දිවයිනේ සංගුරා හෙවත් සත්‍යවාදියකුගේ නික්ම යෑම…

628

දිවයින’ පුවත්පත ගැන කතා කරන විට මේ රටේ පුවත්පත් කලාවට ලොබ බැඳි පාඨකයකුට වුව මාධ්‍යවේදියකුට වුව එකවර මතකයට නැගෙන නම් කීපයක් තිබේ. ඒ අතරින් සුනිල් මාධව පේ‍්‍රමතිලක නම් මිනිසා ප‍්‍රමුඛයා ය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ”හොඳ පත්තරකාරයෙකි” යැයි කිව හැකි අය අපේ සමාජයේ වඳ වෙන ලැයිස්තුවට අයත් සත්ත්ව කොට්ඨාසයක් බව මගේ කියැවීම ය. සුනිල් මාධව පේ‍්‍රමතිලක හෙවත් සුනිල් අයියා එම ”රතු දත්ත ලැයිස්තුවේ” නම ලියැවුණු පත්තරකාරයකු වූ සංකීර්ණ සුන්දර මනුස්සයෙකි. ඔහු නිතර භාවිත කළ යෙදුමකින් ම කියන්නේ නම් ”සුන්දර මිනිසෙකි.”

ඒ සුන්දර මිනිසා සිය දිවිසැරිය නිම කොට අප අතරින් වෙන්ව ගොස් අවසන්ය. අපේ රටේ ජීවත් වූ ප‍්‍රකට කවියකු මෙන්ම කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ මීමන පේ‍්‍රමතිලකයන්ගේ පුතෙකු ලෙස ඉපිද, කොළඹ ආනන්දයෙන් හොඳ නරක උගෙන, සරල සමාජ සත්වයකු ලෙස සමාජගතව බාල වියේ දී ම පුවත්පත් කලාවට පිළිපන් සුනිල් මාධව අන් සෑම සමකාලීන පුවත්පත් කලාවේදියකු සේම සිය පුවත්පත් කලාවේ තිඹිරිගෙය කර ගත්තේ ලේක්හවුසිය යි.

ලේක්හවුසියේ සිට 1981 දී දිවයින ආරම්භ කළ මොහොතේ පළමු කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ‘දිවයින’ට එක්වූ සුනිලූන් පත්තර කලාවේ ”අසහාය අසාමාන්‍ය වීරයකු” වන්නට කල්පනා කළේ නැත. එසේ වන්නට පෙරුම් පිරුවේත් නැත. ඔහු අනුදත්, ඔහු හෙළි පෙහෙළි කළ පත්තර කලාව ඔස්සේ ඔහු තහවුරු වූයේ මේ සංකීර්ණ සමාජයේ පොදු ජනයා අතර වන සංකීර්ණ මිනිසකු ලෙසයි. ඔහු නිතර ඔහුගේ ලේඛන ව්‍යායාමයේ දී ”සුන්දර මිනිසකු” ලෙස හැඳින්වූයේ ඒ සංකීර්ණ මිනිසා ය. නොඑසේ නම් ඔහු ය. ඒත් නැතිනම් ඔහුවන් අන් මිනිසුන් ය.

ඒ සංකීර්ණ මිනිසා තුළ හොඳ ලේඛකයකු සිටියා සේම හොඳ පාඨකයකු ද සිටියේය. හොඳ කලාකරුවකු සිටියා සේම හොඳ රසිකයකු ද සිටියේය. හොඳ චින්තකයකු සිටියා සේම හොඳ සවන් දෙන්නකු ද සිටියේය. හොඳ ඉවසිලිවන්තයකු සිටියා සේම නාහෙට නාහන කලබලකාර කේන්තිකාරයකු ද සිටියේය. බෝසත් ගති ඇති මහත්තයකු සිටියා සේම වරද දුටු තැන කිපී සටන් වදින, එවිට වටපිටේ හැමෝටම බැණවදින කලබලකාර සටන්කාමියකු ද සිටියේය. ඔහු ඔහු ගැනම නිතර කීවේ… සංවේදී කලබලයක් නැති සැමියෙකුගේ කීකරු බිරිඳකගේ අකීකරු පුත‍්‍රයා ලෙසය.

මිනිස් සමාජයේ අපි නිතර අගය කරන පුරුෂාර්ථවලින් පිරිපුන් මහත්තයකු සේම ඔබ මා දිවා රැයේ සමාජයේ දකින සාමාන්‍ය සරල පොදුජන මිනිසාගේ හොඳ නරක බොහෝ ගති ලක්ෂණ ඔහු වෙත පිහිටා තිබූ බව මම විශ්වාස කරමි.

සුනිල් මාධව පේ‍්‍රමතිලක සංකීර්ණ මිනිසකු යැයි මා කියන්නේ ඒ නිසාය. කන බොන, ලියන කියවන, දකින විඳින, තමන්ට රිසි සේ පහසුවෙන් මහ පොළොවේ පය ගසා ජීවත් වන, සංකීර්ණ මිනිසුන්ට ඔහු කීවේ සුන්දර මිනිසෙක් කියාය.

ඉඳින් මේ වසර දශක හතකට මදක් වැඩි කාලයක් මේ මහ පොළොවේ පය ගසා ජීවත් වූ තවත් සුන්දර මිනිසකුගේ අනල්ප කතා පවත් අතරින් බිංදු මාත‍්‍රයකි.

ධනය මිනිසුන් ය.

දිවයිනේ සංගුරා හෙවත් සත්‍යවාදියකුගේ නික්ම යෑම…

සැත්තෑ විය ඉක්මවූ ජීවිතයෙන් වැඩි කලක් ලේඛකයකු ලෙසත් පුවත්පත් කලාවේදියකු ලෙසත් ජීවත් වෙමින් ලියූ කියූ දේවල් රාශියක් ඇති සුනිල් අයියා ධනයෙන් හරි හම්බ කළ දෙයක් නොවීය. බෙල් බොටමට සමාන ලොකු කලිසම හා පපුව දෙපස පොකට් සාක්කු ඇති කමිසය ඔහුගේ ඇඳුම විය. රබර් සෙරෙප්පු යුගලය ඔහුගේ පැළඳුම විය. ගමන බොහෝවිට බස්රියෙන් ය. බස් නැති තැන පයින් ය. නිරතුරුව බොකුටු ගැසී පවතින අකීකරු කොණ්ඩය සහ සිනහවෙන විට මුහුණ පුරා විහිදෙන උඩු රැවුල සහ දසන් දෙපෙළ සුනිලූන් මියෙනතුරා තිබූ අනන්‍යතාව විය.

දිවයින තුළින් ඔහු ජනගත වූයේ ඓතිහාසික 8 වැනි පිටුවෙන් ආරම්භ කළ පුවත්පත් ආඛ්‍යානය තුළ ය. එම ආඛ්‍යානය සම්ප‍්‍රදායක් විය. ඒ තුළින් බිහි වූ සත්‍යවාදියාගේ දින පොත, සහෘදයාගේ පිටුව ඇතුළු අනෙකුත් ලියවිලි 80 දශකය පුරාත් 90 දශකයේ මුල් භාගයේත් මේ රටේ තරුණ පරපුර අසීමිත ලෙස පුවත්පත වෙත ඇද බැඳගත් ලේඛන සම්ප‍්‍රදායන්් විය. ඔහු එමගින් හෙළි පෙහෙළි කළ චින්තන සම්ප‍්‍රදාය හරහා තරුණ සිත් සතන් තුළට නව ලෝක දැනුම මෙන්ම සටන්කාමීත්වය කාවැද්ද වූයේ මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ ද නොඅඩුව තවරමිනි.

එකල සුනිලූන් දිවයිනට මෙන්ම දිවයින පාඨක සමූහයාට ද නැතිවම බැරි සම්පතක් විය. සුනිල්ගේ ලියවිලි සම්ප‍්‍රදාය, එහි වූ අනන්‍යතාව හා ඊට සමාජයේ තිබූ ඉල්ලූම වටහාගත් ඇතැම් ව්‍යාපාරිකයෝ ඔහුගේ නමින් පොත්පත් පළ කර නම විකුණා මුදල් සොයන්නට කොතරම් උත්සාහ කළේ ද…

ඇතැමුන් ලක්ෂ ගණනින් මුදල් ලබාදී පොත් ලියවා ගන්නට උත්සාහ කළත් සුනිල් අයියා අතින් පොතක් දෙකක් ලියවුණා මිස මුදලට ලියන්නට ඔහු ලොල් වූයේ නැත. ”හඬනු මැන නිදහස” වැනි පොත්පත් මුදලට ලිවිය නොහැකි බව ඔහු භාවිතාවෙන් ඔප්පු කර පෙන්වූයේ ය.

