55 වැනි අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් හොකී තරගාවලිය අද ඇරැඹේ

206

සියලුම තරග කොළඹ  කෘත්‍රිම හොකී ක්‍රීඩාංගණයේ…

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය විසින් සංවිධානය කර ඇති 55 වැනි අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් වයස අවුරුදු 20 න් පහළ බාලක සහ බාලිකා හොකී තරගාවලිය (27දා) සිට බ්‍රහස්පතින්දා (30දා) දක්වා කොළඹ කෘතිම හොකී ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට පියවර ගෙන තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සභාවේ අනුමැතියට යටත්ව මෙවර තරගාවලිය සංවිධානය කර ඇති අතර ඒ සඳහා සහභාගිවීමට නියමිත බාලක සහ බාලිකා කණ්ඩායම් සංඛ්‍යාවේ එකතුව 20 කි.

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප්‍රමුඛතම අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් බාලක සහ බාලිකා තරගාවලිය ද මෙය වේ.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහ ජාතික කනිෂ්ඨ කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙවර තරගාවලියට ඉදිරිපත්ව සිටීම හේතුවෙන් ආරම්භක තරගයේ සිට අවසාන තරගය දක්වාම තියුණු හා උණුසුම් මුහුණුවරක් උසුලනු ඇතැයි අනුමාන කළ හැකිය.

මෙවර තරගාවලිය ආශ්‍රිතව සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා සංචිතගත කිරීමට ද ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය පියවර ගෙන ඇති බවත්, රට තුළ පවතින වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ජාතික මට්ටමේ තරගාවලියක් සංවිධානය කිරීම බැරෑරුම් කාර්යයක් වුවත් එම අභියෝගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය උපරීම උත්සාහයක නිරත වන බවත් ශ්‍රී ලංකා පාසල් හොකී ලේකම් අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා අනාවරණය කළේය.

මෙවර තරගාවලිය අගනුවරදී පැවැත්වීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලය මෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා හොකී සම්මේලනය ලබා දෙන සහයෝගය ද ඒ මහතා ඇගයීමට ලක් කළේය.

2019 පාස්කු ඉරු දින ප්‍රහාරය මෙන්ම 2020 සහ 2021 දෙවසරේ කොවිඩ් – 19 හමුවේ පැවැත්වීමට නොහැකි වූ අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් වයස අවුරුදු 19 සහ බාලිකා තරගාවලිය මෙවර පැවැත්වීම තුළින් පාසල් පද්ධතිය තුළ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාතික මට්ටමේ සහතිකයක් දිනා ගැනීමට අවස්ථාව උදාකර දීමට ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය පියවර ගෙන තිබීම ප්‍රශංසනීයය.

මෙවර බාලක තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමේ අරමුණ ඇතිව කොළඹ, කළුතර, ගම්පහ, මාතලේ, මහනුවර, පුත්තලම, ගාල්ල, මාතර, බදුල්ල යන දිස්ත්‍රික් කණ්ඩායම් සහභාගි වෙති.

කොළඹ, කළුතර, මාතලේ, මහනුවර, පුත්තලම, ගාල්ල, මාතර, බදුල්ල යන දිස්ත්‍රික්ක මෙවර තරගාවලියේ බාලිකා ශූරතාව දිනා ගැනීමේ අරමුණු ඇතිව තරග වදිති.

සුපුරුදු පරිදි මෙවර තරගාවලියේ බාලක ඇශ මූලික වටයේ තරග කාණ්ඩ 04 ක් යටතේ ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන අතර බාලිකා තරගාවලියේ මූලික වටය කාණ්ඩ 02 ක් යටතේ ලීග් ක්‍රමයට පැවැත්වේ.

ශසිකලා සේනාධීර මහත්මිය ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ සභාපති ධුරයට පත්වීමෙන් අනතුරුව ක්‍රියාත්මක කෙරෙන පළමු තරගාවලිය මෙය වීම ද විශේෂත්වයකි. මෙම තරගාවලියේ අධීක්ෂණ කටයුතු මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය) අතුල ජයවර්ධන මහතා වෙත පවරා තිබේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment