවේ වැඩ පරීක්ෂකවරයෙකු ලෙස සේවය කළ ඞී. ස්පේල්ඞ් වින්ඞ් මහතා ද මෙම යුද්ධයට සහභාගි විය. වරක් ඔහු යාත‍්‍රා කරමින් සිටි නැව අතරමගදී වෙඩි වැදී මුහුදුබත් වෙමින් තිබියදී ජීවිතාරක්ෂක බෝට්ටුවකට නැගගත් ඔහු දිවිබේරා ගන්නට ඉඩ තිබියදී මහත් අභාග්‍යසම්පන්න සිද්ධියකට මුහුණ පෑවේය. ඔහුට අමතක වූ සිගරට් පැකට්ටුවක් ලබාගැනීම සඳහා හිතුවක්කාර ලෙස ගිලෙමින් තිබුණු නැවට ආපසු ගිය ගමනේදී වින්ඞ් මරුමුවට පත් විය.

ඔරලෝසු කණුව සුබ මොහොතින් විවෘත කිරීමේදී සිදු වූ සුවිශේෂී සිදුවීමක්ද තිබේ. එනම් ඔරලෝසුවේ කටු පිටුපසට ගමන් කිරීමට පටන් ගැනීමයි. කාලය ආපස්සට කැරකෙන්නට විය. කාර්මික දෝෂයක් නිසා සිදුවූ එම වරද පසුව නිවැරැදි කර ගන්නට මහ ඒජන්ත වරයා සමත් වී ඇත.

පුරා වසර සියයක අභිමානයක් සහිත රත්නපුර ඔරලෝසු කණුව පුරාවිද්‍යාත්මක වටිනාකමකි.

තරංග දෑලගේ –

advertistmentadvertistment
advertistmentadvertistment