පොත්පත් ලිවීමෙන් හා පරිවර්තනයෙන් ඔහුට කොතරම් හරිහම්බ කළ හැකි වුවත් ඔහු හරි හම්බ කළේ මිනිසුන් මිස මිල මුදල් නම් නොවේ.

ඒ අතින් ඔහු දෙවැනි වූයේ ගුණදාස කපුගේ ට හෝ එච්. එම්. ජයවර්ධනට පමණක් බව මම විශ්වාස කරමි.

පොදු ජනතාවගේ මිතුරා…

සුනිල්ට කුළුපගම යහළුවන් යැයි කියා කිසිවෙක් නොවූයේ දකින හැම අයෙක්ම ඔහුගේ ළෙන්ගතු ම මිතුරන් වූ නිසාය. දිවයිනෙහි වැඩ කරන සමයේ ගේට්ටුවේ මුර කරන ආරක්ෂක නිලධාරියාගේ පටන් ප‍්‍රධාන කර්තෘ දක්වාත් එතැන් පටන් සුව සේවා කම්කරු වීරයියා දක්වාත් සියල්ලෝම ඔහුගේ මිතුරන් ය. මේ ලොකු කුඩා කාටත් ඔහු ඇමතූයේ මචං කියාය. උදේ වරුවේ සුපුරුදු සිනහවෙන් මුව සරසාගෙන කාර්යාලයට ඇතුළු වන ඔහු කාටත් මචං යයි කියා අමතා අත් ඔසවා සැලියුට් දැම්මා විනා කා සමගවත් කෝන්තර ඇද ගත්තේ නැත.

දිවා කාලයේ රාජකාරිය අතරතුර කාලයේදී උපාලි අවන්හලට හෝ සුපුරුදු මිත‍්‍රයාගේ ලී මඩුවට හෝ මර්සි අක්කාගේ නිවෙසට ගොස් අතේ පවතින මුදලට යමක් සප්පායම් වී පැමිණෙන සුනිලූන් කාර්යාලයේ දී යම් යම් දේශපාලනමය හෝ සාහිත්‍ය කලාමය ප‍්‍රස්තුත මත වාද ඇදගත්තත් ඒවා දුරදිග යන ඒවා නොවීය.

එහෙත් වරද දුටු තැන ඔහු කිසිවකුටත් මෙල්ල නොවී ය. වරක් එවන් ප‍්‍රශ්නයකදී උරණ වූ සුනිලූන් හවස හොඳටෝම සප්පායම් වී පැමිණ කාර්යාලයේ එවකට සිටි ප‍්‍රධාන කතුවරුන්ගේ නම් අඬගසමින් බැණ වදින්නට වූයේ ඔවුන්ගේ වීදුරු කාමර බිමට සමතලා කරන බවට කෑ මොර ගසමිනි.

පසුදාට පහන් විය. සුනිල් අයියා සුපුරුදු පරිදි කාර්යාලයේ කාටත් ආයුබෝවන් කියමින් අත ඔසවමින් මචෝ මචෝ කියමින් ඇතුළට එද්දී කර්තෘ මණ්ඩල ප‍්‍රධානියා පැමිණ සිටියේය. සුනිල්ට සිය බෑගය මේසය මත තබන්නට ඉඩක් ලැබුණා පමණි…

”අයිසේ… සුනිල්… මෙහෙ එනවා…” යනුවෙන් උස් හඬින් විධානයකි.

”මචෝ ලෙඩක් වගෙයි…” කියමින් සුනිල් අයියා ප‍්‍රධානියා ළඟට ගියේ සුරතින් තම ෂර්ට් කොලරය සකසමිනි.

”ඇත්තද තමුසෙ ඊයෙ ? මේ වීදුරු කාමර බිමට සමතලා කරනවයි කියලා කෑගහුවා කියන්නේ…”

”පිස්සුද සර්… මේ මම….?” සුනිල් අයියාගේ උත්තරය එපමණකි.

”කිව්වේ නැද්ද…? එහෙනම් යනවා…” නඩු විභාගය හමාර විය.

එවන් ප‍්‍රශ්නයක් පසුවදා හගිස්සවා දුරදිග ගෙන යෑම එදා දිවයිනේ කිසිවකුගේත් සිරිත නොවීය.

තාක්ෂණයේ ආගන්තුකයා

සුනිල් මාධව හෙවත් සුනිල් අයියා වැඩ කළේ ඔහුට ඕනෑ වෙලාවට ය. අලූත් පොතපත ඔහුගේ දැනුම් සම්භාරය නිතර අලූත් කරනු ලැබුවේය. එවකට නූතන සාහිත්‍යයේ නව ප‍්‍රවණතා ඔහුගේ හැදෑරීම්වලට පාත‍්‍ර විය. ලෝක විප්ලවවාදී දේශපාලන නායකයෝ මෙන්ම චින්තකයෝ නිතර නිතර ඔහුගේ විෂය පථයට හසු විය. ඒවා ගැන ඔහු නිරතුරුව ලියූ ලියවිලි පාඨක ජනසමාජයට අලූත් දැනුම හා චින්තනාවලියක් එක්කාසු කරන චින්තන දහරාවක්ම විය. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව හා තරුණ ප‍්‍රජාව අතර සුනිලූන් වීරයකු වූයේ එලෙසිනි.

එහෙත් ඔහුගේ දැනුම් සම්භාරය පතපොතට, සිනමාවට, සංගීතයට සීමා වූවා මිස නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට සොයා යෑමක් නොවීය.

කොටින්ම ඔහු දුරකථනයක් වත් පාවිච්චි කළේ ඉතාමත්ම අලසවය. එවකට දුරකථන දෙකක් දිවයින කාර්යාලයේ ඔහුට ඕනෑම මොහොතක පාවිච්චි කළ හැකි වුවත් ඔහු ඇමතුමක් ගත්තේ එහෙමත් ඉඳහිට ය. හවස් වරුවේ ඔහු යමකින් සප්පායම් වී ආ පසුව ලබාගන්නා දුරකථන ඇමතුම් මුළුමහත් කාර්යාලයටම ඇසෙන ඒවා විය. එවිට ඔහුගේ වාක්කෝෂය තරමක් වෙනස් නිසා හරිම රසවත් ය.

දිනක් දොඩන්ගොඩත් තිස්ස වීරසේකරත් අතර වූ දුරකථනය ළඟට පැමිණ ඉතාමත්ම ආචාරශීලීව අවසර ගෙන ඔහු දුරකථන ඇමතුමක් ගත්තේය.ඔහු ගන්නේ ලේක්හවුස් ආයතනයට පමණක් බව බොහෝ දෙනා දැන සිටියේ එවකට ඔහුගේ බිරිඳ වන්නට සිටි මනෝරා වැඩ කළේ එහි බව දන්නා නිසාය.

”හලෝ මනෝරට ටිකක් කතා කරන්න පුළුවන්ද…” සුනිල් ආචාරශීලීව ඇසුව මුත් එහා පැත්තෙන් ලැබුණු ප‍්‍රතිචාරය මත මදක් අසතුටින් රිසීවරය තැබුවේය.

නැවත මද වේලාවකින් ඔහු එම ඇමතුම ගත්තත් ඒ වෙලාවේ එහා පැත්තෙන් ලැබුණු ප‍්‍රතිචාරය එයම විය.

නොරුස්සනසුලූ ස්වරයෙන් මොනවාද කියා ඔහු එවරද දුරකථනය තැබීය.

තවත් ටිකකට පසු ඔහු එම ඇමතුම ලබා ගන්නා දෙස බොහෝ දෙනා බලා සිටියේ සුනිල් ගේ ඊළඟ ප‍්‍රතිචාරය අර තරම් සරල නොවන බව දන්නා නිසාය.

සුනිල් අයියට අවශ්‍ය කෙනාට කතා කරන්නට ඉඩ ලැබුණේ නැත. ඉවසීමේ සීමාව අවසන් වූ ඔහු හොඳ ලූණු ඇඹුලින් දෙකක් කියා කාටදෝ බැණ වදිනු අසන්නට ලැබුණි.

”මොකෝ සුනිලෝ වුණේ… කාටද ඒ ජාතිය ඇමතුවේ….” එතැන සිටි ප‍්‍රධාන කර්තෘවරයා ඇසුවේය .

”නෑ මචං… කවුදෝ ගෑනියෙක් ඉංග‍්‍රීසියෙනුයි දෙමළනුයි මොනාද කියනවා. එකම දේ කියනවා…” සුනිල් අයියා සිය නොසතුට ප‍්‍රකාශ කළේය.

”ඒ බං ෆෝන් එකෙන් එන රෙකෝඩින් එකක්නෙ… එහේ ෆෝන් එක බිසී නම් එහෙම එකක් යනවා” කතුවරයා කීවේය.
”කව්ද බං ඔය මන මඟුල් දන්නෙ… කියා සුනිල් අයියා නිහඬ විය. සුනිල් බොහෝ හරවත් දේශපාලනික හා සාහිත්‍යමය කරුණු සාකච්ඡා කළේ කර්තෘ මණ්ඩලයේ කීපදෙනකු සමඟ ය. දයාසේන ගුණසිංහ, ගාමිණි සුමනසේකර, තිස්ස වීරසේකර, කිත්සිරි නිමල් ශාන්ත, ජයන්ත චන්ද්‍රසිරි, චන්ද්‍රසිරි දොඩංගොඩ, උපාලි තෙන්නකෝන්, මෙරිල් පෙරේරා, ටී. එම්. ජී. චන්ද්‍රසේකර, ආයුබ්, විනී හෙට්ටිගොඩ, සුන්දර නිහතමානි ද මෙල් ඒ අතර වූහ. රුසියානු, ප‍්‍රංශ, ඇමරිකානු සාහිත්‍යයේ රසමුසු තැන් හා අලූත් ප‍්‍රවණතාවන් ඔවුන් අතර සාකච්ඡාවට බඳුන් වූහ. ඇතැම් විට සුනිල් මිතුරන් අමතන්නට රුසියානු සාහිත්‍යයේ නමගිය චරිතවල නම් කියන්න කතා කළේය. ජයන්ත චන්ද්‍රසිරි වැන්නෝ සුනිල්ට ද එබඳු නම් කීවේය. ”සංගුරා” ඒ අතර වූ ජනප‍්‍රිය එක් නමකි.

මුදලට පෙම් නොකළ සුනිල්…

සුනිල්ට සල්ලිවල කිසිදු වටිනාකමක් නැත. අවශ්‍යතාවන් සඳහා මුදල් අවශ්‍ය බව ඔහු දැන සිටියේය. එහෙත් ලැබෙන මුදල් හරි හරිහැටි කළමනාකරණය කරගන්නට ඔහු දක්ෂයෙකු නොවීය. කවුරුන් හෝ පොත් ප‍්‍රකාශකයෙක් ඔහුට රුපියල් ලක්ෂයක් දුන්නේ නම් ඔහු එය වියදම් කරන්නට ගත කරන සීමිත කාලය පුදුම සහගතය. වැටුප ඔහුට දවස දෙකකින් ඉවර කරන්නට හැකිය. එතැන් පටන් තම අවශ්‍යතාවන්ට කාගේන් හෝ කීයක් හෝ ඉල්ලා ගැනීම ඔහුගේ සිරිත ය. සුනිල් අතමිට ඇති විට අත දිග හැර ඕනම කෙනෙකුට වියදම් කරන බව දන්නා ඔහුගේ මිතුරෝ ඔහුට මුදල් දෙන්නට ද පැකිලෙන්නේ නැත. ඇතැම් විට ඔහු ප‍්‍රධාන කර්තෘවරුන්ගෙන් ද මුදල් ඉල්ලා ගන්නේ යළි ලබාදෙන පොරොන්දුව මතය.

”අනේ පලයන් සුනිල්… ලේක්හවුස් එකේ ඉන්න කාලේ ඉඳලා මම උඹට දුන්නු රුපියල් දෙකේ කොළවල ඉඳන් ආපහු දුන්න නම් මට කොළඹ හතෙන් ගෙයක් ගන්න තිබ්බා…”

ඔහු එය අතිශයෝක්තියට නගා කීවත් කතාවේ වරදක් නොවීය. ඒ හා සමානවම කාගේ හෝ දුකක් කරදරයක් අසා සුනිල් තම වැටුප ම පරිත්‍යාග කළ අවස්ථාද එකක් දෙකක් නම් නොවේ.

සුනිල්ට කාර්යාල කාර්ය සහයකයෝ මහත් සේ ආදරය කළෝය. ඔවුන් අතර සුනිල් මාධව ට පැමිණෙන ලියුම් කඩන්නට යම් තරගයක් තිබූ බවද මට මතකය.

එදවස දිවයිනේ වැඩිම ලියුම් ප‍්‍රමාණයක් පැමිණෙන දිවයිනේ තනි පත‍්‍ර කලාවේදියා සුනිල් මාධව ය. ඔහු අටවෙනි පිටුවේ හෝ සහෘද පිටුවේ ලියන ඇතැම් ප‍්‍රස්තූතවලට ප‍්‍රතිචාර පැමිණෙන්නේ ලියුම්වලින්ය. එම පිළිතුරු කොයිතරම් හෘදයාංගම ද යත් ඒ ලියුම් ඇතුළෙ සමහරු රුපියල් සීයේ පනහේ නෝට්ටු ද එවන්නට පෙළඹ සිටියහ.

සුනිල්ට ඒවා වගේ වගක් නැත. එම ප‍්‍රවණතාවය නිසා සුනිල් මහත්තයාගේ ලියුම් ටික කඩා ලියුම් කවර ඉවත් කොට ලිපි ටික පමණක් ලස්සනට පිළිවෙළට සකසා දෙන්නට අපේ මේ කාර්ය සහායක මල්ලිලා හරි උනන්දු ය.

සුනිල් පළමු වතාවේ දිවයිනේ කාලයක් සිට යළි එළියට ගියේ තවත් පිරිසක් හා එකතුව වෙනත් පත්තරයක් කිරීමේ අභිලාශය ඇතිව ය. එම පුවත්පත පැවතුනේ ඉතා කෙටි කලකි. යළිත් සුනිල් ගෙදරට පැමිණියේය. දිවයින ඔහුට නැවතත් වගකීමක් පවරා පිටුවක් දුන්නේ ඉරිදා පුවත්පතේ ය. එහෙත් පෙර පැවති ජවයෙන් එම වගකීම ඉටු කරන්නට කාලය ඔහුට ඉඩ අවකාශ දුන්නේ නැති තරම් ය.

අනිත් අතට ශ‍්‍රී ලාංකික පාඨකයන්ගේ අවශ්‍යතා හා විෂය පථ මාක්ස් ලෙනින් වාදයෙන් හා චේ ගවේරලාගේ ජාත්‍යන්තරවාදයෙන් මිදී පශ්චාත් නූතනවාදය ඔස්සේ ඉදිරියට යද්දී සුනිල් අයියාගේ චින්තන ධාරාව චේ ගෙන් ඔබ්බට ගියේ නැති තරම්ය. එතැනදී ඔහු යම් තරමකට මතවාදීව පසුබෑමකට ලක්වූ බව අකැමැත්තෙන් වුව පිළිගත යුතුව ඇත.

එහෙත් සුනිල් තවදුරටත් අතීතකාමයෙන් යුතුව කතාබහ කළේය. පතපොත ලීවේය. සංවාදවලට සහභාගි වූයේ ය. 60 විය ඉක්මවා ඉදිරියට යමින් සිටියදී ඔහුට බොහෝ ශාරීරික දුබලතා ද බාධා කරන්නට වූහ.

”මිනිසා මරා දැමිය හැක. එහෙත් මිනිසා පරාජය කළ නොහැක.”
Ernest Hemingway මහල්ලා සහ මුහුද (the old man and the sea) නවකතාවෙන් ඉස්මතු කළ පරම සත්‍යය ඔහු හමුවේ ද යථාර්ථයක් වූවා නිසැකය.

සුනිල් මිය ගිය බව හැබෑය. එහෙත් කොතැනකවත් සුනිල් පරාජය වූ බවට සාක්ෂි නැත.

එසේ නම් සුනිලූනි

ඔබට ජය ශ‍්‍රී.

විශේෂ ලියුම්කරුවකු විසිනි

advertistmentadvertistment
advertistmentadvertistment